බර කරත්තයක නැගී වනපෙත මැදින් සෝමාවතියට ගිය ගමනක්



සෝමාවතී පුදබිම ආශ්‍රිත පරිසරය මීට හැට වසරකට පමණ පෙර පැවති තත්ත්වයට අහසට පොළොව මෙන් වෙනස් බව මුලින්ම සඳහන් කළ යුතුය. අදින් දෙවසරකට පමණ පෙර මා ඇතුළු පිරිසක් එහි ගියේ පොළොන්නරු පුරාණ රාජධානය ඇතුළු නටබුන් ස්ථාන දැකබලා ගෙන වැඳිය පිදිය යුතු තැන් වැඳ පුදාගැනීමටත් සමගය.  


නමුත් 1954 වසරේ මුල (මාර්තු මාසයේදී) අප පිරිසක් ගිය ගමනේදී දුටු සෝමාවතී පූජා භූමියට වඩා විශාල වෙනසක් එහි දකින්නට ලැබුණි.  


අද එහි සුදට සුදේ බැබළෙන දාගැබක්ද සංඝයා වාසයක් ඇතුළු ගොඩනැගිලි කීපයක්ද අලුතින් ඉදිවෙමින් පවතින විශ්‍රාම ශාලාද වෙයි. අවට ප්‍රදේශය බැලුවත් පූජා භූමිය පිහිටි පොළොව මත සමතලා භූමියක්ව පවතී. බොහෝ ඈතට යනතෙක් කැලෑවක් දකින්නට නැත. ජනශූන්‍ය ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටියද පුද බිමකට ගැළපෙන සාමාන්‍ය ප්‍රමාණයේ වෙළෙඳ පොළක්ද වැසිකිළි - කැසිකිළි පහ ජල පහසුකම්වලින්ද යුක්තය.  
විහාරාධිපතීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ කීප නමක්ද වැඩ වාසය කරති. නිතර වන්දනාකරුවන්ගේ පැමිණීමද සිදුවේ. අප යන විට විශාල පිරිසක් වන්දනාව සඳහා පැමිණ සිටියහ.  


දේශපාලන ආරවුලක් නිසා ‘‘ගිරි අභය’’ රජතුමා ගිරිනුවර අත්හැර කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරිය වූ සෝමාවතී නම් ස්වකීය බිසව සමඟ සේරු නුවර තම මිත්‍රයා වූ රජු වෙත ගිය විට තමාට ලැබුණ මහවැලි ගඟ බඩ භූමියේ රාජධානිය ගොඩ නගා සෝමාවතී චෛත්‍යය පිහිටවූ බව ​අපේ ඓතිහාසික මූලාශ්‍රවල ලියැවී ඇත.  


මහවැලි ගංගාව දෙගොඩ කළා පිටාර ගලන විට යටවන ප්‍රදේශයක චෛත්‍යයක් පිහිටුවීමේදී පරිසර පිළිබඳ සැලකිල්ලක් නොදැක් වූයේ ඇයිද යන්න මෙහිදී කල්පනාවට භාජනය විය යුත්තකි. නිවැරැදිව රටක් පාලනය කරන රජෙකු විසින් එවැන්නක් නොසලකා හරින්නේ නැත. එසේ නම් එවැනි පරිසරයක් සහිත ගඟක් අසබඩම බුදුන්වහන්සේගේ දක්‍ෂිණ දළද‌ාව තැන්පත් කර දාගැබක් තනවා ජනතාවට වන්දනා මාන කිරීමට සූදානම් කරන ලද්දේ ඇයි? ගඟ පිටාර ගලන හැම වාරයකදීම වාගේ ඒ ප්‍රදේශය දත් ජලයෙන් යට වී වන්දනාකරුවෝ අපහසුතාවට පත්වෙති. එදත් මෙසේ පැවතියේ නම් ඒ බවක් කල්පනා නොකළේ ඇයි.?  


