පොලිස් සිරමැදිරියේ සිටි සිරිපාල මියගිහින්


මළවුන්ගේ  අනාවරණ

එදින උදෑසන සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළ පොලිස් සැරයන් ප‍්‍රසන්න සිරමැදරිය වෙත ගමන් කළේ පෙර දින අත්අඩංගුවට ගත් සැකකරු වන සිරිපාල ගැන විපරම් කර බැලීමටය. සිරිපාල සිරමැදිරියේ දිගා වී සිටියේය. ඔහු නිදි යැයි සිතූ සැරයන් ප‍්‍රසන්න කෑ ගසා කතා කළේය. 
  
‘‘ ඕයි දැන් ඉතිං ඇති නිදාගත්තා. නැගිටිනවා. නැගිටලා ඇත්ත කතාව කියනවා. තවත් බොරු නොකර.”   


 එහෙත් සිරිපාල නොවේ කර ඔසවාවත් බැලූවේ. කෙතරම් කෑගැසුවද සිරිපාල නිසොල්මනේ සිටියෙන් සැරයන් ප‍්‍රසන්න කොස්තාපල්වරයකුටද කතා කර සිරමැදිරිය විවෘත කර ඇතුළට ගොස් විපරම් කර බැලූවේය. සිරිපාලගේ සිරුර සීතලය. තැතිගත් සැරයන්වරයා ඔහුව හදිසි ප‍්‍රතිකාර ඒකකයට යොමු කළේය. එහෙත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍ය මතය විය.   


 සිරිපාල නම ගිය චණ්ඩියෙකි. අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට අධිකරණ කීපයක නඩු පවතී. රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදාහැර තිබියදී තවත් මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරදින සවස් කාලයේය. ඔහු කිසිසේත්ම වරද භාරගත්තේ නැත. ඒ නිසා ඔහුට පහර කීපයක් එල්ල කිරීමටද පොලිස් නිලධාරීන්ට සිදුවිය.   


 පොලිස් සිරමැදිරියකදී සැකකරුවකු මියයාම අදාළ සැකකරු මොන තරම් දරුණු අපරාධකරුවකු වුවත් එම පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත බරපතළ චෝදනා එල්ල කළ හැකි ගැටලුවකි. අපරාධකරුවෙකුට වුවද මානව අයිතිවාසිකම් හිමිව තිබේ. වැරදිකරුවකුද නිවැරදිකරුවකු යන්න තහවුරු කළ යුත්තේ චෝදනා එල්ල කරන පාර්ශ්වය ගෙගෙන සාක්ෂි මගිනි. ඒ වෙනුවට වරද පිළිගැනීමට කෙනෙකුට බල කළ නොහැකිය. එසේම එක් වරදක් කළ පමණින් අනෙක් වැරදි සියල්ලද පැටවීම සුදුසු වන්නේ නැත. පොලිස් සිරමැදිරියකදී කෙනකු මිය යන්නේ අනිවාර්යයෙන්ම එය පහරදීමකින් සිදුවිය යුත්තකැයි චෝදනා එල්ල කරන පාර්ශ්වයන් දක්වන්නේ එවැනි අදහස්ය.   


 මරණයට හේතුව කුමක්දැයි පොලිසියට එක් වරම පැවසිය නොහැකි වූ නිසා සිරිපාලගේ ඥාතීහු පොලිසියට එරෙහිව පෙළ ගැසෙන්නට වූහ. දාමරිකයකු වුවත් පහරදී ඝාතනය කිරීමට පොලිසියට අයිතියක් නැති බව ඔවුන්ගේ මතය විය.   


