බ්ංගෙයක් උඩ තියෙන දෙමෝදර දුම්රිය ස්ථානය


 

දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 275.8 ක් දුරින් ඇල්ල දුම්රිය ස්ථානය හා හාලිඇළ දුම්රිය ස්ථාන දෙක අතරයි. දෙමෝදර දුම්රිය ස්ථානය මුහුදු මට්ටමින් මීටර් 911.6 (අඩි 2990)ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. දුම්රිය ස්ථානය 1921 දී ආරම්භ කරලා 1923 පෙබරවාරි 5 දා තමයි මහජනතාවට විවෘත වෙලා තියෙන්නේ. 


දෙමෝදර දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ තියෙන දුම්රිය ස්ථාන අතරින් සුවිශේෂී දුම්රිය ස්ථානයක්. ඒ ගැන ඔබ දන්නවාද? දන්නවා නේද? දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ අංක 42 දරන දුම්රිය බිංගෙය උඩය. 


බණ්ඩාරවෙල - බදුල්ල දුම්රිය මාර්ගය සකස් කරගෙන යද්දී 1921 දී තමයි දෙමෝදර දුම්රිය ස්ථානය ඉදිකරලා තියෙන්නේ. දෙමෝදර දුම්රිය ස්ථානයෙන් ඉදිරියට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී මහත් ගැටලුකාරී තත්ත්වයක් බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ඇති වෙලා තියෙනවා. එකට හේතුව තමයි කෝච්චි පාරේ එක් පැත්තක තියෙන බදුලු ඔයත් අනෙක් පැත්තේ තියෙන ගවරවෙල ඔය හෙවත් නාවෙල ඔයත් ඒ සමගම තියෙන කඳු ගැට දෙකත් ඒ වාගේම කෙළින් දුම්රිය මාර්ගය නිර්මාණය කළහොත් දුම්රියක් ගමන් කළ නොහැකි ආකාරයේ වංගුවකින් දුම්රිය මාර්ගය හැරවීමකට ලක්වන බවත්, එහෙම වුණොත් දුම්රිය මාර්ගය දෙමෝදර දුම්රිය ස්ථානයට වඩා අඩි 80 ක් පමණ පහළින් නිර්මාණය වෙන්න ඕනි කියන ඉංජිනේරුමය කරුණුත්, ලංකාවේ දුම්රිය මාර්ගයක තබා ගතයුතු උපරිම ආනතිය 1:44 පවත්වා ගැනීමේ දුෂ්කරතාවත් යන ප්‍රධාන කරුණු හැටියට දක්වන්න පුළුවන්. 


මේ අවධිය වන විට ලෝ පුරා දුම්රිය මාර්ග ව්‍යාප්තව තිබීමත්, මේ වැනි ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාම වෙනත් රටවල යොදා ගත්ත තාක්ෂණික දැනුම පිළිබඳව සොයා බැලීමට දුම්රිය සේවයේ යෙදී සිටි බ්‍රිතාන්‍ය හා ලාංකික ඉංජිනේරුවන් කතා කර ගත්තා. 


දෙමෝදර දුම්රිය ස්ථානය හා දෙමෝදර දුම්රිය මාර්ගය සෑදීමේදී ඔලිවර් ස්මිත් ප්‍රධාන ඉංජිනේරු තැන වශයෙන්ද ග්රේග්-කොක්ෆට් උපප්‍රධාන ඉංජිනේරු තැන වශයෙන්ද සේවයේ යෙදී සිටියා. ඒ වාගේම ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතාද මෙහි ඉංජිනේරුවරයකු වශයෙන් යුහුසුලුව සේවයේ යෙදී සිටියා. 


මෙහිදී ඉංජිනේරුවරයන්ගේ තීරණය වූයේ දුම්රිය මාර්ගය වෙනත් දිශාවකින් සෑදිය යුතු බවයි. එහෙම වුණොත් බදුල්ල දක්වා සැතපුම් 11 විතර දුම්රිය මාර්ගය දිග වන බව ගණනය කර තිබුණා. ඒ අතර සිටි ඩී.ජේ. විමලසුරේන්ද්‍ර ලාංකික ඉංජිනේරුවරයා පවසා සිටියේ දුම්රිය මාර්ගය එහි තියෙන කන්ද වටා අංශක 360 ක වට රවුමකින් පසු දුම්රිය ස්ථානයට යටින් බිංගෙයක් සාදා ගවරවෙල ඔයට පාලමක්ද නිර්මාණය කරලා බදුල්ල දක්වා සැතපුම් තුනකින් මාර්ගය ඉදිකරන්න පුළුවන් බවයි. ඔන්න ඉතිං කොහොම හරි අපේ ඉංජිනේරුවරයාගේ අදහසට බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරුද කැමැත්ත පළකර සිටියා. 


