පොලිස් ආදරවන්තියගේ උගුලට හසුවූ ‘ මිස් කෝල් ආදරවන්තයා ’


පොලිස් චෝදනාගාරයෙන්

පොලිස් ආදරවන්තියගේ මංගල ආදර උගුලට අසු වී පොලිසියට කට්ටි පනිමින් සිටි අපරාධකරුවා ගාල්ලේ දී අල්ලාගත් ආදර කතාන්දරය මෙන්න.   


“ඇයි ඔයා මට මිස් කෝල් ගහන්නේ?” ගාල්ලේ කාන්තාවක් කුරුණෑගල පුද්ගලයකුට ආදර බසින් කතා කළාය.  

 

“ඔයාට පිස්සු ද...? ඔයානේ මට මිස් කෝල් ගහන්නේ...”


“හ්ම්... අනේ සමාවෙන්න. මට වැරදීමක්... ඔයාට කරදරයක් වුණා නම් සමාවෙන්න.”


“නෑ අනේ නෑ... එහෙම දෙයක් නෑ...” කුරුණැගල ආදරවත්තයා කීය.   


මේ ආකාරයට මිස් කෝල් කතාන්දරය ආදර සම්බන්ධතාවක් බවට පත් කරගන්නට ගම ගාල්ලේ ආදරවන්තිය කටයුතු සම්පාදනය කරන්නේ පොලිස් පොතේ ඇති නැති පොලිස් ආදර බස්වලිනි. මේ කතා කරන්නේ පොලිස් නිලධාරිනියක් බව සිහිනෙන් හෝ ආදරවන්තයා දැන සිටියේ නැත. එය ගැන දැනගන්නට හෝ සැකයක් හිතන්නට හෝ ආදරවන්තිය පොලිස් උපදෙස් පරිදි වගබලා ගත්තාය.   


දිනපතා මිස් කෝල් එකට ගාල්ලේ වැඩ හැකි පොලිස් නිලධාරිනිය ආදරවන්තියක් ලෙස පෙන්වමින් කුරුණෑගල ආදරවන්තයාට කතා කළාය.   


“මම ඔයාට කියන්න තමයි හිටියේ... මම බැඳලා. මගේ මහත්තයා අනතුරකින් මිය ගියා. දරුවන් එක්කෙනෙක් ඉන්නවා. එයා මේ ගාල්ලේ ජනප‍්‍රිය පාසලකට තමයි යන්නේ තුන වසරේ. මහත්තයාගේ නිවෙසේ තමයි මම ඉන්නේ. මහත්තයා ගුරුවරයෙක් නිසා මට මහත්තයාගේ විශ‍්‍රාම වැටුප ලැබෙනවා. අපේ දෙමාපියන් මියගිහිල්ලා. මහත්තයාගේත් දෙමාපියන් මියගිහිල්ලා.   


මමයි පුතයි විතරයි ඉන්නේ. ගාල්ලේ ..... පාරේ ..... හන්දියේ තමයි ගෙදර තියෙන්නේ...” ආදී වශයෙන් ගාල්ලේ මිස් කෝල් පෙම්වතිය කුරුණෑගල පෙම්වතාට ආදරයෙන් කතා කරන්නට වූවාය.   
“මම නම් බැඳලා නෑ... මම එන්න ද ගාල්ලේ ගෙදර...?” යැයි කුරුණෑගල පෙම්වතා ගාල්ලේ පෙම්වතියගෙන් ඇසීය.   


“කමක් නෑ... එන්න. ගාල්ලේ අධිවේගී බස් නතර කරන තැනට එන්න මම එතන ඉන්නවා. පුතාට ක්ලාස් එකක් ගාල්ලේ තියනවා. රෑ නවයට තමයි ඉවර වෙන්නේ. ඔයා නවයට මේ 03 වෙනිදා ආවොත් මම එක්කම ගෙදර යන්න හැකියි. කවුරුවත් දන්නෙත් නෑනේ...   


අනික ගාල්ල ගැන ඔයා දන්නෙත් නැති නිසා ඔයා කැමැති නම් එන්න. අප්‍රෙ‌්ල් 03 වෙනිදා. අපි හමුවෙලා තවත් කතා කරමු. අපේ ගෙදර රෑට ඉඳලා උදේ යන්න හැකිනේ...”   


