පුනර්භව විශ්වාසය නිසා ජපානය ජයගත් හිමියෝ


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පුනර්භවය පිළිබඳ සිදු කරනු ලබන පර්යේෂණවලදී කුඩා දරුවෝ බහ තෝරණ වියේදී කරනු ලබන ප්‍රකාශ වැදගත් සාක්ෂි බවට පත්වේ. එහෙත් පෙර භවය හා කිසිදු හෙළි කිරීමක් නැතිව හෝ කිසිදු ප්‍රකාශයක් නොමැතිව පුනර්භවය පිළිගනු ලබන අවස්ථා තිබේ. ඇතැම් විට පෙර භවය හෙළි නොවූ ඇතැම් දරුවන්ගේ හැසිරීම් මගින්ද පුනර්භවය පිළිගැනීමට සිදුවේ. එයට හේතුවී ඇත්තේ පුනර්භවය පිළිබඳව පවතින පර්යේෂණ නිසාය. පුනර්භවය විශ්වාසය මත පර්යේෂණ පවත්වන ප්‍රධාන රට වන්නේ බුරුමයයි.   

 

ඒ අනුව මරණින් පසු පුනර්භවයක් ඇති බවට තදබල විශ්වාසයක් පවතින්නේ ලාමාවරුන්ගේ යළි ඉපදීමය. ලමාවරුන් මිය යෑමෙන් පසු ඔහු යළි උපත ලබා තිබේද යන්න සෙවීමට ඇතැම් විට කමිටු පත්කරන අවස්ථාද ඇත.   


ලාමාවරයෙකුගේ මරණින් පසු ඒ ආසන්න දිනවලදී උපත ලද දරුවන් සොයා යෑම ඔවුන්ගේ පර්යේෂණ බවට පත්වී තිබේ. එම දරුවන්ගේ හැසිරීම් රටා පරීක්ෂා කිරීමෙන් සහ ලාමාවරුන් භාවිතා කළ නවගුණවැල ඉදිරිපත් කිරීමෙන්ද ඒ බැව් සොයා ගැනීම සිරිතය. දරුවා එයට දක්වන ප්‍රතිචාරය මත යළි ඉපදීම සිදුවී ඇතැයි විශ්වාසය තහවරු කරගනී. ඔවුන්ගේ යළි ඉපදීම සැතපුම් ගණනක් දුරින් හෝ වෙනත් රටකදී උවද සිදුවන බවටද දැඩි සේ විශ්වාස කරනු ලැබේ.   


මේ අයුරින් පුනර්භව විශ්වාසය පදනම් කරගෙන ජපානය ජයගත් හිමි නමක් වන්නේ ජපානයේ ප්‍රධාන සංඝනායක පදවිය උසුලන බානගල උපතිස්ස හිමියෝය. ජපානය කිව් සැනින් ශ්‍රී ලංකාවාසීන්ට බානගල හිමියන් සිහි ගැන්වෙන තරමට උන්වහන්​ෙස් ජපානයත් ශ්‍රී ලංකාවත් අතර ඇත්තේ දැඩි සබඳතාවකි. ජපානය සමග මේ තත්ත්වය ඇතිවීමට හේතුවී ඇත්තේ පුනර්භව විශ්වාසය පදනම් කරගෙනය.   
එය සිදුවූයේ මීට වසර පනහකට උඩදී උන්වහන්සේට හමුවූ ජපන් ජාතික දානපතියන් නිසාය.   


ජපානයේ FUKOKA ප්‍රාන්තයේ පදිංචිව සිටි ඇය යොෂිඩා මැතිණියයි. යොෂිඩා මැතිනිය උපත ලබා ඇත්තේ 1908 වසරේදීය. ඇය විවාහ වූයේ ජපන් ජාතික වෛද්‍යවරයෙකුව සිටි කිජි යොෂිඩා මහතා සමගය. රෝහලක හිමිකරුවෙකු වූ ඒ මහතා තවත් ව්‍යාපාර රැසක් හිමිව සිටි ධනවත් අයෙකු විය. යොෂිඩා මැතිනිය බුදු දහමට දැක්වූයේ අතිමහත් ගෞරවයකි. ඇය දැඩි ලෙස පුනර්භවය විශ්වාස කළ කාන්තාවක් වූවාය.   


