බස්නාහිර පළාත පුරා පාතාල කල්ලි විස්සක්


පාතාල දඩබ්ම

 

පාතාලයේ දැල සිදුරු කරමින් පොලිසිය දැල එළුවේය. ඒ දැලට ලොකු මාළු මෙන්ම පොඩි මාළුද අසුවූයේ නොසිතූ ලෙසිනි. පැය කීපයක මෙහෙයුමකින් බරපතළ ගනයේ අපරාධකරුවන් අසූහය දෙනෙකු දැලට හසුවූ බව පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.   

කොරෝනා වෛරසයේ ප්‍රහාරය යටපත් වෙද්දී පාතාලය හිස ඔසවන්නට පටන් ගත්තේ ප්‍රධාන ලෙසම කුඩු ජාවාරම පදනම් කරගෙනය. මේ ගැටුම්වලින් බස්නාහිර පමණක් නොව දකුණද උණුසුම් වන්නට පටන් ගත්තේය.   


රට පුරා ක්‍රියාත්මක වන පාතාල කල්ලි විසි හයක් අතරින් පාතාල කල්ලි විස්සක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක බව පොලිස් බුද්ධි අංශවල අදහසයි.   
දෙමටගොඩ චමින්ද හා ඔහුගේ සහෝදරයා වන රුවන් මෙහෙයවන පාතාල කණ්ඩායම, බ්ලූමැන්ඩල් ප්‍රදේශය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන බ්ලූමැන්ඩල් සංඛගේ කල්ලිය, අංගොඩ ලොක්කාගේ කල්ලිය, ගම්පහ ක්‍රියාත්මක වන පස් පොඩ්ඩාගේ කල්ලිය, හංවැල්ල ආශ්‍රිතව ක්‍රියාත්මක වන ඌරුජුවාගේ හා ඉන්දාගේ කල්ලි දෙක, ගම්පහ දිවුලපිටියේ දූනගහ සුජීගේ කල්ලිය, පෑලියගොඩ ප්‍රදේශයේ බැරල් සංඛගේ කල්ලිය, මොරටුව රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක ගොනාකෝවිලේ රොහාගේ හා අංජුගේ කල්ලි දෙක, කුඩු සෙල්විගේ පුතුන් වන රිමෝෂන්ගේ කෙනින්ස්ටන්ගේ කල්ලිය, මාළිගාවත්තේ කංජිපානිගේ කල්ලිය, මට්ටක්කුලියේ කුඩු රොෂාන්ගේ කල්ලිය, ගණේමුල්ලේ සංජීවගේ කල්ලිය එසේ ක්‍රියාත්මක ප්‍රධාන පාතාල කල්ලි වේ. 

 
දකුණ කේන්ද්‍ර කරගෙන මාකඳුරේ මදුෂ්ගේ කල්ලිය, මාතර හරක්කටාගේ කල්ලිය, මිදිගම චින්තකගේ කල්ලිය, කොස්ගොඩ සුජීගේ කල්ලිය, කොස්ගොඩ තාරකගේ කල්ලිය, පොඩි ලැසීගේ කල්ලිය ඒ අතර ප්‍රධාන වේ.   


රටම නිහඬව තිබූ සමයක පාතාල කල්ලිවල ගැටුම තීරණාත්මක ලෙස දැනෙන්නට පටන් ගත්තේ රත්මලාන සොයිසාපුර අවන්හලකට එල්ල කළ ප්‍රහාරයත් සමගය. ඉන්පසු මාළිගාවත්තේ පාතාල සාමාජිකයෙකු වූ රවුෆ් නමැත්තාට වෙඩි තැබීම වාර්තා වූ අතර කංජිපානිගේ පියා කපා කොටා බරපතළ තුවාල සිදුකිරීමේ පුවතක්ද වාර්තා විය. එසේම මාතර වැලිගමදී ෂන්ෂයින් සුද්දාට වෙඩිතැබීමේ සිදුවීමක්ද වාර්තා විය.   


