පොරොන්දම් සාර්ථකව ගැළපී තිබ්යදීත් යුග දිවිය අසාර්ථක ​ෙවන්නේ කෙ​ෙස්ද ?


ජ්‍යොතිෂය පිළිබඳව එතරම් දැනීමක් නොමැති විවාහ අපේක්ෂිතයෝත් දෙමව්පියනුත් වැඩි අවධානයක් පො​රොන්දම් ගැලපීම කෙරෙහි යොමු කරනු දක්නට ලැබේ. පොරොන්දම් 20න් වැඩි ප්‍රමාණයක් සුභ වීම මත එයින් අපමණ සතුටට පත්ව ​ෙක්න්දර මැනවින් ගැළපෙන්නේ යැයි සිතා ඇතැ​ෙමක් විවාහය තීන්දු කර ගැනීමට පෙළඹෙති. කවර ආකාරයෙන් හෝ අද වනවිට බොහෝ දෙනකු දැනුම්වත්ව සිටින කුජ දෝෂ ශනි මංගල යෝග ආදිය යෙදී නැත්නම් පොරොන්දම් ද 11 ක් 12ක් වත් ගැළපේ නම් විවාහයට සුදුසු බවට නිර්දේශ කරන ජ්‍යොතිෂවේදියෝ ද අද යුගයේ විරල නොවෙති. 

 

වැදගත් ජ්‍යොතිෂ සාධකයන් පදනම් කරගත් අත්‍යවශ්‍ය පොරොන්දම්වලින් වැඩි ප්‍රමාණයක් ගැළපී තිබීම කේන්දර ගැළපීමේදී යම් වටිනාකමක් තිබේ. එහෙත් පොරොන්දම් සියල්ලම හොඳින් ගැළපුණත් කුජ දෝෂ, ශනි මංගල යෝගවලට අමතරව විෂ කන්‍යා යෝග, කඩ හංදි මාරක දෝෂ, වැන්දඹු යෝග, බහුවිවාහ යෝග වැනි විවිධ වූ විවාහ දෝෂවලින් එකක්වත් කේන්දර තුළ යෙදී ඇත්නම් යුගදිවි ගමන සැබෑ සහජීවනයකින් යුතුව පවත්වාගෙන යෑම අසීරු විය හැකියි. දරුවන්ගේ අනාගතයත් ආත්ම ගෞරවය ගැනත් සලකා සතුටින් සිටින බව ලෝකයාට මවාපාමින් නුරුස්නා යුග දිවියක් තුළ සිර වී විරසක සිතින් දික්කසාද වූවන් සේ ගත කරන පවුල් ජීවිත දිනෙන් දිනම සමාජගත වීමට ඉහතින් සඳහන් කළ පොරොන්දම් විවාහ ද ප්‍රබල සාධකයකි. 


විවාහය පිළිබඳව කේන්දරයේ ප්‍රධාන නිවේදන ස්ථානය වූ 7 වැන්න පාප ග්‍රහයන්ගෙන් පීඩා වීමත් 7 වැන්නට අධිපති වන ග්‍රහයා 6, 8, 12 යන ස්ථානයක දුර්වලව සිටීමත් යුග දිවි සැපතට හානිකර වන්නකි. 7 වැන්නේ තැන්පත් ග්‍රහයෝ මෙම 7 වැන්න දකින ග්‍රහයෝත් 7 අධිපති තැන්පත් රාශියත් ඔහු සමග සංයෝග වූ ග්‍රහයෝත් 7 වැන්නට ත්‍රිකෝණ වන 3, 11 යන භාවයන්හි සිටින ග්‍රහයෝත් ලග්නයෙන් සඳුගෙන් සහ සිකුරුගෙන් 1,2,4,7,8,12 යන තැන්වල තැන්පත් ග්‍රහයෝත් සහ 7 වැන්නට අදාළ විවාහකාරක ග්‍රහයාත් යන මේ සියලු දෙනාම යුග දිවියට මිහිරිදායක සැපවත් සුන්දර අත්දැකීමක් බවට පත්කරන්නටත් අමිහිරි කටුක අපායක් බවට පත්කරන්නටත් එක ලෙසින් දායක වෙති. මෙයින් කවර තත්ත්වයක් ඔබ උරුම කරගෙන පැමිණ සිටින්නේ ද යන්න කේන්දරය තුළ යෙදී ඇති ග්‍රහ සැලසුම තුළින් මැනවින් හඳුනා ගැනීමේ හැකියාව ඇත. 


