පොලිසියෙන් ගිනි අවි සොරකම් කළ කල්ලිය හසුවූ හැටි


 

පානදුර උතුර පොලීසියෙන් සොරකම් කළ ගිනි අවි.

 

  • ගිනි අවි සොරකම් කළේ පානදුර උතුර පොලිසියට අනුයුක්ත කර සිටි හමුදා සෙබළෙක් 
  • අවුරුදු 16 ළමයකුත් අත්අඩංගුවේ   

 

සාධාරණව මුදල් හරි හම්බ කර ගෙන ධනවතුන් බවට පත්වූවෝ වගේම අනුන්ගේ දේපොළ කොල්ලකා අසාධාරණ ලෙස මිල මුදල් උපයා ගෙන ධනවතුන් බවට පත් වීමට උත්සාහ කරන පුද්ගලයෝද මේ සමාජයේ ඕනෑ තරම් සිටිති. ඒ ආකාරයට ඉතා ඉක්මනින් පොහොසතෙකු වීමේ අපේක්ෂාවක් මාතර තෙලිජ්ජවිල ඇල්ගිරිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙකුට ඇති වී තිබුණි.   


ත්‍රීරෝද රථ කුලී ගමන් යාමට අමතරව මුදල් ඔට්ටුවට සූදූ පොළවලට යාම ද ඔහු නොකඩවා සිදු කළේය. දකුණු පළාතේ රහසිගතව පවත්වාගෙන යන සෑම සූදු පොළකටම යාම ඔහුගේ පුරුද්දක් විය. ඊට අමතරව මළ ගෙවල්වල බූරුවා ගසන තැන්වලට ද සොය සොයා සහභාගී විය. ඒවායෙහි දී ජයග්‍රහණය කර රැගෙන යන ලක්ෂ ගණනක් වූ මුදල්වලට ඔහුගේ සිත තදින් ඇදී ගොස් තිබුණි.   


එම මුදල් සූදු පොළවල්වලදී හෝ අතරමග දී කෙසේ හෝ මංකොල්ලකා ගැනීමට හැකි ක්‍රමයක් ගැන ඔහු සොයන්නට විය. ඒ සඳහා ගිනි අවියක් අවශ්‍ය වන බව තේරුම් ගත් එම ත්‍රීරෝද රථ රියැදුරා තම ගමේ මිතුරකු වු යුධ හමුදා සෙබළෙකුට අවශ්‍යතාව ගැන දැනුම් දුන්නේය.   


28 හැවිරිදි එම සෙබළා පානදුර යුධ හමුදා කදවුරේ සේවය කරන්නෙකි. ත්‍රීරෝද රථ රියැදුරාට අවශ්‍ය ගිනි අවියක් සොයා දෙන ලෙස ඔහු තම කඳවුරේම සේවය කරන වැලිඔය පදිංචි තවත් යුධ හමුදා සෙබළෙකුට කියා තිබුණේ මීට මාස කිහිපයකට පෙර දීය.   


කෙසේ වෙතත් ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට පුරා පොලීසිය හා යුධ හමුදාව එක්ව රාජකාරි කටයුතුවලට යොදවා තිබුණි. ඒ ආකාරයට වැලිඔය පදිංචි 32 හැවිරිදි යුධ හමුදා සෙබළා අනුයුක්ත කර තිබුණේ පානදුර උතුර පොලිස් ස්ථානයටය. ඔහු එහි පොලිස් නිලධාරීන් සමග රාජකාරිවලට දින ගණනාවක් සම්බන්ධ වී තිබුණි.   
ඒ අතරතුරදී තම මිතුරු සෙබළා ඉල්ලා තිබූ ගිනි අවියක් සොයා දීමේ අදහස ද ඔහුගේ හිත තුළ පැවතියේය. පොලිස් කැබ් රථයක් තුළ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් දුටු ඔහු අවස්ථාව ලද විගස සොරකම් කළේය. එකට සිටි පොලිස් නිලධාරීන්ට ද ඔහු ගැන කිසිදු සැකයක් ඇති වී නොතිබුණි.   


ගිනි අවි සොරකම සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කෙරිණි. ඊට අමතරව ඔහු ඇතුළු තවත් නිලධාරීන් ගණනාවකට විරුද්ධව දැනටමත් පරීක්ෂණයක් ආරම්භකර විනය පියවර ගැනීමට නියමිතව ඇත.   


ඒ ආකාරයට සොරකම් කළ ටී 56 වර්ගයේ ගිනි අවි දෙක අදාළ සෙබළා මාතර බලා එන බසයකින් මාතරට රැගෙනවිත් තෙලිජ්ජවිල පදිංචි මිතුරු යුධ හමුදා සෙබළාගේ සහෝදරයකුට හා ඔහු සමග යතුරු පැදියෙන් පැමිණි 16 හැවිරිදි ළමයෙකුට භාර දී තිබේ.   


