පුනර්භව රහස් හෙළි කළ මහණදම් පිරූ හිමිවරු


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පෙර භවය හෙළි කළ දරුවන් අතරින් පැවිදි ජීවිත ගත කළ බැව් අනාවරණය කළ දරුවෝ කීප දෙනෙක් සිටිති. එම දරුවන්ගේ කුඩා කල හැසිරීම් රටාවද භික්ෂු ජීවිතය අනුකරණය කිරීම විශේෂත්වයක් විය. එවැනි දරුවන් පසු කලෙක භික්ෂූන් වහන්සේලා බවට ද පත් වූහ. ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළි කළ දරුවන් තිදෙනෙක් පැවිදි ජීවිත ගත කළ බැව් අනාවරණය කළහ. එම දරුවෝ තිදෙනාම ඉතා කුඩා අවදියේ දී පැවිදි ජීවිතයට ඇතුළත් වූහ.   


පෙර භවයේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස ජීවත්ව සිටි බැව් හෙළි කළ ප්‍රථම දරුවා උපත ලැබුවේ හොරණ ප්‍රදේශයේ දී ය. බහ තෝරන අවදියේ සිට පාලි ගාථා කීමත් සිවුරු ඇඳීම අනුකරණ කිරීමත් එම දරුවාගේ සිරිත විය. ඒ සමගම දෙපයින් නැගිට ගැනීමට හැකිවූ දා සිට මල් කඩාගෙන පැමිණ පුටුවක් මත තබා වන්දනා කිරීමට ද සුවිශේෂී ක්‍රියාවක් විය. අනතුරුව ඔහු ප්‍රකාශ කළේ තමා භික්ෂූන් වහන්සේ නමක් ලෙස රත්නපුර ප්‍රදේශයේ වැඩ විසූ බවකි. ඔහු වැඩ විසූ පූජනීය ස්ථානයේ පාරිසරික ලක්ෂණ කීපයක් ද එම දරුවා ප්‍රකාශ කළේය.   


වටාපතක් සහ සිවුරක් ඉල්ලා සිටි එම දරුවා අන් දරුවන් ප්‍රිය කරන කිසිදු සෙල්ලම් භාණ්ඩයක් ප්‍රිය නොකිරීම ද තවත් විශේෂත්වයක් විය. ඉතා කුඩා වියේ දී මාපියන් විසින් ඔහුට වටාපතක් සහ සිවුරක් ලබා දුන් විට සිවුර පොරවාගෙන වටාපත අතැතිව ගාථා පවසන්නට වූයේ මාපියන් පුදුමයට පත් කරවමිනි.   


තරංග නම් වූ එම දරුවා පැවිදිවීමට අවශ්‍ය බැව් කියන්නට වූයේ වයස අවුරුදු හතරේ පමණ සිට ය. ඉතා කුඩා වියේ සිට වැඩිහිටියන්ට ආගමානුකූලව ජීවත් වන ලෙස උපදෙස් දීම ද ඔහු තුළින් දක්නට ලැබුණු විශේෂත්වය විය. දෙපයින් නැගිට ගත් දා සිට මල් කඩාගෙන නිවස තුළට පැමිණ පුටුවක් මත තබා වැඳීමට පුරුදුව සිටි ඔහු පසුව නිවස තුළ බුදු මැදුරක් ඉදි කරදෙන ලෙස ද ඉල්ලා සිටියේය.   


හබුරු කොළයක් ගෙන භික්ෂූන් වහන්සේ භාවිත කරන වටාපතක් ලෙස එය අතින් ​ෙගන ධර්මදේශනා කරන අයුරු ඔහු නිරූපනය කළේ මාපියන් පුදුමයට පත් කරමිනි.   
සෑම පොහෝ දිනකට පන්සලට යෑමට අවශ්‍ය බැව් ඉල්ලා සිටි එම දරුවා අන් දරුවන් මෙන් කිසිදු සෙල්ලම් භාණ්ඩයකට ප්‍රිය බවක් නොදැක්විය.   


