පුංචි දරුවාට මැරෙන්නම ගහලා


මළ මිනිසුන් සමග නොමළ කතා

 

වැටිලා තුවාල වෙලා, සිහි නැති වුණැයි රෝහලට රැගෙන ආ අවුරුදු දෙකක් පමණ වයසැති කුඩා පිරිමි දරුවා මියගොස් ඇති බවට වෛද්‍යවරු නිගමනය කළහ. දරුවා රෝහලට රැගෙන එනු ලැබුවේ පියා විසින් බවට රෝහලට තොරතුරු වාර්තා කර තිබිණ.   


 පියා වෛද්‍යවරයාට පවසා සිටියේ දරුවා තමන්ට හොරෙන් ගේ ඉදිරිපිට තිබුණ උස් තැනකට නගින්න යද්දී බිම වැටී සිහිය නැති වූ බවය. තමන් දකින විටද දරුවා සිටියේ සිහිනැතිව බවටද පියා වෛද්‍යවරයාට පවසා තිබිණ. වෛද්‍යවරු එය පිළිගත් නමුත් සැකයක්ද ඇති විය. කෙසේ වුවද වැටීමෙන් වූ මරණයක් බව වාර්තා වූ වහාම වෛද්‍යවරයා රෝහල් පොලිසියට පැමිණිලි කර අදාළ ඉදිරි කටයුතු කරගෙන යාමට ඉඩකඩ සැලසුවේය.   


 පොලිසිය එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක කැඳවනු ලැබීය. වෛද්‍යවරයාගේ වාර්තාව හා දෙමාපියන්ගේ ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මළ සිරුර මතුපිටින් පරීක්ෂා කළ හදිසි මරණ පරීක්ෂකවරයාට මෙම මරණය ගැන සැකයක් ඇති විය. ඒ අනුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කළේය.   
 අධිකරණ වෛද්‍යවරයා සිරුර මතුපිටින් පරීක්ෂා කළේය. සිරුරේ ස්ථාන කීපයක එනම් පිටෙහි හා පාදවල තැනින් නැත සම පුපුරා ලේ ගලා විත් තිබිණ. ඒවා කිසියම් තැනකින් වැටීමෙන් වූ සීරීම් තුවාල සේ එකවර සිතුනද සිරීමකට වඩා ඒවා ඥාතීත්වය දැක්වූයේ සම මතුපිටින් වේගයෙන් වැදුන පහරක් නිසා වූ සමෙහි පිපිරීමකටය. තවදුරටත් සිරුර පරීක්ෂා කිරීමේදී දරුවාගේ යටිපතුල් වල එකිනෙකට සමාන්තරව වූ කැපුම් තුවාල වැනි තුවාල දෙකක් දක්නට ලැබිණ.   
 එය වඩාත් හොඳින් අත්කාචයක් යොදාගනිමින් පරීක්ෂා කිරීමේදී කැපුම් තුවාල නොව කෝටුවකින් පහරදීමෙන් සම පුපුරා යාමෙන් වූ තුවාල විය හැකි බවට සැකකරනු ලැබිණ. මෙවැනි තුවාලයක් මරණයක් ඇති වීමට තරම් ප්‍රබල හේතුවක් නොවන බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. ඒ අනුව මරණයට බලපාන තවත් බරපතළ හේතුවක් තිබිය හැකි බවට නිගමනය කළ අධිකරණ වෛද්‍යවරයා මුලින්ම හිස කපා පරීක්ෂා කිරීම ඇරඹුවේය.   


 හිසෙහි මතුපිටින් කිසිදු තුවාලයක් නොවිණ. සම ඇතුළතින්ද තුවාල දක්නට නොවීය. හිස් කබල කපා පරීක්ෂා කිරීමේදී මොළයෙහි මතුපිට පෙනුමේම අමුත්තක් දැනිණ. සාමාන්‍යයෙන් රුධිරය සහිත මොළය රෝස පැහැයට හුරු සුදු පැහැයකින් දිස්වනු ඇත. එහෙත් මේ දරුවාගේ මොළය පොල් කෑල්ලක් සේ සුදු පැහැතිය. එසේ සුදු පැහැ වීමට හේතුව මොළයේ තිබූ රුධිරය සිරුරෙන් පිටවීම නිසා නැත්නම් සිරුරේ පහළ කොටසක් කරා ඇදීයාම නිසාය.   
 සිරුරෙන් බරපතළ ලෙස රුධිරය පිටවූ තුවාල දක්නට තිබුණේ නැත. එසේ නම් සිරුර අභ්‍යන්තරයේ කිසියම් ඉන්ද්‍රියකට හානි වී එයින් පිටතට රුධිරය ගමන් කර තිබිය හැකිය. ඒ අනුව වෛද්‍යවරයා මුලින්ම කළේ උදරය කපා පරික්ෂා කිරීමය. උදරය ලේ වලින් පිරී තිබිණ. එහි තිබූ ලේ ප්‍රමාණය මිලිලීටර් 700ක් පමණ විය. උදරය ආශ්‍රිත ඉන්ද්‍රියයන් මේ ලේවල ගිලී තිබිණ. උදරයේ රුධිරය එක්රැස්වී ඇති ආකාරය අනුව උදරයේ කිසියම් ඉන්ද්‍රියයක් තුවාල වී එයින් අධික ලෙස රුධිරය පිටතට ගලා යාමෙන් මෙසේ සිදුව ඇත. උදරයේ සිදුවන මේ ලේ ගලායාම නිසා මොළයේ තිබූ රුධිරය පවා පහළට ගලාවිත් තිබේ. එය සුදුපැහැ ගැන්වී තිබෙන්නේ එහෙයිනි.   