මහවැලි නදිය අවසාන ප්‍රදේශයේදී ගලා යන විට බෙදී ගිය අතු ගංගාවලින් යුක්තය. මෙහිදී ගඟ ගලන ප්‍රදේශය සමතලා ප්‍රදේශයකි. වර්ෂා කාලයේදී අධික ජලධාරාවක් ඒ මගින් ගලන විට ගඟ කොහේද යන්න ​නොපෙනී ගොස් ජලය අඩු වූ විට පමණක් අතු ගංඟා මතුවන බව කල්පනා කළ හැක.   


ආරක්‍ෂක ස්ථානයක දාගැබ පිහිටුවිය යුතු නම් ගං වතුරෙන් යට වන ප්‍රදේශයෙන් බැහැර පිහිටුවිය යුතුය.   


කැලණි විහාරය ඇතුළු දාගැබ පිහිටා ඇත්තේද ගඟ අසබඩ වූවත් ජල ගැල්මෙන් යට නොවන බව සිහිපත් කළ හැක.  


මේ අනුව අපට කල්පනා කළ හැක්කේ ජලගැලීම් ප්‍රදේශයේ භූමි නිර්මාණය හා වර්ෂාපතනය ආදිය ගැන සලකා බැලීමේදී ද‌ාගැබ ඉදිකරන ලද වකවානුව වන කාලයේදී ගඟ මෙතැනින් ගලා නොගොස් ඊට බොහෝ එපිටින් ගලා ගිය බවය.  


එසේම ඉහත කී සාධක අනුව පසු කලක ගඟේ ගමන් මග වෙනස්ව දාගැබ අසලින් ගලන්නට පටන් ගත් බව සිතිය හැකිය.   


ඉන්දියාවේ සමහර ගංගා අවුරුදු දහස් ගණනකට පසුව සිඳීගොස් ඇති බව සිහිකළ හැක. අවුරුදු දහසක් හමාරක් තුළදී ගඟක් ගලන ගමන් මාර්ගය වෙනස් විය හැකිය. එය කවුරුන් විසින්වත් කළ එකක් නොව ස්වභාව ධර්මයා විසින්ම සිදුවීමට ඉඩ ඇත්තේය.  


දැන් එදත් අදත් වූ වෙනස්කම් ගැන කීම නවතා අපේ මාතෘකාවෙන් කියැවෙන ‘‘අනතුරුදායක එහෙත් ඒ බව නොදැන ගිය ගමනක්’’ ගැන තවත් ප්‍රමාද නොකර ඇසීමට සූදානම් වෙමු.  


මේ ගමනට සූදානම් වූ පිරිස ජනපද පාසලක ඉගැන්වීමේ කටයුතු වල යෙදුණ ගුරුවරුන් පිරිසකි. පිරිමි තිදෙනෙක් හා වයස් ගත එහෙත් අවිවාහක ගුරුතුමියක් ඇතුළු ගැහැනු හා පිරිමි ළමුන් පිරිසක් අප විසිතුන් දෙනෙක් ඇතුළත් වූ බව මතකය. කණ්ඩායමේ මූලිකයා හෙවත් නඩේ ගුරා වූයේ බොහෝ අත්දැකීම් ඇති, තරමක වයසක ගුරු මහතෙකි. ඔහු අදත් ජීවත්ව සිටී නම් මේ වන විට එම අවුරුදු සීයකුත් තවත් එකක් වූ සීයා කෙනෙකු විය යුතුය.  


මාද එවකට මේ පිරිස අයත් විද්‍යාලයේම සේවය කළේ නමුත් පදිංචිව සිටියේ නගරයට ආසන්න ගොඩනැගිල්ලක කාමරයකය. එබැවින් මා කණ්ඩායමට එකතු විය යුත්තේ එකඟ වී සිටි පරිදි නගරයේදීය. එය ජනපද ගණනක් මධ්‍යයේ ඒ ජනපද නිසාම පැන නැගෙමින් පැවති එකල කුඩා නගරයකි.  


අද එය අතුරු වීදි ගණනකට බෙදී ගිය විශාල නගරයක් බව පසුව ගිය ගමනේදී දැකිය හැකි විය. 

