පෙර භවයේ අනතුර නිසා පාලමකින් යන්න බය දරැවා පෙර භවයේ ප‍්‍රබල සාක්කි


දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස පිරිමි දරැවකු බිහිවීම දෙමාපියන්ගේ බලවත් සතුටට හේතුවිය. එහෙත් එම දරැවාව උපතින් එක් අතක් අහිමිවීම දෙමාපියන්ට බලවත් ගැටලූවක් විය. කළුතර නාගොඩ රෝහලේ දී උපත ලද එම දරැවාගේ දෙමාපියන් ඒ වනවිට පදිංචිව සිටියේ මතුගම ප‍්‍රදේශයේය. දරැවා බිහිවූයේ අට මාසයක් පිරීමෙනි. එහෙත් ඔහුට රෝගාබාධ කිසිවක් නොවීය. දෙමාපියන්ගේ සහ සොහොයුරියන් දෙදෙනාගේ දැඩි ආදරය ඔහුට හිමිවී තිබිණි.   


කුඩාකල සිටම එම දරුවා තුළින් දක්නට තිබූ විශේෂත්වයක් වූයේ ජල මාර්ගයක් ඉහළින් පිහිටි පුංචි පාලමක් මත ගමන් කරන විට දී අධික ලෙස බියපත්වීමය. ඒ වනවිට ඔහු බහ තෝරන වියේ සිටියේය. දිනක් ඔහු සොහොයුරියන් සමග පාලමක් මතින් ගමන් කරමින් සිටියේය. දැඩි ලෙස බියපත් වූ දරුවා, මට බයයි, මට බයයි, මාව මැරෙයි යනුවෙන් කියන්නට විය. එහෙත් සොහොයුරිය ඒ පිළිබඳව අවධානයක් යොමු නොකළාය.

  
දින කීපයක් ගතවිය. නැවතත් ඒ අයුරින්ම පාලමක් මතින් යනවිට දී බියපත් වූ දරුවා ‘අනේ මාව වැටෙයි, මාව මැරෙයි‘ යනුවෙන් බියෙන් කියන්නට විය. සිය මල්ලීගේ බියපත්වීම ගැන විමසීමට සිතු සොහොයුරිය  
‘ඇයි මල්ලී බය’ යයි පුංචි විමසීමක් කළා.  


''මගේ අත කැඩුනෙත් මේ වගේ පාලමකින් වැටිල තමයි." යනුවෙන් ක්ෂණිකව පිළිතුරු දුන්නේය. සිය මල්ලී කියන මෙම ප‍්‍රකාශය පිළිබඳව ඇය මව සමගම හෙළි කළාය. එහෙත් මවද තම පුත‍්‍රයාගෙන් ඒ ගැන විමසීමට උනන්දු නොවුවාය. තවත් මාස කීපයක් ගතවිය. සොහොයුරිය සමග අමනාපයක් ඇතිවූ දරුවා නිවසින් පිටව මිදුලට බැස පාර දෙසට ගමන් කරන්නට විය. එය දුටු සොහොයුරිය. 


මල්ලී කොහේද යන්නේ? යයි ප‍්‍රශ්න කළාය. සොහොයුරිය දෙසට හැරුණු ඔහු මම මගේ තාත්තා ළඟට යනවා. එයා පොලිසියේ. එයාට ජිප් එකක් තියෙනවා. ඒ තාත්ත අපිව ජීප් එකෙන් එක්ක යනවා. එදා තාත්ත බත් කන්න ජීප් එකෙන් ආවා. මම බත් එක අරන් යනකොට පාලමෙන් වැටුණා. එතන තිබුණු ගල්ගොඬේ වැදිලා මගේ මේ අත කැඩුණායි සිය අහිමි අත පෙදෙස පෙන්වමින් කීවේය.   
සිය මල්ලී කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන බැව් මේ වනවිට දෙමාපියො අවබෝධ කරගෙන සිටියහ. එහෙත් ඒ ගැන වැඩි විස්තර විමසීමට ඔවුහු උනන්දු නොවූහ. ඊට හේතුව වූයේ අහිමි අත පිළිබඳව දරුවාගෙන් විමසීම ඔහුගේ මානසිකත්වයට කරදරයක් සිදුවේ යැයි සිතු නිසාය. කාලය ගෙවී ගියේය. මෙම නිවසේදී වැලිතලප පිළියෙල කරමින් සිටියාය. ඒ දෙස බැලූ දරුවා ‘අපේ එහෙ අම්මත් හැම තිස්සේම වැලිතලප හදනවා. මට, වැලි තලප කාලා එපා වෙලා’ යයි වැලි තලප ප‍්‍රතික්ෂේප කරමින් කීවේය. අනතුරුව මවගේ නමත් පියාගේ නමත් ඔහු හෙළි කළේය.  


අපේ අම්මා ධනසීලි යයි පැවසු ඔහු ඔවුන් පදිංචිව සිටි ප‍්‍රදේශය පිළිබඳවත් සිය මතක සටහන් අනාවරණය කරන්නට විය. සිය පුත‍්‍රයා පෙර භවය හෙළි කරන බැව් දෙමාපියන්ට පැහැදිලි ලෙසම අනාවරණය වූ නමුත් එය සොයා යෑමට දෙමාපියෝ දැඩි අකමැත්තක් දැක් වූහ. ඒ පිළිබඳව තවදුරටත් ප‍්‍රශ්න කිරීමෙන් ඔවුහු වැළකී සිටියහ.   


