පුරාණෝක්තියේ සඳහන් ද්වාරකාව මුහුදු පතුලෙන් හමුවේ


ඉන්දියානු මුහුදු පත්ලේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන අතුරින් වැඩිම අවධානයට ලක් වූ ස්ථානයක් ලෙස පිළිගැනෙනුයේ ද්වාරකාවය. ද්වාරකා යනු හින්දු දහමේ සතර ධර්ම ලෙස හැඳින්වෙන පූජනීය ස්ථාන 4න් එකක් ලෙස සැලකෙයි. හින්දු විශ්වාස අනුව ක්‍රිෂ්ණ දෙවිඳු විසින් ද්වාරකාව නිර්මාණය කරන ලදැයි පැවසේ. මුහුදුබත් වී ඇති මෙම පූජනීය නගරය යළි අනාවරණ කර ගන්නා ලද්දේ සමුද්‍රීය පුරා විද්‍යාඥයන් පිරිසක් විසිනි.   

ඉන්දියානු සාගරයේ මීටර 36ක් පමණ ගැඹුරේ අන්තර් උදම් කලාපයෙන් මෙම නගරයට අයත් යැයි සැලකෙන දැවැන්ත කළුගල් ඉදිකිරීම් රැසක් ඔවුන් විසින් සොයා ගැනුණු අතර ඒවා අර්ධ කවාකාර, සෘජුකෝණාශ්‍රාකාර සහ සතරැස් හැඩයෙන් යුක්තය. එම ඉදිකිරීම් මුහුදේ තැන තැන විශාල ප්‍රදේශයක් පුරා විසිරී තිබූ අතර තවත් බොහෝ නටබුන් මීටර 36 සීමාවෙන් ඔබ්බෙහි ද පවතින බවට ඔවුන්ගේ විශ්වාසයයි.   


ද්වාරකාව පුරාණ බටහිර ඉන්දියාවේ පිහිටි ඉතා කාර්යක්ෂම වරාය මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. මෙම සොයා ගැනීම් අනුව ද්වාරකාව ඓතිහාසික යුගයට හා මධ්‍යතන යුගයට අයත් යැයි විශ්වාස කෙරේ. ප්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගේ මතය අනුව පුරාණ ඉන්දියානු සංස්කෘතිය/ශිෂ්ටාචාරය වසර 5000ක් පමණ ඈතට දිවයන්නකි. එහෙත් කැම්බේ බොක්ක අසල මුහුදෙන් හමු වූ මෙම නෂ්ටාවශේෂ වසර 9000ක් පමණ පැරණි විය හැකි යැයි ඔවුන්ගේ මතය වී තිබේ.   


මෙම නටබුන්වලට සමාන පාෂාණ එම ප්‍රදේශයේ වෙරළාසන්නයේ දැකිය හැකිය. නගරයේ වීදිවල නටබුන් යැයි සිතිය හැකි නටබුන් රැසක් අඩි 70ක් පමණ ගැඹුරේ තිබී සොයා ගෙන තිබේ. මෙම නටබුන් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා බවට විශ්වාස කෙරේ. එම නගරය වසර 9000කට පමණ පෙර මුහුදුබත් වන්නට ඇතැයි පුරා විද්‍යාඥයෝ පවසති.   


පුරාවිද්‍යාඥයන්ගේ අනුමානය අනුව මෙම නටබුන් පුරාවෘත්තයන්හි එන අහිමි වූ නගරයක් වන ද්වාරකාව යැයි විශ්වාස කෙරේ. පුරාණ හින්දු පාඨ ග්‍රන්ථ අනුව ද්වාරකාව ක්‍රිෂ්ණ දෙවිඳුන් විසින් නිර්මාණය කරන ලද්දකි. ක්‍රිෂ්ණ දෙවිඳුන් පිළිබඳ පුවත් ඇතුළත් ‘ශ්‍රීමද් භගවතම්’ නමැති ශුද්ධ වූ පාඨයන්හි ද්වාරකාව නිර්මාණය කළ ආකාරය පිළිබඳ තොරතුරු සඳහන්ය. ක්‍රිෂ්ණ මථුරා දේශයේ පාලකයාව සිටි සමයේ මගධයේ (වත්මන් බිහාරය) රජු වූ ජරසන්ධ විසින් වරින් වර මථුරාව ආක්‍රමණය කළේය. 17 වරක් ක්‍රිෂ්ණාට පරාජය වූ ජරසන්ධ 18 වැනි වරට ද මථුරාව ආක්‍රමණය කළේය. මෙම සටන්වලින් ක්‍රිෂ්ණාගේ යාදව වංශය දැඩි පීඩාවට ලක් වී තිබිණි. තම ජනතාව ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ වෙනත් නගරයක් ඉදිකිරීමට ක්‍රිෂ්ණ කටයුතු කළේය.   