 
මා එතැනට එන විට නගරය කෙළවර මහ ඇළ අසල වූ මංසන්ධියේ පිරිස මා එන තෙක් රැස්ව සිටියහ. ජනපද ව්‍යාපාරය ආරම්භ වී වැඩි කලක් ගෙවී නොගිය වකවානුවකි.  


අපේ ගමනට බරකරත්තයක් සූදානම් කර තිබුණි. අපේ වැඩි හිටියාගෙන් දැන ගත් පරිදි ගමනාන්තයට සැතපුම් තිහකට අධික දුරක් ඉතා දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතුව තිබිණි.  


සංචාරයේදී ආහාර වේල් ගණන ගැන එතරම් සැලකිල්ලක් දක්වා නැති බව කරත්තයේ පටවා ඇති බඩු මුට්ටුවලින් සිතාගත හැකි විය. එහි වූයේ සහල් හා කරවල ස්වල්පයක්ද වළං කීපයක්ද පමණි.  


පිරිස අතර සිටි ගැහැනු ළමුන් කීප දෙනෙකු කරත්තය තුළ ගුළි වී හරි බරි ගැසී සිටි අතර අන් අය යා හැකිව තිබුණේ දෙපා වාරුවෙනි. අපේ වැඩිහිටි ගුරුතුමා කී සැතපුම් ගණන මැන බැලීමට සැතපුම් කණු ගණන තීරණය කිරීම කාටවත් නොහැකි වූයේ අලුත් මාර්ග පද්ධතියේ කණු සිටුවා නැති බැවිනි. තිබුණත් ඒවා ගණනය කරන්නේ කවුද? ඊටත් මේ මහ රෑ?  


ගමන ආරම්භ කරන විට රාත්‍රී දහයට පමණ වී තිබුණි. සැතපුම් ගණනක් ගිය තැන මුණ ගැසුණ දිය ඇළි මින්නේරි හා පරාක්‍රම සමුද්‍ර ජනපද වෙන් කරයි. ඒ අනුව අප මෙතෙක් පසු කර ඇත්තේ මින්නේරිය ජනපද සමූහයට අයත් ප්‍රදේශයයි. කරත්තය භාර වැඩිහිටියා ලන්තෑරුමක් සපයාගෙන තිබුණද මග පෙන්වූයේ සඳ එළියයි.  


ගමන් මාර්ගය ගැන වැඩිහිටි ගුරුතුමාට තරමක වැටහීමක් තිබුණත් අන් කවෙරෙකුටවත් එවැනි දැනීමක් නොතිබුණේ සෝමාවතී පුද බිම බලාකියාගැනීමට යන මුල්ම ගමන මෙය බැවිනි. මා පසුව ගිය ගමනේදී මේ මාර්ගය සංවර්ධනයකට පැමිණ තිබුණත් අපේ ගමන් කාලයේදී පස් දමා තද වෙන්ට හැර තිබුණ නිසා දූවිල්ලෙන් පිරුණ එකක් විය. එබැවින් බරකරත්තය පැද්දෙමින් විසිවෙමින් උඩ පනිමින් යන නිසා කෙල්ලන්ට තරමක දුෂ්කර ගමනක් වූ බව නොකියා බැරිය.  


දැන් අප ගමන් කරන්නේ ජනපද මැදින් වූ එවැනි මාර්ගයකය. එහෙත් යන්නේ කවර ප්‍රදේශයක් හරහාද? පසු කරන්නේ කුමන ගමක් ද යන්න කාටවත් නිචිචියක් නිනව්වක් නොවීය.  

 


පිටත්වීමට පෙර රාත්‍රී ආහාරය ගෙන තිබුණ බැවින් බඩගින්නක් දැනුණේ නැත. ජනපද ප්‍රදේශ අවසානයත් සමඟ ලඳු කැලෑවකුත් ඊළඟට මහ වනාන්තරයකුත් හමුවිය. එය මැදින් ගමන් කරන විට මග සලකුණු යම්තම් පෙනෙද්දී රාත්‍රී මධ්‍යම යාමය ගෙවී ගොස් තිබුණි. අලුයම් කාලය වන විට හමුවූයේ මහවැලි ගංගාවේ ශාඛාවක් යයි හඳුන්වනු ලැබූ තරමක පළලින් යුතු ගඟකි.  


