පෘථිවියට සමාන තවත් ලෝකයක්


තරු පිරි අහස

 

අභ්‍යවකාශගාමීන් අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේම පිහිටි තවත් සෞරග්‍රහ මණ්‍ඩලයක් සොයාගත්තේ මීට ටික කාලයකට පෙරයි. මෙම රතු කුඩා සීතල තරුව වටා භ්‍රමණය වන ග්‍රහලෝක පහළොවක් සොයා ගැනීමටද ඔවුහු සමත්වූහ.  

මෙම ග්‍රහලෝක පහළොව අතර ඇති එක් ග්‍රහලෝකයක පෘථිවියේ ඇති මුහුද වැනි දියරමය මුහුදක් ඇති බව ඔවුන් සඳහන් කරයි. එය සුපිරි පෘථිවියක් ලෙස විද්‍යාඥයින් හඳුන්වයි.  


පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක දුරින් පිහිටා ඇති මෙය නම් කර ඇත්තේ කේ. 2 155 ඩී වශයෙනි. එය පෘථිවිය මෙන් 1.6 ගුණයක් විශාලය. එය පිහිටා ඇති ස්ථානයද වාසයට සුදුසු ස්ථානයකි.  


මෙම සොයාගැනීම සිදුකිරීමට සමත්ව ඇත්තේ ටෝකියෝ ඉන්ස්ට්ටියුට් හි පෘථිවිය හා ග්‍රහලෝක විද්‍යාව පිළිබඳ තාක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ටෙර්යුකී හිරානෝ ඇතුලු කණ්ඩායම විසිනි.  


මෙම විද්‍යාඥ කණ්ඩායම රතු කුරු තරුවට අයත් ග්‍රහලෝක සම්බන්ධයෙන් පර්යේෂණ පටන් ගත්තේ බොහෝ කාලයක සිටය. එම රතු තරුවට අයත් වාසයට සුදුසු ප්‍රමාණය ඉතා කුඩා හෙයින් තොරතුරු එක් රැස් කරගැනීම සිදු කෙරුනේ ඉතා සෙමිනි. කෙසේ වෙතත් එම පර්යේෂණවලින් ඔවුන් හෙළි කරගත්තේ කේ. 2 155 ඩී ග්‍රහලෝකය මතුපිට වතුර තිබෙන බවයි.  


මෙම තොරතුරු එක්රැස් කරගැනීමට වඩාත් හේතු වූයේ නාසාහි කෙප්ල්ර් අභ්‍යාවකාශයානයේ කේ 2 නමැති දෙවෙනි මෙහෙයුමයි. එම මෙහෙයුමෙන් ලැබුණු තොරතුරු අනුව නව ග්‍රහලෝකය සම්බන්ධයෙන් වැඩිපුර තොරතුරු හෙළිදරව් විය.  


විද්‍යාඥයින් මේ දිනවල පරීක්ෂා කරමින් සිටින්නේ සැබැවින්ම මෙම ග්‍රහලෝකය වාසයට සුදුසුද එය අයිති තරුවෙහි ප්‍රමාණය හා උෂ්ණත්වය යන කාරණා සම්බන්ධයෙනුයි.  


‘දැනට අපේ ගණනය කිරීම්වලට අනුව අපි සොයා ගත් නව ග්‍රහලෝකයේ අභ්‍යන්තරය අපේ පෘථිවියට සමානයි. ඒත් අපිට ඒ ගැන හරියටම කියන්න බැහැ’ ආචාර්ය හිරනෝ පවසයි.  


ඒ ගැන හරියටම තහවුරු කර ගන්න නම් අපි ඒ ග්‍රහලෝකයට යන්න ඕනෑ. ඒත් වර්තමානේ අපිට තියෙන තාක්ෂණෙත් එක්කත් ඒ වගේ දෙයක් කරන්න බෑ. අනාගතේදී අධිවේගී අභ්‍යාවකාශ යානාවක් නිෂ්පාදනය කළාම අපිට වෙනත් සෞරග්‍රහ මණ්‍ඩලයකට යන්න පුළුවන් තාක්ෂණයක් ඇති වුණාම අපිට ඒ ග්‍රහලෝකයට ගිහින්ම බලන්න පුළුවන් වෙයි.  


වර්තමානයේ තිබෙන වේගවත්ම අභ්‍යාවකාශ යානාව වන්නේ ‘නිව් හොරයිසන්’ යානාවයි. එම යානාව පැයට කිලෝමීටර් 51,500 ක වේගයෙන් ගමන් කරයි. එම යානාව කේ 2 155 ඩී ග්‍රහලෝකය වෙත ගමන් කිරීමට වසර මිලියන 4ක් ගනු ඇත. එහෙයින් එය ද ප්‍රායෝගික නොවන බව විද්‍යාඥයින් පවසයි.  


මෙම රතු පැහැති කුඩා තරුව, අනෙකුත් සාමාන්‍ය තරුවලට පෙනුමෙන් සමාන නිසා එය සෞරග්‍රහ මණ්‍ඩලයක් හිමි තරුවක් ලෙසින් එක්වරම හඳුනා ගැනීම පහසු නැති බව හිරානෝ ඇතුළු කණ්ඩායම පවසති.  
මේ රතු පැහැති තරුව හා එයට අයත් ග්‍රහලෝක සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු පටන් ගත්තේ ළඟදී. ඒ නිසා අනාගතයේ අභ්‍යාවකාශගාමීන්ට මේ ගැන හොයලා බලන එක ගොඩාක් වැදගත් වගේම රසවත් දෙයක් වෙයි. අපිට පිටසක්වල ජීවීන් අඳුන ගන්න ලැබෙන හොඳම අවස්ථාවත් මේක වෙන්න පුළුවන්.  


ආචාර්ය හිරානෝ සඳහන් කරයි.  


මේ වසරේ අප්‍රේල් මාසයේදී නාසා ආයතනය මගින් අභ්‍යාවකාශ ගත කිරීමට නියමිත ටී.ඊ.එස්.එස්. චන්ද්‍රිකාවේ සහයෙන් කුඩා රතු තරුවට අයත් තවත් ග්‍රහලෝක සම්බන්ධයෙන් තොරතුරු හෙළි වනු ඇතැයි විද්‍යාඥයින් කණ්ඩායම බලාපොරොත්තු වෙයි.  


මෙම චන්ද්‍රිකාවේ තිබෙන කැමරාවලින් ඉතාම පුළුල් වපසරියක් පරීක්ෂාවට ලක් කළ හැකිය.  

 

 

 


පවනි උමයංගනා,  
අන්තර්ජාලය ඇසුරින්.