තෙහැවිරිදි වියේදී පෙරභවය හෙළි කළ එම දරුවා අද තරුණවියට පා තබා ඇත. මේ වනවිටත් සිය පෙර භවයේ ඇතැම් සිදුවීම් ඔහුගේ මතකයේ ඇත. ඔහුගේ පෙර භවයේ නිවස සහ ඥාතීන් සොයා ගැනීමට දැන් ඔහු තුළ ආශාවක් ඇතිවී තිබේ. මේ පිළිබඳව සිදු කරනු ලබන පර්යේෂණයකට ඔහු සහ සොහොයුරියෝ ද කැමැත්තක් දක්වති.   


පසුගිය දිනෙක ඔහු හමුවී ඒ පිළිබඳව විමසීමට අපට අවස්ථාවක් ලැබිණි. මම හිටපු පරිසරය ගැන මට තවමත් මතකයේ තියෙනවා. ගම්බද ප‍්‍රදේශයක ගුරු පාරක් සහිත පරිසරයක පදිංචි වී සිටි බැව් මගේ මතකයේ තියෙනවා. ඒ හැර කුඩා කල කරපු ප‍්‍රකාශ දෙමාපියන්ගෙන් ඇසීම නිසා ඒවත් මට මතකයි. මාව වැටිලා අත තුවාල වුණ ස්ථානය ගල් තිබුණු තැනක් ලෙස මතකයේ තියෙනවා යයි ඔහු හෙළි කළේය.  


ඔහුගේ සොහොයුරියත් සහ මව පවසන අන්දමට පෙර භවයේ මව හඳුන්වා ඇත්තේ ධනසීලි යනුවෙනි. පියාගේ නම සිරිසේන ලෙස අනාවරණය කළ බැව් මවට මතකය. පියා පොලිස් නිලධාරියෙකි. ඔහු දහවල් ආහාර රැගෙන යාමට ජීප් රියෙන් නිවසට පැමිණෙන බැව්ද කුඩා වියේ සිටම ඔහු ප‍්‍රකාශ කර තිබේ.   


එදා මම තාත්තාගේ බත් එක අරගෙන ජීප් එක ළඟට ගියා. පලම උඩ දී මාව වතුරට වැටුණා. ගල් ගොඬේ වැදිල මගේ අත කැඩුණා. ඔළුවත් තුවාල වුණා යයි ඔහු පැහැදිලිව හෙළි කළ බැව් සොහොයුරියට මතකය. කැඩුණ අත ලෙස ඔහු පෙන්වා දුන්නේ උපතින් ඔහුට අහිමි අත පෙදෙස පෙන්වාදීම විශේෂත්වයකි. හිසට ද තුවාල සිදුවූ බව පවසන ස්ථානයේ ද උපතින් කැළලක් දක්නට තිබේ.   
පදිංචිව සිටි ප‍්‍රදේශය ඇල්පිටිය බවද ඔහු වරක් ප‍්‍රකාශ කර ඇත. එහෙත් කළුතර සහ දොඩන්ගොඩ යන ප‍්‍රදේශ දෙකක් ඔහු පදිංචිව සිටි ප‍්‍රදේශ ලෙස හඳුන්වා දී තිබේ.   


මෙම තොරතුරු අනුව වැටීමක් නිසා අතකට තුවාල සිදුවී මරණය සිදුවූ දරුවෙක් පිළිබඳව ඔබට මතකද? පියා පොලිස් නිලධාරියෙක් බැව් දරුවා කුඩා කල සිටම ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කර තිබේ. මව නිතර නිතර නිවසේදී වැලි තලප පිළියෙල කළ බවද ඔහුට ඉතා හොඳින් මතකය. ඔහුගේ පෙර භවයේ නිවස සොයා ගැනීමට හැකිවන තොරතුරු ලැයිස්තුවක් අපි පිළියෙල කළෙමු. එය මෙසේ දැක්විය හැකිය.   


* පියා උසස් පොලිස් නිලධාරියෙකි  
* මවගේ නම ධනසීලිය   
* පියාගේ නම සිරිසේන ලෙස හඳුන්වා ඇත   
* සොහොයුරියක් සිට ඇත   
* පදිංචිව සිට ඇති ප‍්‍රදේශ ලෙස ඇල්පිටිය, කළුතර සහ දොඩන්ගොඩ ලෙස ප‍්‍රකාශ කර තිබේ   
* නිවස අසල පාලමක් පිහිටා තිබු බැව් හෙළිවේ   
* පාලමක් මතදී වැටීම සිදුවී ඇත   
* වැටුණු ස්ථානය ගල් සහිතය  
* ගල්වල වැදීම නිසා ඔහුගේ හිසත් අතත් තුවාල වී තිබේ.   
* පියාගේ ජීප් රථයෙන් පවුලේ අය ගමන් කළ බැව්ද හෙළිවේ  
* දහවල් ආහාරගෙන යාමට පියා නිවසට පැමිණි බවක්ද හෙළිකර ඇත  


මෙම කරුණුවලට සමාන තොරතුරු ඇති කිසියම් පොලිස් නිලධාරියකුගේ පවුලක තොරතුරු මතකයේ ඇත්නම් අපවෙත දන්වා එවන්න. මේ පිළිබඳව සිදු කරනු ලබන පර්ෙය්ෂණය එය මහත් රුකුලත් වනු ඇත. අසුව දශකයේ හෝ ඊට ආසන්න කාලයක සිදුවූවක් ලෙස හැඳින්විය හැකිය.

තිස්ස ජයවර්ධන ලියයි