පුළුකුනාව කඳවුරේ කාලතුවක්කුව පැහැර ගන්න කොටි ආ හැටි


යුද සමයේ බැට කෑ අම්පාරේ සිංහල ගම් 2

 

අම්පාර බරපතළ අන්දමින් අනාරක්ෂිත කිරීම කොටි ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කය විය. නැගෙනහිර කොටි සන්නද්ධ අංශය ඒ වෙනුවෙන් පුළුල් ලෙස ම අවතීර්ණ වී සිටියේය. අම්පාර අනාරක්ෂිත කරන තරමට වාසිය තමන්ට බව ඔවුහු සිතූහ. ඒ වෙනුවෙන් ඔවුන් දිගට හරහට අම්පාර හරහා අරන්තලාව, පුළුකුණාව දිගේ මහඔය දක්වා භීතිය නිර්මාණය කළහ. ඒ සඳහා පහසු වටපිටාවක් එල්ටීටීඊයට තිබිණි. එකක් අම්පාරේ සිටගත් විට පියංගල, පුළුකුණාව, නුගේලන්ද, බදුලු‍ හන්දිය, රජගල, මංගලගම, නවගිරියාව, බක්කිඇල්ල, අරන්තලාව ආදී ප්‍රදේශ බොහොමයක් ජනශූන්‍ය වීමය.   


කුඹුරට යන ගොවියා පැහැරගෙන යාම හෝ මරා දැමීම, සෝදිසි මෙහෙයුම් කරන ආරක්ෂකයන් කපා කොටා, වෙඩි තබා මැරීම වගේම ප්‍රධාන මාර්ගයේ යන භාණ්ඩ ප්‍රවාහන ලොරි කැලයට හරවා මංකොල්ලකෑම නැගෙනහිර සන්නද්ධ ත්‍රස්තවාදීන් ට ආස්වාදජනක විය. මේ හැම සිදුවීමක් ඔස්සේ ම සිදුවූයේ මිනිස්සු ගම්බිම් අතහැර මර බියෙන් පළා යාමය. හමුදාව, පොලිසිය කොයිතරම් ආරක්ෂාව පිණිස හිටියත් යන්නට හිතුණු හැම මිනිහාම අම්පාරෙන් ඈත්වූහ.   


“පියංගල ආරණ්‍යයේ ඉඳන් පුළුකුණාව ට කිලෝමීටර් දෙකක් ඇති. පියංගල අම්පාර දිස්ත්‍රික්කයට අයිතියි. පුළුකුණාව අයිති මඩකළපු දිස්ත්‍රික්කයට. නමුත් එක ළඟ. මේ අතරින් කැලෑ මැදින් කොක්අඩිචෝලේ එල්ටීටීඊ සන්නද්ධ කඳවුරට කිලෝමීටර දහයක් විතර ඇති. එතැන ඉඳන් ඔවුන්ට පහසුවෙන් මෙහෙයුම් කරන්න පුළුවන් වුණා. ගණ කැලේ සහ ජනශූන්‍ය පළාත් වීම පුළුකුණාව රණවිරු ගම්මානය හදන්න හේතු වුණේ මේ නිසයි. මම කොළඹ ඇවිත් එදා ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහත්තයා හමුවුණාම ගෙවල් සීයක් අනුමත කළත් හැදුනේ ගෙවල් 50යි. ඒ ගැනත් මට බොහොම කණගාටුයි. ඊළඟට ගෙවල් පනහක් හදලා විවෘත කරන්න ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමාට එන්න බැරි වුණා. ගෙවල් හදාගෙන යද්දි එතුමා මිය ගියා. ඔන්න ඔහොමයි සිද්ධ වුණේ.” පියංගල ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ සුභූති නා හිමියෝ අපට පැවසූහ.   

 


හැබෑවටම 1977 වසරේ සිට අදත් නාහිමියෝ අම්පාර පියංගලමය. යුද්ධය එක්ක භාවනා කමටහන් වඩන්නට උන්වහන්සේට ඉඩක් නොලැබෙන්නට ඇත. ඒත් අම්පාරේ සිංහල උන්ට පණක් දෙන්නට නාහිමියන් පියංගල වැඩසිටීම හයියක් විය.   


