පෘථිවිය දෙසට පැමිණෙන ග්‍රහක ගණන වැඩිවෙලා


2017 වසරේ 52ක්  ගෑවී නොගෑවී ගිහිල්ලා

 

ගෙවී ගිය 2017 වසරේ පෘථිවියට අනතුරක් වන අයුරින්, පෘථිවිය සහ සඳ අතරින් පෘථිවියට ළංව ග‍්‍රහක 52ක් ගමන් කළ බවත්, ඉදිරි වසරවලදී හඳුනා ගත් සහ හඳුනා නොගත් තව තවත් ග‍්‍රාහක පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පෙන්වා දෙයි. මෙම ග‍්‍රහකවල ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් ඒවා පෘථිවියේ ගැටෙනු ඇති බවත්, එවිට මහා විනාශයක් සිදුවිය හැකි බවත් නාසා විද්‍යාඥයෝ බිය පළ කරති. 2017 වසර අවසන් වෙද්දී, පසුගිය නත්තල් දා බස් රථයක් තරම් විශාල ග‍්‍රහකයක් එසේත් නැතිනම් ඇස්ටරොයිඩයක් පෘථිවියේ ගෑවී නොගෑවී ගමන් කළේය. එය පෘථිවිය පසු කර ඇත්තේ පැයට කිලෝ මීටර් 34,000ක වේගයකිනි. මෙම ග‍්‍රාහකය පෘථිවිය අසලින් ගමන් කරනවා යැයි, මීට පෙර විද්‍යාඥයෝ දැන නොසිටියහ. ඔවුන්ට ග‍්‍රාහකය හඳුනා ගැනීමට හැකිවූයේ පසුගිය 2017 වසරේදීය. ග‍්‍රහකය සොයා ගනු ලැබුවෝ ඇමෙරිකාවේ ඇරිසෝනාවේ මවුන්ට් ලෙමන් තාරකා නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයෝය. ඒ අනුව, ග‍්‍රහකය ‘2017වයි74’ යනුවෙන් නම් කෙරුණි. ‘2017වයි74’ ග‍්‍රාහකය කිලෝ මීටර් 2,24,000 ක දුරකින් පෘථිවිය පසු කරමින් ඇදී ගියේය. ‘2017වයි74’ ග‍්‍රාහකයේ විෂ්කම්භය මීටර් 7 සිට 15 කි. එය පෘථිවිය අසලින් ගියේ පසුගිය නත්තල් දා සවස ග්‍රිනිච් වේලාවෙන් 4.26ටය.   

තාරකා විද්‍යාඥයන්ට අනුව නම්, මෙය ‘ගෑවී නොගෑවී’ යෑමකි. නාසා විද්‍යාඥයන් පෘථිවිය අසලින් ගමන් කරන මෙවැනි ග‍්‍රහ වස්තූන් හඳුන්වන්නේ ‘නියෝස්’ යන නමිනි. ‘නියෝස්’ යනු ‘නියර් අර්ත් ඔබ්ජෙක්ට්ස්’ (පෘථිවිය අසලට පැමිණෙන ග‍්‍රහ වස්තූන්) යන්නය. පෘථිවියට අනතුරක් ලෙස සැලකෙන්නේ පෘථිවියට කිලෝ මීටර් 7,403,000ක් අසලට පැමිණෙන ග‍්‍රහ වස්තු බව නාසා පෙන්වා දෙයි. ‘නියෝස්’ අතරට ග‍්‍රාහක පමණක් නොවෙයි, වල්ගා තරු, උල්කා ආදිය ද ඇතුළත්ය. මෙම වසරේ ‘නියෝස්’ 17,495ක් ගැන තොරතුරු නාසා විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇතැයි ද පැවැසෙයි.   


ග‍්‍රහක හැල හැප්පීම් නිසා ඝට්ටන සිදුවීම අප සෞරග‍්‍රහ මණ්ඩලයට අලුත් දෙයක් නොවේ. අතීතයේ පෘථිවියේත් සෙසු ග‍්‍රහලෝකවලත් ග‍්‍රාහක ගැටී ඇත. ඉදිරියේ දී ද එවැනි සිදුවීම් සිදුවීමේ සම්භාවිතාවක් පවතී. මෙවැනි ඝට්ටන ඇතිවූයේ අප සෞරග‍්‍රහ මණ්ඩලය උපත ලැබූ අවස්ථාවේ සිටය.   


