පෙර භව පරිසරය නිවැරදිව කියූ දරුවෝ


පෙර භවයේ  ප්‍රබල සාක්කි

 

​මම මැරෙන කොට හිටියෙ වහළට ටකරන් දාපු ගෙදරක. ඒ ගෙදරට යන පාරේ ලොකු ගල් තිබුණා. අපිට තිබුණේ පුංචි ගෙයක්. පෙර භවය හෙළි කළ දැරියක් පැවසුවාය. එම දැරිය උපත ලබා තිබුණේ උළු සෙවිලි නිවසකය.  


මම ඉස්සර හිටපු ගෙදර ලොකු ගෙයක්. ගේ ඉස්සරහ කොළ පාට ලොකු ගේට්ටුවක් තිබුණා. ඒ ගෙදර කාමර පහයි යනුවෙන් තවත් දරුවෙක් ප්‍රකාශ කළේය. 
 

අපි හිටිය ගෙදර තට්ටු දෙකයි. මට උඩ තට්ටුවෙ වෙනම කාමරයක් තිබුණා. මේ ගෙදරට වැඩිය ඒ ගෙදර හරි ලොකුයි යනුවෙන් පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් පැවසීය.  


අපි හිටපු පොල් අතුගෙදර වැහිදාට බිම තෙමෙනවා. තාත්ත පුටුවකට නැගල වහළ හදනවා. ඒ ගෙදරට ගියේ වෙල්යායක් මැද්දෙන්. පෙර භවය හෙළි කළ තවත් දැරියක් පැවසුවාය.  


මම හිටපු ගෙදර වත්තෙ කොස් ගස් තිබුණා. අපි හිටියෙ උළු දාපු ලොකු ගෙදරක. ගම්පහ ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් පැවසීය.  


මේ අයුරින් පෙර භවයේ ජීවත්ව සිටි නිවස අවට පරිසරය සහ නිවසේ තොරතුරු ඉතා හොඳ මතකයෙන් හෙළි කළ දරුවන් රැසක්ද පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර සිටිති. මේ දරුවන් සියලුදෙනාම බහතෝරන වියේ සිට නිවෙස්වලට යන ගමන් මාර්ග ඉතා පැහැදිලිව අනාවරණය කළහ.  


ඔවුන් උපත ලැබ සිටි නිවෙස්වල අවට පරිසරය පිළිබඳව හෝ අවබෝධයක් නොමැතිව සිටි එම දරුවෝ පෙර භවයේ වෙනත් ප්‍රදේශවල පරිසරය හෙළි කළේ දෙමාපියන් පුදුමයට පත්කරවමිනි.  


ඔවුන් පෙරභව නිවෙස්වලට යන ගමන් මාර්ගය නිවැරදිව අනාවරණය කිරීම විශේෂත්වයක් විය.  


තහඩු නිවසක පදිංචිව සිටි බැව් අනාවරණය කළ දැරියක් උපත ලැබුවේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදීය. ඇය උපත ලබා සිටි නිවස උළු සෙවිලි කළ නිවසක් වූ අතර බහතෝරන වියට පත්ව පෙරභවය හෙළි කළාය. පෙර භවයේදී තරුණියක ලෙස ජීවත්ව සිටි බවත් පිහි ඇණුමකින් මරණයට පත්වූ බවත් ඇයට මතක තිබිණි. පෙර භවයේ දෙමාපියන් සහ සොහොයුරියන් පිළිබඳවත් හෙළි කළ එම දැරියගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණ සිදුවූයේ අසූවේ දශකයේදීය. 1987 වස​රේදී උපත ලද අැය හෙළිකළ පෙරභවයේ තරුණිය මරණයට පත්ව තිබුණේ 1985 වසරේදීය.  


ඇය හෙළි කළ පෙර භවයේ නිවස පිහිටා තිබූ පරිසරය පිළිබඳවද ඉතා හොඳ මතකයක් ඇයට තිබිණ. නිවසට යන ගමන් මාර්ගයේ විශාල ගල් පර්වත තිබූ බැව් අනාවරණය කළ ඇයට පෙර භව නිවස සොයා යෑමටද අවස්ථාව ලැබිණි. එම දැරියගේ පෙර භව නිවස පිහිටා තිබුණේ ඇය අනාවරණය කළ පරිදි ගල් පර්වතවලින් යුත් පරිසරයකය.  