එය තරණය කළ යුතු බව පැහැදිලිය. ඒ වන විට උදේ හත පමණ විය. හිරු එළිය හතර අත පැතිරිණ. ඉතා කුඩා, පැල්පත් වැනි ගෙවල් කීපයක් අප සිටි ගං ඉවුර පැත්තේ ගඟට ආසන්නව පෙනෙන්නට තිබුණොත් එහි සිටි එකා දෙන්නා අවදිව අප දෙස විමසිල්ලෙන් බලා සිටිනු පෙනේ.  


අප කථා කරන භාෂාව ඔවුන්ටවත් ඔවුන් කතා කරන භාෂාව අපටවත් තේ​රුණේ නැත. එහෙත් ඔවුන්ගේ භාෂාව ද්‍රවිඩ බව පැහැදිලිය.   


මා මුලින් කී එනම් මීට වර්ෂ දෙකකට පමණ පෙර ගිය ගමනේදී මෙතැන හඳුනාගැනීමට උත්සාහ ගත්තත් සුළු හෝ සලකුණක් සොයාගැනීමට නොහැකි විය.  


සුංගාවිල ගැන අසා තිබුණත් ගම දැක්කේ එදාය. ඔවුන් මුස්ලිම් වැසියන් බව පැහැදිලිය. අපේ නායකයාගේ දැනුමේ හැටියට මේ අය 1915 අවුරුද්දේ සිංහල - මුස්ලිම් අරගලයේදී දිවි බේරා ගැනීමට පලා ආ පිරිස් වලින් කොටසකි. ගඟෙන් මුහුණ සෝදාගත් අපි ගෙන ගොස් තිබුණ රෝස් පාන් අනුපාතයකින් තොරවම ගිල දමා එතෙරවීමේ කාරිය ගැන සිතමින් සිටියෙමු. ගොනුන් ලිහා එගොඩට පන්නා දමා කවුරුත් සාමූහිකව කරත්තය එගොඩට තල්ලු කළෙමු. මෙය එතරම් අපහසු නොවුයේ ගඟ නොගැඹුරු වූ නිසාය.  


දැන් ගමන් කළ යුත්තේ ඉතාමත්ම දුෂ්කර මාවතක් ඔස්සේය. එය මහවැලි ගඟට සමාන්තරව තරමක් ඈතින් පිහිටි සියුම් වැල්ලෙන් යුතු එකකි. දහවල් වන විට හිරු එළිය දරා ගත නොහැකි තද රශ්මියකින් අප පෙළණ ලදි. අඩියක් අඩියක් පාසා අඟල් දෙක තුනක් පතුල් එරී යයි. සුංගාවිල සිට සෝමාවතී පුදබිමට සැතපුම් හතක් පමණ වන බව අපේ වැඩිහිටියා කීවේ ඔහුට ලැබී තිබුණ ආරංචි අනුවය. කෙසේ හෝ මේ දුර ප්‍රමාණය ගෙවා ගමනාන්තයට ළං වන විට පැය ගණනාවක් ගෙවී තිබීම ගමනේ දුෂ්කර බව වටහා ගැනීමට ප්‍රමාණවත්ය.  


පිපාසය බලවත් වූවත් පිළියමක් නොවූයෙන් ඒ වන විට මාර්ගය ගඟ අයිනෙන්නම වාගේ පිහිටා තිබුණත් ගඟේ වතුර බීමට සුදුසුකමක්වත් පහසු කමක්වත් තිබුණේ නැත. දුංකොළ ​ගොවිපළ කීපයක්ද, හරක් පට්ටි පවත්වාගෙන යන ගව පල්ලන්ගේ වාඩි කීපයක්ද (ඔවුහු මුස්ලිම් වැසියෝය) තිබුණත් ඔවුන් ළඟ තිබුණේ ගඟේ වතුර පමණය. කිරි පට්ටි හිමියන් අපට ඕනෑ තරම් බීමට එළකිරි දීමට කැමැත්තෙන් සිටියත් ගෙමැස්සන්ගෙන් පිරි ඒවා පානයට අපි කැමති නොවූයෙමු.  