අනතුරුව කෙළිලොල් වයසේදී පැවිදි ජීවිතයට ඔහු ඇතුළත් කිරීමට මාපියන්ට සිදු විය. මහණ දම් පිරීමට භික්ෂූන් වහන්සේ නමක් බවට පත් කරන ලෙස ඔහු කළ ඉල්ලීම අනුව ධම්මිතිලක නමින් උන් වහන්සේ පැවිදි වූහ. පෙරභවය හෙළි කිරීමෙන් පසු ළමා වියේදී පැවිදි බව ලබා ගත් තවත් දරුවෙක් උපත ලැබුවේ ගම්පහ ප්‍රදේශයේ දීය. වර්ණසිරි නම් එම දරුවා වයස අවුරුදු 16 දී භික්ෂූන් වහන්සේ නමක් බවට පත් විය.   


ඔහු හෙළි කළෙ​් පෙර භවයේ දී තරුණයකු ලෙස ජීවත්ව සිටි බවකි. ආහාර ගැනීමකින් පසු ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මරණයට පත් වූ බැව් ඔහු කීය. ඔහුගෙන් හෙළි වූ අතිශය වැදගත් කරුණ වූයේ එම මවගේ කුස තුළින් දෙවරක් බිහි වූ බැව්ය. අතරමැදි ජීවිතයක් ගැන ද වර්ණසිරි පැවසීය.   


වරක් මව් කුසයෙන් බිහිවීමෙන් පසු මියගිය බවත් අනතුරුව නැවත වරක් ඉපදීමට ප්‍රථම සත්ව ජිවිතයක් ගත කළ බැව් ද ඔහු කීය. හාවෙකු ලෙස සිටි එම ජීවිතය අවසන් වූයේ දඩයක්කාරයෙකුගේ වෙඩි පහරකට ලක් වී​ෙමන් බැව් ද ඔහුට මතක තිබිණි.   


පුනර්භව පර්යේෂණවලට ඉතා වැදගත් ලෙස සැලකෙන අතරමැදි ජීවිතය (Intermediate Lives) හෙළි කිරීම එම දරුවා මගින් හෙළි වූ සුවිශේෂී කරුණ විය.   


​ෙමම දරුවා පිළිබඳව සිදුකළ පුනර්භව පර්යේෂණයේදී ​ඔහු පෙර භවය පිළිබඳව හෙළි කළ කරුණු රැසක් ඉතා පැහැදිලිව සනාථ විය.   


එම මවගේ කුස තුළින් දෙවරක් උපත ලැබීමේ ප්‍රකාශය සනාථ වූයේ මවගේ ප්‍රකාශයකිනි. වර්ණසිරි දරුවා ගේ උපත සිදුවීමට ප්‍රථම ඇය දරුවෙකු බිහි කළ අතර එම දරුවා මළ දරු උපතක් ලෙස බිහි වී තිබිණි. ඒ අනුව පෙර භවය හෙළි කළ දරුවා කළ ප්‍රකාශය එමගින් තහවුරු විය. පෙරභවයේ පුද්ගල ඡායාරූපය සහ සොහොයුරියකගේ ඡායාරූපය නිවැරදිව හඳුනාගැනීමටත් එදා එම දරුවාට හැකි විය. මෙම පුනර්භව සාධකයේ කරුණු තිහකට වැඩි සංඛ්‍යාවක් සනාථවීම ද විශේෂත්වයක් විය.   


අනතුරුව වර්ණසිරි දෙමාපියන්ගේ අවසරය මත පැවිදි ජීවිතයට ඇතුළත් විය. වයස අවුරුදු 14 දී ඔහු පාලි, සංස්කෘත, බුද්ධාගම සහ ඉතිහාසය සහ විෂයන් අධ්‍යාපනයට යොමු වූ ඔහු වයස අවුරුදු 16 දී කිරිකිත්තේ ජිනසීහ නමින් පැවිදි බව ලබාගත්හ. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගුරු වෘත්තියට පිවිසියහ.   


වර්ණසිරිගේ පුනර්භව ප්‍රකාශයෙන් පසු ඔහු පැවිදි ජීවිතයට ඇතුළත්වීමේ පුවතට එදා පුවත්පත් මගින් මහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. පෙරභවය අනාවරණය කිරීමේ දී ඉපදීම සහ මරණය පිළිබඳව තෙවරක් මතක සටහන් ඔහු තුළින් මතු විය. මේ පිළිබඳව පුනර්භව පර්යේෂකයන් දෙදෙනෙක් විසින් සිදුකළ පර්යේෂණ ග්‍රන්ථ දෙකකට ද ඇතුළත් කර තිබේ.   