“හරි... හොඳයි මම එන්නම්. ගාල්ලට ආවට පස්සේ මම ඔයාට කතා කරන්නම්. හරි... හරි...” යැයි කුරුණෑගල පෙම්වතා කීය.   


කථිකා කරගත් පරිදි පසුගිය 03 වැනි දින අධිවේගී බස් නවත්වන ගාල්ල බස් නැවතුමට අපේ කතාන්දරයේ ආදරවන්තයා පැමිණ සිටියේ මනමාල කුරුල්ලකු සේ සතුටිනි. ඒ වනවිටත් පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් ඒ අසල ඇස ගසා බලා සිටියේ ප්‍රෙ‌්මවන්තයා දෙසය.   


ගාල්ලේ ආදරවන්තිය කුරුණෑගල ආදරවන්තයාට කතා කළාය. 

 
ඒ සමඟම ඔවුනොවුන් හැඳින ගත්හ. ඒ විගසම අවට සිටි පොලිස් නිලධාරීහු හෙතෙම අත්අඩංගුවට ගත්හ. ගාල්ලේ පොලිසියේ පොලිස් නිලධාරිනියගේ පොලිස් ආදර ගැටයට හසුවූ සැකකාර ආදරවන්තයා ආදරවන්තියගේ නිවසට යනවා වෙනුවට ගාල්ල පොලිසියේ පොලිස් සිරකූඩුවේ කූරු ගණන් කරන්නට පොලිස් මංගල පෙරහරින් කැඳවාගෙන ගියෝය.   


වැරදි වැඩක් කර පොලිසියට කට්ටි පනිමින් සිටි කුරුණෑගල ආදරවන්තයා පොලිසියට කොටු වූයේ ගාල්ල නගරයේ දී පසුගිය 03 වැනිදාය.   


පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුගේ කතාන්දරය පොලිසිය සඳහන් කරන ආකාරයට මෙසේය.   


මීට වසර 4කට පෙර කඩුවකින් කොටා පුද්ගලයන් දෙදෙනකු හට මරණීය තුවාල සිදු කළ පුද්ගලයකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් 03 දින අත්අඩංගුවට ගෙන ඇත.   


අදාළ පුද්ගලයා 2014 වර්ෂයේ දී තෙලිකඩ මාමඩවිල ප‍්‍රදේශයේ ඇති වූ ආරවුලක දී පුද්ගලයන් දෙදෙනකුට මරණීය තුවාල සිදුකර ඇත. පසුව පොලිසිය විසින් පරීක්ෂණ සිදු කිරීමේ දී මෙම පුද්ගලයා ගමෙන් පැනගොස් ඇත.   


අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් පසුගිය දා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම පොලිසිය මඟහරිමින් සිටි පුද්ගලයා කුරුණෑගල ප‍්‍රදේශයේ ජීවත් වන බව ඔවුන් මෙහි දී සනාථ කර ගෙන ඇත.   


පසුව ඔහුගේ දුරකථන අංකය සොයාගත් ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කාන්තා පොලිස් පරීක්ෂකවරියක් ලවා ඔහුට කතා කරවා ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධතාවක් ගොඩනැගෙන ආකාරයෙන් කටයුතු කර ඇත.   


ඒ අනුව අදාළ කාන්තා පොලිස් පරීක්ෂකවරියගේ ඉල්ලීම අනුව ඇය හමුවීම සඳහා පසුගිය 03 වැනි දින රාත‍්‍රියේ මෙම පුද්ගලයා ගාල්ල බස් නැවතුම්පොළට පැමිණ ඇති අතර එහි දී ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.   


මෙම මෙහෙයුම සඳහා ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. කේ.එච්.එස්. පාලිත, පො.සැ. (28032) මෙන්ඩිස්, (58808) ප්‍රෙ‌්මසිරි, (60658) මදුසංක, (37882) බණ්ඩාර, (89790) බණ්ඩාර, (9203) නිෂානි යන නිලධාරීන් සහභාගී වූ අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.   

 

 

 


හබරාදූව නිමල් අල්ගෙවත්ත