බිරිඳට බය පොලිස් ලොක්කා


අමුතු ගති ඇති මිනිස්සු

මීට වසර හැට හැත්තෑවකට පමණ පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් එක්තරා පොලීසියක දරුණු පෙනුමක් සහ සැඩ පරුෂ ගති ගුණ ඇති පොලිස් පරීක්ෂකයෙකු සේවය කළේය. දැවැන්ත සිරුරකින් සහ එම සිරුරටම සරිලන බුරුසු රැවුලකින් ද සමන්විත එම පොලිස් පරීක්‍ෂකවරයා ප්‍රදේශයේ ජනතාව අතර පමණක් නොව එම පොලීසියේම සේවය කළ රාළහාමිලා අතර පවා ප්‍රසිද්ධව සිටියේ ‘යකා මහත්තයා’ නමිනි.   


ඔහුට එවැනි නමක් පැටබැඳීමට මුල් වූයේ ඔහුගේ මරුමුස් පෙනුමටත් වඩා තමන් හමුවට ඉදිරිපත් කෙරෙන විවිධ මාදිලියේ සැකකරුවන්ට හරකා, බූරුවා, බල්ලා ආදී වශයෙන් අමතමින් ප්‍රසිද්ධියේම පහර දීමයි. තම පොලිස් බල ප්‍රදේශය තුළ විසූ කසිප්පු ව්‍යාපාරිකයන්, හොර ජාවාරම්කරුවන්, හොරුන් සහ මැරවරයන් යකා මහත්තයාට වහකදුරු මෙන් විය. වැරදි කර අසුවන කිසිවකුට හෝ ඔහුගෙන් ගැලවීමක් නොමැති වූ අතර එවැන්නන් සමග සුහද ලෙස ඇසුරු කරන තම පොලීසියේ රාළහාමිලාට පවා හෙතෙම අමු තිත්ත කතාවෙන් බැණ වැදුනේය. 

 
‘‘අපොයි මතක් කරන්න එපා ඔය වසවර්තියා ගැන, ඔය යකා හින්ද මම අපූරුවට කරගෙන ආපු මගේ ලී බිස්නස් එකත් නැති වුණා...’’යි කියමින් යකා මහත්තයාට පස්පඩංගුවේ බැණ වැදුණු ප්‍රදේශයේ හොර ජාවාරම්කරුවකු ඔහුට එරෙහිව පෙත්සම් පිට පෙත්සම යවා තිබුණ ද එවකට සිටි ​ෙපාලිස් ප්‍රධානින් ඒවා කුණු කූඩුයට දමා තිබුණේ තම නිලධාරියා ගැන ඉතා හොඳින් දැන සිටි බැවිනි. අන්තිමේ දී එම පෙත්සම් යැවූ හොර ජාවාරම්කරුවාට සිදුවූයේ තම නීති විරෝධී ව්‍යාපාර වෙනත් අයට පවරාදී තාවකාලිකව සිල් රෙදි පොරවා ගැනීමටය.   


‘‘ඇයි ඔය මිනිහ තංගල්ල පැත්තෙ ඉන්න කොට ගංජා බිස්නස්කාරයෙකුට ගංජා සුරුට්ටුවක් පොව පොව ගැහුවයි කියන්නේ. අන්තිමේදී ගංජ බිස්නස්කාරය බේර ගන්න පොලීසියට ආපු මන්ත්‍රී කෙනෙකුටත් බැණලා එලව ගත්තලු....’   


ඇතැමුන් යකා මහත්තයා ගැන එසේ කියන්නේ තමන්ගේ කනට ඇසුණු කතාව එකට හතේ අනුපාතයට වැඩි කරමිනි.   
යකා මහත්තාය එම ​පොලීසියේ සේවයට පැමිණීමට පෙර ඇතැම් රාළහාමිලා පවා සවස් කාලයේ හොර අරක්කු පොළකට වැදී හීන් අඩියකින් ඇඟපත රත්කර ගෙන නිවෙස් බලා යාමට පුරුදුව සිටියහ. එහෙත් යකා මහත්තයා එම පොලිසියේ සේවයට ආ පසු රාළහාමිලා ගේ එම අයථා ක්‍රියාකාරකම්වලට නැවතීමේ තිත වැටුණේ ‘මීට පස්සේ එහෙම තොපි හොර පොළවල්වලට ගිහින් අහුවුණොත් කූඩුවට දමලයි පස්ස බලන්නේ....’යි කියමින් ලොකු සත්තමක් දැමූ බැවිනි.   
නගරයේ තම්බි මරික්කාර්ගේ මස්කඩයෙන් රාළහාමිලා පිනට මස් ලබා ගැනීම ද ඉන්පසු ඉබේටම නතර වූයේය.   


සවස් කාලයේ කොට කලිසමකින් සහ සුදු අත්දිග මේස් බැනියමකින් සැරසී තම පොලිස් වසම පුරා මෝටර් බයිසිකලයකින් සැරිසරන යකා මහත්තයා මගතොටේ සහ බෝක්කු ගානේ නිකරුණේ ගැවසෙන රස්තියාදුකාරයන්ට කන රත්වන සේ ගසා එළවා දැමුවේය.   


ලයිට් නොමැතිව කරුවලේ යන බයිසිකල්කාරයන් ඔහුට වහ කදුරුමෙන් විය. මග තොටේ දී එවැන්නන් අසු වූ විට බයිසිකලයේ ටයර් දෙකම හුළං අරින ඔහු බයිසිකලය කරට ගෙන දුවන්නට අණ කළේය.   