“මහත්තයෝ එල්ටීටීඊය වැඩියෙන් ගහපු නුගේලන්ද, රජගල, පියංගල, පුළුකුණාව. මංගලගම, බදුලු‍ හන්දිය, අරන්තලාව මේ වටේම හිටියේ අපට දාන වේල දීපු දායකයෝ. ඒ ජනතාව අපමණ භීතියෙන් හිටියේ. ඒ මිනිස්සු දාල යන්න මම ඉක්මන් වුණේ නෑ. පුළුකුණාව රණවිරු ගම්මානය හදලා ඒ ගම්මානේ පන්සලකුත් හැදුවා.   
“අම්පාර - අරන්තලාව - මහඔය පාරේ එක පැත්තක පුළුකුණාව අපේ පන්සල. පාරෙන් අනිත් පැත්තේ පුළුකුණාව කඳවුර. අනෙක් කාරණය තමයි එදා මේ අවට කිලෝමීටර් දෙකෙන් තුනෙන් කුමක් හෝ ආරක්ෂක ස්ථානයක් පිහිටුවුණා. එහෙම නැතිව මේ පැත්තෙ මිනිස්සුන්ට ඉන්න බැරි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බක්කිඇල්ල පොලිසිය, බදුලු‍ හන්දිය යුද හමුදා කඳවුර, නුගේලන්ද යුද හමුදා කඳවුර, 11 ඇළ පොලිස් මුරපොළ, පුළුකුණාව කඳවුර, පියංගල 17 කඳවුර, වෙල්ලාවෙල්ලි හංදිය පොලිස් හා යුද හමුදා මුරපොළ ඉන් කීපයක්. ඊට අමතරව සිවිල් ආරක්ෂක භට පිරිස් අටසීයක් පමණ ගම්බිම් රකින්න යොදවා හිටියා. එහෙම නොවෙන්න එල්ටීටීඊය අම්පාර අල්ලා ගන්න තිබුණා. මට මතකයි එල්ටීටීඊය පුළුකුණාව කඳවුරට පහර දුන් සිද්ධිය. ඒක හරිම අඳුරු භයංකර දවසක්.” නාහිමියෝ සිහිපත් කළහ.   
“අහසේ කළුවර වළා පිරී තිබුණු රාත්‍රියකි. පළාතම වෙනදාටත් වඩා අඳුරේ ගිලී තිබිණි. තරුවක් නැති, සඳ මඬල නැති කළුවර අහස කියා පෑවේ මහා මූසලකමකි. පාළුව පිරී ඉතිරී ගොසිනි. සීතල ගතිය ගත වෙළමින් තිබිණි.   


රෑ මැදියම පමණ වන විට හෙමින් වැටුණු වැහිපොද අනෝරා වැස්සක් බවට පෙරළෙමින් තිබිණි. වැස්ස එක දිගටම පැවැතුණු නිසා හුදෙකලාව හා පාළුව පමණක් හැම තැනම රජයමින් පැවතිණි. කොටි ත්‍රස්තවාදීන්ට මේ හෝරා කීපය බලාපොරොත්තු සහගත වූ බව කාටත් දැනුණේ නැත. ඔවුන් බලාපොරොත්තුවෙන් හිටියේ එවැනි දවසකි. ඔත්තු බැලු‍වේ එහෙම දවසක් උදා වනතුරු දැයි ආපසු බලද්දී හැ‌‌ඟෙයි.   
“ඒ කාලේ පුළුකුණාව කඳවුරේ විශේෂ කාර්ය බළකාය (STF) එක කොටසක හිටියා. අනික් කොටසේ හිටියේ යුද හමුදා කාලතුවක්කු භට පිරිසක්. කාලතුවක්කුව තිබුණාට අමතරව එස්ටීඑෆ් සන්නද්ධ රථ තිබුණා. කාලයක් තිස්සේ කොක්අඩිචෝලේ කඳවුර මූලික කරගෙන ඔත්තු බලලා ඔවුන් අම්පාරේ සාර්ථක කරගත්ත ප්‍රබලම ප්‍රහාරයක් තමයි, පුළුකුණාව කඳවුරට පහරදුන් මෙහෙයුම. ඒකෙන් ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කය වෙලා තිබුණේ කඳවුරට පහර දීමම නෙමෙයි. එහෙම කඳවුරුවලට ගහනවා නම් ඔවුන්ට පහර දෙන්න මීට වඩා පහසු තැන් නොතිබුණා කියලා හිතන්න බෑ. එල්.ටී.ටී.ඊ.ය පුළුකුණාව කඳවුරට ගැහුවෙම එහි තිබුණු කාලතුවක්කුව පැහැරගෙන යන්නයි. ඒක කැලේට දා ගත්තම එතනින් කොක්අඩිචෝලේ බලා යන්න වැඩි වෙලාවක් යන්නේ නෑ.   

