පෙම්වතුන් ගැන දික්කසාද ගැන නිරෝෂා විරාජිණී කතාකරයි


 

ආදරය, ප්‍රේමය ලබන්න අප සැම කැමතියි. කුඩා කාලයේදී මවුපියන්ගේ ආදරය ලබන අප තුරුණු වියේදී වෙනත් ආදරයක් සොයාගන්නේ තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලය සතුටින් ගෙවා දැමීමටය. එ්ත්, ඒ ප්‍රේමය, ආදරය විවාහයකින් කෙළවර කරගන්නේ කීයෙන් කී දෙනාද? සමහරු අත්තෙන් අත්තට පනින කුරුල්ලන් වගේ පෙම්වතුන් මාරු කරන්නේ ඒ ආදරය පතාගෙනද? නැත්නම් රාගය පතාගෙනද? සමහරුන්ට එක් විවාහයකින් පමණක් සෑහීමට පත් වෙන්න නොහැකි වී තිබේ. මේ නිසා වෙන්ම විවාහ 2ක් 3ක් කරගත්තද ඒවා සියල්ල බිඳීයන්නේ ආදරය නැතිවීම නිසාද? නැත්නම් ලිංගික ආකර්ෂණයේ අඩුවක් නිසාද?   
මේ කාරණා ජනප්‍රිය චරිතවලට අද දවසේදී බහුල ලෙස එල්ල වී තිබේ. සමාජ ජාල වෙබ්අඩවි ඔවුන්ගේ ඒ තොරතුරුවලට ඉඩදෙන්නේ පිපාසිතයන් ලෙසිනි. මෑත කාලයේ එවැනි තැනකට පත්වූ ගායිකාවක් ලෙස ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී හඳුන්වාදිය හැකිය. “ආදරය, ප්‍රේමය හා විවාහය” යන මාතෘකාවෙන් අරඹන මේ කතාවේ මුල් පරිච්ඡේදය ලිවීමට මම නිරෝෂාට ඇරැයුම් කෙළෙමි. මේ අැය එ් පරිච්ඡේදය ලිවීමට මට ලබාදුන් තොරතුරුය.   

 


ආදරය, ප්‍රේමය ඔයා හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයටද?   
මම මුලින්ම අාදරය ගැන හිතපු විදිහ, ආදරය ලැබුණාට පස්සේ වෙනස් වුණා. ආදරය කියන දේ තුළ මම සිතූ දේට වඩා පරස්පර විරෝධී දෙයක් ලෙසයි තේරුම් ගත්තේ. ඇත්තටම මම මගේ ජීවිතේ ආදරය විතරයි හොයලා තිබෙන්නේ. මම ආදරයේදී ඔහුගේ තත්ත්වය, මුදල්, වත්කම්, මාව නඩත්තු කරන්න පුළුවන්ද කියල​ා බැලුවේ නෑ. අදටත් මම බලන්නේ නෑ. නමුත් සමහරවිට අපි ආදරය කියලා හඳුන්වන්නේ ජීවිතයේ වැරැදි දේවල් වෙන්නත් පුළුවන්. ආදරය කියා සොයාගෙන යන තැන තුළ ආදරය නැති වෙන්නත් පුළුවන්. සමහර දේවල් ගනුදෙනුවක් විතරයි.   


ආදරය තුළ තමන් කැමති, තමන් ප්‍රියකරන කෙනෙක් එක්ක, තමන්ගේ දේවල් බෙදා හදාගෙන ජීවත් වෙන එක තමයි මට ආදරය හැටියට දකින්නේ. අපි පොත්වල, චිත්‍රපටවල දකින ආදරය, මේ සැබෑ ලෝකයේ සිද්ධ වෙන්නේ නෑ. මගේ අත්දැකීම්වලින් මම මේ කියන්නේ. එය කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. මම දකින්නේ තමන් කැමති කෙනාත් එක්ක ජීවත් වීමත්, ඒක එක්තරා විදිහක ගනුදෙනුවක් විදිහටයි. හේතුව, මම කැමති කෙනාත් මගේ ජීවිතයට ළංකර ගන්නවා. එයත් එක්ක ගනුදෙනු කරනවා. මෙහිදී දෙන්නා සිතුවිලිවලින් පරතර දෙකක ජීවත්වෙන්න පුළුවන්. එතකොට ඒ ගැටුම් එක්ක තීරණය කරනවා තවදුරටත් මේ තරුණයා එක්ක ජීවත් වෙනවාද? ආදරය කරන එක නවත්වනවාද? කියා    මා දකින්නේ අාදරය කියන්නේ වෙනස් වන දෙයක්. ආදරය සදාකාලිකයි කියා දෙයක් නෑ. එදා ආදරය හඳුනගත්ත විදිහ නොවෙයි මට දැන් දැනෙන්නේ. කාලයෙන් කාලය අපට ළංවෙන අය සමඟ, අපේ අත්දැකීම් එක්ක එය වෙනස් වෙනවා.   

