පෙර භවයේ කැපුණු ඇඟිලි අහිමි වී යළි උපදියි


 

පෙර භවය හෙළි කළ දරුවන් අතරින් සිරුරේ කොටස් අඩුවී උපත ලැබූ දරුවෝද සිටිති. අැතැම් විට ඔවුන්ගේ සිරුරුවල කොටස් අඩුවූයේ පෙර භවයේ සිදුවූ අනතුරු නිසා බැව්ද ඔවුහු ප්‍රකාශ කරති.  


අතක ඇඟිලි අහිමිවී උපත ලැබූ දරුවෙක් පෙර භවය පිළිබඳව අතිශය පුදුම කරුණු අනාවරණය කළේය. මෙම දරුවා උපත ලැබුවේ ඉන්දියාවේ ඩිපාති දිස්ත්‍රික්කයේය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලොව පුරා සිදුකළ පුනර්භව පර්යේෂණ අතර මෙම දරුවාගේ කතා පුවත අතිශය වැදගත් පුනර්භව සාධාකයක් ලෙස පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ.  

 


ලෙක්පාල් නම් එම දරුවා දකුණු අතේ ඇඟිලි පහම අහිමිවී උපත ලැබීය. ඉන්දියාවේදී ඔහු උපත ලැබුවේ 1971 වසරේදීය. තම පුත්‍රයාගේ දකුණු අතේ ඇඟිලි අහිමිවී ඉපදීම ගැන දෙමාපියෝ බලවත් කම්පාවට පත්ව සිටියහ. දරුවාට වෙනත් කිසිදු ආබාධිත තත්ත්වයක් නොවීය. එහෙත් ඔහුට වරින් වර උදරාබාධ අැති විය. ඒ නිසා ශාරීරික වැඩීම තරමක් දුර්වලවී තිබිණි. ඔහු බහතෝරන අවදිය වූයේ වසර හතරකට පමණ පසුවය.  


දිනක් සිය සොහොයුරිය ඇමතූ දරුවා ඔහුට වෙනත් නිවසක් ඇති බවත් එහිදී පියා විසින් ක්‍රියා කරවන ලද යන්ත්‍රයකට හසුවී අතේ ඇඟිලි කැපී ගිය බවත් අනාවරණය කළේය.  

උපතින් ඇඟිලි අහිමිවී තිබූ අයුරු

 


තම මල්ලිගේ එම ප්‍රකාශයෙන් මවිතයට පත්වූ සොයුරිය ඒ බැව් දෙමාපියන්ටද කියා සිටියාය. මේ අතර ඔහු නිතර නිතර ‘තල්’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයක් ගැන හෙළි කරන්නට විය. ඔහු නිතර කියා සිටියේ උපත ලබා සිටින ප්‍රදේශයේ සිටිය නොහැකි බවය.  


ඔහු හෙළිකරන තොරතුරු සොයා බැලීමට දෙමාපියන් එතරම් උනන්දුවක් නොගත්හ. එහෙත් දරුවා පැවසුවේ ඔහුට පෙර නිවසට යෑමට අවශ්‍ය බවය. ඒ වන විට තම දරුවා කිසියම් පෙරභව තොරතුරක් අණාවරණය කරන බැව් දෙමාපියෝ අවබෝධ කරගෙන සිටියහ.  
දින කීපයක් ගත විය. මව විසින් දරුවා වඩාගෙන සිටියාය. ඒ අවස්ථාවේ අසල්වැසි කාන්තාවක් නිවසට පැමිණියාය. දරුවාගේ අතේ ඇඟිලි පරීක්ෂා කළ ඇය වෙනත් ගමක දරුවෙකුගේ ඇඟිලි ඒ අයුරින්ම කැපී මිය ගිය බවත් එය සිදුවූයේ පියා විසින් කොළ වර්ග කැපීමට යොද‌ාගත් යන්ත්‍රයකට හසුවීමෙන් බවත් කීවාය. එම අනතුර සිදුවූ ප්‍රදේශය ‘නග්ලාතල්’ යනුවෙන්ද හැඳින්වූ බවත් අැය ප්‍රකාශ කළාය.   