උපතින්ම බුදු දහමට නැඹුරුව පිරිත් සහ පාලි ගාථා මතකයෙන් හෙළි කළ දුමින්ද නම් තවත් දරුවෙක් උපත ලැබුවේ 1984 වසරේදීය. ඔහු ද ඉතා කුඩා කල සිට සිවුරු ඉල්ලා සිටියේ. නිතර නිතර පන්සලට යෑමට දැඩි ආශාවක් දැක් වූ එම දරුවා පාලි ගාථා මතකයෙන් ගායනා කිරීම මාපියන්ගේ මවිතයට හේතු විය. වයස අවුරුදු තුනක් පමණ වයසේ සිටි එම දරුවාගේ මව් දිනක් අත්සේදීමට දරුවාගේ දෑත් ඇල්ලූ විට ක්ෂණයෙන් මව ඇමතූ ඔහු,   


‘අම්මල වගේ අය අපේ අත් අල්ලන්නේ නෑ’ යයි පැවසීය. තම පුත්‍රයාගේ මෙම වදනින් මව මවිතයට පත් විය. නිතර නිතර නිවසට ආසන්නයේ තිබූ පූජනීය ස්ථානයට යෑමට පුරුදුව සිටීමද, එම දරුවා තුළින් දක්නට ලැබුණු විශේෂත්වයක් විය.   


​ෙමම දරුවාට නමින් කතා කළ අවස්ථාවේදී ඔහු පැවසුවේ ‘සාදු’ යනුවෙන් අමතන ලෙසය. වරක් ඔහුව පූජනීය ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවක දී අසුනට සුදු රෙදි අතුරන තුරු අසුන් නොගැනීම ද අතිශය පුදුම උපදවනසුලු විය. මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳ සිදු කළ පර්යේෂණයේදී ඔහු හෙළි කළ පූජනීය ස්ථානයට ගොස් භික්ෂූන් වහන්සේ වැඩ සිටි කාමරය හඳුනාගැනීමට ද එම දරුවාට හැකි විය. මෙම දරුවා පිළිබඳව බී බී සී ආයතනය ද ශ්‍රී ලංකාවට පැමිණ පුනර්භව පර්යේෂණ චිත්‍රපටයක් ද නිපදවනු ලැබීය.   


එක් දහස් නවසිය හැත්තෑ නවය වසරේදී කොළඹ දී උපත ලද තවත් දරුවෙක් ප්‍රකාශ කළේ ඔහුද පෙර භවයේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිටි බවය. වයස අවුරුදු තුනේ පමණ සිට ඔහු පෙරභවය හෙළි කිරීම ආරම්භ කළේය. දිනක් මව අැමැතු ඔහු ‘මට ලොකු සාදු බලන්න පන්සලට යන්න ඕනෑ’ යැයි පැවසීය.   


කතෝලික ආගමිකයන් වූ එම දරුවාගේ මාපියන්ට දරුවාගේ මෙම ප්‍රකාශය පුදුමයට හේතු විය. තම දරුවා ලොකු ලොකු සාදු යනුවෙන් ප්‍රකාශ කළ ද නිවසේ දී එවැන්නක් ඔහුට ශ්‍රවණය වී නොතිබිණි. තවත් දිනක් මව ඇමතූ ඔහු ‘ලොකු සාදුට ලොකු පොල් කට්ටන් තිබුණා. ඒකට ඕන දෙයක් දමන්න පුළුවන්. ලොකු සාදු කණ්ණාඩි දානවා’ යනුවෙන් ද ප්‍රකාශ කළ දරුවා භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩින අයුරු නිරූපණය කිරීමට ද පුරුදුව සිටියේය. ඔහු පැවසුවේ ලොකු සාදු සමග සිටියදී විශාල ශබ්දයක් ශ්‍රවණය වූ බවකි. දිනක් රතිඤ්ඤා පිපිරීම් හඬක් ඇසුණ අවස්ථාවක දී එක් වරම පපුව අල්ලාගෙන කෑගැසූ බවද මාපියෝ පැවසූහ.   