 සමාජයේ මෙවැනි මතයන් ගොඩනැගී තම අණසක යටතේ පවතින පොලිස් ස්ථානයකට එරෙහිව ජනතාව කැරලි ගැසීමට පෙර ප‍්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබිණ. එසේම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා ඒ සඳහා දිස්ත‍්‍රික් අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකරනු ලැබිණ.   
 දිස්ත‍්‍රික් වෛද්‍යවරයා මෙම මළ සිරුරට යොමු වුණේ ඒ අනුවය. මළ සිරුරක බාහිරින් පවතින තුවාල හා වෙනත් කැලැල් පිළිබඳව මුලින්ම සැලකිලිමත් විය යුතු අතර ඒවා කවදා කොහේ දී සිදුවුණාදැයි විමසා බැලිය යුතුව ඇත. එය මරණයක ප‍්‍රබල සාක්ෂියක් වනු ඇත. මරණය ස්වභාවික එකක් නම් පොලිස් නිලධාරින්ට චෝදනා එල්ල නොවන අතර අත්අඩංගුවට ගත් පසු සිදුවූ තුවාල හෝ තැලුම් ලකුණු වේ නම් එය ඔවුන් ප‍්‍රශ්නයකට මැදි කරනු ඇත.   


 වෛද්‍යවරයා සිරිපාලගේ සිරුර දැඩිව සෝදිසියට ලක් කළේය. එහි තුවාල කිසිවක් නොවිණ. එහෙත් මීට පෙර ඇති වූ තුවාල කැළැල් රැසක් දක්නට ලැබිණ. ශරීර අභ්‍යන්තර අවයව විච්ෙඡ්දනයේදී කිසිදු තුවාලයක් දක්නට නොවිණ. ඒ නිසා මරණයට හේතුව සොයාගැනීමේ අසීරුකමකට දිස්ත‍්‍රික් වෛද්‍යවරයා මුහුණ දුන්නේය. වැඩිදුර පරීක්ෂණ සඳහා ශරීර පටක හා සාම්පල ඉතිරි කරගත් වෛද්‍යවරයා සිරුර භූමදානයට මුදාහැරියේය.   
 සිරුර භාරදීමෙන් පසු යළිත් සිරිපාලගේ පවුලේ ඥාතීන් හා අසල්වැසියන් ඇවිස්සී ආවේ කඩිගුලක් මෙනි. මූලික පශ්චාත් මරණ පරික්ෂණයෙන්ද මරණයට නිශ්චිත හේතුවක් කිව නොහැකි වීම එයට හේතු විය. උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට කඳුලුගෑස් හා බැටන් පොලු ප‍්‍රහාරයක් එල්ල කිරීමටද පොලිසියට සිදුවිය. එයින් පොලිසිය කෙරෙහි ජනතාව තව තවත් වෛර බැඳගනු ලැබිණ.   


 අත්අඩංගුවට පත්වන පුද්ගලයකු අධික මානසික ආතතියට ලක්ව මිය යා හැකිය. අධික මානසික ආතතියකට ලක්වන පුද්ගලයෙකුගේ අන්තරාසර්ගි ග‍්‍රන්ථි මගින් ඔහු එම තත්ත්වයට අනුවර්තනය කිරීම සඳහා විවිධ හෝමෝන වර්ග ස‍්‍රාවය කෙරේ. මේ අතර ඇඩ්්‍රනලීන් හා නොඇඩ්‍ර්නලීන් හෝමෝන වර්ග දෙක ප‍්‍රධාන වේ. මේවා මගින් හෘද ස්පන්දන වේගය සහ මංශ පේශි සංකෝචනය වීමේ බලය වැඩි කරයි. එය හෘදය වස්තු වේ අසාමාන්‍ය විද්‍යුත් ධාරාවන් ඇති වීමට හේතු වේ. හෘදයාබාධවලින් පෙළෙන අයෙකු මෙවැනි තත්ත්වයකට ගොදුරු වීමෙන් ක්ෂණිකව මරණයට පත් විය හැකිය. එවැනි තත්වයක් පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනාවරණය කරගත නොහැකිය.   