එහෙත් දෙමාපියෝ එහි සත්‍යතාවය සොයා බැලීමට ඉදිරිපත් නොවී සිටියහ. පෙර භවයේ සිටි නෑදෑ හිතවතුන් කිසිවකු​ෙග් නම් ඔහුගෙන් හෙළි නොවිණි. වැඩිමහල් සොහොයුරකු සහ සොහොයුරියක පමණක් සිටි බැව් ඔහු හෙළි කළේය.  


තවත් සති කීපයක් ගත විය. දරුවා හෙළි කරන පෙරභව තොරතුරු ඔහු අනාවරණය කළ ගම් ප්‍රදේශයටද පැතිර ගියේය. එහි සිට පැමිණි ගම්වැසියකු දරුවාගේ දෙමාපියන් හමුවී ඔහු එම ගම් ප්‍රදේශයට රැගෙන යාමට ඉල්ලා සිටියහ. ඒ අනුව ලෙක්පාල් දරුවාට පෙරභව නිවසට යෑමට අවස්ථාව ලැබිණි. එහි ගිය ඔහු පෙරභවයේ තම ඇඟිලි කැපී ගිය යන්ත්‍රය සහ නිවසද නිවැරදිව හඳුනා ගත්තේය.  


එම දරුවා ප්‍රකාශ කළ පරිදි ඇඟිලි අහමිවී මියගොස් තිබුණේ හකිම්සින් නමැති අටදෙනකුගෙන් යුත් පවුලක විසූ සිව්වන දරුවාය. පියා විසින් ක්‍රියාත්මක කළ යන්ත්‍රයට ඔහු තම අත දමනවිට වයස අවුරුදු හතරක් පමණ විය. පියා ක්‍රියාත්මක කළ යන්ත්‍රය ගවයින්ට ආහාර සඳහා කොළ වර්ග කැපීමට භාවිතා කරනු ලබන යන්ත්‍රයක් විය. හකිම්සින් දරුවා එද‌ා පියා ක්‍රියාත්මක කරනු ලැබූ යන්ත්‍රය අසල සිටියේය.   


ස්ථානයෙන් එම යන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලබන්නේ එක් අයෙක් යන්ත්‍රයට කොළ වර්ග ඇතුල් කිරීමත් වෙනත් අයකු යන්ත්‍රයේ රෝදය ක්‍රියාත්මක කිරීමෙනි. එහි එක් පසෙකින් යන්ත්‍රයට ඇතුළු කරනු ලබන කොළ කැබලි ලෙස කැපීම පිණිස පිහිතලයක් කැරකී ක්‍රියාත්මක කෙරේ.  


එදින එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබුවේ පියා විසින් පමණය. යන්ත්‍රයට කොළ ඇතුළු කිරීමෙන් යන්ත්‍රය ක්‍රියාත්මක වීමත් ඔහු අතින් සිදුවෙමින් තිබිණි. ඒ අසල සිටි දරුවා එක්වරම යන්ත්‍රයට අත දැම්මේය. එහෙත් ඒ බැව් පියා නොදුටුවේය. ක්‍රියාත්මක වෙමින් තිබූ යන්ත්‍රයට හසුවී දරුවාගේ දකුණු අතේ අැඟිලි සියල්ල කැපී වෙන්විය.   


වහාම දරුවා ඔසවා ගත් පියා සිය වැඩිමහල් පුත්‍රයාද සහ අසල්වැසියන් සමඟින් ළඟම තිබූ රෝහල වෙත ඔහු රැගෙන ගියේය. ඒ වන විට හොඳ සිහියෙන් සිටි දරුවා රෝහලේදී බෙහෙත් දමන විටත් සිහියෙන් සිටි නමුත් වෙලුම් පටි දැමීමත් සමඟ ටික වේලාවකින් සිහිසුන්විය.  

