බල්ලො ඇති කරනවා නම් හූනියම් දෙවි පිහිට නෑ


 

සිද්ධ සූනියම්, එසේත් නැතිනම් ගම්භාර දෙවියන් යනුවෙන් අප හඳුන්වන්නේ එකම දේවතාවෙක්. විටෙක දේවතාවෙක්, විටෙක යක්ෂ ආත්මයක් අරන් මනුෂ්‍යයන්ට පිහිට වන්නට එන සුවිශේෂ ඇත්තන් තමයි සූනියම් දේවතාවුන් කියන්නේ.   
අපි පසුගිය සතියේ කතා කළේ සූනියම් දෙවියන්ගේ අවතාර පිළිබඳවයි. මේ පිළිබඳව අපි තවදුරටත් කථා කළේ සූනියම් දේවතාවුන් ජීවමනාව වැඩවෙසෙන බවට විශ්වාසය කෙරෙන දෙමටගොඩ ලුනාව දේවාලය මූලික කරගෙන වැඩවසන වීදියගොඩ පියරතන හිමියන් සමගයි.   පියරතන හිමියන් අප සමග පැවසුවේ සූනියම් හෙවත් ගම්භාර දෙවියන් එකම ආත්මයක් ගෙන ජීවමානව මනුෂ්‍යයන්ට පිහිටක් වෙන බවයි.   

 

කොහොමද හාමුදුරුවනේ, සූනියම් දෙවියන්ගෙන් වැඩ ගන්නේ?   
මෙහෙමයි, අපි සූනියම් දෙවියන්ගෙන් වැඩගන්න කලින් අපි ප‍්‍රතිපත්ති ගරුක වෙන්න අවශ්‍යයි. ‘ප‍්‍රතිපත්ති ගරුක’ කියන්නේ මේ දසසිල් සමාදන් වෙලා සිල් රෙදි පෙරවගෙන ඉන්න එකට නොවෙයි. තමන්ගේ හදවගේ තෙරුවන පිළිබඳ ස්ථිරසාර ප‍්‍රතිපත්ති තමන්ම ආරක්ෂා කරගත යුතුයි. ඒවා අපිට කවුරුත් දෙන දේවල් නොවෙයි. අප විසින්ම අප ආරක්ෂා කරගත යුතු දේවල්.   
අපි තුනුරුවන් වැඳලා, පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්නවානම් දෙවියෝ අපි ළඟට වඩිනවා. කනගාටුවට කාරණය දැන් කවුරුත් තුනුරුවන් හෝ පන්සිල් ආරක්ෂා නොකර දෙවියන්ගෙන් පිහිට පතන එක.   


දෙවියෝ එතකොට කෝප වෙනවා. දෙවියන් කැමති පිං ලබා ගන්න. පින් නැතිව කෙනෙක් දෙවියන් අදහන්න එනවා කියන්නේ බස් එකේ සල්ලි නැතිව ටිකට් එකක් ඉල්ලනවා වගේ. සල්ලි තිබෙනවා නම් ටිකට් එකක් දෙනවා. අන්න ඒ වගේ තමයි අපි රැස්කළ පින් නැතිව දෙවියන් අදහන්නේ හිස් එහෙමත් නැතිනම් හිල් කරපු භාජනයකට වතුර වත්කරනවා වගේ තමයි.   


දැන් බලන්න මෙතනට එන බොහෝ දෙනා දහසක් ප‍්‍රශ්න හිතේ රඳවාගෙන එන්නේ. එහෙම එන කෙනා ඒ සියලු දේවල් අමතක කරලා බුදුන් වැඳලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාදෙන දෙවියන් ඉදිරියේ කන්නලව් කරලා සිත සැහැල්ලු කරගෙන පන්සලෙන් පිටත් වෙනවා. ඔවුන්ට දෙවියෝ නිසැකවම පිහිට වෙනවා. ඒක මම අත්දැකීමෙන් ලබලා තිබෙනවා.   

 