අපගේ හිරු පණ ලබා, ප‍්‍රසාරණය වෙමින් වර්ධනය වෙද්දී, පිපිරීම් රැසක් නිර්මාණය විය. හිරු වටා පැවැති වායු සහ දූවිලි එකිනෙක මුසුවෙමින් ඝන ද්‍රව්‍ය බවට පත් විය. පිපිරීම් රැසකින් පසු සිසිල් වෙමින් ග‍්‍රහ පිණ්ඩ නිර්මාණය විය. ග‍්‍රහ පිණ්ඩ එකිනෙක ගැටී මුසු වෙමින්, මූල ග‍්‍රහයන් නිර්මාණය විය. මිලියන ගණනාවක් තිස්සේ දිගටම සිදුවුණු හැලහැප්පීම්වල අවසන් ප‍්‍රතිඵලය වූයේ අප සෞරග‍්‍රහ මණ්ඩල නිර්මාණය වීමය. මූල ග‍්‍රහයින් ස්කන්ධයෙන් වැඩි වෙද්දී, ඒවායේ ගුරුත්ව ආකර්ෂණයත් වැඩි විය. සමාහරණය නමැති මේ කි‍්‍රයාවලිය නිසා ග‍්‍රාහක, ග‍්‍රහලෝක සහ ඒවායේ චන්ද්‍රයන් නිර්මාණය වුණැයි පැවැසෙයි. මෙම හැල හැප්පීම් නිසා ඉතිරි වුණු කැලැල් සෞරග‍්‍රහ මණ්ඩලයේ සෑම ග‍්‍රහ වස්තුවකින්ම දකින්න ලැබෙයි. තාරකා විද්‍යාඥයන් මේවා හඳුන්වන්නේ ඝට්ටන ආවාට යනුවෙනි. විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ සෑම ඝට්ටන ආවාටයක්ම නිර්මාණය වී ඇත්තේ, එක් වස්තුවක් තවත් වස්තුවක ඝට්ටනය වීමෙනි.   


වසර මිලියන 100කට පෙර, කිලෝ මීටර් කිහිපයක් පළලින් යුත් ග‍්‍රහකයක්, සඳ මතට කඩා වැටුණේය. එහිදී නිර්මාණය වුණු ආවාටය අදත් දැකිය හැකි අතර, විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ ‘ටයිකෝ’ ආවාටය යන නමිනි. එම ඝට්ටනයෙන් ඇති වුණු කම්පනයෙන් කිලෝ මීටර් 85ක් පළල කවයක් නිර්මාණය විය. ඉන් නිකුත්වුණු කම්පන තරංග නිසා සඳ මතුපිට දූවිලි සහ පාෂාණ විශාල ප‍්‍රමාණයක් දසත පැතිරිණි. කිලෝ මීටර් පහළොස් දහසක් තරම් ඈතට විහිදුණු දූවිලි සහ පාෂාණ දකින්න ලැබේ. ඒවා හරියට, ආවාටයේ සිට පිටතට විහිදී යන බයිසිකල් රෝදයක ස්පෝක් කූරු වැනිය. ප‍්‍රබල ඝට්ටනයෙන් නිකුත් වුණු ශක්තිය, ඉතා බලවත්, පෘථිවිය සතු සියලුම න්‍යෂ්ටික අවි එක්ව ගත්විට ඇති වන පිපිරීමට වඩා ප‍්‍රබල යැයි පැවැසෙයි. සඳේ දකින්න ලැබෙන ආවාට සියල්ල, සඳ බිහිවුණු දා පටන්, විශ්වයේ පාවෙන ඥන වස්තූන් ගැටීමෙන් නිර්මාණය වූ ඒවාය. සඳ බිහිවන්නට ඇත්තේ අඟහරු තරම් ලොකු ග‍්‍රහ වස්තුවක් සමඟ ගැටීමෙන් යැයි විශ්වාස කෙරේ. ඒ, සෞරග‍්‍රහ මණ්ඩලය නිර්මාණය වුණු මුල් අවධියේදීය. පෘථිවිය සහ ග‍්‍රහ පිණ්ඩ ගැටෙද්දී සුන්බුන් වූ කැබලි විශ්වය තුළ විසිරුණි. කාලයාගේ ඇවෑමෙන් සහ ගුරුත්ව ශක්තියේ බලපෑමෙන්, ඒ සුන්බුන් එක්වීමෙන් අපේ තරුණ පෘථිවිය වටා කැරැකෙන අලුත් සඳක් උපත ලැබුවේය.   