දරුවන් හය දෙනෙකුගේ මවක් වූ යොෂිඩා මැතිණියගේ පුතුන් අතරින් තෙවැනි පුත්‍රයා වූයේ සෙයිගො ය. 1937 වසරේදී උපත ලද සෙයිගෝ අට මසකින් මරණයට පත් විය. තම පුත්‍රයාගේ මරණය නිසා කම්පාවට පත්ව සිටි යොෂිඩා මැතිණිය ඉන්දියාවට පැමිණ වන්දනා කටයුතුවල නිරත වීම සිරිත වූවාය. 1972 වසරේදී ඇය වන්දනාමාන සඳහා ඉන්දියාවේ සාංචි විහාරයට ගියාය.   


1950 දී උපත ලද බානගල හිමියන් ඒ වන විට 22 වියේ පසුවූහ. ඒ වන විට සාංචි විහාරයේ කටයුතු භාරව විදේශිකයන්ට කරුණු විස්තර කිරීම භාරව සිටියේ බානගල උපතිස්ස හිමියෝය. යොෂිඩා මැතිණිය බානගල හිමියන් මුල් වරට දුටුවේ එහි පැමිණි විටදීය. එම හමුවීම බානගල හිමියනුත් යොෂිඩා මැතිනියත් අතර දෛවෝපගත හමුවීමක් බවට පත්වූයේ බානගල හිමියන් කිසි දිනෙක බලාපොරොත්තු නොවූ පරිදිය.   
යොෂිඩා මැතිනිය බානගල හිමියන් දුටු මොහොතේ සිට උන්වහන්සේ වෙත මනා දයාවක් දක්වන බැව් බානගල හිමියන්ට දක්නට ලැබිණි. එසේ වූයේ ඇයිද යන්න උන්වහන්සේට ගැටලුවක්ද විය. යොෂිඩා මැතිනිය එදා සාංචි විහාරයේ සිට පිටව යෑමට ප්‍රථම බානගල හිමියන් හමුවී උන්වහන්සේ සමග ඡායාරූපයකට පෙනී සිටින ලෙස ඉල්ලා සිටියාය. ඇගේ ඉල්ලීම පරිදි බානගල හිමියෝ එතුමිය සමග ඡායාරූපයකට පෙනී සිටියහ.   
යොෂිඩා මැතිනිය තමාට මෙතරම් සෙනෙහයක් දැක්වීමට හේතුව කුමක්දැයි බානගල හිමියන්ට සිතාගත නොහැකි විය. එහෙත් එහි සැඟවුණු රහසක් තිබිණි. එය දැන සිටියේ යොෂිඩා මැතිනිය පමණි.   
එනම් යොෂිඩා මැතිනියගේ මිය ගිය පුත්‍රයා වූ සීගෝ බානගල හිමියන් ලෙස යළි උපත ලබා ඇතැයි ඇය තුළ විශ්වාසයක් ඇතිවීමය. ඒ වන විට ඒ පිළිබඳ කිසිවක් හෙළි නොකළ යොෂිඩා මැතිනිය ඉන්දියාවෙන් පිටව යන විටදී බානගල හිමියන්ගෙන් ඉල්ලීමක් කළාය. ඇගේ ලිපිනය ලබාදුන් ඇය එහි පැමිණ නැවත දිනෙක හමුවන ලෙස කළ ඉල්ලීමය.   


සාංචි විහාරයේ සිටි කාලය තුළ බානගල හිමියෝ තම අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන යෑමට දැඩි උත්සාහයක යෙදී සිටියහ. විවිධ දුෂ්කරතා මැද භාෂාවන් කීපයක් ඉගෙනීමට උන්වහන්සේ තුළ පැවතියේ දැඩි උනන්දුවකි. තම අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙමින් ක්‍රියා කළ බානගල හිමියෝ ඉංග්‍රීසි සහ හින්දි භාෂාවන් ප්‍රගුණ කළ අතර ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත්හ.   


අනතුරුව උන්වහන්සේගේ බලාපොරොත්තුව වූයේ ඇමරිකාව හෝ ජර්මනියට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගැනීමය.   