එහෙම තමන්ගේ ප‍්‍රාර්ථනාවන් ඉටු වෙච්ච පිරිසක් ඉන්නවාද?   
මොකද නැත්තේ. දැන් බලන්න මෙතනට එන බොහෝ දෙනා තමන්ගේ කුමන හෝ ප‍්‍රාර්ථනාවක් ඉටුකර දෙන්න කියලනේ දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම වෙන්නෙ නැතිනම් මෙතනට එන්නේ නැහැනේ. මම හොඳ උදාහරණයක් කියන්නම්. දවසක් මම මළුවේ ඇවිදින කොට තරුණ වයසේ කාන්තාවක් හැඬූ කඳුළින් ඉඳගෙන ඉන්නවා. මම ඇහුවා ඇයි අඬන්නේ කියලා. ඒ ඇත්ති මට කියනවා ‘අනේ හාමුදුරුවනේ, මම අධ්‍යාපනය ලබන්න විදේශ රටකට යන්න හැම දේම සූදානම් කරගත්තා. ඒත් දැන් මාස ගණනාවක් ගිහිල්ලත් තාම මට එරටින් වීසා එවන් නැහැ. මම ඒ නිසා බොහොම සිත්තැවුලෙන් ඉන්නේ හාමුදුරුවනේ. ඒකයි මම මේ නොපෙනෙන දෙවියන්ගෙන් පිහිටක් පතාගෙන ආවේ. මට පිහිටක් ලැබේද හාමුදුරුවනේ?   


‘අනිවාර්යයෙන් ඔබ තුමියට පිහිටක් මේ ජීවමාන වැඩවෙසෙන සූනියම් දෙවියන්ගෙන් ලබාගන්න පුළුවන්. ඔබතුමිය බුදුන්, දහම්, සඟුන් වැඳලා ආශිර්වාදය ලබාගෙන එන්න. හොඳට හිත පිරිසිදු කර ගන්න. ඊට පස්සේ ඔබතුමියගේ කාරණාව දෙවියන් ඉදිරියේ කියලා ප‍්‍රාර්ථනා කරන්න. සූනියම් දෙවියෝ ඔබට පිහිට වෙයි කියලා මං අවවාද දුන්නා.   


මහත්තයෝ විශ්වාස කරන්න දවස් 3 ක් වත් යන්න මත්තෙන් ඒ දරුවාට වීසා ලැබුණා. ඒ දරුවන්ගේ පවුලේ කට්ටිය අදටත් මේ දේවාලයට එනවා පුද පූජා පවත්වන්න.   


තවත් මම අත්දැකීමක් කියන්නම්. හැබැයි, කවුරුත් මේක විශ්වාස කරන එකක් නැහැ. මේක විස්තර කරන්නම්. මේ දේව මන්දිරය හදන්න රුපියල් කෝටි 3 ක විතර මුදලක් යනවා. මම දවසක් කල්පනා කර කර හිටියා මෙච්චර මුදලක් කොහොම සොයා ගන්නද? කියලා.   


දවසක් මහ රෑ මම පිරිසිදුවෙලා සිත එකඟ කරගෙන බුදුන් වැඳලා සූනියම් දෙවියන්ගේ මන්දිරයට ගියා. ගිහින් දෙවියන්ගේ ප‍්‍රතිමාව දිහා බලාගෙන සිතින් ප‍්‍රාර්ථනා කළා ‘මේ දේව මන්දිරය සාදාගන්න මට සූනියම් දෙවියෝ පිහිට වෙන්න’ කියලා.   


විශ්වාස කරන්න මම පහුවෙනිදා පන්සලේ වැඩ සිටින විට කිහිප දෙනෙක් ආවා මාව හම්බවෙන්න. ඇවිත් මට කිව්වා මේ දේව මන්දිරය හදන්න අපි උදව් කරන්න කැමතියි. අපිට සූනියම් දෙවියන් ගැන විශ්වාසයක් තිබෙනවා. ඒකයි අපි උදව් කරන්න අවශ්‍යයි කිව්වේ. පස්සේ මම ඒ අයට විස්තර කරලා කිව්වා මේ මේ දේවල් අඩුපාඩුයි කියලා. ඒ මහත්තුරු ඉදිරිපත් වෙලා අවශ්‍ය සියලු දේවල් සපයලා දුන්නා. දැන් මේ මාසේ 26 වනදා සහ 28 වනදා ධාතු මන්දිරය විවෘත කරන්න කටයුතු සලස්වලා තිබෙනවා. ඔන්න ඔය වගේ නොපෙනෙන බලවේග මේ දේවාලයේ ක‍්‍රියාත්මක වෙනවා.   


මෙහෙම දෙයකුත් තිබෙනවා. මේ සෑම දෙයක්ම විශ්වාසයෙන් යුතුව කරන්න ඕනෑ. අනික අපි ප‍්‍රතිපත්ති ගරුක වෙන්නත් ඕනෑ. දැන් බොහෝ දෙනෙක් සූනියම් දෙවියන්ව අදහනවා. ඒත් පිළිවෙළකට අදහනවනම් දෙවියන්ගෙ පිහිටක් ලබාගන්න පුළුවන්.   
ගෙදරක සූනියම් දෙවියන් අදහනවනම් හොඳට පිරිසිදු පරිසරයක් තිබෙන්න අවශ්‍යයි. බල්ලො ඇති කරනවනම් සූනියම් දෙවියන්ගේ බැල්ම ලැබෙන්නෙ නැහැ. සෑම බදාදා හෝ සෙනසුරාදා සූනියම් දෙවියන්ට පුද පූජා තියලා රෑ 9 පස්සේ පිං දෙනවනම් සූනියම් දෙවියන්ගේ රැකවරණය ලබාගන්න පුළුවන්. හැබැයි ප‍්‍රතිපත්ති ගරුක වෙන්න ඕනෑ. එතකොට තමයි අපේ ප‍්‍රතිපත්තිවලට දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ.   