 


ද්වාරකා නගරය නිර්මාණය කරන ලද්දේ ඔහුගේ දිව්‍යමය ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම විසිනි. නගරය මාලිග 900කින් සමන්විත වූ අතර දහස් ගණනකට වාසය කළ හැකි ලෙස නිර්මාණය කෙරිණි. ශක්තිමත්, මනා ආරක්ෂාවෙන් යුතු වූ එම නගරයට පිවිසිය හැකි වූයේ මුහුදු මගින් පමණකි. එයට විශාල කීර්තියක් හිමි වූ අතර ලොව සියල්ලන් මවිතයට පත් කරවීය. පුරාණ හින්දු පාඨ ග්‍රන්ථවලට අනුව අවසාන සටනේ දී ද්වාරකාවට ප්‍රහාර එල්ල කෙරුණේ ගුවනින් ගමන් කළ යන්ත්‍රයක් වූ විමාන මගිනි. මෙයින් පුරාණ පිටසක්වළ ජීවීන් පිළිබඳව අවධානයට ලක්වන අතර මෙම සටන් සඳහා අති සංකීර්ණ හා නව තාක්ෂණික අවිආයුධ යොදා ගැණුනු බැව් සඳහන්ය. ඉහළ අහසේ සිට යානාවලින් ප්‍රහාර එල්ල කෙරුණු අතර ඒවායේ භාවිත වූයේ අකුණුසර යැවිය හැකි බලශක්ති ආයුධය. මෙම ප්‍රහාරවලින් නගරයේ විශාල ප්‍රදේශයක් විනාශ වන්නට ඇතැයි විශ්වාස කෙරේ.   
ක්‍රිෂ්ණ දෙවිඳු නෞකාවල සිට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර ඊතල මෙන් දිස් වූ අතර නිකුත් වූ පසු සූර්ය කිරණ හා අකුණු සර බඳු ආලෝකයක් ඉන් නිකුත් විය. මෑතක් වන තෙක් ද්වාරකාව යනු පුරාවෘත්තයක් සේ සැලකිණි. මුහුදු පතුලේ තිබී සොයාගන්නා ලද නටබුන්වලට අනුව ද්වාරකාව හා ක්‍රිෂ්ණ දෙවිඳුන් හා සාල්ව රජු අතර පැවැති ගුවන් සටන තවදුරටත් පුරාවෘත්තයක් සේ සැලකිය හැකි ද?   


පුරාවිද්‍යාඥයන්ගේ අනුමානය අනුව මෙම නෂ්ටාවශේෂ මහාභාරතයේ එන ද්වාරකාවට අයත්ය. සැතපුම් පහක් දිග, සැතපුම් දෙකක් පළලැති මෙම නගරය ඉන්දියානු උප මහාද්වීපයෙන් හමු වූ වසර 5000කට වඩා පැරණි නටබුන් ලෙස හැඳින්විය හැකිය. මෙය ඉන්දියානු සමුද්‍ර පුරාවිද්‍යාඥයන් පිරිසකගේ සොයා ගැනීමකි.   


මෙම පුරාවිද්‍යා අංගණයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය, මැටි භාණ්ඩ, බිත්තිවල කොටස්, පබළු, ප්‍රතිමා, මිනිස් දත් සහ ඇටකටු සොයා ගැනුණු අතර කාබන් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු ඒවා වසර 9500ක් පමණ පැරණි බවට සනාථ වී ඇතැයි බීබීසීයේ ටොම් හවුස්ඩන් සඳහන් කරයි. මෙය සුමේරියානු, ඊජිප්තියානු සහ චීන ශිෂ්ටාචාරයටත් වඩා පැරැණි වන අතර ඉන් පෘථිවියේ නාගරික ශිෂ්ටාචාරයේ විකාශනය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.   

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා   
අන්තර්ජාලයෙනි