එම සිතිවිල්ල ඇතිව සිටි උන්වහන්සේ මිතුරෙකු මගින් ඇමරිකානු විශ්වවිද්‍යාලයකට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළහ. ඒ සඳහා උන්වහන්සේට අවස්ථාව උදාවිය. ඒ අනුව ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමට යාම සඳහා සියල්ල සූදානම්ව සිටියදී බානගල හිමියන්ට නොසිතු තත්ත්වයක් උදාවිය. හදිසියේ උණ රෝගයක් වැළඳී සිටි හිමියන්ට මැලේරියාව සෑදී ඇති බැව් වෛද්‍ය නිගමනය විය. තමාගේ රෝගී තත්ත්වය නිසා ඇමරිකාවට පැමිණීම ප්‍රමාද වන බැව් තම මිතුරාටත් විශ්වවිද්‍යාලයටත් දන්වා යැවූහ. එයින් සිදුවූයේ ඇමෙරිකාවේ අධ්‍යාපනය ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී යාමය.   


නැවත ඇමරිකාවට යෑමට සිතූ බානගල හිමියෝ නැවතත් ඊට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළත් එය ඉටු නොවිණි. නැවත ශ්‍රී ලංකාවට වැඩම කිරීමට උන්වහන්​ෙස් තීරණය කළහ. ඒ අනුව නැවත මහා බෝධියට පැමිණි උන්වහන්සේ එහි වැඩම කර සිටින අතර තම උගත් බවෙන් ප්‍රයේජනයක් ලබා ගැනීමට ගුරු වෘත්තියකට යෑමට බලාපොරොත්තුව සිටියහ.   


ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටි බානගල හිමියන්ට කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් ඇති බවට ඇබෑර්තුවක් සඳහා දැන්වීමක් දක්නට ලැබිණි. ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසු කථිකාචාර්ය ධුරයක් පිරිනැමිනි. එහි වැටුප වූයේ රුපියල් තුන්සියයයි. එම වැටුපට එහි යනවට වඩා මහාබෝධියේ සිට සමාජ මෙහෙවරක යෙදී සිටීම සුදුසුයි. උන්වහන්සේ තීරණ කළහ.   


එවකට මහාබෝධියේ විහාරාධිපති පදවිය දැරුවේ හැඩිගල්ලේ තිස්ස නාහිමියෝය. දිනක් බානගල හිමියන් ඇමතූ හැඩිගල්ලේ නාහිමියෝ උන්වහන්සේ ජපානයට වැඩම කරන බවත් එනතුරු මහාබෝධියේ භාරකාරත්වය ගෙන කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියහ. එය අසා සිටි බානගල හිමියෝ තමාද ජපානයට යාමට මහත් කැමැත්තකින් සිටින බැව් ප්‍රකාශ කළහ. එම ඉල්ලීම අනුව හැඩිගල්ලේ හිමියන් සමග බානගල හිමියන්ටද ජපානයට වැඩම කිරීමට අවස්ථාව සැලසුනි.   


ජපානයේ සුළු කාලයක් රැඳී සිටි බානගල හිමියන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සාංචි විහාරයේදී හමුවූ යොෂිඩා මැතිණිය බැහැදැකීමට සිත්විය. යොෂිඩා මැතිණියගේ ලිපිනය අනුව බානගල හිමියෝ දිනක් ඇගේ නිවසට වැඩම කළහ. හද පිරුණු දයාවෙන් මහත් සෙ​ෙනහසින් උන්වහන්සේ පිළිගත් යොෂිඩා මැතිණිය අතිශය සතුටට පත්ව සිටියාය.   


ඔබ වහන්සේ නැවත දැකීමට ලැබීම මහත් සතුටක් යැයි ඇය දැඩි ප්‍රීතියෙන් යුතුව ප්‍රකාශ කළාය. තමාට ජපන් භාෂාව ඉගෙනීමට ආශාවක් ඇති බැව් උන්වහන්සේ එහිදී යොෂිඩා මැතිණියට ප්‍රකාශ කළහ. ඒ සඳහා පූර්ණ සහාය ලබාදීමට තමා සූදානම් බවත් එහි සියලු විය හියදම් ඇය විසින් දරන බවත් ඇය කියා සිටියාය. උන්වහන්සේ රැකබලා ගැනීමද භාරගත් යොෂිඩා මැතිණිය ඇගේ නිවසේම බානගල හිමියන්ට නවාතැන් ලබාදීමටද කටයුතු කළාය.   


