පොළේ බදුකරු වෙන්න මිනිස් ජීවිතයක් බිලිගත් හැටි


දඩබ්ම

 

වෙඩි තැබීම සිදු වූ ආකාරය සීසීටීවී දර්ශන

 

 

‘සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සිහින විලක බඹර රැඟුම් පානා’ ජීවිතයක අවසානය තීරණය කරන්නට තවත් එකම එක මොණර කොළ මිටියකට හැකිදැයි විමසීම විහිළුවකි. ඒවගේම ජීවිතයක වටිනාකම මෙතැකැයි කියා තීරණය කරන්නට කාසිවලට ඉඩ හැර අතපිහදා ගැනීමත් අනුවණකමකැයි යමෙකුට සිතෙන්නට පුළුවන. කෙසේ නමුත් සියල්ල සිදු වී හමාරය. ජීවිතයට වඩා මුදල්වල වටිනාකම බලවත් වූ බව ඔප්පු කිරීමට තරම් මෙය ප්‍රමාණවත් සාධකයකැයි සිතිය හැකිය.   


වේලාව පෙරවරු 10 පසුවී මිනිත්තු 25ට ආසන්නය. ලලින්ද සුපුරුදු පරිදි තමාට අයත් වාහන සේදුම් ආයතනයේ වැඩ රාජකාරීවල නිරත වෙමින් සිටියේය. ඉණිමඟ මතට නැග ටිපර් රථයක් පිරිසුදු කරමින් සිටි ලලින්ද එක්වරම ඔහු නැග සිටි ඉණිමඟත් සමගම බිමට ඇදගෙන වැටුණේ ඔහුගේ දකුණු බාහුවට එල්ල වූ හදිසි වෙඩි පහරක් හේතුවෙනි.   


හෙල්මට් එකක් පැලැඳ ගිනිඅවියක් අමෝරාගෙන සිටින හැඩිදැඩි පුද්ගලයකු තමා අබියස සිටින බව දුටු ලලින්ද කළේ තමා සෝදමින් සිටි ටිපර් රථය යටට රිංගා ගැනීමය. ලලින්දට එයින් ද බේරීමක් නොවීය. ගිනිඅවිය අතැති පුද්ගලයා සමඟ පැමිණි තවකකු ඔහු අතැතිව තිබූ කඩුවෙන් ලලින්දට පහරක් එල්ල කළේය. ටිපර් රථයේ බඳ ආසන්නයෙන් රථය යටට රිංගූ ලලින්ද රථයේ පසුපස රෝද අතරින් එළියට ගොස් මරුවාගෙන් බේරීමට මහත් වෙහෙසක් දැරුවේය. එහෙත් ඔහුගේ උත්සාහය ව්‍යවර්ථ කරමින් යළිත් වෙඩි පහරවල් කිහිපයක් එල්ල වූයේ ඔහුගේ ජීවිතයේ අවසානය තීරණය කරමිනි. ගලා යන ලේ පහර මැදින් පණනල සොයන්නට උත්සාහ කළ ලලින්දගේ ජීවිතය ආරක්ෂා කරන්නට සේවා ස්ථානයේ සිටි අය කිසිවකුත් මේ මොහොත වනවිට නොවීය.   


යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනා කිසිවක් නොවූවාක් මෙන් එතැනින් ඉගිල යන්නට වූයේ ලලින්දගේ ජීවිතය අවසන් කරන්නට ලද නියෝගය මිනිත්තු කිහිපයක් තුළ ඉටු කරමිනි.   


අවට සිටි අය ලලින්දව තංගල්ල මූලික රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් ඔහුගේ අවසන් හුස්ම වා තලයට මුසු වී හමාර වී තිබිණි. 

 
තංගල්ල පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ඇරඹිණි. තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු ස්ථානීය පරීක්ෂණ සිදුකළහ.   


වාහන සේදුම් ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ ලලින්දගේ ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපය ගෙවී ගිය ආකාරය පැහැදිලිව සටහන් වී තිබිණි. ලබාගත් සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කිරීමට භාර කෙරුණේ තංගල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ ඒකකයේ සහ තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන්ටය. සාර්ථකව අවසන් කර ඇති අනන්ත අප්‍රමාණ පරීක්ෂණ අත්දැකීම් හේතුවෙන් අපරාධකරුවන් කවුරුන්දැයි කියා හඳුනාගන්නට නිලධාරීන්ට අපහසු වූයේ නැත. විවිධ ප්‍රබල අපරාධ රැසකට සම්බන්ධ, දිවයිනේ පොලිස් ස්ථාන රැසකින් තවමත් සොයන ප්‍රධාන පෙළෙහි අපරාධකරුවකුත් මේ සැකකරුවන් දෙදෙනා අතර සිටින බව නිලධාරීහු හඳුනාගත්හ.   
අපරාධය වී සතියක කාලයක් ගතවීමට මත්තෙන් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වූහ. ඝාතනයේ සුලමුල එතැන් පටන් පැදුරක් මෙන් දිග හැරිණි.   