 


කොහොමහරි වැහි කාලේ නිසා ඔවුන්ගේ බලාපොරොත්තු කිහිපයක් ඉටු වුණා. එකක් කඳවුරට ගැහුවොත් වැසි වැඩි නිසා අවට කඳවුරුවලට දැනුම්වත් කිරීම අපහසු වෙනවා. ඊළඟට වැසි වැඩි නිසා ඉක්මන් ගමන් අපහසුයි.” නාහිමියෝ පැවසූහ.   


රාත්‍රියේ කොටි ත්‍රස්තවාදීන් පුළුකුණාව කඳවුරට ඇතුළු වූයේ එකා දෙන්නා බැගිනි. සීතලට ලාවට නමුත් නින්ද ද දැනෙන රැයකි. එකා දෙන්නා බැගින් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් කඳවුරට හෙමින් සීරුවේ ඇතුළු වූහ. ඒ ඇතුළු වූයේ ද පෙර ලබාගත් ඔත්තුවලට අනුව කාලතුවක්කු භට කණ්ඩායම සිටි පැත්තෙනි. STF සිටි පැත්තෙන් කඳවුරට ඇතුළුවී නම් එය තවත් දුෂ්කර වනු ඇති බව ඔවුන් සිතන්නට ඇත. කාලතුවක්කු භට පිරිස අතරින් කොටි ත්‍රස්තවාදීන් ඉක්මන් වූහ. දෙපිරිසම ප්‍රතිප්‍රහාර එල්ල කර ගත්හ. දරුණු ප්‍රහාර කාලතුවක්කු භට පිරිස හා එස්ටීඑෆ් භට කණ්ඩායම් එල්ල කරද්දී ත්‍රස්තවාදීන්ගේ තවත් කණ්ඩායමක් කාලතුවක්කුව පැහැරගැනීම ඉක්මන් කළහ. ඔවුන් කොයිතරම් සංවිධානාත්මකව පැමිණියා දැයි කියනවා නම් කැලේ අතරින් කාලතුවක්කුව ඇද ගෙන යාමට සුදුසු වාහන ද රැගෙන විත් තිබිණි. අනෙක් අතට අම්පාරේ සිටත්, මහඔය පැත්තේ සිටත් හමුදාවලට හා ආරක්ෂක භට පිරිසට පුළුකුණාවට ළඟා විය නොහැකි පරිදි මාර්ගය අවහිර කොට තිබිණි. කෙසේ වෙතත් මේ මූසල රාත්‍රියේ පුළුකුණාව ප්‍රහාරය ත්‍රස්තවාදීන්ට වාසිදායක විය. ඔවුන් කඳවුරේ පැවති කාලතුවක්කුව වහාම එතැනින් ඉවත් කරගෙන පලාගියහ. ඔවුන් නියත වශයෙන්ම හමුදාව සතු කාලතුවක්කුව ඇදගෙන යන්නට ඇත්තේ කොක්අඩිචෝලේ නැගෙනහිර සන්නද්ධ කොටි කඳවුරට හෝ ඒ ආසන්නයට විය හැකිය. එපමණක් නොව හමුදාව සතු වාහන ද ගණනාවක් ඔවුන් පැහැරගෙන ගියහ. මේ ප්‍රහාරයෙන් යුද හමුදා සහ පොලිස් නිලධාරීන් පනහකට පමණ ආසන්න පිරිසක් මිය යන්නට ඇත. මෙය ලංකා ඉතිහාසයේ අඳුරු රාත්‍රියක් වෙන්නේ මේ සිදුවීම් පෙළ නිසාය. පසු කාලයේ නැගෙනහිර තොප්පිගල මුදා ගැනීමේ මෙහෙයුමේ දී භාරදූර වගකීමක් පුළුකුණාව හමුදා කඳවුර මුල්කරගෙන සිදුවිය. මෙහිලා අවට තවත් හමුදා කඳවුරක් වන්නේ කොහොඹගස්තලාව කඳවුරයි. මේ දෙකේ සිටම තොප්පිගල දෙසට මල්ටිබැරල් ප්‍රහාර එල්ල විය. “නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වෙද්දී මේ පුළුකුණාව කඳවුරට එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාත් පැමිණියා. මමත් ඒ අවස්ථාවට ආරාධනාව පිළිගෙන වැඩම කළා.” යි නාහිමියෝ සිහිපත් කළහ.   