එහි වැසියන්ට ඒවා පිළිකුලක් නොවීය. ගොවිපළ හිමියන් ගඟෙන් ජලය ලබාගන්නේ යාපනය වැසියන් මෙන් ආඩියා ළිං ක්‍රමයටය. එවක වර්ෂා කාලය නොවූ බැවින් පොළොව මට්ටමේ සිට ගං වතුර දක්වා වූ අඩි හතළිහක් පමණ වූ ගැඹුරේ සිට හරකුන් දෙදෙනෙකු බැඳි උපක්‍රමයෙන් ගඟේ ජලය මතුපිටට ගෙන ගොවිපොළට ජලය සපයති. සුංගාවිල සිට එතෙක් අපට මිනිස් පුළුටක් දකින්නට ලැබුණේ එතැනදීය.  


ඔවුහුද එහි තාවකාලික වැසියෝය සියල්ලෝම පැවති පිපාසය දරමින් අන්තිමේ අක්කර සිය ගණනක් විශාල විල්ලුවක් හරහා අඩි පාරක් වැනි මගක් ඔස්සේ ඉදිරියට යන බර කරත්තය පිටුපසින් ගමන් කළෙමු.

  
ගමනේ දුෂ්කරතාව මිස අනතුරුදායක බවක් අප කිසිවෙකුට මේ වන​ තෙක් දැනී තිබුණේ නැත. අපට නොකීවාට තරම් ගුණ නම් දැන සිටින්නට ඇතැයි මට පසුව දැනෙන්නට විය.   


හදිසියේ පුපුරා ගිය හෙණ ගෙඩියකින් මෙන් බාල මහලු කාගේත් සිත් මෙන්ම ගතද ගැහෙන්නට වූයේ තැනින් තැන දකින්ට ලැබුණ දර්ශනයෙනි. ඒ අලි වසුරු හා අලින්ගේ වංගෙඩි කකුල්වල මුද්‍රාවන් නිසාය. වර්ෂා කාලය ඉක්ම ගොස් තිබුණ බැවින් නියං කාලය ළඟා වී විල්ලුව සිඳී ගොස් තිබුණෙත් එදාම වූ අලි අඩි දකින්ට නොලැබුණත් මඩ බිමේ එරීගිය අලින්ගේ පාද ලකුණු පොළොව මත ගල් වී තිබුණි.  


බියට පත් කරත්තකරු ගොනුන් නවතා අන්තරායක් පිළිබඳ සලකුණු සහිත මුහුණින් පිරිස දෙස බලා සිටියා මිස කථා කිරීමට තරම් ශක්තියකින් සිටියේ නැත. අපේ වැඩිහිටියා අසා තිබුණ හැටියට සෝමාවතී පුදබිම අසලටම පැමිණ සිටියෙමු. දැන් යමක් සිහිපත් කිරීමට කැමති වෙමි. අපේ විදුහලේ ගුරුන්ගෙන් හා ළමුන්ගෙන් වැඩි පිරිසක් මේ ගමනට සහභාගි වීමට අකැමැති වූයේ මෙවැනි අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවේයයි ජනපද වැසි වැඩිහිටියන් පෙන්වා දී තිබුණ නිසාදෝයි යන්න මගේ සිත කියන්නට විය. තවත් දෙයක් බැරිවෙලාවත් අලින් මුණ ගැසී අප පසු පසු එළවන අවස්ථාවක් වී නම් මොන දෙයියන්ට කියන්ඩද? නගින්නට ගසක් තියා පැළයක්වත් නැති ඒ පාළු පිට්ටනියේ අලින්ගෙන් බැට කන්නට පමණක් නොව මරණය අත්කර ගන්නට සිදුවීම වැළැක්විය නොහැක.  