පෙර භවයේ ජීවත්වූ නිවස පොල් අතු සෙවිලි නිවසක් බැව් ප්‍රකාශ කළ තවත් දැරියක උපත ලැබුවේ කුලියාපිටිය ප්‍රදේශයේදීය. 1972 වසරේදී උපත ලද ඇය පෙර භවය හෙළි කරමින් එම නිවසට රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. ශ්‍යාමි නම් එම දැරිය පැවසුවේ පෙර භවයේදී ඇය මවක ලෙස සිටි බවකි. පොල්අතු සෙවිලි නිවසේ සිටියදී පොළොවට මැටි යොදා තිබූ බැව්ද ඇයට මතක තිබිණි. උදරාබාධයක් ඇතිවීමෙන් ඇගේ මරණය සිදුවූ බැව් පැවසූ ඇය ප්‍රකාශ කළ තොරතුරු අනුව ඇගේ මග පෙන්වීමෙන් පෙර භව නිවසට යෑමටද ඇයට හැකිවූයේ වයස අවුරුදු හතරේදීය.  

 

 

නිවස සහ පිහිටි පරිසරය ඉතා හොඳ මතකයකින් හෙළි කළ තවත් දරුවෙකු උපත ලැබුවේ ගම්පහ ප්‍රදේශයේදීය. පෙර නිවස විශාල ගෙවත්තකින් යුත් බවත් එහි කොස්ගස් රැසක් තිබූ බැව්ද ඔහු කීය.  


මම ඉස්සර හිටපු ගෙදර කොස් ගස් ගොඩක් තිබුණා. කොස් ඇට බිම වැටිල පැළවෙලත් තිබුණා යැයි එම දරුවා ප්‍රකාශ කළේ වයස අවුරුදු තුනහමා​ෙර් සිටය.  


පෙර භවයේ සිටි එම නිවසේදී ඔහුට වෙනමම කාමරයක් තිබූ බවත් මුහුණ බැලීම සඳහා තිබූ මේසයේ විශාල කණ්ණාඩියක් තිබූ බවත් කීය. නිවසට යන ගමන් මාර්ගයේ වෙල්යායක් පසුකර ගිය බවක්ද එම දරුවා පැහැදිලිව කීය.  


එම දරුවා හෙළි කළ පරිසරය අනුව පෙරාභව නිවස සොයා ගිය දරුවාට නිවස පෙන්වාදීමට හැකිවූයේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. බහතෝරන වියේ සිට පෙරභව නිවස ගැන ප්‍රකාශ කළ එම දරුවා,  


අපේ ගෙදර ලොකු ගෙයක්. අපි එහෙ යමු යයි මවට පැවසූ ඔහු ඒවන විට පදිංචිව සිටියේ කුඩා නිවසකය. එම දරුවා අනාවරණය කළ පෙර භවයේදී ජලභීතිකා රෝගයෙන් මරණයට පත්වූ පාසල් දරුවෙකුගේ ජීවිත තොරතුරු ප්‍රකාශ කැරිණි.  


පොල් අතු සෙවිලි නිවසක ජීවත්ව සිටි තවත් දරුවෙක් ඔහුද පෙර භවයේදී උළු සෙවිලි නිවසක සිටි බැව් පැවසීය. දොම්පේ ප්‍රදේශයේදී උපත ලද එම දරුවාට පෙරභව නිවස පිළිබඳව ඉතා හොඳ මතකයක් තිබිණි. පෙර නිවස පිහිටි පරිසරය හෙළි කළ ඔහුගේ පෙරභවයේදී ඉතා කුඩා වයසේදී මරණය සිදුවී තිබීම විශේෂත්වයක් විය. යන්තම් දෙපයින් ඇවිද යාමට හැකිව සිටි වයසේදී එම දරුවා මිය ගොස් ඇත්තේ ළිඳේ වැටීමක් නිසාය.  
සම්පත් නම් එම දරුවා ප්‍රකාශ කළේ ඔහුද පෙර සිටි නිවසේ ගෙවත්ත අසල රඹුටන් ගස් තිබූ බවය. ගෙමිදුලේ බයිසිකල් පැදගිය බවද කුඩා බයිසිකලයක් පියා විසින් ඔහුට ගෙනවිත් දී තිබූ බැව්ද අනාවරණය කළේය. පියාට හිමි වඩු මඩුවක් නිවසේ එක් කොටසක පවත්වාගෙන ගිය බැව්ද සම්පත් දරුවාට ඉතා හොඳින් මතක තිබිණි.  