එල්.ටී.ටී.ඊ. ය සිදු කළ තවත් බිහිසුණු ඛේදවාචකයක් වෙන්නේ අරන්තලාව භික්ෂු ඝාතනයයි. ලේ පිපාසිත ත්‍රස්තයෝ මෙවැනි භික්ෂු ඝාතනයකට ඉව අල්ලා ගත්තේ පෙර සිදුවීමක් අත්හදා බලමිනි. අරන්තලාව අවට සිදු වූ පළමු භික්ෂු ඝාතනය තවත් අඳුරු මතකයක් බව පියංගල නාහිමියෝ සිහිපත් කළහ.   
“මහඔය නගරයට විදුලිය ලබා දීමේ උත්සවය 1984 අවුරුද්දේ තිබුණා. ඒ කාලෙ මේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමතිව සිටි පී. දයාරත්න මහත්තයා. ඒ උත්සවයට ආරාධනාව මටත් ලැබුණා. මේ උත්සවයට යන්න සූදානම් වුණේ මමයි, මංගලගම මංගලාරාමාධිපති ව වැඩ විසූ ඇකිරියන්කුඹුරේ ඉන්දසාර හාමුදුරුවොයි. පියන්ගලයි - මංගලගමයි එක ළඟ ගම්මාන නිසා අපි තමයි මහා සංඝරත්නය හැටියට ඒකරාශී වෙලා ප්‍රදේශයේ ආගමික ආදී වැඩ කටයුතු කළේ.”   

 


“මහඔය විදුලිය ලබා දෙන උත්සවයට නායක හාමුදුරුවන්ටත් මාත් එක්ක කාර් එකේ වඩින්න පුළුවන්. නායක හාමුදුරුවෝ ගන්න මම පියංගලට එන්නම්”.   
 පෙර දිනෙක මංගලගම නායක හාමුදුරුවෝ පියංගල නාහිමියන්ට මතක් කළහ.   
“මට එදාට භාරගත්ත වැඩක් තියෙනවා. ඔබවහන්සේ වඩින්න. ඇමතිතුමාටත් කියන්න, මට එන්න බැරි වීම ගැන.”යි ඉන්දසාර හාමුදුරුවන්ට මතක් කළහ.   
පසුවදා ඉන්දසාර හාමුදුරුවෝ රියදුරු ද සමඟ මහඔයට වැඩම කළහ. උත්සවයේ වැඩ ඉවර වී ආපසු එන අතරමග දී කැලෑබදව කොටි ත්‍රස්තවාදීන් කාර් රථය නැවත් වූහ. වහා එය කැලේට රිංගවා ගත්හ. ත්‍රස්තවාදීන් කීපදෙනෙකි. රියදුරු අල්ලා අත් පා කැඩෙනතුරු පහර දුන්හ. වාහනයට එක් ත්‍රස්තවාදියෙකු නැගගත්​තේය. කාර් රථය හරවාගෙන වේගයෙන් මහඔය දෙසට ගමන් කළේය.   


