පෙරභව සැත්කම් කැළල් ඇතිව උපන් දරුවෝ


​පෙර භවයේ ප්‍රබල සාක්කි 

 

 

 

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වූ ඇතැම් සිදුවීම් වෛද්‍ය වාර්තා මගින් සනාථ වූ අවස්ථා රැසක් ඇත. උපතින් සිරුරේ පිහිටි ආබාධිත තත්ත්වයන් පෙරභවයේදී සිදු කළ ශල්‍යකර්ම හේතු කොටගෙන ඇති වූ ඒවා බැව් ඇතැම් වෛද්‍ය වාර්තා මගින් තහවුරු විය.  


පෙර භවයේ ඇති වූ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී සිරුරේ ඇති වූ සලකුණු මේ ආත්මභවයේදී උපන් ලප ලෙස ඇති බැව් පිළිගැනීමට සිදුවූ අවස්ථා රැසක් තිබේ. ඔවුන්ගේ පෙරභව රෝගී තත්ත්වයන් අතර වකුගඩු බද්ධ කිරීම වැනි සිරුරට ඒ අතර පෙරභවයේ කළ සැත්කම්ද ඇතුළත් වේ. වකුගඩු බද්ධ කිරීම සඳහා සිදු කළ සැත්කම් කැළල් උපන් ලප ලෙස සිරුරේ පිහිටා තිබීම මෙන්ම හිසේ සිදු කළ සැත්කමක සලකුණු ඒ අයුරින්ම උපන් ලප ලෙස දක්නට තිබූ දරුවෙක්ද වෙයි. හදවත් සැත්කමක් සිදු කළ තවත් අයෙකුගේ පෙරභවය හෙළි කළ දරුවෙකුගේද උපතින් පපුවේ උපන් ලපයක් පිහිටා තිබීමද විශේෂත්වයක් ලෙස පර් යේෂණවලට ඇතුළත් වී ඇත. 

 
පෙර භවයේදී වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරී​මේදී නළ මගින් ආහාර සහ ඖෂධ ලබා දුන් දරුවෙකුගේ නාසයේ දක්නට ලැබුණු පිහිටීමක්ද අතිශය පුදුම උපදවන සුලුය. වෛද්‍ය වාර්තා මගින්ද තහවුරු වූ එම දරුවාගේ උපත සිදුවූයේ වැලිගම ප්‍රදේශයෙනි. පෙරභවය හෙළි කළ එම දරුවාගේ උපතින් නාසයේ එක් කුහරයක් අවහිරතාව සිදුවිණ. එම පිහිටීම පෙරභවයකට සම්බන්ධතාවක් ඇතැයි මාපියෝ කිසිවිටෙකත් නොසිතූහ. එම නාස්කුහරය ඇතුළතින් සිරවීමක් ලෙස පිහිටා තිබිණි. වෛද්‍යවරුන්ට ඉදිරිපත් කළ ද එයට ​හේතු වශයෙන් රෝගී තත්ත්වයක් සනාථ නොවීය.  


බහතෝරන වියට පත්වීමෙන් පසු එම දරුවා පෙරභව අනාවරණය කළේය. මාපියන් සමග ඔහු පෙර භවයේදී ජීවත්ව සිටි​යේ බළපිටිය ප්‍රදේශයේ බැව් එම දරුවා අනාවරණය කළේය. එහිදී සොහොයුරියක සිටි බවත් දුම්රියෙන් පාසල් ගිය බවත් ඔහුට මතක තිබිණි.  


පෙරභවයේදී ​‘බේබි මහත්තයා’ යනුවෙන් ඔහුව ඇමතූ බවද එම දරුවා අනාවරණය කළේය.  


පෙරභවයට සම්බන්ධ පුද්ගල නම් කීපයක්ද නිවැරදිව හෙළි කළ මෙම දරුවාට පෙරභව, නිවසට යෑමට අවස්ථාව ලැබිණි. එහිදී මාපියන් ඇතුළු ඥාතීන් කීප දෙනෙක් නිවැරදිව හඳුනා ගැනීමටද ඔහුව හැකි විය. මෙම දරුවාගේ නාසයේ පැවති පිහිටීම පිළිබඳව වැදගත් කරුණක් අනාවරණය කර ගැනීමට මේ පිළිබඳව සිදු කළ පර් යේෂණයේදී අවස්ථාව ලැබිණි.  


 ඔහු මරණයට පත්වී තිබු​ණේ වයස අවුරුදු නවයේදීය. මරණයට පත්වීමට හේතු වූයේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකි. ඔහු රෝහල් ගත කර සිටියදී ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා නාසයෙන් නළයක් දැමීමට වෛද්‍ය අංශවලට සිදු වී ඇත. දින දෙකක් පමණ ඒ අයුරින් ප්‍රතිකාර සිදු කිරීමේදී නාසයේ කුහරයක් දැඩි ලෙස ඉදිමී තිබූ බව මාපියන්ට දක්නට ලැබිණි. ඒ අතරතුර ඔහු මරණයට පත්විය. මෙම දරුවාගේ පුනර්භව පර් යේෂණ සඳහා පැමිණි මහාචාර්ය ස්ටීවන්සන් නාසයේ පිහිටීම පිළිබඳව සියුම් ලෙස පර්​යේෂණයක් පැවැත්වීය. අනතුරුව ඔහු පර් යේෂණ වාර්තාවක් සකස් කර පළ කළේය.  


එම පර් යේෂණ වාර්තාවට පෙරභවය​ හෙළි කළ දරුවාගේ නාසයේ පැවති තත්ත්වය සඳහන් කර ඇත්තේ මෙසේය.  


(INDIKA HAD POLY GROWING FROM THE LEFT SIDE OF HIS NOSAL SEPTUM SHOWS THAT IT TO SOME EXTENT OBSTRUCTED THE AIRWAY ON THE LEFT SIDE OF IS NOSE.)  


මේ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී මියගිය දරුවාගේ වෛද්‍ය වාර්තාවේ ඔහුට කළ ප්‍රතිකාරවලදී නාසය යොදා ගත් අයුරු සඳහන් කර ඇත්තේ (NASAL FEED 6 HAURLY GIVEN) යනුවෙනි.  


 පෙණහල්ලේ ඉදිමීමක් හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීමේදී සිදු කළ සැත්කමක සලකුණු සහිතව උපත ලැබූ දරුවෙකු පිළිබඳව පර් යේෂණයක් අැලස්ථාවේදී සිදු කැරිණි. “සුසාන්” නමැති විසිහතර හැවිරිදි තරුණියක් දරුණු පෙණහලු රෝගයක් වැළඳී සිටියාය. ඇගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් විසින් ඇයට සැත්කමක් සිදු කරනු ලැබීය. ඇගේ රෝගී තත්ත්වය නිව්මෝනියාව ලෙස හඳුනාගෙන තිබිණි. ශල්‍ය කර්මය සිදුකර දින හයක් ඇතුළත ඇගේ මරණය සිදුවිය.  
අැගේ මරණය සිදුවී වසර හයක් ගතවිණි. ඇගේ පියාගේ ඥාති සොහොයුරෙකුගේ විවාහයෙන් පසු ඔවුන්ගේ පවුලට දියණියක් උපත ලැබුවාය. ඇගේ සිරුරේ උපතින් දක්නට ලැබූ උපන් ලපයක් පපුව ප්‍රදේශයේ පිහිටා තිබිණි. ඇය බහ තෝරණ වියට පත්වීමත් සමග ඇගේ පපුවේ උපන් ලපය ඇති ස්ථානයෙන් වේදනාවක් දැනෙන බැව් දැරිය ප්‍රකාශ කරන්නට වූවාය. එයද අතිවිශේෂ සිදුවීමක් විය.  


පෙර භවයේ පියා දුටු සැණින් ඇය විසින් ඔහු තම පියා ලෙස හඳුනා ගැනීමත් ඔහුට පියා යනුවෙන් ඇමතීමත් නිසා තම මියගිය දියණිය යළි ඉපදීමක් සිදුවී ඇතැයි මියගිය දියණියගේ මාපියෝ විශ්වාස කළහ.  


මේ පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් සිදු කළ පර්යේෂණයේදී මියගිය තරුණිය නිව්මෝනියාව වැලඳී සිටියදී සිදුකළ සැත්කම පිළිබඳව වෛද්‍ය වාර්තා නිරීක්ෂණ කිරීමටද හැකි විය. මරණ සහතිකයේ සඳහන් වන්නේ රෝගී තත්ත්වය පෙණහැල්ල ඉදිමීම ලෙසය. (PLEURAE DRAINAGE) යනුවෙන් එය හඳුන්වා ඇත.  


සැත්කමකින් පසු එම සලකුණු ලබා උපන් දරුවෙකු ලෙස ඇගේ කතාව මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද (BIRTHMARKS CORRESPONDING TO SURGICAL WOUND AND OTHER SKIN LESIONS 0N DECEASED PERSONS) නම් පර් යේෂණ වාර්තාවටද ඇතුළත් කර තිබේ.  


වකුගඩු රෝගයක් නිසා සිරුරට සිදුකළ ශල්‍යකර්මයකදී ඇති වූ තුවාල කැළලක් උපන් ලපයක් ලෙස අනාවරණය වූ දරුවෙක් වසර කීපයකට උඩදී මොරටුව ප්‍රදේශයේදී උපත ලැබීය. උපතින්ම ඉතා පැහැදිලි උපන් ලපයක් ඔහුගේ උදරයටත් පිටපැත්තටත් අතර දක්නට ලැබිණි. බහ තෝරන වියට පත්වීමෙන් පසු ඔහු පෙරභවය අනාවරණය කළේය. පෙර භවයේදී වකුගඩු බද්ධ කිරීමක් සඳහා ශල්‍යකර්මයක් සිදුකළ බැව් එම දරුවා ප්‍රකාශ කළේය. එහිදී රෝහල් ගතව සිටි අයුරුත් දුන් ඖෂධ වර්ගයක් ගැණත් පැහැදිලිව හෙළි කිරීමට ඔහුව හැකිවිය.  


තම පෙරභව ඡායාරූප ඇතුළු හඳුනා ගැනීම් රැසක් නිවැදිව සිදුකළ එම දරුවා අනාවරණය කළ පුද්ගලයාගේ මරණ සිදුවූයේ දරුණු වකුගඩු රෝගයක් වැලඳීම නිසාය. ඒ වන විට ඔහු 47 වන වියේ පසුවිය. ඔහුගේ බිරිය නැවත විවාහ වීමෙන් පසු උපත ලැබූ දරුවා මෙම පුනර්භව සාධකය විය. ඔහුගේ සිරුරේ දක්නට තිබූ උපන් ලපය මෙම දරුවාගේ කතා පුවතට ප්‍රබල සාක්ෂියක් බවට පත්විය.  


හිස වටා පිහිටි උපන් ලපයක් මගින් පෙරභවය අනාවරණය කළ සිදුවීමක් අසූවේ දශකයේදී පර් යේෂණයකට ලක්විය. දරුණු පහරදීමකට ලක්ව හිසට තුවාල සිදුවී ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු මියගිය පුද්ගලයකුගේ ජීවිත තොරතුරු හෙළි කළ එම දරුවා 1980 වසරේදී නයිජීරියාවේදී උපත ලැබීය. එම දරුවාගේ හිස වටා පමණක් ඇතුරූ අයුරින් උපතින් කැළලක් දක්නට ලැබීම විශේෂත්වයක් විය.  


නයිජීරියාවේ ගම් දෙකක් අතර ඇති වූ ආරවුලක් නිසා පොලු පහරක් හිසට වැදීමෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ තොරතුරු ඔහු විසින් අනාවරණය කළේය. උපතින් ගැහැනු දරුවෙකු උපන් ඇය බෙහෙවින් පිරිමි දරුවන්ගේ ඇසුරට කැමැත්තක් දැක්වීය. ඇගේ මෙම හැසිරීම රටාවද මාපියන්ගේ දැඩි අවධානයට යොමු වී තිබිණි. ඉතා කුඩා අවදියේ සිට ඇය තුළින් දක්නට තිබූ තවත් හැසිරීම් රටාවක් විය. එනම් ඇය කෝටුවලට අතිශය බියක් දැක්වීමය.  


දිනක් මව ඇමතූ ඇය තමා පියාගේ සොහොයුරා යැයි පැවසීය. මව මවිතයට පත් කරමින් ඇය කළ ප්‍රකාශය මවගේ දැඩි අවධානයට යොමු කැරිණි. එයට හේතු වූයේ සැමියාගේ සොහොයුරා ඊට වසර දහයකට පෙර මියගොස් සිටීමය. ඔහුගේ මරණය සිදුවූයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නිසා පුද්ගලයෙකු විසින් ඔහුගේ හිසට එල්ල කළ පොලු පහරක් නිසාය.  


හිසට සිදුවූ බරපතළ තුවාළ නිසා රෝහල් ගත කිරීමෙන් පසු හිසට ශල්‍යකර්මයක් සිදු කැරිණි. තුවාලවලට මැහුම් යෙදීමෙන් අනතුරුව හිස වටා වෙළුම් පටියක් යොදනු ලැබීය. තම දරුවාගේ හිස වටා දක්නට ඇති උපන් ලප කැළල මියගිය අයගේ හිසට ප්‍රතිකාර කර තිබූ අයුරු නිරූපණය වන බැව්ද ඇයට දක්නට ලැබිණි.  


මෙම පුනර්භව සිදුවීම් පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් පර් යේෂණයක් සිදු කැරිණි. එහිදී දරුවාගේ හිස වටා උපතින් දක්නට තිබූ කැළල පෙර භවයේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් පසු යොදන ලද වෙළුම් පටියට සමාන බැව් සනාථ කිරීමට හැකිවිය.​  


මේ අයුරින් ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු මරණයට පත්වූවන් පිළිබඳව අනාවරණය කළ දරුවන්​​ගේ සිරුරුවල දක්නට තිබූ උපන් ලප පුනර්භව සාධකවලට අතිශය ප්‍රබල සාක්කි බවට පත්වී ඇත. පෙරභවය හෙළි කළ දරුවන්ගේ උපන් ලප අනුව පෙරභවයේදී ශල්‍යකර්ම සිදුකිරීමෙන් පසු ඇති වූ තුවාල කැළල් ලබා උපන් තවත් සිදුවීමත් කොලොම්බියාවෙන්ද හෙළි වී තිබේ. 

 
එම සිදුවීමට අදාළ පෙර භවයේ තැනැත්තා පිළිකාවක් නිසා කුසය මතුපිට ශල්‍යකර්මයක් සිදුකර ඇත. පෙරභවය හෙළි කළ දරුවාගේද එලෙසම උපන් ලපයක් පිහිටා තිබිණි. එවැනි තවත් සිදුවීම් බුරුමය සහ ඉන්දියාවෙන්ද අනාවරණය වී ඇති අතර එම දරුවන් පිළිබඳව ද පර් යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ.

 


තිස්ස ජයවර්ධන