පොත් කාමරයේ ලේ ගලන ගලක්


ගල් පර්වතයකින් ලේ කඳුළු ගලයි. මෙය අදහාගැනීමට නොහැකි දෙයකි. මෙසේ වන්නේ කෙසේද? එය නම් සිතා බැලිය යුතුමය. ඇත්තෙන්ම මෙය සිදුවිය හැකිද? නමුත් එය ඇත්තකි.   


පාෂාණයකින් ලේ කඳුළු වැගිරෙන්නේ යක්ෂ දෝෂයක් හෝ භූත, ප්‍රේත බලපෑමක් නිසා විය හැකිය. හේරත් මැණිකේ දුටු මේ සිදුවීමෙන් ඇය බොහෝ වික්ෂිප්තභාවයට පත්වූවාය. “දෙවියනි, ගල් පර්වතයෙන් මේ විදියට ලේ කඳුළු වැගිරෙන්නේ කොහොමද...? මේක නම් ප්‍රේත දෝෂයක්ම තමයි. නැත්තම් කවදාකවත් සිදුවෙන දෙයක්ද මේ..? හේරත් මැණිකේ භයින් බිරාන්තව සිටියාය. ඇයට කතා කරගැනීමටවත් නොහැකිය.   


අවුරුදු හැටනමයක් වයසැති හේරත් මැණිකේ තම ස්වාමිපුරුෂයා වන හේරත් බණ්ඩාරගේ පියා පරිහරණය කරන ලද පොත් කාමරය තුළ ඇති ගල් පර්වතයෙන් ලේ ගැලීම නිසා කිසිවක් සිතාගැනීමටවත් නොහැකිව අන්දමන්දව ඒ දෙස බලා සිටියාය.   


කාමරයේ දොර වැසූ ඇය තම සැමියා සොයා වත්ත පහළට ගියාය. “මේ ඇහුණද.. ඔයා කොහෙද..? අනේ ඉක්මනට එන්න මහත්තයො..” මැණිකේ කෑ ගසා අඬගැසුවේ බණ්ඩාර මහත්තයා පෙනෙන්නට නොමැති නිසාය.   


හේරත් මැණිකේ වත්ත පහළට ගොස් තම හිතවතුන්ට මේ බව පැවසූ සැණින්ම ඔවුන් දුවගෙන ආවේ කෙදිනකවත් සිදුවිය නොහැකි දෙයක් සිදු වී ඇති බව දැනගැනීමට ලැබුණු කුතුහලයෙනි.   


“අනේ අප්පොච්චියේ මේක අදහාගන්න බැරි දෙයක්නේ මැණිකේ... මේ මොන වින්නැහියක්ද දන්නෑ. මේක වෙන්නත් පුළුවන් දෙයක්ද අම්මපා.. මේක නම් මැණිකේ අමනුස්ස දෝෂයක් වෙන්න බැරි නෑ” සියල්ලෝ තම තමන්ට හිතෙන හිතෙන දේ පැවසීය.   


හේරත් බණ්ඩාර එම මොහොතේ නිවසට ගොඩ වූයේ “මැණිකේ හරි මහන්සියි. මට තේ කෝප්පයක් හදලා ගෙනත් දුන්න නම් කියමිනි. බණ්ඩාර මහතා ටවුමට ගිය බව මැණිකේට මතක් වූයේ එවිටය. නිවස තුළ සිට පිටතට පැමිණි අසල්වැසියන් දුටු බණ්ඩාර මහතා දෑස් විසල් කර මැණිකේ දෙස බැලීය.   


“අපේ මහත්තයෝ බලන්නකෝ අප්පච්චිගේ පොත් කාමරයේ තියෙන ගල් පර්වතයෙන් ලේ එනවා” මැණිකේ බණ්ඩාර මහතාගේ උඩ ගිය ඇස් දෙක දිහා බලාගෙන පැවැසුවාය.   


“මොනාද මේ කියන්නේ? මැණිකෙට පිස්සු හැදිලද..?” බණ්ඩාර මහතා ඇසුවේ පිරිස දෙස බලා එය ඇත්තක්ද යන්න දැනගැනීමටය.   


