පෙර භවයේ හාවෙකු වූ යළි උපන් දරුවෙක්


පෙර භවය හෙළි කළ දරුවන් මගින් සත්ත්ව ජීවිත අනාවරණය වූ පුනර්භව සාධක දුර්ලභ ය. ලොව රටවල් රැසක සිදුකර ඇති පුනර්භව පර්යේෂණ දහස් ගණනක් අතර එවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ දහයකටත් වඩා අඩු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ පුනර්භව සිදුවීම් තුන්සිය හැටක පමණ ප්‍රමාණයකින් සත්ත්ව ජීවිත හෙළි වූයේ දරුවන් තිදෙනකුගෙන් පමණි. සත්ත්ව ජීවිතයක් ගත කළ බැව් පැහැදිලිව සනාථ වූ එක් දරුවකු උපත ලැබුවේ වැලිවේරිය ප්‍රදේශයේ ය. එම දරුවා අනාවරණය කළේ ​ෙපර භවයකදී භාවෙකු ලෙස ජීවත්ව සිටි බවය. එහිදී දඩයක්කරුවකු විසින් තබන ලද වෙඩි පහරකින් මරණයට පත්වූ බැව් ඔහු පැවසීය. වෙඩි තැබීම සිදුවූ ස්ථානයද එම දරුවා නිවැරදිව හෙළි කළේය.   

හාවෙකු ලෙස සිටි බැව් පැවසූ ඔහුගේ මාපියන් වූයේ වැලිවේරියේ පදිංචිව සිටි ජුලියස් සහ රොසලින් යුවළය. ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයාට නම් තබන ලද්දේ වර්ණසිරි යනුවෙනි. වර්ණසිරි සිය පෙරභවය හෙළි කරන විට ඔහු සිව්වන වියේ පසුවිය.   


පෙරභව ජීවිත තොරතුරු හෙළි කරමින් ඔහු ප්‍රථම වරට ප්‍රකාශ කළේ පෙර භවයේදී ජීවත්ව සිටියේ කිඹුල්ගොඩ ප්‍රදේශයේ බවකි. දිනක් පියා ඇමතූ දරුවා,  


“මම හිටියේ කිඹුල්ගොඩ” යයි පැවසීය. තම පුත්‍රයාගේ එම වදන පිළිබඳව විමසීමක් කිරීමට සිතු පියා,   


‘කිඹුල්ගොඩ කොහේද? යයි ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දුන් වර්ණසිරි,   


“ඒ ගෙදර ලොකුයි. ඒ ගේ තිබුණෙ ඉස්කෝලෙ ළඟ. ගේ ළඟ බෝක්කුවකුත් තියෙනවා” යනුවෙන් පෙර භව මතක සටහන් අවදි කළේය. අනතුරුව වර්ණසිරිගේ පෙරභව හෙළි කිරීම දිනෙන් දින වැඩි වන්නට විය.  

 
පෙරභවයේ මව පාසල් ගුරුවරියක් බැව් ද හෙළි කළ ඔහු තම මවට දැන් මවට වඩා මුදල් තිබූ බැව්ද කීය. ඔහු අනාවරණය කළ තොරතුරු අනුව පෙර භවයේදී තරුණ ජීවිතයක් ගත කළ බැව් හෙළිවිය. පෙරභවයේ මරණය සිදුවූ අන්දම අනාවරණය කරමින් ඔහු පැවසුවේ දිනක් උදේ ආහාර ගැනීමෙන් පසු නිවෙසට ගිය බැව්ද අනතුරුව මරණයට පත්වූ බවය. උදේ පලතුරු වර්ගයක් ආහාරයට ගත් බවත් පසුව බත් අනුභව කිරීමෙන් පසු මරණයට පත්වූ බැව්ද කීය. පෙරභයේ මවගේ හැඩරුව ඔහු අනාවරණය කළේය.  