ඒ වෙනුවෙන් සැකකාර ත්‍රීරෝද රථ රියැදුරා රුපියල් හැට දහසක් දී තිබෙන අතර ගිනි අවි දෙක මිලදී ගැනීමට පැමිණි දෙදෙනා මාතර දී අදාළ සෙබළාට ඉන් රුපියල් පනස් දහසක් දී තිබේ. ඉතිරි රුපියල් දස දහස ඔහුගේ බැංකු ගිණුමට බැර කර තිබුණි.   


මෙම ගිනි අවි ගනුදෙනුව සඳහා පොරොන්දු වී තිබුණේ රුපියල් ලක්ෂයක් ලබා දීමටය. ඉතිරි රුපියල් හතළිස් දහස පසුව ලබා දෙන බව ප්‍රකාශකර තිබුණේය.   
ඒ ආකාරයට රැගෙන ගිය ටී 56 වර්ගයේ ගිනි අවි දෙක සැකකාර ත්‍රීරෝද රථ රියැදුරාට පෙන්වා ඔවුන් ඒවා ඇල්ගිරියේ කැලෑබද ප්‍රදේශයක බෝක්කුවක් යට රහසිගතව සඟවා තැබීමට ක්‍රියා කළේ අවශ්‍ය වූ විටෙක ලබා ගැනීමේ අදහස ඇතිවය.   


ත්‍රීරෝද රථ රියැදුරා සමීපව ආශ්‍රය කළ 16 හැවිරිදි ළමයා පරදුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුට ද ගිනි අවි සැඟවූ ස්ථානය වසන් කිරීමට වග බලා ගත්තේය. පාසල් අධ්‍යාපනයද මීට වසරකට පමණ පෙරදී අතහැර දමා ඇති එම ළමයා දැනට මාස කිහිපයක සිට මෙම නරක ඇසුරට යොමු වී තිබුණි. තම දරුවන් කරන්නේ කුමක්ද ආශ්‍රය කරන්නේ කවුරුන් ද යන්න මාපියන් විසින් සොයා බැලිය යුතු වුවත් ඔවුන්ද එම වගකීම පැහැර හැර තිබුණි.   


කෙසේ වෙතත් ඉකුත් 03 වැනි දින ඔවුන් ටී 56 වර්ගයේ ගිනි අවියක් රැගෙන අපරාධයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණි. ඒ තෙලිජ්ජවිල ප්‍රදේශයේ සූදු පොළක සිට එන පුද්ගලයෙකු සතු මුදල් මංකොල්ල කෑමටය. වැඩි මුදලක් ඔහු අත තිබෙන බවට තොරතුරු ලැබුණත් අදාළ පුද්ගලයා පසු පස ගොස් පරීක්ෂා කරන විට ඔහු අත තිබී ඇත්තේ රුපියල් තුන් දහසක් පමණි.   


ගිනි අවිය පෙන්වා බිය ගන්වා ඔවුන් එම මුදල ද මංකොල්ලකා පලා ගොස් තිබුණේය. ඉන් අනතුරුව ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ ඉකුත් 06 වැනිදා මහා පරිමාණයෙන් පවත්වා ගෙන යන සූදු පොළකට කඩා වැදී මුදල් කොල්ලකෑමටය.   


ත්‍රීරෝද රථ රියැදුරාගේ මිතුරකු වූ ඇල්පිටියේ පදිංචි 21 හැවිරිදි තරුණයා ස්කූටි වර්ගයේ යතුරු පැදියේ පදවන්නා විය. 16 හැවිරිදි ළමයා එහි මැද වාඩි වූ අතර ගිනි අවිය රැගත් තෙලිජ්ජවිල යුධ හමුදා සෙබළා එහි පිටුපස ගමන් කළේය.   


අදාළ දඩයමට යන අතරතුර දී හමුවුණේ අකුරැස්ස-තිබ්බොටුවාව මංසන්ධිය අසල රාත්‍රි මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. තිදෙනෙකු ගමන් කරන යතුරුපැදිය ගැන සැක සිතී ඔවුහු එය නතර කිරීමට සංඥා කළහ. පොලිස් අණ නොතකා සැකකරුවන් තිදෙනා ඉදිරියට ගමන් කරමින් සිටියෝය. පොලිස් නිලධාරීන් දෙදෙනා ද තම යතුරුපැදියෙන් ඔවුන් පසුපස ලුහුබැඳ යන්නට වූහ.   


ටික දුරක් යද්දී සැකකරුවෝ පොලීසිය දෙසට වෙඩි තබන්නට පටන් ගත්හ. යතුරුපැදියේ ඉදිරිපස රෝදයට මෙන්ම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ කකුල්වලට ද වෙඩි වැදීම නිසා ඔවුහු බිම ඇද වැටුණාහ. සැකකරුවෝ පලා ගියහ.   