 රැඳවුම් භාරයට නැත්නම් සිරභාරයට පත් වන ඇතැම් පුද්ගලයන් අධික ලෙස මත්පැන් හා වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ වෙති. ඔවුහු පොලිස් සිරමැදිරිවල සිටියදි පවා නොයෙකුත් ක‍්‍රමවලට මත්ද්‍රව්‍ය සපයා ගනිති. ඇතැම් මත්ද්‍රව්‍ය අධික ලෙස භාවිතය නිසාත් මෙවැනි පුද්ගලයන් ක්ෂණිකව මරණයට පත් විය හැකිය. එයද නිසි පරික්ෂණයක් සිදුනොකළ හොත් අනාවරණය කරගත නොහැකිය. ස්වභාවික රෝගි තත්ත්වයන්, පහරදීම්, ගෙල වැල ලා ගැනීම් වැනි දේවල් නිසාත් අත්අඩංගුවේ සිටින්නෙක් මරණයට පත්විය හැකිය.   


 දිස්ත‍්‍රික් වෛද්‍යවරයා සිරුර භාරදීමට පෙර තබාගත් පටක කොටස් වැඩිදුර පරීක්ෂණයකට යොමු කරමින් විස ශරීරගත වීමක් සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීමට යොමු කළ අතර තව කොටසක් අන්වීක්ෂීය පටක පරීක්ෂණය සඳහා පේරාදෙණිය අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතා වෙත යොමු කරනු ලැබිණ.   


 අන්වීක්ෂීය පටක පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විශේෂිත යමක් නිරීක්ෂණය කළේය. ඒ සිරිපාලගේ පෙණහලූ පටක තුළ වූ අසාමාන්‍ය පටක වෙනස්වීමක තත්ත්වයකි. සාමාන්‍ය පටක අතර තැනින් තැන ඝනවී තිබූ අතර සමහර ස්ථාන කුඩා වීදුරු කැබලි, පිටි වැනි ද්‍රව්‍යයක අංශු සහ තවත් සියුම් අංශු කොටස්ය.   


 මෙවැනි තත්ත්වයක් බොහෝ විට ඇති වන්නේ රුධිර නාළ තුළට මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමේදීය. මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ඊට විවිධ ද්‍රව්‍ය එකතු කරනු ලැබේ. සමහර ඒවා අපද්‍රව්‍ය වේ. තවත් සමහරක් මත්ද්‍රව්‍යයේ සැර බාල කිරීමට යොදන ද්‍රව්‍යයන්ය. මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමේදී මේ සියලු ද්‍රව්‍ය රුධිරයට එක්ව ශිරා පද්ධතිය ඔස්සේ හෘදය වස්තුවට ගමන් කර පසුව රුධිර පිරිපහදුව සඳහා පෙණහලු කරා ගමන් කරනු ඇත. එහිදී මෙම අපද්‍රව්‍ය පෙණහලු පටක තුළට ගමන් කිරීම නිසා පෙණහලු පටක ඒවාට එරෙහිව පෙරණයක් සේ ක‍්‍රියා කරයි. පෙණහලු පටකවල සිදුරු මෙම මෙම අංශුවලට වඩා කුඩා වීම නිසා ඒවා පෙණහලු පටකවල රැඳේ. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා සිරිපාලගේ පෙනහලු පටක තුළ දුටු මේ වෙනස්කම් අනුව එක් නිගමනයකට එළැඹීය හැකි විය. එනම් සිරිපාල කලක සිට මත්ද්‍රව්‍ය සිරුරට එන්නත් කරගැනීම පුරුද්දක් කරගත් අයෙකු බවය.   
 ඔහුගේ සිරුරේ සම මතුපිට තුවාල කැළැල් පරීක්ෂා කිරීමේදී වෛද්‍ය සරත්චන්ද්‍ර මහතාට තමන් පෙණහලු පටක පරීක්ෂා කිරීමේදී එළැඹිය හැකි වූ කරුණු සනාථ වන බව පැහැදිලි විය. සම මතුපිට තුවාල කැළැල් ඇති වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය එන්නත් කිරිමේදී ඇති වූ සිදුරුවීම්වලින් බව වෛද්‍යවරයා පැමිණි නිගමනය වේ.   