අපේ වැඩිහිටි ගුරුතුමා පුදබිමට එතරම් ඈතත් නොවූ ළඟත් නොවූ දුරකින් පිහිටි මීගස්වැව නම් දුෂ්කර ගම්මානයේ ටික කලක් සේවය කර තිබූණ නිසා මෙවැනි අන්තරායක් ගැන ඔහු ගණන් ගත් බවක් නොපෙන්වමින් මඳ සිනා මුහුණෙන්ට සිටියේය.​  


කෙසේ හෝ සිතට යම් තරමක් සහනයක් ලබමින් ළඟම ඇති පුද බිම දකිමින් ගමන ඉක්මන් කළෙමු. එහෙත් සිතේ ඇති වූ බිය නම් තවමත් එසේමය. අප ගමනාන්ත යට ළංවන විට සවස තුන බව තෝරා යන්ත්‍ර ඇත්තෝ කීහ.  


ගමනේ ඇති අන්තරායදායක බව තෝරා බේරා ගෙන තිබුණ පිරිස එහි වරද කාටවත් පැවරීමට කල්පනා කළේ නැත.  


දැන් අප ඉදිරියේ චෛත්‍යයේ නටබුන් පෙනේ. එහි එක් පැත්තක් අවට භූමියක් සමඟ එළිපෙහෙළි කෙරී ඇති බවට ලකුණු පෙනුණත් එහි අනික් පැත්ත මහ වනය හා බද්ධව පැවතිණි. එළිපෙහෙළි වූ කොටසේ චෛත්‍යයේ කොටසක් ගැඹුරට හාරා ඇති බවක් පෙනුණ විට ඒ බොහෝ කලකට පෙර නිදන් හාරන්නන්ගේ ක්‍රියාවක් බව තේරුම් ගැනිමට අමාරු නොවීය.  


චෛත්‍යයට යාර කීපයක් ඔබ්බෙන් කුඩා පැල්පතකි. එහි වහළ පමණක් පොල් අතු වලින් ආවරණය වී තිබුණත් වටේ කිසිවකින්වත් වැසී තිබුණේ නැත.  


අඩි විස්සක් පහළොවක් තරමේ දිග පළලින් යුතු එය එදා රාත්‍රිය ගත කිරීමට තිබුණ මාලිගාවය. අපේ ආම්පන්න හැළි-වළන් හා වේලකට දෙවේලකට සෑහෙන අමු ආහාර ද්‍රව්‍ය ස්වල්පය කරත්තයෙන් බාගෙන අවට නිරීක්‍ෂණය කළෙමු.   


වැහි කාලය නොවූවත් ගඟ දෙසට යොමු වූ ඉතා පටු දිය පාරවල් තවමත් සිඳී ගොස් තිබුණේ නැත. විශ්වාස කළ නොහැකි තරම් මහතට පයේ බත් කෙණ්ඩ තරම් වූ අල සහිත කොහිල ගාල් අප කාගේත් පුදුමයට හේතු විය. ඒ ජල මාර්ග ගලා ගියේ මගකැලෑව මැදිනි. පැල් පතේ සිට දිගටම මහ මූකළානය.  


උදේ ගත් රෝස් පාන් කෑල්ලෙන් පසු ඒ වන තෙක් ආහාරයක් නොවූ නිසා බඩගින්න තදින් දැනේ. රාත්‍රී ආහාරය පිළියෙල කර ගැනීමට කාලය පැමිණ ඇති බැවින් වැඩිහිටි ගුරුතුමිය ඇතුළු කීප දෙනෙක් කෝකියන් ලෙස ක්‍රියාකරනු පෙනේ. එහෙත් සහල් හැරුණ විට තිබුණේ කරවල ස්වල්පයක් පමණි. ඒ පොල් ගෙඩි කීපයක් - ජනපදවල වටිනා වස්තු විශේෂය - හා දුරු මිරිස්වලට අමතරවය. හිරමනය අමතක කර තිබුණේ නැත.  
අසල කැලෑවේ ගස්වල පොකුරු පිටින් හටගෙන තිබුණ තිබ්බටු සෑහෙන ප්‍රමාණයක් කඩා පොලුත් සමඟ මිශ්‍ර කර ගත් මැල්ලුමක් කරවල බැඳුමක්ද සකස් කර ගත් පසු උයාගත් බත රාත්‍රී ආහාරයට ගතිමු. බතට මාළුව බඩගින්න යයි කී අත්තන්ගේ කටේ මසුරන් දැමිය යුත්තේ මේ වෙලාවටය.  