සඳ මත පමණක් නොව, සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝකවල ද ආරම්භයේ දී ඇති වූ ඝට්ටන සලකුණු ශේෂව තිබේ. ආවාට ලෙස අප දකින්නේ ඒවා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. බෘහස්පතිගේ කැලිස්ටෝ චන්ද්‍රයා සොයා ගනු ලැබුවේ 1610 වසරේ දී ගැලීලියෝ ගැලීලි විසිනි. එහි විශ්කම්භය කිලෝ මීටර් 500 කි. කැලිස්ටෝ ප්ලූටෝටත් වැඩිය විශාලය. ප‍්‍රමාණයෙන් බුද ග‍්‍රහයාට සමානය. එය ද අප සඳ මෙන් ආවාට පිරි තැනකි. එම ආවාට නිර්මාණය වූයේ කැලිස්ටෝගේ ඉතිහාසය පුරා සිදුවුණු ඝට්ටන හේතුවෙන් යැයි තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. සෞරග‍්‍රහ මණ්ඩලයේ වෙන කිසිම ග‍්‍රහ වස්තුවක නැති තරමට, එක වර්ග කිලෝ මීටරයක් ඇතුළත කැලිස්ටෝගේ ආවාට ඇති බව පැවැසෙයි. මේ ආවාට විවිධ හැඩ ගනී.   


නාසා ආයතනය අභ්‍යවකාශයට යැවූ “වොයේජර් 2” සහ “ගැලීලියෝ” යන අභ්‍යවකාශ රොබෝ ගවේෂණ යානා එවූ අති පැහැදිලි ඡායාරූපවල යාන්තමට පෙනෙන ආවාට පමණක් නොවේ, කැලිස්ටෝගෙන් තුනෙන් එකක් වසාගත් ‘ඇස්ගාඩ්’ වැනි අති දැවැන්ත ආවාටය පවා දැකිය හැකි වෙයි. මෙම ”ඇස්ගාඩ්” ආවාටයේ විශ්කම්භය කිලෝ මීටර් එක්දාස් හත්සීයකි. කිලෝ මීටර් හයදහසක් දිග ආවාට දාමයක් කැලිස්ටෝ මතුපිට ඇත. ඒවා නිර්මාණය වී ඇත්තේ අයිස් පිරි මතුපිටට ධූමකේතු හෙවත් වල්ගාතරු වැස්සක් පතිත වීමෙන් යැයි විද්‍යාඥයන් විසින් තහවුරු කරගනු ලැබ තිබේ.   


සෙනසුරු ග‍්‍රහයාට අයත් ‘මයිනස්’ නමැති චන්ද්‍රයාගේ විශාල ග‍්‍රහ වස්තුවක් ගැටී තිබේ. ඉන් නිර්මාණය වූ ආවාටය කිලෝ මීටර් එකසිය තිහක් පළල යැයි ද පැවැසෙයි. විද්‍යාඥයන් ගණනය කර ඇති අන්දමට ග‍්‍රාහකය එම ආවාටය කිලෝ මීටර් දහයක් ගැඹුරුය. ඝට්ටනයෙන් නිකුත් වුණු කම්පන තරංග මයිනස් පුරා විහිදී තිබේ. ප‍්‍රතිවිරුද්ධ පැත්තේ පැල්මක් නිර්මාණය විය. එම ඝට්ටනයෙන් ‘මයිනස්’ චන්ද්‍රයා දෙකඩ වීමට ඉඩ තිබුණු බව විද්‍යාඥයෝ ඒ අනුව පවසති.   


ෆෝබෝස් යනු අඟහරුගේ චන්ද්‍රයන්ගෙන් එකකි. එය ප‍්‍රමාණයෙන් කුඩාය. එය අඟහරු වටා යන ගමන් මඟ කෙමෙන් කෙමෙන් අඟහරු වෙතට ළං වන බව පැවැසෙයි. මතු දවසක ෆෝබෝස් අඟහරු මතට කඩා වැටී දැවැන්ත ආවාටයක් නිර්මාණය වනු ඇත. ෆෝබෝස් මතුපිටත් ආවාට පිරී තිබේ. ඒ, අතීතයේ සිදුවුණු හැලහැප්පීම්වල ප‍්‍රතිඵලයක් ලෙසය. විද්‍යාඥයන්ට මෙම ආවාට පළමුවරට දකින්න ලැබුණේ මාර්ස් එක්ස්ප‍්‍රස් අභ්‍යවකාශ යානයේ ආධාරයෙනි.   