‘ඒ අම්ම මේ අම්මට වැඩිය මහතයි, සුදුයි’ යනුවෙනි. නිවෙස ඉදිරිපිට තිබූ පේර ගසක් ගැනද වර්ණසිරිට මතක තිබිණි. පෙරභව නිවසේදී තිබූ බැව් හෙළිකළ භාණ්ඩ අතර කාර් රථයක් තිබූ බැව්ද හෙළි කළ මෙම දරුවා,   


“එහෙදී මට කාර් එළවන්නත් පුළුවන්. මට බයිසිකලයකුත් තිබුණා. මට කතා කරන්නෙ සුදු මහත්තය කියලා. පුංචි මහත්තය කියලත් කිව්වා” යයිද අනාවරණය කළේය. මරණය සිදුවීමෙන් පසු නැවත දෙවරක් උපන් බවත් ඔහු අනාවරණය කළේ අතිශය පුදුම අයුරිනි.   
”මම එක පාරක් මැරුණට පස්සෙ මේ අම්මා ළඟ දෙපාරක් ඉපදුණා. එක පාරක් ඉපදුණ ගමන්ම ආයෙත් මැරුණා. ඒ වෙලාවෙ පෙට්ටියක දාලා ඉස්පිරිතාලෙම වැළලුවා” යයිද ඔහු ඉතා හොඳ මතකයෙන් හෙළි කළේය.   

වර්ණසිරි හෙළි කරන පෙරභව තොරතුරු අතර තවත් අතිවිශේෂ ප්‍රකාශයක් ඇතුළත්ව තිබිණි. එනම් ඔහු උපත ලැබූ ප්‍ර​ෙද්ශයේ නිවසට ආසන්නයේ හාවෙකු ලෙස දුව පැන ඇවිදිමින් කොළ වර්ග ආහාරයට ගනිමින් සිටියදී වෙඩි තැබූ බවය. එය සිදුවූයේ වැලිවේරියේ මවගේ කුසයෙන් ඉපදීමට ප්‍රථම බැව් වර්ණසිරි හෙළිකළේය.  

 
පෙරභව තොරතුරු විමර්ශනය කිරීමට මාපියෝ උනන්දු නොවූහ. එ් අතර වර්ණසිරිගේ පෙරභව තොරතුරු කිඹුල්ගොඩ ප්‍රදේශයටද ආරංචි පැතිර ගියේය. එය සිදුවූයේ වර්ණසිරිගේ මාපියන්ගේ ඥාතිවරියක් මගිනි. ආහාර ගැනීමකින් පසුව හදිසියේ මරණයට පත්වූ කිඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මහීපාල නම් තරුණයකුගේ ජීවිත තොරතුරුවලට සමාන තොරතුරු වර්ණසිරි හෙළි කරන බැව් දක්නට ලැබිණි. එය ශ්‍රවණය වීමෙන් පසු පෙරභවයේ මව වැලිවේරිය නිවෙස සොයා පැමිණියාය. එහෙත් ඒ අවස්ථාවේ වර්ණසිරි හමුවීමට ඇයට නොලැබිණි. අනතුරුව වර්ණසිරිට පෙරභව නිවසෙට යෑමට අවස්ථාව උදාවිය. වර්ණසිරි එදා කිඹුල්ගොඩ නිවෙසට ගිය අවස්ථාවේ එහි සිටි කාන්තාවන් අතරින් පෙර භවයේ මව නිවැරදිව හඳුනාගැනීමට ඔහුට හැකිවිය.   


වර්ණසිරිගේ පුනර්භව පුවත පැතිර යාමෙන් පසු පුනර්භව පර්යේෂකයන් වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් සහ ප්‍රැන්සිස් ස්ටෝරි යන පර්යේෂකයෝ මේ පිළිබඳව පර්යේෂණ ආරම්භ කළහ.   


මෙම පර්යේෂණයේදී වර්ණසිරිගේ පෙරභවය හඳුනාගැනීම් පිළිබඳව අවධානය යොමු කැරිණි. එ​ෙවලේ ඥාතීන් මෙන්ම ඔහු ඉගෙන ගත් පාසල පෙන්වාදීමට එදා ඔහුට හැකිවිය. පෙරභව නිවසට ගිය වර්ණසිරි ඔහුගේ බයිසිකලය පිළිබඳ විමසීය. එහෙත් ඒ වනවිට එය විකුණා දමා තිබිණි. මෙහිදී සනාථ වූ තවත් කරුණක් වූයේ පෙර භවයේදී ඔහුට මෝටර් රථයක් තිබූ බවත් එය පැදවීම ඔහු විසින් කෙරුණු බවත්ය.   