“අනේ ඔව් අපිත් මේ තකහනියක්ම ආවේ මේ මොකක්ද වෙලා තියෙන්නේ කියල බලන්නයි බණ්ඩාර මහත්තයෝ’’ අසල්වැසියෝ කීවේ තැතිගැන්මෙනි. බණ්ඩාර මහතා පියාගේ පොත් කාමරය වෙත ගොස් බලද්දී ඔහුට අදහා ගැනීමටවත් නොහැකි විය. දෑස් විසල් විය. මේ කුමක්ද සිදු වී ඇත්තේ? ගල් පර්වතයෙන් ලේ වැගිරෙයි. රාත්‍රී නමයට ආසන්නය. සියල්ලෝ යළි තම නිවෙස්වලට ගියහ.   


මෙම අද්භූත සිදුවීම කටින් කට ගියේය. දන්න නොදන්න හැමෝම හේරත් මැණිකේගේ නිවසට පැමිණියේ එහි ඇත්ත දැනගැනීමටය. දහවල් කාලයේදී ගල් පර්වතය නිසොල්මන්ව සිටී. ලේ ගලන්නේ සවස හත පසු වී අවසන් වනවිටය. “දහවල් කාලයේ බණ්ඩාර මුදියන්සේ මහතාගේ පොත් කාමරයේ නිදන ගල් පර්වතය රාත්‍රී කාලයේදී අඬනවා’’ යනුවෙන් පැතිර ගියේ කුතුහලය හා ත්‍රාසය මුසුවීමෙනි.   


හේරත් බණ්ඩාර මහතාගේ අප්පච්චි එනම්, බණ්ඩාර මුදියන්සේ මියගියේ ලේ පිළිකාවකිනි. තම එකම දරුවා වන හේරත් බණ්ඩාර හා ලේලිය වන හේරත් මැණිකේ හා මුදියන්සේ මහතා තමන්ගේ දේපළ භුක්ති විඳගෙන ජීවත් වූයේ සතුටිනි. හදිසියේම ඇති වූ ලේ පිළිකාව සුව කිරීමට කොපමණ වෙද හෙදකම් කළත් අවසානයේ ප්‍රතිඵල රහිත කඩවුණු අපේක්ෂාවෙන් මුදියන්සේ කාමරයට මුළුගැන්වුණේය. දින කිහිපයකින් පසු ඔහු ජීවිතය අතහැර ගියේය. මුදියන්සේට තිබුණු ලේ පිළිකාව නිසා සැවොම සිතන්නට වූයේ ඔහු මියගොස් ප්‍රේතයෙකු වී ගල් පර්වතයට වැහිලා පර්වතයෙන් ගලන්නේ ලේ කඳුළු කියාය.   


“දේපළවලට ආශාවෙන් මැරිලා තියෙන්නේ. ඒකනේ මැරිලා ගලකට වැහිලා ලේ හලන්නේ..” සැවොම සිතුවේ එසේය.   


බණ්ඩාර මුදියන්සේ ස්වභාවික පරිසරයට ඉමහත් කැමැත්තක් දැක්වූ අයෙකි. ඔහු නිතරම තමන් වෙසෙන නිවස සුන්දර කරන්නට ස්වභාවික දේ යොදා ගත්තේය. කබොක් ගල් යායක් මැද ඉදි වූ නිවසේ තමන් පරිහරණය කරන පොත් කාමරයේ මැදින් කබොල් ගල් පර්වතයක් නිර්මාණය වී ඇති අයුරින් කාමරය තැනීම සිදුවූයේද ඔහුගේම සිතුවිල්ලකට අනුවය. රතු, රෝස, කහ, දුඹුරු පැහැයෙන් යුත් කබොක් ගල් නිවසට ගෙන ආවේ අමුතුම සුන්දරත්වයකි,   