බුද සහ සිකුරු යන ග‍්‍රහලොවත් ආවාට පිරී පවතී. බෘහස්පති සැලකෙන්නේ වායු යෝධයකු ලෙසය. වායු යෝධයන් යනු වායුවලින් සුසැදි ග‍්‍රහයන්ය. 1993 වසරේ මාර්තු 24 වැනිදා, ජීන් සහ කැරොලයන් ෂූමාකර් තාරකා විද්‍යාඥ යුවළත් ආධුනික තාරකා විද්‍යාඥ ඩේවිඩ් ලීවීත් එක්ව කැබැලි වී ගිය ධූම කේතුවක් සොයා ගත්හ. මෙම ධූමකේතුවේ (වල්ගා තරුවේ) විශේෂත්වයක් විය. මෙය ගමන් කළේ හිරු වටා නොව, බෘහස්පති වටාය.   


‘ෂූමාකර් ලෙවී 9’ යනුවෙන් හැඳින්වුණු ධූම කේතුව, බෘහස්පතිගේ කක්ෂය පසු කරද්දී, කැබැලි වී ගියේය. ඒ, බෘහස්පතිගේ ප‍්‍රබල ගුරුත්වාකර්ෂණය හේතුවෙනි. කැබැලි වුණු එම කොටස් ධූම කේතුව පසුපස ඇදී ගොස් බෘහස්පති මතට පතිත විය. එම ඝට්ටනය සිදුවූයේ 1994 වසරේ ජූලි මාසයේදීය. එය තාරකා විද්‍යාවේ ඉතාමත් කැපී පෙනෙන සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙයි. අප විද්‍යාඥයන් බලා සිටිද්දී, එහි අයිස්වලින් ගහණ කැබැලි විසි දෙකක්, එකක් පසු එකක් වශයෙන් බෘහස්පති මතුපිටට වැටුණි. එසේ වැටුණු ඇතැම් කැබැලි කඩා වැටෙද්දි පරමාණු බෝම්බ මිලියන ගණනක පිපිරීමකට සමාන ශක්තියක් ජනිත කළ බව ද පැවැසිණි. ග‍්‍රහ වස්තු ගැටීමෙන් සෞරග‍්‍රහ මණ්ඩලය දිගටම වෙනස් වෙමින් පවතින බව තහවුරු කළ හැකි හොඳ සාක්ෂියක් ලෙස මෙය සැලකෙයි.   


ආවාට ඇතිවීම සාමාන්‍ය දෙයක් නම්, සෞරග‍්‍රහ මණ්ඩලයේ, අපේ පෘථිවියත් ආවාටවලින් පිරුණු තැනක් නොවන්නේ කෙසේදැයි යන්න ගැටලුවකි. අනෙක් ග‍්‍රහයන් සහ චන්ද්‍රයන්ට වඩා පෘථිවියේ ඉරණම වෙනස් ද? අතීතයේ පෘථිවියත් ග‍්‍රාහක ඝට්ටනවලට ලක් වී තිබේ. කෙසේ නමුත් පෘථිවියේ හතරෙන් තුනක් සාගරයෙන් වැසී පවතී. සාගරයට පතිත වුණු ග‍්‍රහ වස්තු නිසා ආවාට නිර්මාණය වී නැත. නිර්මාණය වුණු ආවාට දකින්න ලැබෙන්නේ ද නැත. ගොඩබිමට වැටුණු ආවාට පාංශු ඛාදනය නිසාත් සුළඟ නිසාත්, වර්ෂාව නිසාත් වනවගා නිසාත් මැකී යයි. එසේ මැකී නොගිය ආවාට කැළැල් දැකිය හැකි අවස්ථා ද තිබේ. කැනඩාවේ දකින්න ලැබෙන එවැනි දැවැන්ත ආවාටයක විෂ්කම්භය කිලෝ මීටර් 100 කි. අවුරුදු මිලියන 65කට පෙර පෘථිවියේ රජ කළ ඩයිනසෝරයන් විනාශ කර දැම්මේ ද යෝධ ග‍්‍රාහකයක් පෘථිවියේ හැපීමෙනි. ඩයිනසෝරයන් මරා දැමූ එම ග‍්‍රාහකය වැටී ඇති ස්ථානය අද ද පැහැදිලිව දකින්න ලැබේ. එම ස්ථානය අයත් වන්නේ, මෙක්සිකෝවේ යුකටෑන් අර්ධද්වීපයටය. නිර්මාණය වුණු ආවාටය නම් කර ඇත්තේ ‘චිචලු’ යනුවෙනි.   