බන්ධනාගාරගතව හෝ විදේශ රටක සිට හෝ මෙරට සැඟවී සිට හෝ තම තමන් එළාගත් කුඩු දැලට හසුවූ තෝරු මෝරු නොව පියාමැස්සෙකුවත් වෙනත් අයෙකුගේ ග්‍රහණයට ලක්වීමට කුඩු ජාවාරමේ කප්පිත්තෝ ඉඩ දෙන්නේ නැත. 

 
දැන් තිබෙන්නේ පාතාලයේ ප්‍රබලයන් ලෙස නම් දැරූවන් අතිබහුතරයක් දෙනා පොලිස් අත්අඩංගුවේ හෝ බන්ධනාගාරයේ හෝ විදේශගතව සිටින කාල වකවානුවකි. දකුණේ ප්‍රබල ලෙස එකිනෙකා මරාගනිමින් ගැටුම් ඇති කරගත් කොස්ගොඩ සුජී විදේශ ගතව සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ කොස්ගොඩ තාරක සිටින්නේ බන්ධනාගාර ගතවය. මාකඳුරේ මදුෂ් සමග ප්‍රබල ලෙස ගැටුම් ඇති කරගත් සමයං මෙලොව හැර ගොස් වසර තුනක් පමණ වේ. දැන් ඔහුගේ තැන ගෙන කුඩු ජාවාරමේ යෙදෙන්නේ ඌරු ජුවා හා එම කල්ලියෙන් කැඩී ගිය ඉන්දාය. ඌරු ජුවා ඇතුළේය. ඉන්දා එළියේය. මාකඳුරේ මදුෂ් දැන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.   


බන්ධනාගාරගතව සිටියත්, විදේශ රටක සිටියත් දුරකථන මාර්ගයෙන් තමන්ගේ ගෝලයන් මෙහෙයවීමේ අවස්ථාව පාතාල නායකයින් උදාකරගෙන තිබේ. එහෙත් මාකඳුරේ මදුෂ්ට ඒ අවස්ථාව අහිමිය. මන්ද ඔහු සිටින්නේ බාහිර කිසිවෙකුට සම්බන්ධ විය නොහැකි තැනක වන බැවිනි. ඒ නිසා ඔහුගේ සම්බන්ධතාවයෙන් ගිලිහුන ගෝලයෝ දැන් සීසීකඩව ගොස් තම තමන්ට බලය හද‌ා ගැනීමට වෙහෙසෙමින් සිටී. ඒ නිසා එකම කල්ලියේ වුවත් මාකඳුරේ මදුෂ්ගේ කල්ලියේ එකිනෙකා අතරද බලය වෙනුවෙන් වූ ගැටුම දැන් දැන් මතුවන්නට පටන් ගෙන තිබේ.   


මොරටුවේ බලය අල්ලා ගැනීමට පොරබදන කුඩු අංජු හා ගොනාකෝවිලේ රොහා අතර ගැටුම විසින් පසුගිය මාසය උණුසුම් විය. එය එළියට පැමිණියේ රත්මලාන සොයිසාපුර ලක්මැදුර අවන්හලට මැයි දහනව වැනිදා අංජුගේ ගෝලයන් විසින් පහරදීමත් සමගය. මේ පහරදීමට ආසන්නතම හේතුව අංජුගේ නියෝග පරිදි ප්‍රදේශයේ ජනතාව අතර ලක්ෂ පහළොවක සහල් බෙදාදීමට හෝටලයේ හිමිකරු එකඟ නොවීම බව පොලිසියට ලැබී තිබුණ තොරතුරය.   
කුඩු අංජු සිටින්නේ ඩුබායිවලය. එහි සිට ඔහු මොරටුව මෙහෙයවන්නේය. ඒ සඳහා ඔහුට සහය වන්නේ ධර්මේය. ධර්මේ සිටින්නේද ඩුබායිවලය. අංජු තමන්ගේ පණිවුඩ ලබාදෙන්නේ ධර්මේ මගිනි. මුලින්ම ලක්මැදුර අවන්හලේ හිමිකරුට කතා කළේ අංජුය. අංජු දුන් නියෝග පරිදි සහල් නොබෙදීම නිසා අවවාදය ආවේ ධර්මේගෙනි. අවවාදයටද නොනැමුණ නිසා අවිආයුධ ගෙනවිත් රිදෙන්න බය කර අවවාද කිරීමේ න්‍යාය අනුගමනය කළේද ධර්මේය. පළමු බයකිරීම පසුගිය මැයි 19 වැනිදා සිදුකළේය. අංජුගේ අණට පිටින් ගිය නිසා තවදුරටත් අවන්හල විවෘත කළ නොහැකි බව ඔහු ප්‍රහාරයට මොහොතකට පෙර ඇමතුමක් ලබාදී අනතුරු ඇඟෙව්වේය. ගෝලයෝ එය ක්‍රියාවට නැගුවේ කඩු රැගෙගනවිත් අවන්හලට පහරදීමෙනි. ඉන්පසු අවන්හලට පොලිස් ආරක්ෂාව සැපයිණි.   