ඝාතනයේ අතීත කතාවට හේතු වී ඇත්තේ රන්න නගරයේ පොළ බදු ගැනීම සම්බන්ධ ගැටලුවකි. රන්න මහජන පොළෙහි 2018 වසර අවසන් වනතෙක් බදුකරු වූයේ බබානිස් ය. 2019 වසරේදී ද බබානිස්ට රන්න මහජන පොළෙහි බදුකරු වීමට අවශ්‍ය විය. කනෙන් කොනින් ආරංචි වූයේ තවකකුද පොළ බදු ගැනීමට තමා සමඟ තරග කරන බවයි. ඒ වෙන කවුරුවත් නොවෙයි, තමා හොඳ‌ාකාරවම හඳුනන ලලින්ද ය. දිනෙක ලලින්ද හමුවූ විටෙක ලලින්දම තමා සමඟ මේ බව පැවසූ බව ඔහුට මතකය. එවිට පොළ බදු ගන්නට තමාට තම හොඳම යහළුවකු වන සනා උදව් කරන බව ලලින්දට පැවැසූ විට ඔහු සනාටත් තමාටත් දෝෂාරෝපණය කළ බව ද මතකය.   


කොට්ටාවට ආසන්න ප්‍රදේශයක පදිංචි සනා, තංගල්ලට එන්නේ බබානිස්ගේ වාහනවලිනි. දින ගණනාවක් නැවතී විනෝදයෙන් කාලය ගත කිරීමටත් නැවත තම නිවෙස බලා යද්දී සනාට අවශ්‍ය හාල්, පොල්, එළවළු, සහ පලතුරු ආදිය ලබා දී නැවත ඔහු ඇරලවන්නටත් බබානිස් කාලයක සිට පුරුදුව සිටියේය.   


සනා එලෙස තංගල්ලට පැමිණි දිනෙක බබානිස් පැවසූයේ මෙතෙක් තමා පොළ බදුකරු ලෙස සිටි රන්න මහජන පොළ ලලින්ද යන පුද්ගලයා බදු ගැනීමට උත්සාහ ගන්නා බවයි. මෙය සිදුවුවහොත් තමාගේ ආදායම් මාර්ගය අවහිර වීමෙන් විශාල ගැටලු රැසක් පැන නැගෙන බව ද එයට ඉඩ නොදී හැකි ඉක්මනින් මේ කරදරය අවසන් කළ යුතු බව ද බබානිස් සනාට පැවසුවේය.   


වසර ගණනාවක සිට පැවැති දැඩි හිතවත්කම හේතුවෙන් බබානිස්ගේ සියලුම ඕනෑ එපාකම්වලට සෙවණැල්ලක් මෙන් සිටි සනා, බබානිස්ගේ මේ ප්‍රශ්නයටත් විසඳුමක් ලබා දීමට නොපැකිලව ඉදිරිපත් වූයේය. පෙර දිනයකදී ලලින්ද තමා සමඟ සනාට ද  දෝෂාරෝපණය කළ බව ද බබානිස් සනාට පැවසුවේය. දින කිහිපයක් විනෝදයෙන් තංගල්ලේ කාලය ගත කළ සනා තම මිතුරාට උපකාර කරන්නට සිතේ තබාගෙන යළි නිවෙස බලා පිටත් වූයේය.   

 

 


තවත් දිනක් උදා විය. එදින සැප්තැම්බර් 19 වැනිදාය. බබානිස් තංගල්ලේ සිට කොළඹ බලා පිටත් වූයේ බන්ධනාගාර රෝහලෙහි ප්‍රතිකාර ලබන තම හිතවතකුගේ සුවදුක් විමසීමටය. එදින කොළඹ අහස යට රැය පහන් කළ බබානිස් පසුදින උදෑසන සනාත් සමඟ නැවත තංගල්ල බලා පිටත්විය.   