කොළ කපන යන්ත්‍රය

 


රෝහලේදී ඖෂධ එන්නත් කිරීමෙන් පසු ඔහු ආපසු නිවස වෙත ගෙන එනු ලැබීය. මාස දහයක් පමණ ගතවිය. අතේ තුවාලය සුවවිය. එහෙත් හදිසියේ සෑදුණු උණ රෝගයක් නිසා ඔහු රෝගාතුර විය. නැවතත් වහා ඔහු රෝහල් ගත කැරිණි. එහිදී ද ඖෂධ එන්නත් කිරීමෙන් පසු නැවත නිවස වෙත පැමිණියේය. නිවසට පැමිණීමත් සමඟ ඔහු මරණයට පත්විය.   


ඇඟිලි අහිමි වීම නිසා එම දරුවා සුවපත්වී සිටි කාලය තුළදී ඔහු වමත භාවිතා කර තිබූ බවද පර්යේෂණවලදී අනාවරණය විය. අතේ ඇඟිලිවලට ප්‍රතිකාර කිරීමේදී නිතර නිතර දරුවා තම ඇඟිලි අහිමිවීම පිළිබඳව මහත් දුකෙන් සිට අති බැව්ද හෙළිවිය. දකුණු අතේ ඇඟිලි අහිමිවීම නිසා ඔහුට වැඩි වශයෙන් වමතට හුරුවීමටද සිදුවී තිබිණි.  


මහාචාර්ය ස්ටීවන්සන් විසින් මෙම​ දරුවා පිළිබඳව සිදුකළ පුනර්භව පර්යේෂණය (BIRTH DEFECTS OF THE EXTREMITIES) යනුවෙන් වෙනමම අංශයකට ඇතුළත් කර ඇත. උපතින් ඇඟිලි අහිමිව උපත ලැබූ දරුවෙක් එම ඇඟිලි අහිමිවීමට හේතුව පෙර භවයේදී ඇඟිලි කැපීයාම බව අනාවරණය කිරීම අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස පිළිගැනීමට සිදුවිය.  

බීබීසී චිත්‍රපටයේ දර්ශනයක්

 


පෙරභවය හෙළි කළ දරුවා අනාවරණය කළ එම සිදුවීම ඒ අයුරින්ම සනාථවූ අන්දම මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද (REINCARNATION AND BIOLOGY) පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර අත්තේ WHEN HAKUM WAS ABOUT THREE AND HALF YEARS OLD HE PUT HIS HAND INTO A FODDER CHOPPING MACHINE. ON THE DAY OF HIS ACCIDENT HIS FATHER WAS OPERATING THE MACHINE BY HIMSELF. UNDER THESE CIRCUMSTANCES HE DID NOT SEE HIS YOUNG SON APPROACH THE MACHINE AND THRUST HIS RIGHT HAND INTO THE PART WHERE THE BLADES WERE CUTTING. HUKUM'S FINGERS WERE INSTANTLY SEVERED. යනුවෙනි.  
උපතින් ඇඟිලි අහිමිවූ මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව බීබීසී ආයතනයද පර්යේෂණ වාර්තා චිත්‍රපටයක්ද නිපදවීය. පෙර භවයේ මරණය සිදුවී වසර එකහමාරකින් පමණ ලෙක්පාල්ගේ උපත සිදුවී ඇති බැව් එම පර්යේෂණයේදී අනාවරණය වීය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් මෙම දරුවාගේ ඇඟිලි අහිමිවීම සිදුවී ඇති ආකාරය වෛද්‍ය වාර්තා මගින් නිරීක්ෂණය කිරීම සඳහා එක්ස් කිරණ පරීක්ෂණයක්ද සිදු කරනු ලැබීය. එක්ස් කිරණ මගින් සනාථ වූයේ ඔහුගේ ඇඟිලි අහිමිවීම අස්ථි මගින්ද කැපී වෙන්වී තිබූ අයුරු දර්ශනය වන බැව්ය.  


එම එක්ස් කිරණ වාර්තාවද මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයකටද ඇතුළත් කර ඇත. 1998 දී බීබීසී ආයතනය නිපදවූ IN SEARCH OF THE DEAD නම් චිත්‍රපටයටද ලෙක්පාල්ගේ කතා පුවත ඇතුළත් කර ඇත.  


තිස්ස ජයවර්ධන