මෙහි දෙවන අදියර ක්‍රියාත්මක වූයේ පසුගිය 28 වැනිදා රාත්‍රියේය. එදින පොලිසිය බලාසිටියදීම වැගන් ආර් රථයකින් පැමිණි පාතාල ගෝලයෝ අවන්හලට වෙඩි තබා බරපතළ හානි කළහ. මේ සිදුවීම සම්බන්ධයෙන් කුඩු අංජුගේ හොඳම ගෝලයෙක් වන ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩ ජනිත් මැයි 30 වැනිදා පානදුර එළුවිලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්විය. අංජුගේ තවත් ගෝලයෙක් වන දොන්සාලු රෝෂන් නොහොත් රෝසා ජුනි 01 වැනිද‌ා මාතර අකුරැස්සේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත්විය.   


එසේම 28 වැනිදා ප්‍රහාරයට පාතාලයන් රැගෙන පැමිණි වැගන්ආර් රථයේ රියැදුරුද පසුගිය 14 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ගොනාකෝවිලේ රාජා ද මෙම සිදුවීමට සම්බන්ධ බව පොලිසිය සඳහන් කළ අතර පසුගිය 07 වැනිද‌ා ඔහු සැඟව සිටි මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ සිද්ධියක් මත පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය.   
අංජුගේ ගෝලයන් රත්මලාන සොයිසාපුර හෝටලයකට පහර දෙද්දී මධූෂ්ගේ ගෝලයෝ දෙන්නෙක් මාතරදී ගැටුනහ. මාතර හරක් කටා මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙකි. එසේම හෙට්ටි හේවගේ අමිල ප්‍රසංග නොහොත් සන්ෂයින් සුද්ද‌ාද මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙකි. එහෙත් දැන් මේ දෙදෙනාම නූල කැඩුණු සරුංගල් වැනිය. ඒ නිසා දැන් ඔවුහු තමන්ගේම වූ න්‍යාය පත්‍රයකට වැඩ කරති. මදූෂ්ගෙන් ගිලිහුණ ඔහුගේ කුඩු ජාලය මෙහෙයවීම අතට ගනිමින් සිටින්නේ ඔහුගේ සමීපතම ගෝලයෙකු වන අංගොඩ ලොක්කා බව පොලිසියේ අදහසය.   


අංගොඩ ලොක්කා ඒ කුඩු දකුණේ බෙදාහැරීමට හරක් කටා ළඟට ගත්තේය. එහෙත් සන්ෂයින් සුද්දා දැන් එම කණ්ඩායමෙන් ගිලිහී පොලිසියට ඔත්තු සපයන්නෙකු බවට පත්ව ඇතැයි සැකයක් අංගොඩ ලොක්කාට ඇතිව තිබේ. සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමට ලොක්කා හරක් කටා යොදාගත්තේ ඒ සැකය මත බවටද පොලිසිය සැක කරනු ලැබේ.   


මෙම සිදුවීමට සම්බන්ධ එක් සැකකරුවෙක් පොලිසිය විසින් එදිනම අත්අඩංගුවට ගනු ලැබිණ. එහි වෙඩික්කරු වන අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන ජෙරම් කෝලිත ද සිල්වා නොහොත් ජෙරම් ද පසුව වැලිගමදී අත්අඩංගුවට ගත්තේ පසුගිය ජුනි 03 වැනි ද‌ාය. ඔහු වසර දහයක් යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සේවය කළ අයෙකි.   