සැප්තැම්බර් 21 වැනිදා රන්න නගරයේ පැවැති සංගීත සංදර්ශනයේ පොල්තෙල් පහන දැල්වීමට සනාටත් බබානිස්ටත් ආරාධනා ලැබිණි. එලෙසම ලලින්දට ද ආරාධනා ලැබී තිබිණි. රෑ බෝවීගෙන එද්දී අහසෙහි තිබූ පැහැදිලි බව දුරස් වී වර්ෂාව ඇද හැලෙන්නට පටන් ගත් හෙයින් සංගීත සංදර්ශනය ආරම්භ කිරීම හෝරා කිහිපයකින් කල් ගත විය. වරුසාව මැද්දේ සංගීත සංදර්ශනය ආරම්භ කිරීමේ විධානය නිවේදක මහතාගෙන් ලද හෙයින් ඔහුගේ ආරාධනයෙන් බබානිස්, සනා සහ ලලින්ද පොල්තෙල් පහන දැල්වූහ. තිදෙනා දැන් සිටින්නේ එකම වේදිකාවක් මතය. ලලින්දගේ බැල්ම බබානිස්ට රුස්සන්නේ නැත. සංගීත සංදර්ශනය නැරඹීමට වඩා මේ වේලාවේ යළි නිවෙසට යාම නුවණට හුරුයැයි සිතූ බබානිස් සනා සමඟ පිටත් විය. එලෙස ඔහු පිටත් වූයේ රියැදුරු සමන්ත සහ දෙනුවන් නම් ඥාති සහෝදරයකුද කැටුවය.   


යළි නිවෙසට ගොඩ වැදුණු ඔවුහු රහමෙර පානය කරමින් කතිකා කරගත්තේ ලලින්දගේ කරදරය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. සනාට එක්වරම මතකයට නැගුණේ තම හිතවත් අඹ මල්ලී ය. මේ වැඩේට සුදුසුම පුද්ගලයා ඔහු බව සනා දැන සිටියේය. අඹ මල්ලි පොලිසියට කට්ටි පනිමින් ඒ වනවිට හම්බන්තොට ප්‍රදේශයේ සැඟව සිටින බවට ආරංචි ලැබී තිබුණි.   


පසුදින උදෑසනම මිතුරන් හතරදෙනාම හම්බන්තොට බලා පිටත් වූයේ අඹ මල්ලී කැටුව ඒමටය. බබානිස්ගේ වෑන් රථයේ නැගී මිතුරන් සතර දෙනා අඹ මල්ලී හමුවී ඔහු ද සමග අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි මිතුරකුගේ නිවෙසට පැමිණියහ. අඹ මල්ලී පැමිණියේ ඔහුගේ යතුරුපැදියෙනි. බබානිස්ගේ වියදමින් සප්පායම් වූ මිතුරෝ යතුරුපැදිය අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි නිවසෙහි දමා අඹ මල්ලීත් කැටුව බබානිස්ගේ නිවෙසට ළඟාවූහ. එදින බබානිස්ගේ නිවෙසෙහි මොවුහු රැය පහන් කළෝය.   


වෙනදා මෙන් නොව පසුදින දවස පටන් ගනිද්දීම මහවරුසාවක් කඩා පාත්වෙන්නට විය. එනමුත් එදින වැඩ රාජකාරී උදෑසනම පටන් ගන්නට ලලින්ද සිතුවේ භාරගත් වැඩ කිහිපයක්ම අවසන් කිරීමට ඇති නිසාය. මේ අතරවාරයේදී බබානිස්ගේ නිවෙසෙහි රහස් සාකච්ඡාවක් දියත් වෙමින් පැවතියේය. බබානිස්, දෙනුවන් සහ සමන්ත යන තිදෙනා උදෑසනම අම්බලන්තොට බලා පිටත් වූයේ අඹ මල්ලීගේ යතුරුපැදිය රැගෙන පැමිණීමටය. අම්බලන්තොටට ළඟා වූ ඔවුන් අතරින් එකෙක් යතුරුපැදියෙන් යළි එන්නට පිටත් වීය. ඒ එන අතරමඟදී හෙල්මට් එකක් ද ඔහු මිලදී ගත්තේය.   


රන්න පොළ බදුකරුවකු ලෙස සිට ඝාතනයට ලක්වූ සුනිමල් බබානිස්ගේ ළඟම මිතුරෙකි. සුනිමල්ගේ ඝාතනයෙන් පසුව වුවද ඔහු සුනිමල්ගේ නිවෙසට ගොස් නිවැසියන්ගේ සුවදුක් විමසීමට අමතක නොකළේය. එදාත් මොවුන් කතිකා කරගත්තේ යතුරුපැදිය රැගෙන කෙළින්ම සුනිමල්ගේ නිවෙසට යාමටය. මේ නිසා අඹ මල්ලීටත් සනාටත් මේ බව වේලාසනින්ම දැන්වූ බබානිස්, දෙනුවන් සහ සමන්ත සුනිමල්ගේ නිවෙසට ගොඩවදිද්දි අඹ මල්ලීත් සනාත් එහි පැමිණ සිටියහ.   