 


දැන් ඔයාට ඒ වගේ ආදරයක් මුලින්ම අැති වුණේ කොයි කාලයේද?   
මම පාසල් දිවියේ බාලිකා පාසල්වලට විතරයි ගියේ. කතෝලික බාලිකා පාසල්වලට. ඒ නිසා මට පිරිමි ළමයි ඇසුරු කරන්න එහෙම පසුබිමක් තිබුණේ නෑ. මුලින්ම ආදරයක් ඇතිවුණේ අවුරුදු 20දී. හැඟීම් තිබුණා පන්ති යන කාලයේදී. අපි දකින අය අප කෙරෙහි ආකර්ෂණය තිබුණා. ආකර්ෂණය කියන්නේ ආදරය නොවෙයි. ආකර්ෂණය බහුතරයකට වෙන්න පුළුවන්. නමුත් ආදරය කියන හැඟීම ඇතිවෙන්නේ එක්කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ කාලයේ ඇති වූ හැඟීම් ආකර්ෂණයන් මා ආදරය ලෙස අද දකින්නේ නෑ.   

 


ඒ ආකර්ෂණයේ මිහිරි මතක ඇති නේද?   
ඔව්. මම උසස් පෙළ කරන කාලයේ තමයි එළියේ පන්තියකට යන්න පටන් ගත්තේ. සාමාන්‍ය පෙළ කරනතුරු මම එළියේ පන්තිවලට ගියේ නෑ. ගෙදරට ගුරුවරු ගෙනවිත් අම්මා මට ඉගැන්වූයේ. එහෙම එළියේ පන්තියට ගියාම, එහි සිටි එක ළමයෙක් ගැන මට ආකර්ෂණයක් ඇති වුණා කියලා මතකයක් තිබෙනවා. හැබැයි ඒ පන්තියේ අවසානයත් එක්ක එයත් නැති වුණා. එය ආදරයට පෙරළුණේ නෑ. එය ප්‍රේම සම්බන්ධයක් දක්වා දුර දිග ගිය එකක් නොවෙයි. ඒක තමයි මට පිරිමි ළමයෙක් සම්බන්ධව මුලින්ම ඇතිවූ ආකර්ෂණය. උසස් පෙළින් පස්සේ මම ඉන්දියාවට ගියා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. එහේදී නම් ආදරය ගැන හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. අවුරුදු 20ක් පසු වුණාට පස්සේ තමයි මම කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තේ.   

 

 


ආදරය විවාහයකින්ම කෙළවර කරගත යුතුයි කියලා එදා ඔයාට සිතුණාද?   
ඇත්තටම මුල්ම හැඟීම එ්ක තමයි. හැම කෙනාගේම හැඟීම එ්ක තමයි. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙන්නේ. මගේ පරම්පරාව ගත්තාම අපි අාදරය කරන පළමු පෙම්වතා එක්කම විවාහයක් දක්වා එය අරගෙන යනවා කියන හැඟීමෙන් ඉන්නේ. නමුත් එ්ක කාලයත් එක්ක වෙනස් වෙනවා. මුල්ම ආදරය පටන් ගත්තේ වයසට ගිහින් මැරෙනතුරු එකටම ඉන්නයි. ඒ සිහිනයත් එක්ක තමයි මම මුල්ම ආදරය පටන් ගත්තේ. නමුත් ඒක වෙනස් වුණා. අවුරුදු 20දී මම දැක්ක, දැනුණු හැඟීම් නොවෙයි අද මට තිබෙන්නේ. ඒ ප්‍රශ්නවලදී මම අඬලා දොඩලා මුහුණදීලා, පස්සේ තේරුම් ගන්නවා. මේක වෙනස් වෙනසුලු දෙයක් නිසා නැති වුණා කියා මැරෙන්න තරම්, සියදිවි නසාගන්න තරම් ඕනෑ නෑ.   