 වෛද්‍යවරයාට ඊළඟට මතු වූ ප‍්‍රශ්නය වූයේ මොහු එන්නත් කරගත් මත්ද්‍රව්‍යය කුමක්ද? එය මරණය ළඟා කිරීමට සමත් වූවක්ද? යන්නයි. හෙරොයින්, කොකේන් සහ සමහර ඖෂධ වර්ග මෙසේ එන්නත් කරගත හැකි ද්‍රව්‍ය අතර ප‍්‍රධාන තැනක් ගනී. මෙහිදී මතු වු ප‍්‍රශ්නය වන්නේ රුධිර පරීක්ෂණ වාර්තාවේ එවැනි මත්ද්‍රව්‍ය භාවිතයක් ගැන හෙළි දරව් වූ බවට තොරතුරක් නොවීමය. ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී හෙළි වූයේ එවැනි මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව මෙම රුධිර සාම්පල්වලින් පරීක්ෂා කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව නොතිබූ බවය. ඒ අනුව අධිකරණ වෛද්‍යවරයා විසින් තමන් වෙත ලැබුණ අතිරේක රුධිර සාම්පලයක් මත්ද්‍රව්‍ය පරීක්ෂාවට යොමුකරන ලදී.   


 එහිදී සරත්චන්ද්‍ර මහතාගේ සැකය තව තවත් තහවුරු කරන වාර්තාවක් ලැබිණ. සිරිපාලගේ රුධිරයේ කොකේන් මත්ද්‍රව්‍යය මාරාන්තික ප‍්‍රමාණවලින් අඩංගුව ඇති බවය. එතරම් ප‍්‍රමාණයක් කොකේන් රුධිරයේ අඩංගු විය හැකි වන්නේ ඔහු මරණාසන්න කාලයක් තුළ දී ඒවා එන්නත් කරගතහොත්ය. දැන් ප‍්‍රශ්නය මතුවන්නේ පොලිස් සිරමැදිරියේ සිටි සිරිපාලට කොහෙන්ද කොකේන් එන්නත් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය හා කොකේන් ලැබුණේ යන්නය. වාර්තාවලින් කුමක් දැක්වුවද එය සාධාරණ ලෙස ඔප්පු කිරීමට සාක්ෂි සොයාගත යුතුව ඇත. එය කෙසේ නම් සිදුකරන්නේද යන්න දැන් අධිකරණ වෛද්‍යවරයාට මතුවී තිබෙන ගැටලුවයි.   


 සිරිපාල අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හොඳ සිහියෙන් සිටි බවටත් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට පෙනෙන්නට නොතිබූ බවද පොලිස් වාර්තාවල සඳහන් වේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බවද පොලිස් වාර්තා අනුව පැහැදිලි විය. එසේ නම් ඔහුට මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේද? සිරිපාල සමග සිරමැදිරියේ වෙනත් පුද්ගලයෙක් සිටියේ ද නැත. එසේම ඔහුව බැලීමටද කිසිවෙක් පැමිණ තිබුණේ නැත. එහෙමනම් ඔහුට මත්ද්‍රව්‍ය සැපයුවේ පොලිස් නිලධාරියෙක්ද? එසේත් නැත්නම් ඔහුට බලහත්කාරයෙන් කොකේන් එන්නත් කළේද? මෙය බරපතළ ප‍්‍රශ්නයකි. දැන් අධිකරණ වෛද්‍යවරයා සතුව තිබෙන්නේ මෘත ශරීරය නිදහස් කිරීමේදී ඉතිරි කරගත් පටක කීපයක් හා රුධිර සාම්පල් පමණි. මෙයින් සිරිපාලට මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේදැයි තහවුරු කරන්නේ කෙසේද?   


 අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාත්, දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයාත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. මෘත ශරීරය සම්බන්ධයෙන් ගත් ඡායාරූප නිරික්ෂණය කළද කිසිවක් සොයාගත නොහැකි විය. ඒ අනුව මෘත ශරිරය යළි ගොඩගැනීමේ අවශ්‍යතාවයක් මතු විය. ඒ සඳහා මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉල්ලීමක් යොමු කළ අතර ඊට අවසරය ලැබිණ. එම අවසරය මත ගොඩගත් සිරුර පේරාදෙණිය අධිකරණ වෛද්‍ය පර්යේෂණාගාරයේදී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.   