ඒ නිසා සියලුම ඉංජිනේරුවරුන් තීරණයකට ආවා බොන්ඩිගල කන්ද වටා 1:44 ක ආනතියකින් දුම්රිය මාර්ගය සකස් කරලා (අඩි 5.5 පළල දුම්රිය මාර්ගයේ පැවැතිය හැකි උපරිම ආනතිය 1:44ක් වෙනවා) බිංගෙයකුත් හදලා ඊට පස්සේ ගවරවෙල ඔයට පාලමකුත් හදලා දුම්රිය මාර්ගය බදුල්ල දක්වා සකස් කරන්න. මේක හරියටම කියනවා නම් විශාල උස පරතරයක් අවම කර ගැනීම සඳහා කෝච්චි පාරේ ආනතිය රඳවා ගැනීම සඳහා කරන ලද උපක්‍රමයක්. දුම්රිය බිංගෙය හා දුම්රිය ස්ථානය අතර අතර අඩි 100ක පමණ පරතරයක් තියෙනවා. 


දෙමෝදර දුම්රිය ස්ථානයේ ඉඳලා බිංගෙයට කිලෝමීටර් 1.5ක් හෝ 2ක් තියෙනවා. දෙමෝදර දුම්රිය ස්ථානයට යට ඇති දුම්රිය බිංගෙය අංක 42 දරන දුම්රිය බිංගෙයයි. එය මීටර් 170 ක් (අඩි 416) ක් දිගකින් යුක්තයි. 
දෙමෝදර දුම්රිය ස්ථානය මාර්ග 3ක් සහිතව ගබඩා කාමර සහ දොඹකරයක් ද සහිතව ඉදිකරලා තියෙන දුම්රිය ස්ථානයක්. ඒ වාගේම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සියවසක් විතර පැරණි වාෂ්ප බලැති දුම්රිය එන්ජින් සඳහා ජලය ලබා ගත් විශාල ප්‍රමාණයේ ජල කරාමයක්ද එහි තියෙනවා. 


ඒ වාගේම දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ අවට කඳු වළල්ලකින් වටවෙලා තියෙන අලංකාර පරිසරයකින් හෙබි තැනකයි. ඊටත් වඩා අලංකාර හා කුතුහලය දනවන සිද්ධිය තමයි, බදුල්ල දෙසින් එන දුම්රිය කළුපාලම උඩින් ඇවිල්ලා අංක 42 දුම්රිය බිංගෙය යටින් ඒ කියන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයට යටින් ඇවිල්ලා කිලෝමීටර් 2ක දුරක් ගෙවලා තරයි දෙමෝදර දුම්රිය ස්ථානයට එන්නේ. 


ඒ වාගේම තමයි බදුල්ල දෙසට යන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානය පහු කරලා කිලෝමීටර් 2ක් දුර ගෙවලා අංක 42 බිංගෙය යටින් ගිහිල්ලා දෙමෝදර කළු පාලමෙන් ගිහිල්ලා තමයි බදුල්ල දෙසට යන්න තියෙන්නේ. ඒ වාගේම මෙම දුම්රිය ස්ථානය හා දෙමෝදර දුම්රිය ගැටය නිර්මාණය කිරීම පිළිබඳව නොයෙක් නොයෙක් ජනශ්‍රැති හා ජන විශ්වාසයන් රාශියක් තියෙනවා. ඒවා අද සැබෑ දුම්රිය ඉතිහාසය හා බද්ධ වෙලා සත්‍ය කරුණු වශයෙන් ඉස්මතු වී තමයි තියෙන්නේ. ඕනෑම දෙයකට ජනශ්‍රැති හා ජන විශ්වාස තියෙන්න ඕනි. එතකොට තමයි ඉතිහාසය ලස්සනට තව තව ඔපමට්ටම් වෙන්නේ. ජනශ්‍රැති හා ජන විශ්වාස මොනවා ද සත්‍යය මොනවාද යන්න පිළිබඳව වැටහීමක් ඇති කරගෙන දවසක දෙමෝදර ගිහිල්ලාම බලන්න කෝ. 

 

 

 

 


ඉන්දක කරුණාදාස