පෙර දින පැවැති රහස් සාකච්ඡාවේ ප්‍රතිඵලය අනුව ලලින්දගේ අවසානය තීරණය වන දිනය එදාය. බබානිස් දෙනුවන්ට අණ කළේ ලලින්ද සේවා ස්ථානයේ සිටීදැයි විපරම් කර බලා දන්වන ලෙසය. සුනිමල්ගේ නිවෙසේ සිට ඔහුගේ යතුරුපැදියෙන් දෙනුවන් පිටත් වූයේ බබානිස්ට ඔත්තු සැපයීමටය. දෙනුවන් එතැනට යද්දී ලලින්ද ඉණිමඟ මතට නැග ටිපර් රථය පිරිසුදු කරමින් සිටින වග දුටුවේය. එහෙත් දෙනුවන්ගේ හිතට දැනුණේ තමා වැරැද්දක් කරනවා කියාය. ලලින්ද ඝාතනය කිරීමට තමාද සහයෝගය දීම වරදකැයි සිතා ඔහු කළේ ලලින්ද සේවා ස්ථානයේ නැතැයි බබානිස්ට පැවසීමය.   


දෙනුවන්ගේ මේ තොරතුර බබානිස්ට විශ්වාස නැත. මේ නිසා සමන්ත කැටුව වෑන් රථයට නැග ලලින්දගේ ඔත්තු බැලීමේ රාජකාරිය තමා පිටම පටවාගත්තේය. එලෙස යද්දී ලලින්ද පෙර පරිදිම ටිපර් රථය පිරිසුදු කරමින් සිටින ආකාරය දුටු බබානිස් දෙනුවන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දී සනාට යමක් පැවසුවේය. ඔත්තුවට සනා සහ අඹ මල්ලී රාජකාරිය ආරම්භ කළෝය.   


බබානිස් ඔත්තු බැලීමට පිටත් වූ පසු අඹ මල්ලී සනාට ගිනිඅවිය අතට හුරු කළේය. තවද ඔහු ගිනිඅවියට පතොරම් පහක් දමා සනාගේ අතට දුන් අඹමල්ලී ඔහුගේ යතුරුපැදියට නැග්ගේ සනාට පසුපස ආසනයේ වාඩිවෙන්නට අණ කරමිනි. ගිනිඅවිය ඔහු හැඳ සිටි කමිසය තුළ සඟවා ගත් සනා යතුරුපැදියට ගොඩ විය. අඹ මල්ලී ලලින්දගේ සේවා ස්ථානය තුළට යතුරුපැදිය එක්වරම ඇතුළු කළේ කිසිදු බයක් සැකක් නැති ආකාරයටය. ඉණිමඟ මතට නැග ටිපර් රථය පිරිසුදු කරමින් සිටි ලලින්ද ඔවුන්ගේ ඇස ගැටිණි. සිද්ධිය වීමට ගත වූයේ ඇසිල්ලකි. සනා යතුරුපැදියෙන් බැස්ස විගසම ලලින්දට වෙඩි පහරක් එල්ල කළේය. ලලින්දගේ දකුණු බාහුවට වෙඩි පහර වැදී ඔහු බිම ඇද වැටිණි. පළමු වෙඩි පහරින් ඝාතන තැත වැරදුණු නිසා දෙවැනි වෙඩි පහරත් ලලින්දට එල්ල වීය. තත්පර කිහිපයකට ජීවත් වීමේ වාසනාව උදාකරමින් සනා තැබූ වෙඩි පහර පත්තු වූයේ නැත. පත්තු නොවූ පතොරම බිම වැටිණි. කඩුව අතැතිව සිටි අඹ මල්ලී යතුරුපැදියෙන් බැස ඇවිත් ලලින්දට කඩු පහරක් එල්ල කළේය. සනා අතැතිව තිබූ ගිනිඅවිය රැගෙන ටිපර් රථය යටට රිංගූ ඔහු ලලින්දට වෙඩි පහරවල් තුනක් තැබුවේය. චමින්දගේ ජීවත් වීමේ සිහිනය බොඳ විය.   