එය ඉතා කලාත්මක දසුනකි. බණ්ඩාර මුදියන්සේගේ පුතා හේරත් බණ්ඩාර විවාහ වී තම බිරිඳ සමඟ පියාගේම නිවසේ නතර විය. කාලයක් ගියද ඔවුනට දරුවන් ලැබුණේ නැත. තම ලේලිය මුදියන්සේ මාමාට ආදරයෙන් සැලකීය. අවුරුදු අනූනමයක් වනවිට බණ්ඩාර මුදියන්සේට ලියුකේමියාව නම් ඉහත කී රෝගය හැදුණේය. ඒ දැන් ඔහු ප්‍රේතයෙකු වී තම පුතා හා ලේලිය නිවසින් පන්නා දමන්නට ලේ වගුරවන බව මුළු ගමේම පැතිරුණි.   
ඒ තවත් අරුම පුදුම සිදුවීමක් වී ඇත. ගල් පර්වතය කෙමෙන් කෙමෙන් වැඩෙන්නට පටන් අරගෙනය. එනම් ගල් පර්වතය විශාල වන බව සැවොම දුටුවහ. මුළු නිවසම ගල් පර්වතයෙන් ගිල ගැනීමට යන බවත් මෙම නිවසේ කිසිවකුටවත් ජීවත් වීමට ප්‍රේතයා ඉඩ නොදෙන බවත් කටකතා පැතිර ගියේය. ත්‍රාසය, බිය, කුතුහලය වැඩි විය.   


මෙහි සත්‍යතාව පිළිබඳ දැනගැනීමට විදුල අධිමනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය, පී.එන්. විද්‍යාකුලපති මහතා එහි ගියේය. ගම්වාසීන්ගෙන් සියලු තොරතුරු දැනගැනීමට ලැබිණි. විදුල අධිමනෝවිද්‍යා පර්​යේෂණ සංගමයේ සාමාජිකයෝ සවස ගෙවී රාත්‍රිය උදා වන තුරු බලා සිටියහ. 

 
පුදුමයකි. ගම්මුන් පැවසූ ආකාරයට රාත්‍රී අටට ආසන්න වනවිටම ගල් පර්වතයෙන් ලේ කඳුළු ගලන්නට පටන් ගත්තේය. ගම්වාසීහු බියෙන් නිවසින් පිටතට දුව ගියෝය. කුඩා කඳුළු බිඳු මෙන් ගල් පර්වතයෙන් රත් පැහැති ද්‍රවයක් ගලා ආවේය. විදුලි පන්දම් එළි මගින් විදුල අධිමනෝවිද්‍යා සංගමයේ පිරිසට මෙහි සිදුවන විද්‍යාත්මක, පාරිසරික, කාලගුණික, දේශගුණික තත්ත්වය මනාව හඳුනා ගැනීමට හැකි විය.   


බණ්ඩාර මුදියන්සේ මියගියේ ලේ පිළිකාවකින් බව සැබෑය. නමුත් පාෂාණයකට ලේ මැවිය හැකිද යන්න ප්‍රශ්නයකි. එය කෙසේවත් පිළිගත නොහැකිය. එය සිදුනොවන බව විද්‍යාත්මකව ඔප්පු කළ හැකිය.   


මුදියන්සේ ජීවත් වන කාලයේ බොහෝ වේලාවක් කාලය ගත කළේ මෙම පොත් කාමරයේය. එය විශාලය. මුදල් සේප්පුව පවා තිබුණේ මෙම කාමරයේය. රාත්‍රී කාලයේ නිදාගන්නට පමණක් නිදන කාමරය පරිහරණය කරන ඔහු උදේම අවදි වී තේ වීදුරුවද රැගෙන එන්නේ මෙම කාමරයට ය. ඒද බොහෝ වේලාවක් ගත කරන්නේය. ඔහු මෙම කාමරයේ රැඳීමට ප්‍රියකරන බව කවුරුත් දනිති. හේරත් බණ්ඩාරට හෝ හේරත් මැණිකෙට අත්‍යාවශ්‍ය යමක් පැවසීමට තිබුණොත් ඔවුන් කැඳවන්නේද එම කාමරයටය.   