“මේ හාමුදුරුවෝ අරන් වාහනය එළවාගෙන ගිහින් තිබුණේ ත්‍රස්තවාදීන්. වාහනය මහඔය පැත්තෙන් මඩකළපුව චෙන්කලඩි පැත්තට ගිහින් තිබුණා. ඒ කාලේ මහඔය 69 පොලිස්, හමුදා මුරපොළක් තිබුණේ නෑ. එදා ගිය ඇකිරියන්කුඹුරේ ඉන්දසාර හාමුදුරුවෝ අදටත් නෑ. එදා මොකක් හෝ වාසනාවකට මගේ ජීවිතය බේරුණා. යම් විදිහකට මමත් එදා මහඔයට වැඩියා නම් ඒ අනතුරට මටත් මුහුණ දෙන්න සිදුවෙනවා.   
තවත් විශේෂ කාරණයක් තමයි, ඒ ආසන්න වෙලාවක අම්පාර මහ දිසාපතිත් උත්සවයට ඉඳලා ඇවිත් තියෙනවා. නමුත් ත්‍රස්තවාදීන් ඔහු දිසාපති කියලා හඳුනා ගෙන නෑ. එන හැම වාහනයකටම ත්‍රස්තවාදීන් පහර දුන්නේ නෑ. යම් විදිහකට අම්පාර දිසාපති බව ඔවුන් දන්නවා නම් නියත වශයෙන්ම ඔහු පැහැර ගන්න ඉඩ තිබුණා.   


“ඊළඟට අම්පාර අවට මුල්ම ගම්වාසී ඝාතනය මට මතකයි. අසූ ගණන්වල මේක වුණේ. ගමක්ම එකතැන කපා කොටා මරා දාපු සිද්ධිය.” ඒ බියකරු සිදුවීම නාහිමියෝ සිහියට නැංවූහ.   
“අරන්තලාව භික්ෂු ඝාතනයට පෙර තමයි මේක වුණේ. අරන්තලාව ගමේ හිටියේ ඉතාම අසරණ, දුප්පත්, අහිංසක ගම්වැසියෝ. ඉන්න තැනක් නෑ. පැල්පත්වල ජීවත් වුණේ. මේ ගමේ අහිංසක මිනිස්සු 28ක් කපා කොටා මරල දාල තිබුණා. මේ සිදුවීම දවසේ රෑ මහඔය පොලිසියෙන් පණිවිඩයක් අරන් පොලිස් මහත්තුරු කීපදෙනෙක් මාව හමුවුණා.   


“හාමුදුරුවනේ, අරන්තලාව ගමට කොටි පැනලා ගමේ මිනිස්සු මරණවා. ගමට ළං වෙන්නත් අමාරුයි. පුළුවන් තරම් ඉක්මනට පියංගල වටේ ඉන්න මිනිස්සු ටික ආරණ්‍යයට අරන් ආරක්ෂාව දෙන්න.”   
“එවෙලේම අපි ගමේ මිනිස්සු සේරම ආරණ්‍යයට කැඳවල, ආරක්ෂක නිලධාරීන් දාලා ආරක්ෂාව දුන්නා. ඒ කාලයේ අරන්තලාවේ හමුදා හෝ පොලිස් කඳවුරු නෑ. ළඟම තිබුණෙ මහඔය පොලිසිය. ඒත් සෑහෙන දුරින්. නැති බැරි කමින්, දුප්පත්කමෙන් විතරක් නෙමෙයි, ආරක්ෂාව අතිනුත් මේ මිනිස්සු අවම පිළිසරණක් ඇති විදිහටයි හිටියේ.   