භාරගත් රාජකාරිය අවසන් කළ සනාත් අඹ මල්ලීත් යළි යතුරුපැදියට ගොඩවැදී තංගල්ල දෙසට ඉගිළ යන්නට විය. පලතුඩුව මාර්ගයෙන් විතාරන්දෙණියටත් ඉන් බෙලිඅත්ත සහ පසුව ගැටමාන්න ප්‍රදේශයටත් කිසිදු උපද්‍රවයකින් තොරව ළඟා වීමට ඔවුහු සමත් වූහ.   


එතැන් පටන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු ආරම්භ විය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ නියෝග පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවීය.   


ඝාතනය වී සතියක් ගතවීමට මත්තෙන් බබානිස් සහ සමන්ත දෙදෙනාත් ඉන් අනතුරුව සනා සහ දෙනුවන් දෙදෙනාත් අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ පරීක්ෂණ ඒකකයේ සහ තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීහු සමත් වූහ.   

 

ඝාතනය වූ ස්ථානයේ පොලිස් පරීක්ෂණ සිදු කළ ආකාරය

 


කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගේ බලවත්ම රාජකාරිය වූයේ පුද්ගල ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අඹමල්ලී නමැත්තා අත්අඩංගුවට ගැනීමය.   
කුරුණෑගල, අලව්ව, කොළඹ, පොල්ගහවෙල, කෑගල්ල, කඩවත සහ මාවරමණ්ඩිය ආදී ප්‍රදේශවල අඹ මල්ලී සැඟව සිටින බවට ලද තොරතුරු අනුව වෙස් වළාගත් තංගල්ල කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ ඉකුත් 14 දින අඹමල්ලී තංගල්ලේ නිවෙසට පැමිණෙන බවට තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට ලද දුරකථන ඇමතුමකට අනුව තංගල්ලේ මාර්ග බාධක රැසක් දැමීමෙන්ය. සැකකරු ඔහුගේ යතුරුපැදියෙන් තංගල්ලට එන අතරමඟදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත් වූහ. ඝාතනයට යොදාගත් බව කියන බෝර දොළහ රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව පතොරම් හයක් ද සොයාගන්නට පොලිස් නිලධාරීහු සමත් වූහ.   


මේ කාල සීමාව අතරතුරදී අඹ මල්ලී නමැත්තා භාවිත කර තිබූ බවට සැක කළ හැකි එකිනෙකට වෙනස් ඡායාරූප සහිතව සෑදූ හැඳුනුම්පත් හයක් ද රියැදුරු බලපත්‍ර පහක් ද සොයාගන්නට පොලිස් නිලධාරීන්ට හැකි විය. 2013 වසරේදී කොහුවල පොලිස් ස්ථානයේ සිරමැදිරියක බිත්තියක් හැන්දක ආධාරයෙන් හාරා ඉන් පැන ගොස් එතැන් පටන් සැඟව සිටි අඹමල්ලී නමැත්තාගේ නාඩගම මෙතැනින් මොහොතකට නිමා විය. නවීන තාක්ෂණය උපයෝගී කරගෙන සැඟව සිටි තැන් ලුහුබැඳ යමින් අවසානයේදී ඔහු අත්අඩංගුවට පත්වූයේය.   


ඝාතනය සිදුකිරීමට අඹ මල්ලී පැමිණියේ යැයි කියන යතුරුපැදිය, ඔහු පැලැඳ සිටි හිස්වැස්ම, ජැකැට්ටුව, ඝාතනයෙන් පසුව භාවිත කළ ජංගම දුරකථන පහක් සහ වෙනත් යතුරුපැදියක අංක තහඩුවක් ද පොලිස් භාරයට ගැනිණි.   


මාතර හා තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරී 1 අබේරාජ් ගම්ලත්, සහකාර පොලිස් අධිකාරී බී.එම්.එම්. දසනායක මහත්වරුන්ගේ නියෝග පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.බී. දයානන්ද, උපපොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, පොලිස් කොස්තාපල්වරුන් වන නාමල් (35599), මංජුල (44974), ගාමිණි (53724), ප්‍රතාපසිංහ (79438), දුමින්ද (80530), හේරත් (74923), දේශාන් (77464) සහ පතිරණ (57578) යන නිලධාරීන්ගේ නොමඳ උත්සාහයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විණ.   


(සැ.යු : මෙම සිද්ධියේ මේ වනවිට නීතිමය කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින් මෙහි එන සැකකරුවන්ගේ නාමයන් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න)   

 


සිටිනාමළුව අනීෂා මානගේ