 


ඔයාගේ විවාහයත් බිඳී ගියේ ඔබ​ෙග් වරදක් හින්දද? එහෙම නැත්නම් වෙනත් හේතු හින්දද?   
 මෙහෙමයි. මගේ පැත්තෙන් මම හැමවිටම කතා කරන්නේ. එහිදී මගේ පැත්තෙන් පරිස්සම් වෙලා නේද කතා කරන්නේ. නමුත් මා උත්සාහ කරලා තිබෙනවා, විවාහය නොකැඩී තබා ගන්න. මගේ පැත්තෙත් වැරැදි නෑ කියලා කියන්න බැහැ. අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. ඒ හින්දම නේද දෙන්නම ඈත් වෙන්නේ. එක්කෙනකුගේ විතරක් වැරැද්දක් තිබුණා නම් කොහොම හරි ගැටගහගෙන ජීවත් වෙනවානේ. දෙදෙනාගේම පැත්තෙන්ම හේතු තිබෙන්න ඇති විවාහය බිඳිලා යන්න. මම හිතනවා, ගැටගහගන්න මා යම් උත්සාහයක් කළා කියාල. මම කවදාවත් මුදල්, තත්ත්වය ගැන හිතලා නොවෙයි ජීවිතයට ළං කරගත්තේ. එකම දේ මම හෙව්වේ ඉතාම මෝඩ විදිහට ආදරයයි. ඒ හොයපු දේවල් එක්ක ගත්තාම මම නුවණැති දෙයක් නොවෙයි කරලා තිබෙන්නේ කියන හැඟීම දැන් තිබෙනවා. කතා පොත්වල, චිත්‍රපටවල අපි දකින දේවල් සැබෑ ලෝකයේදී අපි හොයන්න ගියාම මෙහෙම වෙන්න පුළුවන්. නමුත් යථාර්ථය නම් විවාහය ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව තුළ අපට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තමයි විවාහය තීරණය වෙන්නේ.   

 


ඔයා පිරිමින්ට බූට් තියන කෙනෙක්ද? එහෙම නැත්තම් පිරිමින්ගෙන් බූට් කන කෙනෙක්ද?   
මම බූට් කාලත් තිබෙනවා. මම බූට් කෑව කියලා මගේ ජීවිතේ නැතිකර ගත්තේ නෑ. මගේ පෞද්ගලික ජීවිතයයි. රාජකාරි ජීවිතයයි කවදාවත් පටලවාගත්තේ නෑ. ඒ නිසා රාජකාරී ජීවිතයේදී මගේ පෞද්ගලික ජීවිතේ මෙතරම් ප්‍රශ්න තිබුණත් වැටෙන්න දුන්නේ නෑ. බූට් තියලත් තිබෙනවා. කාලත් තිබෙනවා. ඒ දෙකේම අත්දැකීම් මට තිබෙනවා.

 

  
ඒ හින්දද පසුගිය කාලයේ අප අතරින් සමුගත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන ඔයා සම්බන්ධ කරලා කතාවක් ගියේ. ප්‍රින්ස් ඔබ නිසා බූට් කාපු කෙනෙක්ද?   

 ඇත්තටම ඒ ගැන මම කතා කරන්න කැමති නැති තරම්. කිසිම සම්බන්ධයක් ඔහුත් එක්ක තිබුණේ නෑ. මම ඔහුට බූට් එකක් දුන්නෙත් නෑ. මට ඉතිං කියන්න තිබෙන්නේ, ඒ කතා කරපු උදවියට මේවා දැකලා පණයන තරමට මටම හිනා කියලයි. හේතුව කිසිම විදිහකින්, අංශු මාත්‍රයකින් හෝ මගෙයි ප්‍රින්ස්ගෙයි ආදරයක් ඇති වෙන්න ඉඩක් තිබුණේවත් නෑ.   