මාළිගාවත්තේ හිටපු පාතාල නායකයෙකු වු ෆාජිගේ ඥාති සහෝදරයෙක් වන රවුෆ් නමැත්තාට පසුගිය ජුනි 01 වැනි ද‌ා තවත් පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීය. මොහුට වෙඩි තබනු ලැබුවේ කංජිපානිගේ කල්ලිය විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙයටද මූලික හේතුව කුඩු ජාවාරමේ වෙ​ෙළඳපොළ බෙදාගැනීමය.   


එසේම ෆාජි ජීවතුන් අතර සිටියදී රවුෆ් කංජිපානිට පහරදීම නයි වෛරයට නිධන්ගත හේතුව වී තිබේ. රවුෆ් තවමත් ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් බමුණුආරච්චිගේ රුක්ෂාන් නොහොත් උක්කුංද, මොහොමඞ් ෆවුෆිල් මොහොමඩ් නුක්කාං නොහොත් නුක්කාං, ඉමාමුල් හසන් නොහොත් අන්වර්, මොහොමඩ් යුසුප් හමීම් ඉෂාඩ් නොහොත් කුම්බාන් යන සැකකරුවන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනිණ.   


කංජිපානිගේ පියා මහ දවාලේ මහසෙනඟක් බලා සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පසුගියදා කපා කොටා බරපතළ තුවාල සිදුකර පළාගියහ. එම ප්‍රහාරයට හේතුවද කුඩු ජාවාරම වන අතර මෙය මෙහෙයවා තිබෙන්නේ පුකුඩුකන්නාගේ උවමනාව මත මෝදර පොඩි සුරේෂ් විසිනි.   


එම කල්ලියට අයත් වසන්ත කුමාර රිමෝසන් නොහොත් විනු නමැති ද‌ාහත් හැවිරිදි තරුණයෙකුද, මහේන්ද්‍රන් ප්‍රදීපන් නොහොත් බාවාද, රථය පැදවූ රුවින්ටන් ඇන්ටන් ලෙවොරියන් මිලාන් නොහොත් ප්‍රදිප් යන අයද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   


මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කිලිනොච්චියේදී හා යාපනයේ පිල්ලෙයාර් කෝවිල පාර ප්‍රදේශයේදී පාතාල කල්ලි දෙකකට අයත් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන් සතුව තිබී කඩු තුනක්, යකඩ පොලු හා කිණිසි තුනක්ද අත්අඩංගුවට ගෙන තිබේ.   
මතුගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සන්නද්ධ කල්ලිවලට අයත් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙකුද වූ බව පොලිසිය පවසයි. 

 
 මුලතිව්, පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී කලහකාරී කල්ලියකට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව මත්කුඩු ග්‍රෑම් 17ක්ද අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක් හා කිණිස්සක්ද අත්අඩංගුවට ගෙන තිබේ.   


 හංවැල්ලේ පාතාල බලය පවත්වාගෙන යන ඉන්දාගේ කල්ලියේ යැයි සැකකරන තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගත් තිදෙනා සතුව තිබී ගංජා සහ කිණිස්සක්, කඩුවක්, මන්නා පිහියක්, නීති විරෝධී මත්පැන් ලීටර හතරකට ආසන්න ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.   


 වත්තල එ​​ඬේරමුල්ල ප්‍රදේශයේදී රටේ අධිකරණ ගණනාවකින් වරෙන්තු දහතුනක් නිකුත් කළ සැකකරුවෙක් පසුගිය 21 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ බුද්ධි අංශ වෙත ලැබුණ තොරතුරකට අනුව නිවසක් පරීක්ෂා කිරීමේදීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී රුපියල් 13,32,840ක මුදලක් සොයාගෙන ඇත. ජාතික හැඳුනුම්පත් දෙකක්, ජීව අත්අබෝම්බයක් හා ආරක්ෂක කැමරාවක හාර්ඩ් ඩිස්ක් එකක්ද සොයාගෙන ඇත. මොහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පසුගිය වසරේ නොවැම්බර් 18 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ සංවර්ධන බැංකුවක්ද ඉන්පසු පසුගිය ජුනි 02 වැනිදා වරකාපොළ නගරයේ සංවර්ධන බැංකුවක්ද කොල්ල කා රුපියල් 18,66,843ක්ද රුපියල් 28,500ක් වටිනා රන්භාණ්ඩද කොල්ලකා ඇති බව හෙළිව තිබේ. මෙලෙස ඔහු රට පුරා විවිධ මුල්‍ය ආයතන හා රන්භාණ්ඩ අලෙවි සල් කොල්ලකෑමේ යෙදුණ දරුණු ගණයේ කොල්ලකරුවෙක් බව අනාවරණය වී තිබේ.   