පෙර භවයේ පුද්ගල ඡායාරූපයක් එදා වර්ණසිරි පෙර නිවසට ගිය අවස්ථාවේ දුටු විගස ඒ මගේ පින්තූරය යයි මහීපාලගේ ඡායාරූපයක් හඳුනාගැනීම ද විශේෂ සිදුවීමක් විය. පර්යේෂණ මෙ​ෙහයවූ ප්‍රැන්සිස් ස්ටෝරි විසින් තවත් ඡායාරූප කීපයක් ඉදිරිපත් කරන ලද අතර ඉන් එක් ඡායාරූපයක්ද  ඔහු විසින් හඳුනාගනු ලැබිණි.   


වර්ණසිරිගේ පුනර්භව සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට අපට අවස්ථාව ලැබුණේ මහාචාර්ය ස්ටීවන්සන් සමග හැත්තෑවේ දශකයේදීය. ඒ වනවිට වර්ණසිරි පැවිදිවීමට ආසාවෙන් සිටියේය.   

වර්ණසිරිගේ පෙරභව තොරතුරු පර්යේෂණ කිරීමට ඔහුගේ මාපියන් හමුවීමටද එදා අපට හැකිවිය. වර්ණසිරි හෙළිකළ පරිදි පෙරභවයේ මරණය සිදුවීමෙන් පසු එම මවගේම කුස තුළින් යළිත් උපත ලැබීමට ප්‍රකාශ කිරීම මෙම පුනර්භව සාධකයේ අතිශය වැදගත් කරුණක් විය. වර්ණසිරිගේ මව ප්‍රකාශ කළ පරිදි ඔහුගේ උපත සිදුවීමට වසරකට උඩදී ඇයට දරු උපතක් සිදුවී තිබිණි. එහෙත් එය මළ දරු උපතකි. එම දරුවාගේ උපත සිදුවී තිබුණේ දොම්පේ රෝහලේදීය. එදිනම එය භූමිදානය සිදුකෙරිණි. තම මළ සිරුර කුඩා පෙට්ටියක බහාලු බැව් වර්ණසිරි අනාවරණය කළේය. එය රෝහල් භූමියේ භූමිදාන කළ බැව්ද හෙළිවිය.   


ඒ අතර ඔහු ප්‍රකාශ කළ සත්ත්ව ජීවිතයද මෙම පුනර්භව කතා පුවතේ අතිශය වැදගත් තවත් කරුණකි. සත්ත්ව ජීවිතය පිළිබඳව අනාවරණය කරමින් එම දරුවා පැවසුවේ හාවෙකු ලෙස සිටියදී මරණයට පත්වූයේ නිවෙස අසල දී බවය. එම ස්ථානයේ ගල්තලාවක් තිබූ බැව්ද එම දරුවාට මතක තිබිණි. වර්ණසිරිගේ ​ෙමම පුනර්භව පර්යේෂණ සඳහා ලංකාව පැමිණ මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද වාර්තාවකටද ඒ බැව් ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


'WARNASIRI ALSO CLAIMED TO RECALL A PREVIOUS LIFE AS A HERE WHICH ATE LEAVES AND HAD BEEN SHOT HE SAID HE HAD LIVED THIS LIFE NEAR THE HOUSE IN KIRILITA' යනුවෙනි.   


වර්ණසිරි අනාවරණය කළ එම සත්ත්ව ජීවිතය ඔහු ප්‍රකාශ කළේ කෙසේදැයි වරක් වර්ණසිරිගේ මව හමුවූ විටෙක අපි ඇගෙන් විමසු​ෙවමු.   


ඔබේ පුතා හාවෙකුගේ ජීවිත තොරතුරු කීවේ කෙසේද?   

ඒක නම් හරිම පුදුම සිදුවීමක්. මා ළඟ දෙවරක් ඉපදුන බැව් කිව්වා. එක පාරක් ඉපදුන හැටියෙම මැරුණ බව කීවා. ඒ සමගම එයා හාවෙක් වෙලා ගේ අසල සිටි බවත් එහිදී වෙඩි තබා මරණය සිදු කළ බවත් කීවා.  


දෙවරක් ඔබේ කුසෙන් බිහිවූ පුවත සත්‍ය වුණේ කෙසේද?   