මෙම දරුවා අනාවරණය කළේ ඔහු ළිඳේ වැටීම නිසා මරණයට පත්වනවිට ලොකු නිවසක සිටි බවය. ඔහු හෙළි කළ තොරතුරු අනුව එම දරුවාටද පෙරභව නිවස සොයා යෑමට අවස්ථාව ලැබිණි. පෙර භවය හෙළි කළ එම දරුවා පෙරභව නිවස නිවැරදිව හඳුනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු තුනහ මාරකි. එදා පෙරභව නිවසට ගිය එම දරුවා ලී වැඩ කිරීම සඳහා නිවසට යාබද පියාගේ ලී මඩුව තිබූ ස්ථානයද පෙන්වා දුන්නේ පෙර භවයේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි.  

 

 

පෙර භවයේ පදිංචිව සිටි නිවස නිවැරදිව සොයාගත් දරුවෙකු පිළිබඳව මීට වසර කීපයකට උඩදී ගිරිඋල්ල ප්‍රදේශයෙන් වාර්තා විණි. පෙරභවය හෙළි කළ දරුවා ප්‍රකාශ කළේ කෘමිනාශක පානය කිරීමක් නිසා සිය මරණය සිදුවූ බවකි. ඔවුන් සතුව තිබූ මෝටර් රථයක් පිළිබඳවද එම දරුවාට මතක තිබිණි. විවාහක අයෙකු ලෙස සිටි බැව්ද හෙළි කළ එම දරුවා පෙරභව නිවස හඳුනා ගැනීමත් පෙර භවයේ ඥාතීන් ඇතුළු භාණ්ඩ හඳුනාගැනීමත් සිදුවූයේ එහි රැස්වූ පිරිස පුදුමයට පත්කරවමිනි.  


කුඩා කල සිට එම දරුවා ප්‍රකාශ කළේ ඔහු පෙර භවයේදී ජීවත්වූ පෙරභවයේ නිවස පෙන්වා දීමට ඔහුට හැකි බවය. ඒ අනුව පෙරභව නිවසට යෑමට එම දරුවාටද එදා අවස්ථාව ලැබිණි.  


මහමග ගමන් කරමින් සිටියදී අතිශය පුදුම අයුරින් පෙරභවය හෙළි කළ දරුවකු පිළිබඳව මීට වසර ගණනකට උඩදී කැනඩාවෙන් අනාවරණය විය. ජිමි නම් එම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳ එංගලන්තයේ බීබීසී ආයතනයද පර්​ෙ‌ය්ෂණ චිත්‍රපටයක්ද නිපදවීය.  


කැනඩාවේදී උපත ලද එම දරුවා වයස අවුරුදු පහක් පමණ වනතුරුත් පෙරභවය පිළිබඳව කිසිදු අනාවරණයක් සිදුකර නොතිබිණි. දිනක් සිඟිති දරුවා සමග ඔහුගේ මිත්තනිය ආගමික දේවස්ථානයක් අසලින් ගමන් කරමින් සිටියාය. එම දේවස්ථානයේ පවත්වනු ලැබූ දේව මෙහෙයක් සඳහා එහි සීනුව නාද වෙමින් තිබිණි. එම හඬ ශ්‍රවනය වූ දරුවා ඒ හඬ කුමක්දැයි මිත්තනියගෙන් විමසීමක් කළේය.  


මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් පැවැත්වෙන දේවමෙහෙයක් ඒ අයුරින් එහි සිදුකරන බැව් මිත්තනිය විසින් දරුවාට පැහැදිලි කළාය. එවිට දරුවාගේ ප්‍රශ්නය වූ​ෙය් මියගොස් ඇත්තේ කව්ද යන්නය. දේවමෙහෙය පවත්වනු ලබන මියගිය අයගේ නම දැනගෙන සිටි මිත්තනිය මියගොස් සිටි පුද්ගලයාගේ නම පැවසුවාය.  