 රාගම හොරපේ ප්‍රදේශයේදීද ජීව අත්බෝම්බයක් සහ තහනම් පිහියක් ළඟ තබාගත් පුද්ගලයෙක් පසුගිය ජුනි 18 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔහුද දේපල කොල්ලකෑම් හා මරණ තර්ජන කිරීම් සම්බන්ධයෙන් අධිකරණ කීපයක නඩු පවතින ගම්පහ සහ වැලිසර අධිකරණවලින් වරෙන්තු නිකුත් කළ පොලිසියෙන් සොයමින් සිටි පුද්ගලයෙකු බවද අනාවරණය වී තිබේ.   


හොරණ පොලිසිය විසින් හොරණ මොරගහහේන බොරලුගොඩ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණ. එම සැකකරුවන් මැයි විසිවැනිදා බණ්ඩාරගම ප්‍රදේශයේදීත් පසුගිය 12 වැනිදා බුලත්සිංහල ප්‍රදේශයේදීත් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පිරිසකගේ මුදල් හා දේපල කොල්ල කා ඇති බව හෙලිදරව් වී තිබේ. එසේම ඔවුන් දෙදෙනා පාදුක්ක ප්‍රදේශයේදී මහමග ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ල කා ඇති බවද අනාවරණය වී තිබේ.   


 මෙලෙස රට පුරා පොලිස් ස්ථාන ගණනාවක් හා කොළඹ අපරාධ කොට්ටාසයත් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය එක සැලැස්මකට වුවත් වෙන වෙනම දියත් කළ මෙහෙයුම්වලින් පසුගිය 22 වැනිදා පැය දොළහක කාලයකදී ස්ත්‍රී දුෂණ 04කට, ගෙවල් බිඳුම් 17කට හා දේපළ සොරකම් 26කට හා කොල්ලකෑම් 09කට සම්බන්ධ සැකකරුවන් 86ක් අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.   


 මීට අමතරව වරෙන්තුකරුවන් 291ක්ද එදින අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය ජුනි 06 වැනිදා සිට 24 වැනිදා දක්වා අත්අඩංගුවට පත් සමස්ත වරෙන්තුකරුවන් සංඛ්‍යාව 6750කි. සුළු අපරාධයන් සඳහා සැකකරුවන් 110ක්ද, විවිධ මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධ වැරදි සඳහා සැකකරුවන් 388ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.   


 ජුනි 06 වැනිදා සිට ජුනි 24 වැනිදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණා වෙනුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 8461කි. අවි ආයුධ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රමාණය 65ක් වන අතර අත්අඩංගුවට ගත් ගිනිඅවි බෝර 12 ගිනිඅවි 21ක්, පිස්තෝල 03ක්, ගල්කටස් 26ක්, රිපීටර් 23ක්, වෙනත් අවි 09ක් සජීව පතොරම් 51ක්, කඩු 03ක් හා පිහි 02කි. පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 367ක්, ඩෙටනේටර් 23ක් හා අත්බෝම්බ දහයක් අත්අඩංගුවට ගෙන තිබේ. 

 
 මේ සියල්ල හමුවේ පාතාලයේ ක්‍රියාකාරිත්වය නැවතත් පසුබැස යා හැකි නමුත් ආරක්ෂක දැල ලිහිල්වනසුලු මොහොතක පවා ඔවුන් එයින් රිංගා ගොස් තමන්ගේ සුපුරුදු අපරාධ සමග බද්ධ වීමට උත්සාහ කරනු ඇත. ඒ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුව ඇති අතර පාතාල ක්‍රියාකාරකම් මුලුමනින් අතුගා දැමීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. 

 

 

මුදිතා දයානන්ද