අපේ ලෝකයේ හැමතැනම එකම විදියට වැස්සෙන් සහ සුළඟින් ඛාදනය නොවෙයි. වන ගහණයක් ද දකින්න නොලැබෙයි. පිටිසරබද ඔස්ට්‍රියාවේ, හොඳින් සුරැකුණු ආවාටයක් දකින්න ලැබේ. මෙම ආවාටය නිර්මාණය වී ඇත්තේ වසර තුන් ලක්ෂයකට ඈත අතීතයේදී යැයි සොයා ගෙන තිබේ. එය නිර්මාණය කළ ග‍්‍රහ වස්තුව එසේත් නැතිනම් ග‍්‍රාහකය පහළට ඇදී ආවේ යැයි පැවැසෙන්නේ, පැයට කිලෝ මීටර් පනස් දහසකට වැඩි වේගයකිනි.   


අද වනවිට යුරෝපයේ, උතුරු ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ග‍්‍රහක ආවාට එකසිය හැත්තෑවක් පමණ සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇතැයි ද පැවැසෙයි. ඇතැම් ග‍්‍රාහක නිර්මාණය වී ඇත්තේ මෑත කාලයේදීය. 1908 වසරේදී සයිබීරියාවේ තුන්ගුස්කා පළාතේ සිදුවූ පිපිරීමෙන් වනාන්තර ප‍්‍රදේශ හෙක්ටයාර් දහස් ගණනක් සුනුවිසුනු විය. පිපිරීමට හේතුව ග‍්‍රහකයක් ගැටීමය. සිදුවුණු විනාශයේ තරම කොතරම්දැයි අද පැහැදිලිව දකින්න ලැබේ.   


ස්පාඤ්ඤයේ අසුවාරා පළාතේ දකින්න ලැබෙන්නේ ද ග‍්‍රහ වස්තුවක් ගැටීමෙන් නිර්මාණය වුණු ආවාටයක් යැයි විද්‍යාඥයෝ කියති. කෙසේ නමුත් එම ආවාටය පැහැදිලිව දැකගත නොහැකිය. ප‍්‍රදේශයේ ඇති වෙනත් භූ විෂමතා අනුව අද වනවිට එහි වෘත්තාකාර හැඩය මැකී ගොසිනි. කෙසේ නමුත්, හිරු එළිය, නියමිත කෝණයට පතිත වෙද්දී, ඛාදනය වී මැකී ගිය ආවාටයේ හැඩය යාන්තමට දැක ගැනීමට පුළුවන් යැයි විද්‍යාඥයෝ කියති.   


අප සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත සහ පරිණාමය සිදුවන ක්‍රියාවලිය ලෝක විද්‍යාඥයන් විසින් අවබෝධ කරගනු ලැබ තිබේ. සියලු ග‍්‍රහලෝක, පෘථිවිය සහ සඳ ද ඇතුළු කේන්ද්‍ර කොට ගනිමින් සිදුවුණු මෙම හැලහැප්පීම් නිසා, අපේ සෞරග‍්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ විශ්වයේ අනතුරුදායක කලාපයකැයි බොහෝ දෙනා තුළ සැකයක් මතුවෙයි. පෘථිවිය අසලට පැමිණෙන ග‍්‍රහක සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙද්දී ඒ ගැන බියක් ද නිර්මාණය වෙමින් පවතී. කෙසේ නමුත් ඒ ගැන කිසිදු අනියත බියක් ඇති කර ගතයුතු නැතැයි නාසා ආයතනය කියයි.   


අප ජීවත් වන පෘථිවිය ආරක්ෂිත තැනක් යැයි තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති. අවුරුදු මිලියන 4කට පමණ කාලයක පටන් බිහිවුණු ජීවය තවමත් නොනැසී පැවැතීම ඊට හොඳ උදාහරණයක් යැයි විද්‍යාඥයෝ කියති. “මනුෂ්‍ය වර්ගයා තවමත් මිහිමත රජ කරනවා. සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ලෝක අධ්‍යයනය කරමින්, ඈත එපිට තරු සහ මන්ද‌ාකිණි ගවේෂණය කරමින්, අප බලාපොරොත්තු වෙනවා, පෘථිවිය අපේ ආරක්ෂිත නිවහන වේවි, මතු පරම්පරා ගණනාවකට.” යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.   

 

 

 

 

 

ලුසිත ජයමාන්න
නැෂනල් ජියෝග‍්‍රැෆි නාළිකාව
ඇසුරිනි.