පෘථිවියට සමාන ‍තවත් ලොවක්


 

අපගේ හිරු එසේත් නැතිනම් සූර්යයා තරුවකි. පෘථිවියේ ජීවය රැඳී පවතින්නේ හිරු නිසාය. අපගේ හිරුට සමාන ආකාරයේ තරුවකින් ආලෝකමත් වන පෘථිවියට සමාන ග්‍රහලොවක් ගැන හෝඩුවාවක්, කොරෝනා ජරමර මැද පසුගිය දා අසන්න ලැබුණි. ජීවත් වීමට සුදුසු සාධක ඇතැයි විශ්වාස කෙරෙන මෙම ග්‍රහලොව පිහිටා ඇත්තේ අප සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් මන්දාකිනියකය.   


තාරකා විද්‍යාඥයන් මෙම නව ග්‍රහයා නම් කර ඇත්තේ කේ.ඕ.අයි. 456.04 යන නමිනි. මෙය බාහිර් ග්‍රහලොවකි. බාහිර් ග්‍රහයන් යනුවෙන් හැඳින්වෙන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටි ග්‍රහලෝකය. මෙම කේ.ඕ.අයි. 456.04 ග්‍රහලොව සහ තරුව පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 3,000 ක් දුරිනි.   


අභ්‍යවකාශයේ එසේත් නැතිනම් මන්දාකිණි සහ තරු අතරේ දුර මැනීම සිදුවන්නේ ආලෝක වර්ෂවලිනි. ආලෝකය එක් තත්පරයක දී කි.මී. 2,97,600ක දුරක් (සැතපුම් 1,86,000ක දුරක්) ගමන් කරයි. ඒ අනුව ආලෝකය, එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ සලකා, තාරකා විද්‍යාඥයෝ අභ්‍යවකාශයේ දුර මැනීම සිදු කරති. හිරුගේ සිට අපට (පෘථිවියට) ආලෝකය ඒමට ගතවන කාලය මිනිත්තු 8.6 කි.   


කේ.ඕ.අයි. 456.04 ග්‍රහලොව සහ තරුව සොයා ගැනීම සිදුවූයේ ඇමෙරිකන් නාසා ආයතනය අභ්‍යවකාශයේ රඳවා තිබූ ‘කෙප්ලර්’ දුරේක්ෂය ආධාරයෙනි. ‘කෙප්ලර්’ දුරේක්ෂය විසින් සොයා ගනු ලැබීම නිසාම, මෙම තරුව ‘කෙප්ලර් 160’ ලෙස නම් කර තිබේ. කේ.ඕ.අයි. 456.04 ග්‍රහලොව පමණක් නොව, තවත් ග්‍රහලෝක දෙකක් ද ‘කෙප්ලර් 160’ තරුව වටා භ්‍රමණය වන බව ද සොයාගෙන තිබේ. ‘කෙප්ලර් 160’ උෂ්ණත්වය අපේ හිරුගේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 300 අඩු යැයි අනුමාන කෙරේ. හිරු නිසා පෘථිවියට ලැබෙන සාමාන්‍ය උණුසුම සෙල්සියස් අංශක 15 ක් පමණ නම්, ‘කෙප්ලර් 160’ තාරකාවෙන් කේ.ඕ.අයි. 456.04 ග්‍රහලොවට ලැබෙන උණුසුම සෙල්සියස් අංශක 5 ක් පමණ යැයි පැවැසෙයි.   


වසර 9 ½ ක් තිස්සේ නාසා ආයතනයේ කෙප්ලර් දුර්කේෂය විශ්වයේ ඈත කෙළවර ග්‍රහලෝක සහ තරු මණ්ඩල සෙව්වේය. නාසා විද්‍යාඥයෝ කෙප්ලර් දුරේක්ෂය රඳවා තබනු ලැබුවේ, පෘථිවියේ සිට කිලෝ මීටර් 156 ක් දුරිනි. බාහිර් ග්‍රහයන් 3,800 කට වැඩි ප්‍රමාණයක් සොයා දීමට ‘කෙප්ලර්’ සමත් විය. ඒ ඊට අයත් වූ මෙගා පික්සල් 95 ට වඩා වැඩි අති ප්‍රබල කැමරාවේ ආධාරයෙනි. තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසුබිම් කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකියාව ලැබේ. අලු‍ත් ග්‍රහයින් සොයා ගැනීම සිදුවන්නේ මේ අයුරිනි. 2018 වසරේ ‘කෙප්ලර්’ අභ්‍යවකාශ දුරේක්ෂයේ කටයුතු අවසන් විය. ඒ, එහි ඉන්ධන අවසන් වීමත් සමඟ ය. ‘කෙප්ලර්’ දුරේක්ෂය එක් රැස් කරගත් දත්ත තවත් බොහොමයක් ඇති අතර ඒවා අධ්‍යනයය සිදුවෙමින් පවතී කේ.ඕ.අයි. 456.04 ග්‍රහලොව අයත් තාරකා මණ්ඩලය ගැන දත්ත ‘කෙප්ලර්’ දුරේක්ෂය නාසා විද්‍යාඥයන්ට ලැබෙන්න සලස්වා ඇත්තේ එහි අවසන් මෙහෙයුම්වලදී එනම් 2018 වසරේදීය. එම දත්ත තවමත් විශ්ලේෂණය වෙමින් පවතී.   
පෘථිවියට සමාන ජීවය පැවැතිය හැකි යැයි සහ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක ඇතැයි අනුමාන කළ හැකි ග්‍රහලෝක රැසක් ‘කෙප්ලර්’ දුරේක්ෂය විසින් සොයා දෙනු ලැබ තිබේ. ඒවායින් ඇතැම් ග්‍රහයන් පෘථිවියට වඩා ප්‍රමාණයෙන් විශාලය. නැතිනම් නෙප්චූන් ග්‍රහයා තරම් කුඩාය. තාරකා විද්‍යාඥයන් ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කරන්නේ, ‘ගෝල්ඩිලොක්’ කලාපයට අයත් ග්‍රහලෝකය. තරුවකට වඩාත් ළංව පිහිටියොත්, එම ග්‍රහයාගේ උෂ්ණත්වය වැඩිය. තරුවකට දුරින් පිහිටියොත් සීතල වැඩිය. උණුසුම සහ සීතල දෙකම ඇතිව නියමිත සමාන දුරකින් පිහිටන්නේ නම් එවැනි ග්‍රහයන් පිහිටන කලාපය ‘ගෝල්ඩිලොක්’ කලාපය ලෙස සැලකෙයි කේ.ඕ.අයි. 456.04 ග්‍රහලොව පිහිටා ඇත්තේ ද එවැනි ‍‘ගෝල්ඩිලොක්’ කලාපයක් තුළය.   

 


ලු‍සිත ජයමාන්න   
‘ද සන්’ ඇසුරිනි