ජපන් භාෂාව හැදෑරීම සඳහා ​ටෝකියෝහි පිහිටි NAGANUMA SCHOOL TOKYO NIHONGO GAKKO අධ්‍යාපන ආයතනයට උන්වහන්​ෙස් ඇතුළත් කළ යොෂිඩා මැතිනිය බානගල හිමියන්ගේ මව ලෙසම ක්‍රියා කළාය.  


ඉතා සුළු කලකින් ජපන් භාෂාව හොඳින් ඉගෙන ගත් බානගල හිමියන්ට ජපන් භාෂාව චතුර ලෙස කතා කිරීමේ හැකියාව ලැබිණි. ඒ අනුව යොෂිඩා මැතිනිය සමග නිවැරදිව ඉතා හොඳින් ජපන් භාෂාවෙන් කතා කිරීමට උන්වහන්සේට හැකිවීම යොෂිඩා මැතිණියගේ ඉමහත් සතුටට ද හේතුවිය. බානගල හිමියන් තුළ තිබූ ඇගේ දයාව තව තවත් වැඩිවූ බවක්ද උන්වහන්සේට දැනුනි. එතැන් සිට යොෂිඩා මැතිනිය බානගල හිමියන්ට සලකනු ලැබුවේ තම පුත්‍රයෙකුට සලකන අයුරිනි. එම පවුලේ අනෙක් දරුවෝද උන්වහන්සේට සොහොයුරෙකුට ලෙසම සැලකීමට පුරුදුවිය.   


ඉගෙනීමේ කාලය අවසන් වීමෙන් පසු දිගටම රැඳී සිටීම යොෂිඩා මැතිණියට බරක් වේයයි බානගල හිමියෝ සිතූහ. ශ්‍රී ලංකාවට ගොස් ළදරු පාසලක් ආරම්භ කිරීමට ඇත්නම් යන සංකල්පය උන්වහන්සේගේ සිත තුළ ජනිතවී තිබිණ. කෙසේ වෙතත් නැවත ශ්‍රී ලංකාවට වැඩම කරන බැව් දිනක් බානගල හිමියෝ යොෂිඩා මැතිණියට ප්‍රකාශ කළහ. එය ඇසූ සැනින් යොෂිඩා මැතිනිය මහත් සේ කලබල වූවාය.   
එකෙනෙහිම බානගල හිමියන් ඇමතූ යොෂිඩා මැතිණිය   


මගේ මියගිය පුත්‍රයා ඔබ වහන්සේ ලෙස ඉපදී ඇතැයි මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ නම් මගේ පුතාම තමයි. මගේ අනෙක් සියලු දරුවන්ට මගෙන් යුතුකම් ඉටුකරල තියෙනවා. එවැනි යුතුකමක් ඉටු නොවු​ෙණ් ඔබ වහන්සේට පමණයි. මගෙන් සිදුවිය යුතු කිසිවක් තියෙනවා නම් කියන්න යයි යොෂිඩා මැතිණිය කීවාය. එහෙත් තව දුරටත් යොෂිඩා මැතිණියට කිසිවක් කීමට බානගල හිමියෝ මැලිවූහ.   


නැවතත් බානගල හිමියන් ඇමතූ යොෂිඩා මැතිණිය මියගිය පුත්‍රයාගේ යළි ඉපදීම බානගල හිමියන් ලෙස පිළිගන්නා බවත් ඒ නිසා කළයුතු කිසිවක් ඇත්නම් නොපැකිල ප්‍රකාශ කරන ලෙසත් කීවාය.  