මට මඩ ගහන අයට උත්තර දෙන්නවත් මා කැමති නෑ. ඒවා නිකම් සම්ප්‍ප්‍රලාප විතරයි. අනික මැරුණු මිනිහකුට මැරිලවත් නිදහසේ ඉන්න නොදෙන රටක් මේක ​ෙම් සම්ප්‍ප්‍රලාපවලට උත්තර දිදී ඉන්න මට වෙලාවක් නෑ. ඊට වඩා ගොඩක් වැඩ කරන්න දේවල් මට තිබෙනවා.   


ඔයා ජනප්‍රිය කාලයේ ගායකයෝ, නළුවෝ ඔයාගේ ආදරය ඉල්ලගෙන ආවද? ඔවුන් කෙරෙහි ආකර්ෂණයක් ඔයාට ඇතිවුණාද?   
 මෙහෙමයි. කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒක වැරැද්දක් නොවෙයි. එය හැමෝටම පොදු දෙයක්. මම ගැහැනියක්. මේ රටේ කුමක් හෝ යමක් කරන කෙනෙක් මගේ ලස්සන තීරණය වෙන්නේ බලන පුද්ගලයා අනුවයි. හැබැයි අවලස්සන නෑ කියලා මම දන්නවා. එහෙම හැඟීමක් මා කෙරෙහි අයකුට ඇතිවෙන්න පුළුවන්. ඒක සම්බන්ධයක් දක්වා දුරදිග යනවා කියලා තීරණය වෙන්නේ දෙන්නාගේම කැමැත්ත මතයි. එහෙම දේවල් සිද්ධ වුණාද නැද්ද කියන එකයි ප්‍රශ්නෙ තිබෙන්නේ.   


මට ආකර්ෂණය වූ අප අතර නළුවෝ ඉන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ ඉන්න පුළුවන්. රසිකයෝ අතර ඉන්න පුළුවන්. නමුත් මට ඒ සියලුදෙනා එක්කම සම්බන්ධතා තියාගන්න බැහැනේ.     

 


● ඇයි ඔයා එක් විවාහයක් කෙළවර වුණාම, තවත් විවාහවලට ගිහින් ආපහු රැවටුණේ? ඔයා බලාපො​ෙරාත්තු වූ දේවල් ඔවුන් තුළවත් තිබුණේ නැද්ද?   
 මා හිතන්නේ ගැහැනියක් උත්සාහ කරන්නේ එක තැනක් වැරදුණාම, ඊළඟ වතාවේ එය හරිගස්සගන්නයි මාත් උත්සාහ කළා. එය වැරැදීමක් හෝ රැවටීමක් කියා මා හිතන්නේ නෑ. හරියි කියලා ගත්ත තීරණ වරදින්න පුළුවන්. මම නොවෙයිනේ මේ රටේ දික්කසාද වූ පළමු හා අන්තිම කෙනාවත්. ඉතිං ඒ නිසා මා ගැන බොහොම ආසාවෙන් වැරැදියට කතා කරන අයට කියන්නේ, තමනුත් වීදුරු ගෙවල්වල නේද ඉන්නේ කියලයි. ඔවුන් කියන විදිහට මේ රටේ දික්කසාද වෙන්න බැහැ. ආදරය එක්කෙනකුට පමණයි වගේ වෙන්න ඕනෑ.   


මා පිළිබඳව බලාපො​ෙරාත්තුවෙන් ඉඳලා එ්ව නැතිවුණාම එවැනි මානසිකත්වයෙන් මඩ ගහන අය ඉන්නවා. ලිංගික ඊර්ෂියා​ෙවන් තමයි ඒ දේවල් කරන්නේ. මේ රටේ කෝටි 2ක් ඉන්නවා. එයින් 20 දෙනකුගෙන් මගේ ජීවිතය තීරණය වෙන්නේ නැහැනේ. මට සමාජ ජාල වෙබ් අඩවිවල මඩ ගහද්දී එ්වාට ප්‍රති උත්තර දෙන “කමෙන්ට්ස්” වලට තැනක් දෙන්නේ නෑ. ඒවා ඔවුන් අයින් කරනවා. බැණලා තියෙන දේ විතරයි දාන්නේ. එ් ගැන අවබෝධයක් මට තිබෙනවා. සිත් තැවුල් ඇති කරගන්නේ නෑ. ඔය මඩ ගහන අයට පෞරුෂයක් නෑ. තමන්ගේ ඇත්ත නමින් පෙනී සිටින්න. හොඳ සුද්ධවන්තයෝ නම්, ඇත්ත නමින් පෙනී සිටින්න.   