දැන් සිතේ ඇති බිය සමඟ නිදාගැනීම වූවත් රාත්‍රිය ගත කිරීමට තරම් සූදානමක් ගැන කල්පනා කර නොතිබුණ බැවින් පැදුරක් කොට්ටයක් හෝ ඇතිරිල්ලක් කිසිවකු විසින්වත් ගෙනගොස් තිබුණේ නැත. වියන ලද එහෙත් අවුල්ව ගිය දූවිල්ලෙන් යුතු පොල් අතු කීපයක් බිම තැනින් තැන තිබුණේ මීට කලින් ආ අප වැනි අනාථයින් පිරිසක් විය යුතුය. ඒවා අපේ යහනාවක් කරගත හැකි විය.  

 


තදබල මහන්සියෙන් යුතු කාට කාටත් අවශ්‍ය වී තිබුණේ එළි වන තෙක් හොඳ නින්දක් ලබාගැනීමටය. එහෙත් මොන නින්දක්ද? අලින් කෙරෙන් එල්ලවිය හැකි බිය එක් හේතුවකි. අපේ පැමිණීමට විරුද්ධව සටන් වදින්නට සූදානම්ව යුද පෙරමුණට පැමිණ සිටි මදුරු විමානය රෑන් පිටින් අාක්‍රමණය කරමින් කලකින් ලත් කටගැස්මක් බලාපොරොත්තුව සිටියෝය.  


පොරවා ගැනීමට ඇතිරිල්ලක් අවශ්‍ය බව දැනුණත් දැන් එ්වා කොහෙන් හොයන්නටද? ගිනිගොඩක් මොළවා ගත්තා නම් අලින්ටත් මදුරුවන්ටත් ප්‍රතිචාර දැක්විය හැකි වුවත් ඒ වන විට රාත්‍රිය වූ බැවින් ඒ මහ වනාන්තරයේ දර හොයන්නේ කොහොමද?  


එළිවන තෙක් මදුරුවන් තළමින් එහාටත් මෙහාටත් පෙරළෙමින් තවත් විටක මම මටම ගුළි වී පොල් අතු ඉරුව මත සිටියත් ඒ උපක්‍රමයෙන් මදුරුවන් මෝඩයන් කිරීමට නොහැකිව හිරු උදාවන තෙක් නින්දක් නම් නොවිය. නො අඟවා වුවද කවුරුත් සිටියේ නොනිද්දේ ම විය හැකිය. යමෙකුට නින්ද ගියා නම් අලින් තම පසු පසින් එළවන සිහින දකිමින්ය.   


හිරු එළිය වැටෙන විට ‘‘දැන් ඉතින් ආපසු යමු’’ මැසිවිලි නැඟුණත් නඩේ ගුරා තවමත් අලි අවදානම ඇති බව පෙන්වා දුන් දුන් නිසා කරත්තයට ගොනුන් බඳින විට උදේ අටට පමණ වී තිබුණි. මදුරු සේනාවෙන් හැර වෙනත් අන්තරායක් නොවී පිරිස ආ මගින්ම ආපසු ඒමට පිටත් වූහ. දහවල් වේල නැතිව දුෂ්කර ක්‍රියාව අවසන් කරමින් පැමිණ පිටත් වූ තැනට එන විට රාත්‍රී දහය පසු වී තිබුණි. ඊළඟට සඳුදා රාජකාරියට වාර්තා කළ යුතුය.  

 


හේරත් ඇම් ජයසේකර  
මැදගම පනිරෙන්දාව.