 


සූනියම් දෙවියන් ජීවමනාව වැඩසිටිනවාද?   
අනිවාර්යයෙන් වැඩසිටිනවා. මම කලින් සඳහන් කළා වගේ ප‍්‍රතිපත්ති ගරුකව තුනුරුවන්ගේ ආශිර්වාදය ලබාගෙන දෙවියන් අදහනවානම් සූනියම් දෙවියන්ගෙන් වැඩ කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් හොඳ දේවල්වලට මූලික වෙනවනම් පිහිට වැඩියි.   
දැන් බලන්න එහෙම පිහිටක් නැතිනම් මෙච්චර සෙනඟක් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්න එන්නේ නැහැනේ. ඔවුන්ගේ කරුණු කාරණා ඉටුවන නිසා ඔවුන් බොහොම භක්තියෙන් දෙවියන් වඳින්න එනවා.   


මෙතන සූනියම් දෙවියන් විතරක් නොවෙයි සෑම දේවාලයක්ම තිබෙනවා. බැතිමතුන්ට අවශ්‍ය පරිදි එම දෙවියන්ට පුද සත්කාර කරනවා. හැබැයි මෙතන ගොඩක්ම ප‍්‍රසිද්ධ සූනියම් දෙවියන්ට තමයි. මොකද අපේ විසුද්ධානන්ද නායක හාමුදුරුවෝ ගොඩක් සූනියම් දෙවියන්ගෙන් වැඩ අරගෙන තිබෙනවා. ඒක අත්දැකීමෙන් මට කියන්න පුළුවන්. ඒ කාලයේ ගොඩක් දෙනෙක් නායක හාමුදුරුවො හම්බවෙලා අවශ්‍ය කරුණු කාරණා ඉටුකරගෙන තිබෙනවා. ඒ දවස්වල හිටපු පැරණි ඇත්තෝ තවමත් එනවා දෙවියන් නමදින්න. සමහර අයගේ පවුලේ ඥාතීන් ඇවිල්ලා තවමත් භාර හාර ඔප්පු කරනවා. එහෙම විශ්වාසයක් නැතිනම් එන්නේ නැහැනේ. නායක හාමුදුරුවෝ අපිත් එක්ක කියලා තිබෙනවා ඒ දවස්වල දෙවියන්ගෙන් වැඩ ගන්න හැටි. අපි ඉදිරියේදී ඒ ගැන එකින් එක කතා කරමු.   


සූනියම් දෙවියන් ජීවමනාව වැඩවසන අතර විශේෂිත වූ ප‍ූජාවන් සෑම බදාදා හා සෙනසුරාදා දවස්වල පැවැත්වෙනවා. බදාදා සෙනසුරාදා උදේ 10.30 ට ශබ්ද පූජා පවත්වලා විශේෂිත ප‍ූජාවන් පවත්වනවා. ඒ දවස් දෙක කෙම්මුර දවස්නේ. එදාට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනවා පූජාවට සහභාගි වෙන්න.   


සූනියම් දෙවියන්ට විළඳ, මී පැණි පූජාව විශේෂයි. දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ ඒ පූජාවටයි. සමහර බැතිමතුන් කැවිලි, පළතුරු වගේ දේවල් ගේනවා. ඒ එක එක්කෙනාගේ ඇදහිලි අනුවයි පූජාවන් පවත්වන්නේ. එහෙම නොගෙනාවා කියලා දෙවියන්ගේ පිහිට අඩුවෙන්නෙ නෑ. ඕනෑම කෙනෙකුට සූනියම් දෙවියෝ පිහිට වෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ ප‍්‍රතිපත්ති ගරුක වෙන්න ඕනෑ.   


දෙමටගොඩ ලුනාව දේවාලයේ වැඩවිසූ ගල්කිස්සේ විසුද්ධානන්ද හාමුදුරුවෝ දෙවියන්ගෙන් වැඩ අරගෙන මනුෂ්‍යයන්ට පිහිට වූ ආකාරය පිළිබඳ ඉදිරියටත් කථා කරමු.   


සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර