පෙර භවයේ දූ දරුවන් සොයා ගිය “යළි උපන් මව”


කුඩා දරුවන් බොහෝවිට විවිධ ක‍්‍රීඩාවල යෙදීම සාමාන්‍ය සිරිතය. ඇතැම් දරුවෝ සෙල්ලම් කඩ දමති. ඇතැමුන් සෙල්ලම් පාසල් පවත්වති. තවත් අය සෙල්ලම් බත් උයති. කුඩා දරුවන්ගේ මෙවැනි ක‍්‍රියා පිළිබඳව දෙමාපියෝ කිසිදු අවධානයක් යොමු නොකිරීමද සිරිතය. එහෙත් දැරියක් විසින් සෙල්ලම් බත් උයමින් සිට කරන ලද ප‍්‍රකාශයක් ඇගේ පෙරභවය සිහිගැන්වීමක් බවට පත්විය. මාදම්පේ රෝහලේදී 1972 සැප්තැම්බර් පළමුවෙනිදා උපත ලැබූ එම දැරියට නම් දී තිබුණේ සෞම්‍යා යනුවෙනි.

බහ තෝරන වියේ සිට දඟකාර දැරියක වූ ඇය ගෙදර දොර වැඩවලට මහත් උනන්දුවක් දැක්වීම ඇය තුළින් දක්නට ලැබූ විශේෂත්වයක්ද විය. ඇගේ ප‍්‍රියතම කාර්යය වී තිබුණේ සෙල්ලම් බත් ඉවීමය. මාපියෝ ඒ සඳහා දියණියට කුඩා වළං කීපයක්ද ක‍්‍රීඩා භාණ්ඩ ලෙස ගෙන දී තිබිණි. දිනක් පුංචි දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටියාය. වළං පොඩිවලින් ආහාර බෙදන අයුරු නිරූපණය කරමින් සිටින දියණිය වෙත පැමිණි මව, 


‘දුව මොකද කරන්නේ? යයි විමසීමක් කළාය. මව දෙස බැලූ දැරිය 


‘මම දරුවන්ට බත් බෙදනවා’ යි කීවාය. පුංචි දරුවන්ගේ ප‍්‍රකාශයක් ලෙස දියණියද එසේ කියන්නේ යයි මව සිතුවාය. එහෙත් ඉන් නොනැවතුණ දැරිය නැවතත් මව ඇමතුවාය. 


‘දුවලගෙ තාත්ත නම් ගෙදර නැතුවත් ඇති. දූල අතරමං වෙලාද දන්නෙ නෑ’ යයි ද කීවාය. 


‘දූලගෙ තාත්ත කොහේද ඉන්නේ? මව සිය දියණියගෙන් විමසුවේ ඇය කරනු ලබන ප‍්‍රකාශය පිළිබඳව ඇයට ගැටලූවක් වූ බැවිනි. එයටද පිළිතුර දුන් දැරිය. 


‘කුලියාපිටියේ’ යැයි ක්ෂණිකවම කීවාය. 


සිය දියණිය කිසියම් පෙර භවයක් හෙළි කරන්නේද යන්න මව සිතුවාය. ඒ බැව් සිය සැමියාටද පැවසූ මව ඇය විසින් කරනු ලබන ප‍්‍රකාශ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළාය. එහෙත් පියා ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළේය. ඔහු පැවසුවේ දියණියගෙන් ඒ ගැන විමසීම් නොකරන ලෙසයි. එහෙත් දියණිය හෙළි කරන තොරතුරු විමර්ශනය කළ යුතු යයි මව බලාපොරොත්තු වූවාය. 


මේ අතර තවත් දිනක් පාසල් ශිෂ්‍යාවක් දුටු දැරිය, 


‘මගේ ලොකු දුවත් ඔය වගේමයි’ යයි කීවාය. දියණිය පැහැදිලිවම ඇගේ පෙර භවයක් පිළිබඳව අනාවරණය කරන බැව් මවට අවබෝධවිය. දියණියගෙන් ඒ ගැන තොරතුරු විමසීමට පියා විරුද්ධ විය. දියණිය ගෙන් කරුණු විමසීම ඇයට හිරිහැරයක් වේයයි ඔහු සිතුවේය. එහෙත් මව ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවූවාය. 


කිසිදු විමසීමක් නොකිරීමට මවද සිතා සිටියාය. එහෙත් තවත් දිනක් මව ඇමතු පුංචි දැරිය මව එහෙදි නැන්දත් එක්ක පන්සල් යනවා. අපේ ගේ සමහරදාට තෙමෙනවා. දුලගෙ තාත්තා ඉනිමග තියලා වහළ හදනවා. මව දූල බලන්න යන්න ඕනෑ යයි කීවාය. ඇය නිතරම කියා සිටියේ ඇයට දියණියන් දෙදෙනෙකු සිටි බවකි. 


දියණියගෙන් තොරතුරු විමසීමට සැමියා එකඟ නොවුණත් ඇය අනාවරණය කරන කරුණු පිළිබඳව විමසීමට මව උනන්දු වූවාය. ඒ අනුව 


‘ඔයාගෙ ගෙදරට යන්නෙ කොහොමද?’ යයි මව දිනක් ඇගෙන් විමසීමක් කළාය. 


‘පාර දිගේ ගියාම වෙලක් තියෙනවා වෙල පාරේ ගිහින් යන්න ඕනෑ’ දියණියගේ පිළිතුර විය. අනතුරුව ඇය නිතර නිතර පෙර භවය සිහි කරමින් පෙර නිවසට රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. නිවෙසට පැමිණෙන අමුත්තන්ටද ඇය පෙරභවයේ ජීවිත තොරතුරු අනාවරණය කරමින් එම නිවෙසට රැගෙන යන ලෙස ඉල්ලීමද සිරිතක් වී තිබිණි. වරක් පෙරභවය සිහිකළ දැරිය ප‍්‍රකාශ කළේ ඇගේ නැන්දා ඇයව රෝහලකට රැගෙන යාමෙන් පසු මරණය සිදු වූ බවකි. එහෙත් ඒ පිළිබඳව වැඩි තොරතුරක් ප‍්‍රකාශ කිරීමට ඇයට නොහැකි විය. වරක් ඇය ප‍්‍රකාශ කළේ නයෙකු විසින් දෂ්ට කෙරුණු බවකි. එහෙත් ඒ පිළිබඳව විමසනවිට ඇය පිළිතුරු දීමෙන් වැළකී සිටින බවක්ද දක්නට ලැබිණි. 


ඇගේ එකම ඉල්ලීම වූයේ කුලියාපිටියට ගියවිට ඇයට නිවෙස සොයාගෙන යා හැකි බවකි. දියණියගේ මෙම ඉල්ලීම නිසා ඇය පෙරභව නිවෙසට යෑමට හැකිද යන්න සොයා බැලීමට දෙමාපියෝ එකඟ වූහ. ඒ අනුව දිනක් දියණිය කැටුව ඔවුහු ඇය සමග කුලියාපිටිය බලා පිටත්වූහ. ඔවුන් ගමන් කළේ බස් රියෙනි. මේ වන විට ඇයට අවුරුදු තුනක් පමණ විය. බස්රියේ කවුළුවක් අසල අසුනක වාඩිවූ ඇය මහත් ඕනෑ කමින් අවට නරඹමින් සිටියාය. 


කුලියාපිටියට පැමිණෙනවිට ඇය කලබලවී බස්රියෙන් බැසීමට අවශ්‍ය බැව් කීවාය. මාපියෝ ඇය සමග රථයෙන් බැස පාරට පැමිණියහ. ටික දුරක් ගමන් කළ ඇයට පෙර නිවස සොයා ගැනීම අපහසු බවක් දක්නට ලැබිණි. මේ අතර මහ මඟදී හමුවූ පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම සිය දියණිය අනාවරණය කරන පරිදි දියණියක් සිටි මවක් මරණයට පත් වූ නිවෙසක් පිළිබඳව විමසා සිටියේය. දියණියන් දෙදෙනෙකුගේ මවක් එම පරිසරයේ පදිංචිව සිට වසර කීපයකට උඩ දී මියගිය බැව් මාපියන්ට දැනගන්නට ලැබිණි. දියණියට එම නිවෙස සොයාගත හැකිද යන්න නිරීක්ෂණය කිරීමට මාපියන්ට අවශ්‍ය විය. 


පෙරභවය හෙළිකරන දැරියක් නිවෙස සොයා පැමිණෙන බැව් හෙළිවීම නිසා ප‍්‍රදේශ වැසියන් කීප දෙනෙක්ද ඔවුන්ට එකතු වී සිටියහ. කිසිදු බියක් නොදැක්වූ දැරිය මහත් සතුටින් ගමන් කරන්නට විය. අවට නිවෙස්වල සිටි අයද මේ ආරංචිය ලැබ නිවෙස්වලින් ඉවතට පැමිණ ඔවුන් දෙස බලමින් සිටියහ. ගතවූයේ ස්වල්ප වේලාවකි. නිවසක් ඉදිරිපිට සිටි තරුණියක දුටු දැරිය නතර වූවාය. ඇය දෙස කීප විටක්ම බැලූ ඇය. 


‘ඒ මගේ දුව’ යයි පැවසුවේ රැස්ව සිටි පිරිස පුදුමයට පත්කරවමිනි. ඇගේ පෙරභවයේ දියණියක වූ එම තරුණිය සිටි නිවෙසට ගිය දැරිය එහි තිබූ ඡායාරූප කීපයක් දෙස බලා ඇගේ පෙරභව ඡායාරූපයක් හඳුනා ගත්තේ අතිශය පුදුම අයුරිනි. ඇය හඳුනාගත් ඡායාරූපය නිවසට ගෙන ඒමටද ඇය ඉල්ලා සිටියාය. එදා සිය දියණිය පෙරභවය හඳුනා ගැනීම සිදු වූ අන්දම සෞම්‍යාගේ මව අප සමග අනාවරණය කළේ මෙසේය. 


“එදා දුව ඒ ගමට ගිය ගමන හරිම පුදුමයි. අපි ඒ ප‍්‍රදේශය ගැන දැන සිටියේ නෑ. අපි යන කොට අතරමඟදි ඒ ආරංචිය ලැබිලා ප‍්‍රදේශයේ කීප දෙනෙක්ම අපි සමග එකතුවෙලා හිටිය. දුව කිසිම බයක් නැතිව පාරේ යන ගමන් අවට ගෙවල් දෙස බලමින් ගමන් කළේ ගේ හොයා ගන්න පුළුවන් කියලා. ඒ යන අතර තමයි එයාගේ ලොකු දුව හිටි ගෙදර ළඟදී දුවව අඳුනාගත්තේ. ගේ ඇතුළට ගිහින් තිබුණු පිංතූරවලින් එයාගේ පෙර භවයේ පිංතූරයක් හඳුනාගත්තා. ඒ විතරක් නෙවෙයි ඒක ඉල්ලගෙන ගෙදරටත් ගෙනාවා. ඊට පස්සේ එයාගෙ අනෙක් දුවවත් හමුවුණා. එයාව රෝහලට ගෙන ගිය නැන්දත් සිටි නිවෙසටත් යන්න පුළුවන් වුණා” යයි පැවසුවාය. 


සෞම්‍යා හෙළි කළ ඇගේ පෙරභව නිවස සහ දියණියන් හමුවීමෙන් පසු ඒ පිළිබඳව විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබිණි. 


ඇය අනාවරණය කළ පෙරභවයේදී ඇය ළඟින්ම සිටි ඥාතිවරියක වූ නැන්දා හමුවීමටද එදා අපට හැකිවිය. ඒ වන විට ඇය අසූවන වියේ පසු වූ කාන්තාවක් විය. මියගිය නන්දාවතීගේ මරණය සිදු වූ අන්දම ගැනද ඇගෙන් විමසීමක් කළෙමු. එදා ඇය අප සමග හෙළි කළ තොරතුරු ඒ අයුරින්ම මෙසේය. 


‘එයා මැරෙනකොට හිටියෙ මගේ ගේ ළඟමයි. එයාට බඬේ අමාරුවක් හැදිලා තිබුණා. බඩේ අමාරුව වැඩිවෙලා ලේ යන්න පටන්ගත්තා. එයා වැඩිවන තුරුම කාටවත් කියලා නෑ. හොඳටම අමාරුවුණාට පස්සේ ඉස්පිරිතාලේ අරන් යන්න කියලා කිව්වා. ගෙදරදිම සිහි නැතිවෙන තරමට අමාරු වුණා. අපි එයාව රෝහලකට රැගෙන ගියා. ඒත් මාදම්පෙටත් හලාවතටත් අතරදී කාර් එක ඇතුළෙම මියගියා’ යයි ඇය සිය මතක​ෙයන් කියා සිටියාය. යළි ඉපදී සිටින දැරිය හෙළි කළ පෙරභව තොරතුරු සනාථ වූ අන්දමද ඇගෙන් විමසීමක් කළෙමු. එයට පිළිතුරු දුන් ඇය. 
ඒ දරුව එදා මුලින්ම මේ ගමට ආපු දවසෙ රැස්වෙලා හිටපු සෙනඟත් එක්ක මමත් බලාගෙන හිටියා. ඒ ළමය අම්මයි තාත්තයි එක්ක අපේ ගෙදරට ආවා. මම හිටියෙ ගේ ඇතුළට වෙන්න. එයා එකපාරටම ඇතුළට ඇවිත් මගේ ඇ​ෙඟ් එල්ලුනේ පුදුම විදියට. එයා වෙන කිසිකෙනෙක් ළඟට ගියේ නෑ. එයා ඉස්සරත් නිතරම වගේ මගේ ගෙදරට ඇවිත් මගෙන් මොනව හරි ඉල්ල ගෙනත් යනවා යයි ඇය පැවසුවාය. 