පෙර භවයේ වැඩ විසු පූජනීය ස්ථානය කන්දක් උඩ පිහිටා තිබූ බැව් ද එම දරුවා හෙළි කළ නමුත් ඔහු සිටි ගම් ප්‍රදේශයක් අනාවරණය නොවුණි. එහෙත් බුද්ධ රූප ඉල්ලා සිටීම නිසා කතෝලික නිවසක් වුවද එම දරුවාට වැඳුම් පිදුම් කිරීමට මාපියන් විසින් බුද්ධ රූප ද ගෙනැවිත් දෙනු ලැබිණි. නායක භික්ෂූන් වහන්සේ නමක් සමග ගමන් ගනිමින් සිටියදී කිසියම් අනතුරකට පත් වූ බවත් එම දරුවාගෙන් ප්‍රකාශ කෙරිණි.   


පෙර භවය අනාවරණය කිරීමෙන් පසු පැවිදි බව ලැබූ දරුවෙක් පුනර්භව පර්යේෂණ අතරට එක්වූයේ ගම්පහ ප්‍රදේශයෙනි. 1980 වසරේදී උපත ලද එම දරුවා බහ තෝරන වියට පත්වීමත් සමගම පෙර භව ​තොරතුරු අනාවරණය කළේය. දෙමහල් නිවසක ජීවත්ව සිටි බැව් පැවසූ ඔහු පාසල් ශිෂ්‍යයෙකු ලෙස සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත් වූ බැව් හෙළි කළේය.   


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බවක් ද ඔහුට මතක තිබිණි.   


මෙම දරුවා අපට හමුවන විට ඔහු පැවිදි ජීවිතයකට ඇතුළත්ව සිටියේය. එවකට කුඩා සාමණේර නමක් වූ උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ පෙර භව​යේ මරණ සිදුවීමට පෙර ඔහු අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයටත් පෙනී සිටි බවය.   


‘එහෙ තාත්ත ඇක්සිඩන් එකකින් මැරුණ. අයියයි මමයි ගෙදර හිටියා. තාත්තාව ලොරියක හැපිලා තිබුණා. අපි කාර් එකක් අරගෙන තාත්තව බලන්න කොළඹ ආවා. සමහර දාට තාත්ත අපේ අන්නාසි වත්තෙ අන්නාසි කඩාගෙන කාර් එකේ දාගෙන විකුණන්න ගෙනි යනවා’ යයිද ඔහුට මතක තිබිණි.   


‘මට පුංචි මල්ලියෙකුත් හිටියා. එයා අම්මගෙ කිරි බොනවා’ යයි ද සිය පෙර භවයේ තොරතුරු හෙලිකළ උන් වහන්සේ පැවසුවේ කිසියම් කණ්ඩායමක් සමග ඔහු කැලෑවට ගිය බවත් ද මතකයේ ඇති බවය. පෙර භවය හෙළි කිරීමෙන් පසු පෙර මාපියන් සොයා ගැනීමට මාපියන් උත්සාහ ගත් නමුත් වැඩි තොරතුරක් අනාවරණය නොවීම නිසා ඒ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීම අසීරු විය. එහෙත් පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දම පිළිබඳ උන්වහන්සේ එදා ඉතා හොඳ මතකයෙන් තොරතුරු අනාවරණය කළේ මෙසේය.   
‘එදා මට මතකයි ඉරිදා දවසක්. අපි කණ්ඩායමක් හිටියා. මට මතක හැටියට ගම්පහ පැත්තේ. අලයි බතුයි කාලා අප ඉන්න කොට වෙඩි හඬක් ඇසුණා. ඒ එක්කම බෝම්බයක් පුපුරණ හඬකුත් ඇසුණා. මාවත් වැටුණා. අමාරුවෙන් නැගිටලා යන කොට අයෙත් වැටුණා’ යැයි ද ඔහු පැවසීය.   


​ෙමම තොරතුරු අනාවරණය කිරී​ෙමන් පසු ඔහු පැවිදි බිමට ඇතුළත්වීමට අවශ්‍ය බැව් පැවසීම නිසා පැවිදිවීමට මාපියන්ගෙන් අවසරය ලැබිණි.   


ඒ අනුව ඥානසිරි නමින් පැවිදි බව ලැබූහ.   


භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙර භවයේ ජීවත්ව සිටි බැව් හෙළි කළ තවත් දරුවෙක් වසර කීපයකට උඩ දී කොළඹ කාසල් රෝහලේ දී උපත ලැබීය. එම දරුවා ඉතා කුඩා අවදියේ සිට බුද්ධ රූප එකතු කිරීමට පුරුදුව සිටියේය. මාපියන් සමග නිවසින් පිටතට ගිය අවස්ථාවල දී කිසියම් බුද්ධ රූපයක් දුටු විට ඔහු එය ඉල්ලා සිටීමට ද පුරුදුව සිටියේය.   
බහ තෝරන වියේ සිට මෙම දරුවා ද නිදියහනේ දීත් පිරිත් සහ ගාථා කීම ද විශේෂත්වයක් විය. මෙම හැසිරීම් රටාව පිළිබඳ මාපියන්ගේ අවධානය යොමු විය. මේ අතර දිනක් මව ඇමතූ දරුවා බබාව ජෝ වලට වැටුණා යැයි කීය. ඔහු ඒ වන විට ජලය හැඳින්වූයේ ජෝ යනුවෙනි.   


තම පුත්‍රයා එසේ පවසන්නේ කුමක්ද යන්න මවට ගැටලුවක් විය.   


මේ අතර දිනක් නිවසින් බැහැරව ගමන් කරමින් සිටියදී ඔහුට පුජනීය ස්ථානයක වැලක එල්ලා තිබූ සිවුරක් දක්නට ලැබිණි. ඒ දෙසට අත දිගු කළ දරුවා මටත් ඒ වගේ එකක් තිබුණා යයි පැවසීය.  


අනතුරුව ඔහුට සොයුරු සොයුරියන් සිටි බවත් මව බැලීමට පෙර නිවසට යෑමට අවශ්‍ය බවත් පැවසීය. තම පුත්‍රයා කිසියම් පෙර භවයක ජීවිත තොරතුරු අනාවරණ කරන බැව් මාපියන්ට වැටහිණි. එහෙත් ඔහුගෙන් ගම් ප්‍රදේශයක නමක් හෙළි නොවිණි. ඔහු නිතර පැවසුවේ වතුරට වැටුණා කළු වෙලා උඩට ආවා යනුවෙනි.   


තවත් දිනක් මව ඇමතූ එම දරුවා මගේ සුදු අම්මාව සොයා දුන්නේ නෑ යයි කීවේය. තම පුත්‍රයා හෙළි කරන තොරතුරු පිළිබඳ මාපියෝ ඒ වන විට දැඩි අවධානයක් යොමු කර සිටියහ.   


වසරක් පමණ ගත විය.   


දරුවා පෙර භව තොරතුරු හෙළි කරමින් සිටි අවස්ථාවක දී ඔයා හිටියේ කොහේද? යයි පියා විමසීමක් කළේය. මොහොතක් කල්පනා කාරීව සිටි දරුවා දැදිගම යැයි පැවසීය. ඉන් අනතුරුව පියා එම ප්‍රදේශයට ගොස් පුත්‍රයා හෙළි කරන තොරතුරු විමර්ශනය කළේය. එහිදී දියේ ගිලීමක් නිසා අපවත් වූ හිමි නමකගේ තොරතුරු අසන්නට ලැබිණි.   


පසුව එම පූජනීය ස්ථානයට දරුවා ​රැගෙන ගිය අවස්ථාවේ එය තමා සිටි පූජනීය ස්ථානය ලෙස ඔහු හඳුනා ගත්තේය. එදිනම ඔහුට පෙර භවයේ නිවසට යෑමට ද අවස්ථාව ලැබිණි. එහිදී නිවසට ගිය දරුවා ඔහු පැවිදි වී සිටියදී නිවසට ගිය අවස්ථාවල දී සිටි කාමරය ද නිවැරදිව හඳුන්වා දුන්නයේ.   


මෙම දරුවා හෙළි කළ පෙර භවය වූයේ ළිඳේ වැටීමක් නිසා අපවත් වූ සුමනසිරි නම් භික්ෂූන් වහන්සේ නමක් බැව් අනාවරණය විය. මෙම පුනර්භව සාධකය පිළිබඳව සිදු කළ පර්යේෂණයේ දී අනාවරණය වූයේ දොළොස් වන වියේ දී පැවිදි වූ එම හිමියෝ විසිහය වන වියේ දී අපවත් වූ බවය.     

 


තිස්ස ජයවර්ධන