කේන්දරයක ග්‍රහ පිහිටීම් සැලසුම් වන්නේ ද ආත්මගත කර්ම වේගයන්හි ගැළපීමකට සාපේක්ෂවමය. කෙනෙකුගේ විවාහය පිළිබඳ කර්මානුරූප උරුමය ද මෙම සැලසුම තුළ ඇත. එලෙස හඳුනාගත් මෙම කර්මානුරූප ස්වභාවයන්හි යම් සමගාමිත්වයක් කේන්දර දෙක තුළ පවතින බවට සෑහීමකට පත්විය හැකිනම් පොරොන්දම් ගැළපීමකට යොමුවිය යුත්තේ ඉන් අනතුරුවයි. සියලු යස ඉසුරින් සපිරි සුවිසල් මැදුරක ජීවත් වන තරුණයෙකුගේ කේන්දරයකට ගම්බද දිළිඳු තරුණියකගේ ​කේන්දරයක් පොරොන්දම් අනුව මැනවින් ගැළපෙනු ඇත. එහෙත් සැප සම්පත් උරුමකර ගැනීමේ භාග්‍ය හෙවත් ලබා උපන් හැටි අනුව මෙම ගැළපීම ප්‍රායෝගික වේද? 
පොරොන්දම් ගැළපීම අවම ප්‍රමාණයක පැවතිය ද ඉහත විෂමතාවයන්ගෙන් තොර ​ෙක්න්දර දෙකක එක​ කේන්දරයක රවි පිහිටි රාශියේම අනෙක් කේන්දරයේ සඳු පිහිටා තිබීම හෝ එක් කේන්දරයක සිකුරු පිහිටි රාශියේම අනෙක් කේන්දරයේ කුජ පිහිටා තිබීමත් ඉතා ගැඹුරු ආදර බැඳීමක් ජීවිත කාලය පුරාවටම දෙදෙනා අතර පවතින බවට තහවුරු කෙරෙන අපූර්ව පිහිටීමකි. මේ හැරුණු විට දෙදෙනාගේම චන්ද්‍ර රාශි අධිපතියන් ඔවුනොවුන් සතුරු ග්‍රහයින් නොවීමත් විශේෂයෙන් චන්ද්‍ර නවාංශක අධිපතියන් මිත්‍ර ග්‍රහයින් වීමත් එවැනිම වූ බැඳීමකට මග සලසා දෙන්නකි. කේන්දර දෙකේම 7 වැන්න අධිපතියන් ගුරුගේ දෘෂ්ඨියට ලක් වී සන්කලත්‍ර යෝගය උදාකර තිබීමත් වාසනාවන්ත යුග දිවියක උරුමය හිමිකර දෙන්නකි. තවද පුරුෂ කේන්දරයේ 7 අධිපති සිටින රාශියේම ස්ත්‍රී කේන්දරයේ සඳු පිහිටීමත් ​ෙක්න්දර ගැළපීමේදී සුවිශේෂ වටිනාකමක් ඇති කරයි. ස්ත්‍රී කේන්දරයේ සඳු පිහිටි රාශිය පුරුෂ කේන්දරයේ 7 වැන්න වීමත් පිරිමි කේන්දරයේ සිකුරු පිහිටි රාශියේ ස්ත්‍රී කේන්දරයේ සඳු පිහිටීමත් එවැනිම වූ වටිනාකමක් ගෙන දෙන්නකි. 


කේන්දරයක 7 අධිපති විවාහය වෙනුවෙන් පෙනී සිටින විවාහයේ නිවේදන ග්‍රහයා වන අතර මොහු බලවත්ව සුභ භාවයක තැන්පත්වීම උසස් විවාහයක උරුමය නිවේදනය කරවන්නකි. එසේම මෙම 7 අධිපති විවාහයට කාරකත්වය දරන සිකුරු සමග යෝගව සුභ භාවවල සුභ දෘෂ්ඨි සහිතව සිටීම විවාහයේ සාර්ථකත්වය තහවුරු කරවන්නක් වන අතර සිකුරු ලග්නාධිපතිගේ දෘෂ්ඨියට ලක්වීමත් එවැනිම වූ වාසනාවන්ත පිහිටීමක් වේ. මෙම ග්‍රහයින් දෙදෙනාගෙන් එක් එයකු හෝ සතුරු රාශිගතව පාප ග්‍රහයින් සමග සිටියදී සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්වී තිබීම යුග දිවියේ සතුට සුන්දරත්වය විනාශ වී යන ආකාරයේ විවිධ දුක් කරදර ඇති කරවන්නකි. 
ඉහතින් දක්වන ලද සියලු සාධකයන්ට අනුව විවාහ අපේක්ෂිත ස්ත්‍රී පුරුෂ දෙදෙනකුගේ ගැළපීම කේන්දර ඇසුරින් නිරීක්ෂණය කිරීම ඉමහත් වගකීමකින් යුතුව කළයුතු භාරදූර කටයුත්තක් වන බවත් එය පොරොන්දම් ගැළපීම පමණකින් තීරණය කිරීම බරපතළ ජීවන ගැටලු ඇති කරවන්නක් වන බවත් මැනවින් පැහැදිලි වේ. 

 

 

 


දයානන්ද පතිරගේ 
ජ්‍යොතිෂවේදී අකුරැස්ස පාර, පැදින්නෝරුව හංදිය වංචාවල.