දෛනික ජීවිතයෙන් බොහෝ වේලාවක් ඔහු ගත කරන්නේ මෙම කාමරයේ නිසා මියගියද දේපළ තණ්හාවට ප්‍රේතයෙකු වී මෙම කාමරයේ ඇති ගල් පර්වතයට වැහිලා නිවැසියන් පන්නා දමන්නට පැමිණ ඇතැයි කෙනෙකු විශ්වාස කළ හැක. එය සත්‍යයක් සේ බොහෝ දෙනෙකුට හැඟීම පුදුමයක් ද නොවේ. නමුත් මේ සියල්ලම මනෝ සිතුවිලි සමුදායක් පමණි. කිසිවක් සත්‍යයක් සේ ගත නොහැකිය.   


නිවස මැද ඇති විශාල කබොක් පාෂාණය කැපීමේදී වර්ණයෙන් රතු වර්ණයක් දැකිය හැකිය. කබොක් ගල්වල එම පාෂාණ ගුණය ඇත. එය සත්‍යයකි. දහවලට අවට පරිසරයෙන් උරා ගන්නා වූ ජල වාෂ්ප රාත්‍රියට පාෂාණවලින් මුදාලීම භූගෝලීය හා විද්‍යාත්මකව සිදුවන්නකි. මෙම ප්‍රදේශය දවාලට මෙන් නොව, රාත්‍රියට ඉතා සෞම්‍ය තත්ත්වයක් ඇත. උෂ්ණත්වය අඩු වන නිසා දහවල උරා ගත් ජල වාෂ්ප රාත්‍රියේදී මුදාලීම සිදුකරයි. රතු දුඹුරු පැහැති ආකාරයෙන් ඒ ජල බිඳු මුදාහරින්නේ විද්‍යාත්මක ආකාරයටයි. මේ පිළිබඳව මනා වැටහීමක් ඇති අයට එය අවබෝධ කරගත හැකියි.   


ලේ කඳුළු සලා හඬන භූතයින් හෝ ප්‍රේතයින් නොමැත. යක්ෂයින් හෝ කුම්භාණ්ඩයින්ද නොමැත. මෙහි සිදුවී ඇත්තේ සත්‍ය වූ විද්‍යාත්මක ක්‍රමවේදයකි. රුධිරය ගැලීමක් මෙහි සිදුවී නොමැත. කබොක් ගල් වර්ණය සමඟින් ජල වාෂ්ප මුසු වී පිටතට වැගිරීම පමණක් මෙහි සිදුවී ඇත.   


මේ අයුරින් සිද්ධියෙහි විද්‍යාත්මක පැතිකඩ පෙන්වා දී ලේ කඳුළු හලන පාෂාණ භූතයා පිළිබඳ සත්‍යය සියල්ලන්ටම අවබෝධ කරදෙන්නට වෛද්‍ය, පී.එන්. විද්‍යාකුලපති මහතා ඇතුළු විදුල අධිමනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ පිරිසට හැකි විය.   


උමතු බව, සිහි විකල් බව, සිහිමුළාව, ඔල්මාදය, උන්මාදය, වියරුව, විකාරය, පිස්සුව යනාදී සියල්ල අපට ඉතා හුරු පුරුදු වචන බව අප දනිමු. මනස නිසි ලෙස පවත්වාගෙන යාමට අසමත් වීම නිසා ඇතිවන සුළු මානසික ව්‍යාකූලතාව මෙන්ම උග්‍ර මානසික විකෘතතා උන්මාදය නැතහොත් උමතු බව යන්නෙන් අදහස් වේ.   


සත්තකින්ම බටහිර මනෝවිද්‍යාව අනුව ක්ලමථය නමින් හැඳින්වෙන මානසික පීඩනය, කාංසාව හෙවත් කාන්සිය, තනිකම, පාළුව, සරල භීතිකා හා ඇබ්බැහිවීම් යනාදිය සුළු මානසික රෝග වශයෙන් සැලකේ. එසේම ඒ අතර සිය දිවි හානි කර ගැනීමට තරම් සිතෙන භින්නෝත්මාදය, විෂාදය, උන්මාදය වැනි උග්‍ර මානසික ව්‍යාකූලතාවන් දරුණු මානසික රෝග වශයෙන් සැලකේ. මෙම දෙවැදෑරුම් මානසික රෝගවලින් ම මිනිසුන් බහුල ලෙස පෙළීම වර්තමාන ලෝකය හමුවේ ඇති ප්‍රබල ගැටලුවකි. එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය විසින් ලෝකය දියුණුව කරා පිය නඟන බව පැවසෙන නමුත් එහි වෙසෙන අප මානසික රෝගීන් නම් ලෝකය යනු කුමක්දැයි ගැඹුරින් සිතිය යුතුව ඇත්තේ යථාර්ථයට මුහුණ දිය යුතු වන නිසාවෙනි.   