වහා නතර වූ දරුවා මිත්තනිය පැවසූ නම ඔහුද ප්‍රකාශ කළේය. අනතුරුව මිත්තනිය දෙසට හැරුණු දරුවා එයා තමයි මාව මැරෙව්වේ යැයි පැවසීය. එම වදනින් තැතිගැන්මට පත්වූ මිත්තනිය දරුවාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළාය. සිව්දෙනෙකු එකතුවී පෙර භවයේදී ඔහු ඝාතනය කළ අයුරු දරුවා සිය මතකයෙන් හෙළි කළේය.  


දරුවා හෙළි කළ තොරතුරු අනුව පෙර භවයේදී මරණයට පත්වූ පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් කිරීමට දරුවාගේ දෙමාපියන්ට අවස්ථාව ලැබිණ. මෙම දරුවා පිළිබඳව සිදුකළ පුනර්භව පර්​ෙ‌ය්ෂණය 1992 වසරේදී බීබීසී ආයතනය මගින් ලොව රටවල් රැසක් ඇතුළත් කළ නිපදවූ පර්​ෙ‌ය්ෂණ චිත්‍රපටයකටද ඇතුළත් කළේය.  


කැනඩාවේ පුනර්භව පර්​ෙ‌ය්ෂණ සිදුකළ මනෝ විද්‍යාඥවරියක වූ ඇන්ටෝනියා විසින්ද මේ පිළිබඳව පූර්ණ පර්​ෙ‌ය්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව පර්​ෙ‌ය්ෂණ වාර්තාවක්ද ප්‍රකාශයට පත් කළාය.  


මෙම දරුවාගේ පුනර්භව සාධකය ඇතුළත්ව නිපදවන ලද පර්​ෙ‌ය්ෂණ චිත්‍රපටය (IN SEARCH OF THE DEAD) යනුවෙන් නම් කර 1993 වසරේදී ලොව පුරා විකාශනය කළේය. මහමගදී දේවස්ථානයක් අසලදී පෙර භවය සිහිවූ පුනර්භව සාධකයක් ලෙස මෙම දරුවාගේ කතා පුවත පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී තිබේ.  


පෙර භවයේ පාරිසරික ලක්ෂණ නිවැරදිව හෙළි කළ දරුවකුගේ තවත් පුනර්භව සාධකයක් මීට වසර කීපයකට උඩදී ස්කොට්ලන්තයෙන්ද හෙළි විය. එම දරුවා විසින් හෙළි කළ පෙර භවයේ ජීවත්වූ ප්‍රදේශයත් උපත ලැබූ ප්‍රදේශයත් අතර දුර සැතපුම් දෙසීයකටත් වඩා වැඩිවිය.  


2000 වසරේදී උපත ලද කැමරන් නම් එම දරුවා බහ තෝරන වියට පත්වී දෙමාපියන් සමග ප්‍රකාශ කළේ ඔහු වෙනත් ප්‍රදේශයක සිට පැමිණි බවය. ඔහු ප්‍රකාශ කළ ප්‍රදේශය පිළිබඳව කිසිවිටෙකත් ඒ වන විට එම දරුවාට ශ්‍රවනය වීමක් හෝ සිදුවී නොතිබිණි. එම ප්‍රදේශය දරුවා විසින් හෙළි කරන්නේ කෙසේද යන්න ඔවුන්ට බලවත් ගැටලුවක්ද වීය.  


මගේ අම්මලට මාව නැතිවුණා යැයි පෙර භවය පිළිබඳව තොරතුරු හෙළි කරමින් එම දරුවා කියා සිටියේ පෙර සිටි නිවසේදී ගුවන්යානා පහත් කරනු දක්නට ලැබුණු බවත්ය. අනතුරුව පෙර භවයේ නිවස පිළිබඳ හෙළි කළ ඔහු එය සොයාදෙන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය. දෙමාපියන් ඒ පිළිබඳව උනන්දු නොවීම පිළිබඳව එම දරුවා මහත් දුකට පත්ව සිටියේය.  