සෞම්‍යා හෙළිකළ ඇගේ පෙර භවයේදී මරණය සිදුවී ඇත්තේ 1968 වසරේදීය. ඒ වන විට ඇය තිස්පස් වන වියේ පසුවූ මවකි. පෙරභවයේදී නයකු දෂ්ටකළා යන ප‍්‍රකාශය පිළිබඳව නිරීක්ෂණයක් කිරීමට මෙම පර්​ෙ‌ය්ෂණයේදී නොහැකි විය. එහෙත් ඇය හෙළිකළ අනෙකුත් තොරතුරු වැඩි කොටසක් සත්‍ය බැව් තහවුරු විය. හඳුනාගැනීම් අතරින්ද ඇයට පෙරභවයේ දියණියන් සහ පෙරභව ඡායාරූප කීපයක්ද හඳුනා ගැනීම වැදගත් සිදුවීම් ලෙස දක්නට ලැබිණි. 


කුඩා කල සිට වැඩිහිටි කාන්තාවක් ලෙස මෙම දැරියගේ හැසිරීම් රටාව තුළ දක්නට ලැබුණේ විශේෂත්වයකි. දරුවන් සිටින මව්වරුන් දුටුවිට ඇය පවසන වදන වූයේ 


‘දරුවන්ව හොඳින් බලාගන්න’ යනුවෙනි. ඥාති නිවෙස්වලට ගිය විටදීද ඇය මුලින්ම විමසා සිටින්නේ එම නිවෙස්වල සිටින දරුවන් පිළිබඳවය. හැමවිටම ඔවුන්ට විවිධ උපදෙස් දීමද මෙම දැරියගේ සිරිත වී තිබිණ. සෞම්‍යා කුඩා කල සිටම ඇගේ මතකයේ තිබු පෙරභවය පිළිබඳ ප‍්‍රධානම කරුණ වූයේ දියණියන් ගැනය. නිවෙස පිහිටි ප‍්‍රදේශය පිළිබද ඇයට ඉතා හොඳ මතකයක් තිබිණි. ඇය මිය යනවිට නිවස අඩක් නිමවී තිබු බවක්ද ඇය හෙළි කළාය. එයද නිවැරදි බැව් මේ පිළිබඳව කරන ලද විමර්ශනයේදී පැහැදිලි විය. 


පෙරභවය හෙළිකළ ඇතැම් දරුවෝ විවිධ ක‍්‍රීඩාවල යෙදී සිටිමින් පෙර භවය අනාවරණය කළ සිදුවීම් රටවල් රැසකින්ම පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී ඇත. එවැනි පුනර්භව සාධක (HNUSUAL PLAY IN YOUNG CHILDREN WHO CLAIM TO REMEMBER PREVIOUSLIVES) යනුවෙන් පර්යේෂණ වාර්තාවලට ඇතුළත් වී තිබේ. 
ඉන්දියාවේ උපත ලද දරුවෙක් කුඩා කල සිට මඩ ගුළිකරමින් සිටීමට මහත් ආශාවක් දැක්විය. එසේ ගුළිකරන ලද මැටි රවුම් පෙති ලෙස සාදා ලෑල්ලක් හෝ කිසියම් පැතලි ස්ථානයක තැබීමට පුරුදුව සිටියේය. දෙමාපියෝ ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප‍්‍රකාශ කළේ විස්කෝතු නිෂ්පාදනය කරන බවකි. පසුව බහ තෝරන වියට පත්වීමෙන් පසු එම දරුවා ප‍්‍රකාශ කළේ ඔහුට පෙර භවයේදී විස්කෝතු නිපද වූ කර්මාන්ත ශාලාවක් තිබු බවකි. බුරුමයේ තවත් දරුවෙක් කුඩා කල සිට වෙ​ෙළඳ සල් දැමීමට මහත් ආශාවක් දැක්වීය. එම දරුවා පසුව පෙරභවය හෙළිකරමින් ප‍්‍රකාශ කළේ ඔහු වෙළෙඳ සලක හිමිකරුවකු ලෙස ජීවත්ව සිටි බවය. ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූ තවත් එවැනි පුනර්භව සාධක කීපයක්ම පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී ඇත.

 

 

 

තිස්ස ජයවර්ධන