මගේ කුලුඳුල් දරු උපත සිදුවුණේ මළ දරු උපතක් ලෙසයි. ඒ ඉපදුණ දරුවා අපි රෝහල් භූමියේදී භූමිදාන කළා. ඊට පස්සෙ නැවත දරුවකු පිළිසිඳගෙන ඉපදුන දරුවා තමයි වර්ණසිරි. හාවෙකු වෙලා සිටියදී වෙඩි තැබීම සිදුවූ ස්ථානය එයා කීවා. එයා කිව්ව තැනදී වසර කීපයකට උඩදී හාවෙකු වෙඩි තැබීමක් සිදුවී තිබූ බැව් තහවුරු වුණා යැයි ඇය අප සමග කීවාය. වර්ණසිරි අනාවරණය කළ හාවෙකු ලෙස සිටියදී වෙඩි තැබීම සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීමටද අපට අවස්ථාව ලැබිණි. ඒ වනවිට එම ස්ථානය නිවැරදිව හඳුනාගෙන තිබූ අතර එම ස්ථානයේදී වසර කීපයකට උඩදී වර්ණසිරි අනාවරණය කළ පරිදි හාවෙකු වෙඩි තැබීම පුවත සනාථවී එය ප්‍රබල සාක්කියක් බවටද පත්විය. එම ස්ථානය ඒ අයුරින්ම ගල්පොත්තක් සහිත රුස්ස ගස් පිහිටා තිබූ බැව් අපටද දක්නට ලැබිණි. එය පිහිටා ඇත්තේ වර්ණසිරි උපත ලැබූ නිවෙසට ඉතා අසන්නව කිරිකිත්ත නම් ප්‍රදේශයේය.   


මිනිස් ජීවිත දෙකක් සහ සත්ත්ව ජිවිතයක් අනාවරණය කළ වර්ණසිරි වයස අවුරුදු දහසයේදී පැවිදි බිමට ඇතුළත් විය. ඔහු පැවිදි බව ලැබුවේ කිරිකිත්තේ ජිනසීහ හිමි යනුවෙනි. ඒ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ මැරි මැරී ඉපදීම ඔහු අත්දුටු බැවින් පැවිදි බිමට ඇතුළත්වීමට ආශාවක් ඇති බවය. ටික කලක් පැවිදිවී සිටි ඔහු යළිත් ගිහි ජීවිතයට ඇතුළත් විය. අධ්‍යාපන කටයුතු ද උසස් අයුරින් නිම කළ වර්ණසිරි උපාධිධාරී ගුරුවරයකු ලෙස අද සේවය කරයි. පෙර භව මතක සටහන් පිළිබඳව ඔහුගෙන් විමසීමට පසුගිය දිනෙක නැවතත් අපට අවස්ථාව ලැබිණි.   


“ඉස්සර වගේම සමාජසේවා කටයුතුවලට මගේ සිත තදින්ම ඇදී ගොස් තියෙනවා. පෙර භවයෙන් ගෙනා දෙයක් ලෙස මා එය සිතනවා” යයි ඔහු පවසයි. පෙර භවයේ හාවෙකුගේ ජීවිතයේදී වෙඩි තබා මරණය සිදුවීම පිළිබඳව කිසියම් මතකයක් තවමත් තිබේ දැයි අප විමසූවිට එයට පිළිතුරු දුන් වර්ණසිරි මහතා ප්‍රකාශ කළේ වෙඩි හඬ වැනි ශබ්දවලදී මට අදත් මහත් තැතිගැන්මක් ඇති වෙනවා යනුවෙනි.   


වර්ණසිරි අනාවරණය කළ පරිදි සත්ත්ව ජීවිත හෙළිකළ දරුවන් කීප දෙනකුගේ තොරතුරු වාර්තාවක් මනෝ විද්‍යාත්මක ග්‍රන්ථයක් වූ ADVANCES IN PARA PSYCHOLOGICAL RESEARCH නම් පර්යේෂණ ග්‍රන්ථයේ සඳහන්වී ඇත්තේ CLAIMED LIVES AS NON HUMAN ANIMALS RECALL OF MORE THAN ONE LIFE යනුවෙනි. ශ්‍රී ලංකාවෙන් හෙළිවූ සත්ත්ව ජීවිත අනාවරණය කළ අනෙකුත් දරුවන් අතර පක්ෂියකුගේ සහ උරගයෙකුගේ ජීවිත ගැන හෙළි කළ පුනර්භව සාධක ඇතුළත්වී තිබේ. 


 

 

තිස්ස ජයවර්ධන