තුවාල ලැබූ පොලිස් සැරයන් 45950 හේමන්ත හා කොස්තාපල් 72339 නුවන් යන මහත්වරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කෙරිණ. වෙඩි උණ්ඩ 12 ක් පමණ ඔවුන් දෙසට එල්ල වී තිබුණේය.   


වෙඩි ප්‍රහාරයක් පොලිස් නිලධාරියෙකුගේ පපුව දෙසට එල්ල වී තිබූ අතර එය ඔහු ඇඳ සිටි නිල ඇඳුමේ අංක තහඩුවේ වැදී විසි වී යාම නිසා ඔහුගේ ජීවිතය අනූ නවයෙන් බේරී තිබුණි. අංක තහඩුවේ බිංදුවේ ඉලක්කමට ඉන් හානි සිදු වී තිබුණේය.   


කෙසේ වෙතත් පලා ගිය සැකකරුවන් සොයා ගැනීම එතරම් පහසු දෙයක් නොවුණේ යතුරුපැදියේ අංකයක් හෝ නොතිබු නිසාවෙනි. එදින රාත්‍රිය පුරාවට එම ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළද සාර්ථක තොරතුරක් සොයා ගත නොහැකි විය.   


වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අවධානය ද මෙම සිද්ධිය කෙරෙහි යොමු වී තිබුණි. මීට මාසයකට පමණ පෙර මාතරට අලුතින් පත්ව ආ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාට මෙම සිද්ධිය කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව ඇති වී තිබුණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ ද දක්ෂ නිලධාරියකුව සිටි පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කළේය. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීම පමණක් නොව කුලී පදනම මත වාහන ලබා ගෙන රාජකාරි කිරීමේ අවස්ථාව පවා සලසා දුන්නේය.   


ඊට අමතරව මෙම අපරාධය පිළිබඳව තොරතුරක් සොයා ගන්නා තෙක් මාතර කොට්ඨාසයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු පවා අවලංගු කර තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීහු මෙම අපරාධයේ සුල මුල සොයා ගැනීමට දිරිමත් වූහ.   

 

 


ඒ අනුව විමර්ශන සිදු වෙද්දී ඉකුත් 09 වැනි දින අකුරැස්ස පොලීසියේ නව ස්ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතාට තොරතුරක් ලැබී තිබිණි. ඒ මීට පෙර රස්තියාදු ගසමින් සිටි පරදුව ප්‍රදේශයේ 16 හැවිරිදි ළමයෙකු දින කිහිපයක සිට දකින්නට නොමැති බවත් ඔහු නිවස තුළට වී සිටින බවත්ය.   


වෙඩි තැබීමේ සිද්ධිය කෙසේ වෙතත් සොරකමක් හෝ හෙළිකර ගැනීමේ අදහසින් පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් සිල්වා මහතා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නවෝද් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට පිටත් කර යැවීය. 16 හැවිරිදි වයසක ළමයෙකු මෙවැනි වෙඩි තැබීමකට සම්බන්ධ වේය යන්න ඔවුහු කිසි ලෙසකින් නොසිතූහ.   


උප පොලිස් පරීක්ෂක පෙරේරා ඇතුළු කණ්ඩායම අදාළ නිවසට ළඟා වන විටම ළමයා පිටුපස දොරෙන් පැන යන්නට පටන් ගත්තේය. පොලිස් පරීක්ෂක පෙරේරා ඔහු දෙසට පිස්තෝලය දිග හැර “දිව්වොත් වෙඩි තියනවා.” කියා දැනුම් දීමත් සමග ඔහු නතර විය.   


ඒ අනුව සැක පිට අත්අඩංගුවටගත් එම ළමයා සිදු වු සියල්ල ගිරවකු මෙන් හෙළි කළේය. ඔහුගෙන් හෙළිවු තොරතුරු අනුව තංගල්ල බස් නැවතුම් පොළේ දී තෙලිජ්ජවිල ඇල්ගිරිය පදිංචි 28 හැවිරිදි යුධ හමුදා සෙබළා හා ඇල්පිටියේ පදිංචි 21 හැවිරිදි යතුරුපැදිය පැදවූ තරුණයා සැක පිට අත්අඩංගුවට ගනු ලැබූහ.   


අකුරැස්ස පොලීසිය වෙත ඔවුන් රැගෙනවිත් වෙන් වෙන්ව තබා ගෙන ප්‍රශ්න කිරීමේ දී ඊට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් මෙන්ම පානදුර උතුර පොලිස් ස්ථානයේ සිදු වූ ගිනි අවි සොරකම ගැනද තොරතුරු අනාවරණයවීමට පටන් ගත්තේය.   