මිථ්‍යා විශ්වාස නිසා පුද්ගලිකව ජනතාව අත් කර ගන්නා අනර්ථය මෙන්ම මිථ්‍යා විශ්වාසයන් හි ලොල් වීම නිසා සමාජයක් ලෙස අප සිටින පසුගාමී තත්ත්වය පිළිබඳත් කරුණු ගැනද සිතිය යුතුය. මිනිසුන් අතරින්ම පහළවන අවැඩදායී, හානිකර අදහස් මිත්‍යා මත හෙවත් මිත්‍යා විශ්වාස යනුවෙන් හැඳින්වේ.   


විද්‍යාත්මක චින්තනය සංවර්ධනය වීමත් සමඟ මුල් කාලීන මානවයාට වඩා තාර්කිකව සිය සිතීමේ හැකියාව වර්ධනය කර ගැනීමට මිනිසා පෙළඹුණේය. නූතන විද්‍යාව ජීවිතයේ සෑම අංශයකම පැවති මිථ්‍යාව දුරු කර හැරීමට සමත් විය. මේ නිසා ආගම, සමාජයීය ආකල්ප, සිතුම් පැතුම් ආදී දේ සියල්ල කාලානූරූපව වෙනස් වේ. එය සත්‍යයකි. මුල් කාලීනව මානවයා ඉතා තදින් නොපෙනෙන අදෘෂ්‍යමාන බලවේගවල පාලනයට වුවමනාවටත් වඩා ගැතිව සිටි බවට පුරා විද්‍යා සාධක හමු වී තිබේ. මානව සංජානනය තාර්කික දැනුම සමඟ දියුණුවත්ම තවදුරටත් මානවයා හට අදෘෂ්‍යමාන බලවේගවල පිහිට ලැබීමට වුවමනා නොවීය.   


නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසාම විවිධ අසාධ්‍ය රෝග සඳහා ඖෂධ වර්ග සොයා ගැනිණි. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු විය. මේ නිසාම මුල් කාලීනව මානවයා ආගමින් ඉටු කරවා ගැනීමට බලාපොරොත්තු වූ බොහෝ කටයුතු කිසිදු අංශු මාත්‍රයක අඩුපාඩුවක් නැතිව නූතන විද්‍යාව මඟින් ඉටු කර ගැනීමට හැකි බව කිව යුතුව ඇත. මේ නිසා අද සමාජය තුළ වෙසෙන මානවයාට සමය මඟින් ඉටු කරවා ගත යුතු දෙයක් නැති තරමට විද්‍යාව මිනිසුන් හට සමීප වී තිබේ. සමය අද මානව සමාජය වෙතින් ක්‍රමයෙන් දුරස්ව යාමට ප්‍රබල හේතුවක් වී ඇත්තේද මේ කරුණයි.   


මානවයින් සමය සංකල්පයෙන් බලාපොරොත්තු වූ කරුණු විද්‍යාවේ මහිමයෙන් ඉටු කරවා ගැනීමට හැකියාව ලැබී ඇති බැවින් තව දුරටත් මේ සමාජයේ සමයට පැවැත්මක් නැති වන තරමට එය මානවයා වෙතින් දුරස්ව තිබේ. මේ සියල්ලම තේරුම්ගත යුත්තේ මිනිසා විසින්මය. එහි වගකීම ඔබ සතුය.   


දහවල් කාලයේ බණ්ඩාර මුදියන්සේ මහතාගේ පොත් කාමරයේ නිදන ගල් පර්වතය රාත්‍රී කාලයේදී අඬනවා ලේ ගලනවා කතාන්දරයේ සත්‍ය කතාන්දරය ගැන ඔබ සිහියෙන් දැන ගතයුතුව තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව ඇත.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   


සටහන 
හබරාදුව නිමල් අල්ගෙවත්ත