සිද්ධිය දවසට පසුවදා උදේම මමයි, එදා අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිටි කළුතර ධම්මානන්ද හාමුදුරුවොයි ඒ අපි දෙන්න එතැනට වැඩම කළා. ගම පුරා ඇවිද්දා. කිරි දරුවෝ, පුංචි දරුවෝ, තරුණයෝ, අම්මලා, තාත්තලා සේරම කපල කොටල මරලා. දරාගන්න බෑ. මිනිස්සු හිටපු පැල් කොටන් ඇතුළේ හැරෙන්න ඉඩ නෑ. ඒ තරම් අසරණ මිනිස්සු. සමහර ගෙවල්වල වේලක් රත්කරන් කාපු බවක් පේන්න නෑ. ඒ තරම් අහේනිකම”   


කළුතර ධම්මානන්ද හාමුදුරුවන්ගෙයි, මගෙයි උපදෙස් ඇතිව ගම පුරා සී සීකඩ තිබුණු සිරුරු විසි අටක් එකතු කළා. ඒ සේරම අරන්තලාව ප්‍රාථමික විද්‍යාලයට ගෙනාවා. ඒ පාසලේ තිබුණෙ එකම එක ගොඩනැගිල්ලයි.   


එදා දවල් 12.30 - 1.00 විතර වෙද්දි පාංශුකූල දීලා ආගමික වතාවත් කරලා අපි ඒ කටයුතු අවසන් කළා. ගම්වැසියෝ විසිඅට දෙනාම එකම වළක් කපලා එහි මිහිදන් කළා.”   

 


මේ අඳුරුදායක සිද්ධියෙන් පසු ඉතිරි වූ ගම් වැසියෝ තවදුරටත් අරන්තලාවේ රැඳුණේ නැත. තමන්ගේ මව නැතිව, තමන්ගේ බිරිඳ නැතිව, සැමියා නැතිව, දරුවන් නැතිව ගමේ ඉන්නට ඔවුන් කැමති වුණේ නැත. අමු සොහොන් පිටියක් වූ ගමෙන් යා යුතු යැයි ඔවුන් තීරණය කළහ. දුක් සෝ සුසුම් මැදින් ඔවුන් එදාම අරන්තලාව ගමට සමු දී යන්නට ගියහ. හැළි වළඳක් තබා, යනවිට ගෙනියන්නට වත් තරම් දෙයක් ඔවුන් සතුව තිබුණේ නැත. මෙපරිදි හිස් වූ අරන්තලාව ගමේ ප්‍රාථමික විද්‍යාලයේ හමුදා කඳවුරක් වැටුණේ ඉන්පසුවය. මෙකලම පොලිස් මුරපොළක් ද ආරම්භ විය.   
ස්තුතිය - පියංගල ආරණ්‍යය සේනාසනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නැගෙනහිර පළාතේ මහෝපාධ්‍යාය, කර්මස්ථානාචාර්ය තල්ගමුවේ සුභූති නාහිමියන්ට, සේනාසන වාසී පියංගල පියසුමන හිමිට 

 

 

සටහන - අසංක ආටිගල  

 


ලෑනරෝල් පරපුරේ ඡායාරූපවලට ස්තුතිය  

2020 දෙසැම්බර් මස 13 ඉරිද‌ා ලංකාදීප පුවත්පතේ ‘‘ප්‍රංශයෙන් පැමිණ ලක්දිව පදිංචි වූ ලැනරෝල් පරපුර’’ යන ලිපියේ සඳහන් ඇතැම් ඡායාරූප කීපයක් YASMIN RAJAPAKSE ලියූ THE ODYSSEY AND LIVING LEGACY OF SIEUR DELA NEROOLCEZ නමැති ඉංග්‍රීසි ග්‍රන්ථයෙන් උපුටාගත් ඒවාය. ඒ පිළිබඳව යස්මින් රාජපක්ස මහත්මියට ස්තුතිය පළකරමු.