මෙම මංකොල්ලකෑමේ ජාවාරම මෙහෙය වු ප්‍රධාන සැකකරු වන තෙලිජ්ජවිල ඇල්ගිරියේ පදිංචි 39 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරා ද ඉන් පසුව සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණ. සැකකාර සෙබළාගේ සහෝදරයා ද ඉන් පසුව සැක පිට අත් අඩංගුවට පත් විය.   


ඔවුන් මගින් පානදුර යුධහමුදා කඳවුරේ සේවය කරන සෙබළාට උපක්‍රමශීලීව පොලීසිය දුරකතන ඇමතුමක් ලබා දුන්නේය.” මචං අපි ඊයේ රු ලක්ෂ විස්සක ගේමක් ගැහුවා. උඹේ ඉතිරි හතළිස් දාහ ගෙනයන්න කෑම්ප් එකෙන් එළියට වරෙං.” කීවේය. එච්චර ගාණක් ගත්තනම් “මට ඊට වඩා වැඩි ගාණක් දීහං.”යයි ඔහුද කියා තිබුණේය.   

 

පොලිස් සැරයන්වරයාගේ නිල ඇඳුමේ අංක තහඩුවට වෙඩි වැදී තිබූ අයුරු

 


ඒ අනුව අදාළ මුදල දෙන මුවාවෙන් සැකකාර සෙබළා පානදුර නගරයට ගෙන්වා ගෙන සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායම ඔහු ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි.   


සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව ඇල්ගිරියේ බෝක්කුවක් යට සඟවා තිබූ ටී 56 වර්ගයේ පොලිස් ගිනි අවි දෙක ද පතොරම් ගැබ් දෙක ද ජීව පතොරම් 28ක් ද පොලීසිය සොයා ගන්නා ලදි. ඊට අමතරව පොලිස් නිලධාරීන්ට වෙඩි තබන අවස්ථාවේ යොදා ගත් යතුරුපැදිය හා මාතර සිට ගිනි අවි රැගෙන ඒමට යොදා ගත් යතුරු පැදිය ද පොලීසිය භාරයට ගන්නා ලදි.   


සැකකරුවන්ට ආධාර අනුබල දීමේ චෝදනාවට සැක පිට තවත් සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන නව දෙනෙකි. ප්‍රධාන සැකකරුවන් හය දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගෙන තව දුරටත් ප්‍රශ්නකර ගෙන යයි.   


සූදු පොළවල් කොල්ලකෑමට අමතරව ඉදිරි කාලය තුළ දකුණු පළාත තුළ මිනී මැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් ආදී අපරාධ රැසක් සිදු කිරීමට ඔවුන් සැලසුම් සකස් කර තිබු බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත. කෙසේ වෙතත් මෙම අපරාධ කල්ලිය ආරම්භයේ දීම නීතියේ රැහැනට කොටුකර ගැනීමට හැකිවීම පොලීසිය සිදු කළ විශිෂ්ට ක්‍රියාවක් බවත් අපරාධයක් සිදුකර සදාකාලිකව සැඟවී සිටීමට නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම සිද්ධිය ගැන සොයා බැලීම සඳහා අකුරැස්සට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.   

 

 


පොලීසියෙන් සොරකම් කළ ගිනි අවිවලින් පොලීසියටම වෙඩි තබා අපරාධ රැසක් ඉදිරියේ දී සිදුකිරීමට සූදානමින් සිටි අපරාධ කල්ලියක් ඉතා කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ මාතර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමට සියලු දෙනාගේ ප්‍රශංසාව හිමි විය යුතුය. ඒ පානදුර ගිනි අවි සොරකම ගැන මාස ගණනක් ගත වනතෙක් කිසිදු හෝඩුවාවක් නොලැබුණු අවස්ථාවක අකුරැස්සේ අපරාධය සිදු කර තෙදිනක් ගත වීමටත් පෙර ඊට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා පමණක් නොව රහසක්ව පැවති පානදුර පොලිස් ගිනි අවි සොරකම ගැනද සුල මුල සොයා ගත් නිසාවෙනි.   


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් අකුරැස්ස සහකාර පොලිස් අධිකාරී සුසිල් විජය ගුණවර්ධන, අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් සිල්වා, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති නවෝද් පෙරේරා, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන්වරුන් වන 25319 ප්‍රියන්ත, 24187 ජිනදාස, 39739 නයනජිත්, 8580 ආරියසිරි, කොස්තාපල්වරුන් වන 80173 ප්‍රසන්න, 67508 ජයසේකර, 73070 ජගත්, 68104 සංජීව හා 82382 අරවින්ද යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධව සාර්ථකව පරීක්ෂණ පැවැත්වූහ.  

 


ඡායාරූප හා සටහන
ක්‍රිෂාන් ජීවක ජයරුක්