දිනක් තමන් යටතේ සේවය කළ ඇඩ්ඩිං රාළහාමිට පවා ඔහු එම තීන්දුවම ලබා දුන්නේ පොලීසියේ රාජකාරි කරන අය අන්‍යයන්ට ආදර්ශයක් විය යුතු යැයි කියමිනි. තවත් දිනෙක තම තරහාකාරයකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට පැමිණි නගරංකාර පෙනුමකින් යුත් ලී ඉරන්නෙකුගෙන් සිගරැට් පැකට් එකක් ලබාගත් රාළහාමිකෙනෙකු ඔහුගේ අතටම අසු වී තිබුණේ අහඹු ලෙසිනි.   


‘‘තොපිට ලැජ්ජ නැද්ද යකෝ පොලීසියට එන එවුන්ගෙන් අල්ලස් ගන්න?’’ යි කියමින් වහලේ උළුකැට පවා බිමට කඩා හැලෙන තරම් හඬකින් ගෝරනාඩු කළ යකා මහත්තයා එම පැකට්ටුවේ තිබූ සියලුම සිගරැට් ඒ මොහොතේම උරා අවසන් කරන ලෙස ඔවුන් දෙදෙනාටම අණ කළේය.   


‘‘සර් ඒක හරි නෑ නේද...?’’ යි අසමින් එම ක්‍රියාවේ ඇති හරි වැරැද්ද පෙන්වාදීමට ආ සාජන් මහත්තයාට ද ලොකු සත්තමක් දැමූ ඔහු ‘‘සාජන්, තමුසෙ කටපියාගෙන ඉන්නවා. ඒකෙ හරි වැරැද්ද මම බලාගන්නං’’යි කියමින් බැණ වැදුණේය.   


යකා මහත්තාය තුන් මසකට වරක් එම පොලීසියට පැමිණෙන ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට පවා තැකීමක් නොකළේය. ඒ.එස්.පී. මහත්තයා සමග හරි හරියට ඉංගිරිසියෙන් කතා කළ ඔහු තම ප්‍රධානියා හමුවේ නොපැකිළ තර්ක කිරීමට පවා ඇතැම් අවස්ථාවල දී පෙළඹී සිටියේය.   


‘‘ඒ.එස්.පී. මහත්තයා පවා අපේ ලොක්කාට බයයි...!’යි කියමින් ඒ ගැන කතා කළ ඇතැම් රාළහාමිලාගේ පිළිගැනීම වී තිබුණේ ඔවුන් දෙදෙනාම උපපොලිස් පරීක්‍ෂකවරුන් ලෙස එකම වසරේ පොලිසියට බැඳී ඇති බවය.   


කෙසේ වෙතත් යකා මහත්තයා කොතරම් මරුමුස් අයකු වුව ද ඔහු තුළ එක්තරා දුර්වලකමක් පැවැති බව එකල එම පොලීසියේ සේවය කළ රාළහාමිලාගේ අදහස විය.   
‘‘අපේ ලොක්කා ඒ.එස්.පී. මහත්තායට පවා සත්තම් දැම්මට ගෙදර ගෑනිට බයයි..!’’යි කියමින් සිනාසෙන ඔවුන්ට එය හොඳ‌ාකාරවම පසක් වූයේ දිනක් හදිසියේම තම ප්‍රධානියාගේ බිරිඳ පොලීසියට කඩා වැදී ලොක්කාට සත්තමක් දැමීමෙන් පසුවය.   


‘‘මං අරහේ පැයකටත් වැඩි කාලයක් බලාගෙන හිටියා. තමුසෙ මෙහාට වෙලා මගුල් කරනවද ඕයි...?’’ කියමින් ලොකු ගෝරනාඩුවක් කළ ඕ.අයි.සී. මහත්තයාගේ බිරිඳ තම සැමියාත් ඇදගෙන පොලිස් ජීප් රියෙන්ම ටවුමට ගියේ මුළු පොලිසියම බිරන්තට්ටු වී බලාසිටින අතරතුරය. යකා මහත්තයා විවිධ වැරදිවලට සැකපිට ​පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ට කතා කළේ ‘අඩෝ... පඩෝ....’ බසිනි. තමන් යටතේ සේවය කළ ඇතැම් රාළහාමිලාට පවා හෙතෙම වහලේ උළුකැට බිමට වැටෙන තරම් හඬින් බැන වැදුණේය.   
‘‘අද උදේ මම ඒ.එස්.පී. මහත්තයගෙ පණිවිඩේකට ලොක්කාගෙ ගෙදරට යනකොට ගෑනි ලොක්කට බණිනවා ඇට්ටි හැලෙන්න. උදේ පාන්දරම ලොක්කගෙ පයේ හැපිලා මල් පෝච්චියක් බිඳිලා. ගෑනි පළු යන්න බනිනවා. ලොක්ක සොරි සොරි කිය කිය මල් පෝච්චියේ කෑලි ඇහිඳිනවා...’’යි කියමින් ඔහු සිනාසෙද්දී ඒ අසල සිටි සාජන් මහත්තයාගේ අදහස වූයේ තම බිරිඳගෙන් තමන්ට එවැනි මදි පුංචිකමක් සිදුවූවා නම් තමන් අැයගේ හොස්ස බිම උලන බවය.   


ලොක්කා කෝපවූ විට තම පහළ නිලධාරීන්ට සහ පිටස්තරයන්ට බැණ වැදුණේ නොයෙක් තිරිසන් සතුන්ගේ නම් සඳහන් කරමිනි. එහෙත් තම බිරිය තමන්ට කෝපයෙන් බැණවදින විට ‘චූටි මැණිකේ, වස්තුව, රත්තරං’ වැනි ආදරබර වදන්වලින් ඇමතීමට හෙතෙම පුරුදු වී සිටියේය.   

 


නිහාල් ජගත්චන්ද්‍ර