පෙබරවාරියේ අඩුවක් නොදැක ශුභ නැකතින් වැඩ ගන්න


ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව වර්ෂයේ දෙවැනි මාසය වන පෙබරවාරියට දින 28 ක් හෝ අධික අවුරුද්දකදී නම් දින 29 ක් හෝ වන බව අපි දනිමු. දින 30 ක් හෝ 31 ක් වශයෙන් පවතින අනෙක් මාස හා සැසැදීමේදී පෙබරවාරියට දින ගණන අඩු බැවින් මෙය අඩු මාසයක් සේ සැලකීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. එපමණක් නොව එම මාසය තුළ ශුභ කටයුතු පවා නොකරති. නමුත් මෙම විශ්වාසය ජ්‍යොතිෂයට අනුව කිසිදු පදනමක නොමැති අනියත බියකි.  

හිරුගේ ගමන අනුව මේස රවිය, වෘෂභ රවිය ආදී වශයෙන්ද, සඳුගේ ගමන අනුව දුරුතු, නවම්, මැදින් ආදි වශයෙන්ද හඳුන්වන සෑම මාසයකටම දින 30 ක් බැගින් ඇත. සූර්ය මාසයක දිනයක් භාග නමින්ද, චන්ද්‍ර මාසයක දිනයක් තිථි නමින්ද හඳුන්වයි. මේ අනුව 2018 පෙබරවාරි මාසයට සූර්ය මාස ක්‍රමයට අනුව මකර වියේ කොටසක්ද, කුම්භ රවියේ කොටසක්ද ඇතුළත් වේ. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව නවම් අව පක්ෂයේ කොටසක්ද මැදින් පුර පක්ෂයේ කොටසක්ද අයත් වේ.  


සෘතු වශයෙන් ගත්කළ පෙබරවාරි මාසය උත්තරායන සිසිර සෘතුවට ඇතුළත් වේ. එම සෘතුව ශුභ කටයුතු සඳහා ඉතා සුදුසු කාල සීමාවකි. 2018 ජනවාරි 14 වන දින රවි මකර රාශිගතවීම අනුව එතෙක් පැවැති ධනු කෝණ මාසය ද නිමවීමෙන් ගෘහ කටයුතු ආරම්භ කිරීම සඳහා ද යෝග්‍ය කාලයක් බවට පත්වේ. යළිත් කෝණ මාසයක් උදාවන්නේ මාර්තු 14 වන දින දීය. එබැවින් පෙබරවාරි මාය තුළ ඕනෑම ශුභ කටයුත්තක් සිදු කිරීම යෝග්‍ය බව පෙනී යනු ඇත. 

 
ඒ අනුව 2018 පෙබරාවරි මාසය තුළ ශුභ නැකැත් පිළියෙල කර ගැනීමට සුදුසු දින කිහිපයක් පහත දක්වමි. කෝටියක් දෝස භංග කිරීමට සමත් වේ යැයි ජ්‍යොතිෂයේ පෙන්වන ඉතා ශුභ යෝගයක් වන කේවල සිද්ධි යෝගය පවතින දින 2 ක්ද මීට ඇතුළත් වීම විශේෂත්වයකි.  


පෙබරවාරි 1 වන බ්‍රහස්පතින්දා අස්ලිය නැකත පෑලවිය තිථිය ඇතුළු නැකතකට ඇවැසි පංචාංගයම ශුද්ධ දිනයකි. මෙදින අවම පක්ෂයට අයත් වුවද, අටවිසි මහා යෝග චක්‍රයට අනුව අමෘත යෝගය වේ. නිවාස සම්බන්ධ කටයුතු මෙන්ම අනෙකුත් සියලු ශුභ වැඩ සඳහා යොදා ගත හැකිය. මෙම ශුභ කාලය ප.ව 3.10 දක්වා පවතී. අස්විද, මා මුල, බෙරණ, පුවපල්. පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සායිවාස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන්ට මෙම දිනය මනාව ගැලපේ. තම නැකතට හිමි පක්ෂියා රජ හෝ භෝජන අවස්ථාව තුළ ශුභ හෝරාවකින් නැකත යොදා ගැනීමෙන් විපුල ඵල ලැබිය හැකිය.  


කෝටියක් දෝෂ භංගවේ යැයි දැක්වෙන කේවල සිද්ධි යෝගය යෙදෙන්නේ පෙබරවාරි 4 වන ඉරිදා පෙ.ව 10.33 න් පසු සහ 24 වන සෙනසුරාදා පෙ.ව 11.27 දක්වාය. මෙම දින 2 ම අස්විද, මා, මූල, කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් හිමියන්ට ශුභදායකය.  


මේ හැර පෙබ 11 වන ඉරිදා ප.ව 12.42 දක්වාද, 13 වන අඟහරුවාදා ප.ව 2.32 දක්වාද, 22 වන බ්‍රහස්පතින්දා ප.ව 1.32 දක්වාද 27 වන අගහරුවාදා මුළු දවසම ද සියලුම වගා කටයුතු අටුවල ධාන්‍ය තැන්පත් කිරීම, අට්ටාල, කුරාල, පැල් වැනි වගා බිම් රකින නිවස්න සැදීම ආදි කටයුතු සඳහා යොදාගත හැකි ශුභ දිනයන්ය. 11 වන දින සිද්ධි යෝගය ද, 13 දා මානස යෝගය ද, 22 දා පද්ම යෝගය ද, 27 දා ප්‍රවර්ධමා යෝගය ද යෙදී ඇත. ඉරිද‌ා දිනය ප්‍රභූන් දැකීම සඳහා ද, අගහරුවාදා තරග හා යුද කටයුතු (අවි ආයුධ සෑදීම වැනි කර්මාන්ත) බ්‍රහස්පතින්ද‌ා සියලු ශුභ කටයුතු සඳහා ද යොදාගත හැකිය.  


මේ අනුව ඉංග්‍රීසි මාස ක්‍රමය පදනම් කරගෙන පෙබරවාරි මාසය ශුභ වැඩට නුසුදුසු යයි යන පදනම් විරහිත මතය බැහැර කර ගන්නා ලෙස එම මතයෙහි එල්බගත් දයාබර පාඨකයන්ගෙන් ඉල්ලීමක් කරමි.  

 

 

 


ගෞරව සම්මානලාභි, ජ්‍යොතිෂවේදී 
එච්.එම්.ටී.බී. හේරත් (බී.ඒ) 
109, පැරකුම් මාවත, උයන්දන, කුරුණෑගල.