තම සිත තුළ රැව් දෙමින් තිබූ ළදරු පාසල් සංකල්පය සිහිපත් කළ හිමියෝ තමා ශ්‍රී ලංකාවට ගොස් ළදරු පාසලක් ආරම්භ කිරීමේ ආශාවක් ඇති බැව් යොෂිඩා මැතිනියට ප්‍රකාශ කළහ. එය ඇසූ සැණින් බානගල හිමියන් ඇමතූ යොෂිඩා මැතිනිය වහාම එය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සියලු වියදම් තමා දරන බවත් කීවාය. ඒ අනුව බානගල හිමියෝ නැවත ශ්‍රී ලංකාවට වැඩම කිරීමට සූදානම් වූහ. ළදරු පාසල ආරම්භ කිරීම සඳහා මූලික වියදම් වශයෙන් සෑහෙන මුදල් ප්‍රමාණයක් යොෂිඩා මැතිනිය විසින් ලබා දෙනු ලැබිණ.   


එම මුදල් රැගෙන පැමිණි බානගල හිමියෝ සපුගස්කන්දේ යොෂිඩා ළදරු පාසල ආරම්භ කළහ. ශ්‍රී ලංකාවේ ජපන් ආධාර මගින් 1979 වසරේදී ආරම්භ වූ විශාලතම ළදරු පාසල බවට එය පත්විය. අනතුරුව එහි සංවර්ධනය සඳහා මහත්සේ ආධාර කළ යොෂිඩා මැතිණිය වරින් වර කීප විටක්ම ශ්‍රී ලංකාවට පැමිණියාය. හැමවිටම උන්වහන්සේගේ සමාජ මෙහෙවරට සෙවනැල්ලක් ලෙස සිටිමින් යොෂිඩා මැතිණිය උන්වහන්සේට දැක්වූයේ අසීමිත දයාවකි.   


ජපානයේ ආධාර ඇතිව මේ වන විට බානගල හිමියන්ගේ මග පෙන්වීම යටතේ ආරම්භ කර ඇති ළදරු පාසල් සහ විවිධ සමාජ සේවා ආයතන සංඛ්‍යාව විස්සක් පමණ වී තිබේ. බානගල හිමියන්ගේ මව ලෙස ක්‍රියා කළ යොෂිඩා මැතිණිය තුළ තිබූ පුනර්භව විශ්වාසය පිළිබඳ එතුමියගේ වැඩිමහල් පුත්‍රයෙකුගෙන් විමසීමටද අපට පසුගිය දිනෙක අවස්ථාව ලැබිණ.   


ජපානයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන කෙන්ජි යොෂිඩා මහතා හමුවූ අප බානගල හිමියන් ඔබේ මියගිය සොහොයුරා ලෙස මව තුළ තිබූ විශ්වාසය කෙසේ දැයි විමසුවෙමු.   


මගේ මියගිය සොහොයුරා බානගල හිමියන් ලෙස යළි උපත ලබා ඇති බැව් මගේ මව තුළ දැඩි විශ්වාසයක් ඇතිවී තිබුණා. ඒ බැව් ඇය විසින් අප පවුලේ සියලු දෙනා සමග ඇය පැවසුවා. ඇය බානගල හිමියන්ට සැලකුවේ මියගිය පුත්‍රයා යළි උපත ලබා ඇති බව තදින්ම විශ්වාස කළ අයුරින් බව අපට දක්නට ලැබුණා. අපේ පවුලේ සියලු දෙනාත් ඒ අනුව බානගල හිමියන්ට සැලකුවේ අපේම සොහොයුරා ලෙසයි යනුවෙන් දොස්තර කෙන්ජි පැවසුවේය.   


ඔබේ සොහොයුරා බානගල හිමියන් ලෙස උපත ලබා ඇතැයි පවතින විශ්වාසය ගැන ඔබ සිතන්නේ කුමක්ද? යි අවසාන වශයෙන් කෙන්ජි මහතාගෙන් විමසීම් කළෙමු. එයට පිළිතුරු දුන් කෙන්ජි මහතා   


මිය ගිය මගේ සොහොයුරාගේ ආත්මය ශ්‍රී ලංකාවේ තිබෙන බව මමත් විශ්වාස කරනවා යි පිළිතුරු දුන්නේය. යොෂිඩා මැතිණියගේ අනුස්මරණ උත්සවයට පසුගිය පෙබරවාරි 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි දොස්තර කෙන්ජි පසුගියදා යළි ජපානය බලා පිටත්ව ගියේය.     

 

 

 


තිස්ස ජයවර්ධන