අවසානයේ එම දරුවාගේ බලකිරීම නිසාම එම තොරතුරු විමර්ශනය කිරීමට දෙමාපියෝද උනන්දු වූහ. මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂකයෝද මෙම පුනර්භව සාධකය විමර්ශනය කිරීමට ඉදිරිපත් වූහ. ඒ අනුව මෙම දරුවා හෙළිකළ ප්‍රදේශයට ඔහු කැඳවාගෙන යනු ලැබීය. දරුවා හෙළි කළ පරිසරයට ගියවිටදී ඔහු ජීවත්ව සිටි බැව් හෙළි කළ නිවස සොයාගැනීමට ඔහුට අවස්ථාව ලැබිණි.  


එම නිවස දුටු විගස එම දරුවා විසින් තමා පෙර භවයේ ජීවත්ව සිටි නිවස ලෙස හඳුනාගනු ලැබීය. මෙම දරුවාගේ පුනර්භව සිදුවීම පිළිබඳව ලන්ඩනයේ සන් පත්‍රය මගින්ද පර්​ෙ‌ය්ෂණ වාර්තාවක් ප්‍රසිද්ධියට පත්කළ අතර තවත් මාධ්‍ය අංශ කීපයක් මගින් මෙම කතා පුවත ප්‍රසිද්ධියට පත් කළේය.  

 

 

​ෙහාරණ ප්‍රදේශයේදී උපත ලද දැරියක් සිය පෙරභව නිවස පිළිබඳ හෙළි කිරීමේ සිදුවීම වෙනස් මුහුණුවරක් ගෙන තිබිණි. එම දැරිය කුඩා වියේ සිට පියා අමතමින් තාත්තේ අපි ගෙයක් හදමු යැයි කියන්නට වූවාය. කුඩා දරුවන් සෙල්ලම් ගෙවල් හැදීම සිරිතක් ලෙස සිතූ පියා ඒ පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වීය. එහෙත් එම දැරිය දිගින් දිගටම කළ ප්‍රකාශය වූයේ ඇයට ගෙයක් සාදා දෙන ලෙසය.  


ගේ හදන හැටි මම කියල දෙන්නම් තාත්තා හදන්නකෝ යිය ඇය සිය පියාට පවසන්නට වූවාය.  


“ගේ හදන්නෙ කොහොමද?” යැයි පියා දියණියගෙන් පුංචි විමසීමක් කළේය.


“කෝටු අරගෙන ඒ අතර මැටි ගුළි තියල හදන්න පුළුවන්” යැයි දියණිය පැවසුවාය. කුඩා දියණියගේ ප්‍රකාශයෙන් පියා පුදුමයට පත්විය.  


දියණියගේ දැනුම පරීක්ෂා කිරීමට සිතූ පියා කුඩා සෙල්ලම් ගෙයක් සෑදීමට උනන්දු විය. ඒ වනවිට සිව් වැනි වියේ පසුවූ දැරිය පියා ලවා මැටි බෝල යොදවා කෝටු කැබලි එකට බැඳි නිවසක් ඉදිකරවීය.  


“වහළට ටකරන්, පොළොව මැටි ගාන්න ඕනෑ” යයිද පැවසූ දැරිය ඇගේ පෙර භවය පිළිබඳ හෙළි කිරීම ආරම්භ කළාය.  


“අපේ ඉස්සර ගෙදර තිබුණේ එහෙම තමයි. අපේ ගෙදර හැදුවෙත් මැටි බෝල ගහල” යයි ප්‍රකාශ කළාය. ඒ අයුරින් පෙර භවය පිළිබඳ තොරතුරු හෙළිකළ දැරිය නිවසේ පිහිටීම පවසන්නට වූයේ දෙමාපියන් පුදුමයට පත්කරවමිනි.  


දියණිය ඒ වන විට මැටිවලින් නිවෙස් සාදන අයුරු කිසිදිනෙක නොදැන තිබීම මෙම පුනර්භව සාධකයේ අතිශය වැදගත් කරුණක් වීය.  


දුව කවදාවත් ඒවගේ ගෙවල් හදන බවක් දැකල තිබුණේ නෑ. එදා ඒ ගේ හදන හැටි දුව උපදෙස් දුන්නේ එවැනි නිවාස හැදීම පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇතිවයි යනුවෙන් පියා අප සමග හෙළි කළේය.  

 

 

 


තිස්ස ජයවර්ධන