 ස්වාරක්ෂණය කර තිබු නිසා මෘත ශරීරය සෑහෙන දුරට නරක් නොවී ආරක්ෂා වී තිබිණ. පළමුව සිරුර එක්ස්රේ පරික්ෂණයකට ලක් කරනු ලැබිණ. එහිදී මෘත ශරීරයේ ගුද මාර්ගය ආශ‍්‍රිතව යම් ආගන්තුක ද්‍රව්‍යයක් ඇති බව පෙනෙන්නට තිබිණ. සාමාන්‍යයෙන් මෘත ශරීරයක් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ගුද මාර්ගය විවෘත කර බැලිය යුතු වුවත් දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරිවරයා එය විවෘත කර පරික්ෂා කර තිබුණේ නැත. ඒ අනුව වෛද්‍යවරු දෙදෙනාම සාකච්ඡා කර ගුද මාර්ගය සහ ගුදය ප‍්‍රවේශමෙන් විවෘත කළහ.   


 වෛද්‍යවරු දෙදෙනාම පුදුමයට පත් කරමින් ගුද මාර්ගයේ සඟවා තිබූ පරීක්‍ෂණ නළයක් දැකගත හැකිවිය. එය පරීක්ෂාවට ලක්කිරීමේදී ඒ තුළ බහාලූ කුඩා සිරින්ජයක්ද දැකගත හැකි විය. සිරිපාල කියන්නේ ගමේ සිටින චණ්ඩියෙකි. ඔහුට හොරකම් හා මංකොල්ලකෑම් සම්බන්ධයෙන් තමන්ගේ ගමේ වගේම අවට පොලිස් ස්ථාන කිපයකින්ම ගොනු කළ නඩු තිබේ. ඒ නිසා ඔහු නිතර අත්අඩංගුවට පත් වන පුද්ගලයෙකි. එලෙස අත්අඩංගුවට පත්වූ පසු තමන් පුරුද්දක් ලෙස සිදුකරන කොකේන් භාවිත කිරීමට සිරිපාලට ඉඩක් නොලැබේ. ඔහු එයට පිළියමක් සොයා ගත්තේය. අනෙකුත් අයට හොර රහසේ විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවට පත්වුවත් ඔවුන්ටද සොයා ගැනීමට නොහැකි ලෙස කොකේන් එන්නත් කිරීමට භාවිතා කරන සිරින්ජය මෙසේ සඟවා තබාගෙන ඇති බව ගුද මාර්ගය පරීක්ෂා කිරිමේදී දැකගත හැකිවිය. සිිරින්ජය සඟවා තබා ගැනීමට ප‍්‍රමාණවත් ඉඩක් ලැබෙන පරිදි ගුද මාර්ගය විස්තාරණය වී තිබීමෙන් ඔහුගේ මේ පුරුද්ද පිළිබඳව තහවුරු වේ.   


 සිරිපාල වැසිකිළියට යන අවස්ථාවලදී එය පිටතට ගනී. ඔහු පොලිස් සිරමැදිරියේදී මෙම සිරින්ජය භාවිත කර කොකේන් එන්නත් කරගෙන ඇති බව දැන් පැහැදිලිය. එහෙත් නිතර සිරමැදිරිය අසලින් එහා මෙහා යන පොලිස් නිලධාරින්ගේ ඇස වසා කොකේන් එන්නත් කරගනිද්දි චකිතය නිසා හෝ කලබලකාරිත්වය නිසා හෝ නියමිත මාත‍්‍රාවට වඩා වැඩියෙන් එන්නත් කරගැනීම මෙසේ ඔහු මරණයට පත්වීමට හේතු වී තිබේ. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් සිරිපාලගේ මරණයට හේතුව කොකේන් අධික ලෙස භාවිත කිරීමෙන් රුධිර පීඩනය ඉහළ යාම බවට සඳහන් විය.   


 (මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න)   

 


අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි   

 

 


සටහන   
මුදිතා දයානන්ද