 


දැන් ඉතිං ඔබ තනිකඩව ඉන්නද කල්පනා කරන්නේ?   
 ඒක ඉතිං කාලය තීරණය කරාවි. එහෙම කිසිම තීරණයක් තවම මා තුළ නෑ.   

 


ඒ කියන්නේ ආදරයක්, ප්‍රේමයක් ඇතිවෙලාද තියෙන්නේ?   
ඇත්තටම නෑ. මම තනිකඩව ඉන්නවා. මගේ පාඩුවේ වැඩ කරගෙන. ආදරය, ආකර්ෂණය ඇති වෙන්න, නැති වෙන්න පුළුවන්. එහෙම කියලා හඬා වැටෙන්නේ නෑ. මොකද මට තිබෙන එකම රාජකාරිය ඕක නොවෙයිනේ. ඒ හින්දා දවසින් දවස ජීවිතයට මුහුණදෙනවා. මම දැන් ඉස්සර නිරෝෂා නොවෙයි. ඊට වඩා ශක්තිමක්. ඒක මේ සමාජයෙන්ම මට දුන්න පන්නරයක්. එහෙම තනිවුණු කාන්තාවකට ජීවිතය ශක්තිමත්ව ගෙනියන්න සමාජයෙන් දුන් පන්නරය නිසයි අද මම වැටෙන්නේ නැතිව ඉන්නේ. ඒ නිසා කාටවත් මාව යටකරන්න නම් බැරිවෙයි. ආපහු විවාහයකට ගියත්, එයත් සමහර විට වරදින්න පුළුවන්. නමුත් ඒක තුළම මා මියැදෙන්නේ නෑ. ඒ තුළම මගේ සියලු දේ තීරණය වෙන්නේ නෑ. ඊට වඩා මේ රටට යමක් කරලා, යහපත් දෙයක් කරලා මැරිලා යන්නයි මා හිතන්නේ. ආදරය, විවාහය කියන එකම සාධකය තුළ මා කොහෙත්ම ජීවත් වෙන්නේ නෑ.   

 


දැනුත් ​ෙයා්ජනා හරියට එනවා නේද?   
යෝජනා නම් හරියට එනවා. මම තව වයසට යනතුරු ඒවා එන්න පුළුවන්. මම කරන, කියන දේ අනුව මිනිසුන් ආකර්ෂණය වෙන්න පුළුවන්. ලස්සනම නොවෙයි බලපාන්නේ. හැබැයි ඒ එන ආකර්ෂණය මා එදා වගෙයි නොවෙයි අද ග්‍රහණය කරගන්නේ. මොකද ජීවිතයේ විවාහය, ආදරය ගැන අද මම හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ.   

 


අද බොහෝ දෙනා “ලිවිං ටු ගෙදර්” සංකල්පය ගැන කතා කරනවා. ඔයා මේ ගැන මොකද කියන්නේ?   
තමන් කැමති දෙයක් කරන්න තමන්ට නිදහස තිබිය යුතුයි. මම එහි වැරැද්දක් දකින්නේ නෑ. තමන් කැමති කෙනෙක් එක්ක ජීවත් වුණාම කාටවත් ප්‍රශ්නයක් ඇයි? කාටවත් අදාළ වෙන්නේ නෑ. මගේවත් ඔය කිසිම කෙනකුගේවත් පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න කාටවත් අයිතියක් නෑ. මගේ පෞද්ගලික ජීවිතය කවුරුවත් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ. අනියම් සබඳතා ඕනෑ තරම් සමහරුන්ට තිබෙනවා. ඒක ඒ ඒ අයගේ කැමත්ත මත තීරණය වෙන දෙයක්. ඒක වැරැදිද නැද්ද කියන්න අපිට අයිතියක් නෑ.   


නිරෝෂාගේ ඒ දිගු පරිච්ඡේදයට නිමාව තබන්නට මම අදහස් කළෙමි. ඒ පරිච්ජේදය තුළ ඔබට යමක් දැනුණද? ඔබ යමක් සිතන්නට පෙළැඹුණාද? එසේ නම් එය සාර්ථක පරිච්ඡේදයක්ද යන්න ඔබම තීරණය කරන්න.  

 
සටහන් කළේ   
සමන්ත යහම්පත්