 වෛද්‍යවරයා උදරයේ තිබූ රුධිරය ඉවත් කර පළමුව එය පිරිසුදු කර ගත්තේය. එවිට අක්මාව ඉදිරිපස අඟල් හතරක පමණ ප්‍රමාණයක් පැලී ගොස් ඇති බව දැකිය හැකිවිය. එසේ සිදුවිය හැක්කේ එක්කෝ කුසට වදින දැඩි ප්‍රහාරයක් නිසාය. නැත්නම් සිරුර ඉදිරිපසින් හා පිටුපසින් යන දෙපැත්තෙන්ම තදවීමේදී අක්මාව කිසියම් තද දෙයකට හිරවීමෙනි.   
 සිදුවූයේ කුමක්දැයි නිශ්චිතවම තවදුරටත් පරීක්ෂා කර නිගමනය කිරීම සඳහා සම කපා මංශ පේශිවල ස්වභාවය නිරීක්ෂණය කළේය. එහිදී සමට යටින් වූ මාංශ පේශි තැනින් තැන තැලීම්වලට ලක්ව ඇති ආකාරය දැකිය හැකි විය. ඒ පෙර කී පරිදි කෝටු පහර වැදීමෙන් වූ තුවාල විය හැකි බවට මූලිකව තීරණය කරනු ලැබිණ. තවදුරටත් සම කපා ඉවත් කරමින් පරීක්ෂා කරද්දී දරුවාගේ ඉහළ ඇට පේළියට පහළින් පිට කොන්ද ආශ්‍රිතව තරමක් ලොකු කොටසක මාංශ පේශි තැලී ඇති බව දැකිය හැකි විය. ඒ ස්ථානය සමට පිටින් පරීක්ෂා කිරීමේදී ද රතු පැහැ වූ පැල්ලමක් දැකිය හැකි විය.   


 මෙම පැල්ලම කිසියම් දෙයකින් තද කිරීමෙන් හෝ කිසියම් තැනකට තදවීමෙන් හෝ ඇතිවිය හැකි තැල්මක ස්වභාවයක් දැක්වීය. සිරුරේ පිහිටීම තැල්ම ඇති ස්ථානය හා අක්මාවේ පිපිරීම සිදුව ඇති ආකාරය පරීක්ෂා කිරීමේදී මෙය දරුවා බිමට වැටුණ පසු පයින් පෑගීමෙන් වූ තැලුමක් බවට සැකකරනු ලැබිණ. පිට කොන්ද පැත්තෙන් පැගීමේදී සිරුර බිමට තදවී අක්මාව ඉළඇටයකට සිරවීමෙන් එය පුපුරා යන්නට ඇත. මරණය සිදුව තිබෙන්නේ එලෙස පුපුරාගිය අක්මාවෙන් පිටතට අධික ලෙස රුධිරය වහනය වීමෙනි. එනම් අභ්‍යන්තර ලේ ගැලීමකිනි.   


 මේ අනුව දරුවා උස් ස්ථානයකින් බිමට වැටීමෙන් නොව මෙම මරණය සිදුව තිබෙන්නේ කිසියම් අයෙකු විසින් කරන ලද පහර දීමකින් බව අධිකරණ වෛද්‍ය මතය විය.   
 ඒ අනුව පොලිසිය දරුවාගේ පියා ලෙස රෝහලේදී පෙනි සිටි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.   
 පියා ලෙස පෙනී සිටි පුද්ගලයා එනම් විසිනව හැවිරිදි සමන් ජයශාන්ත යන අය දරුවාගේ මව වූ විශාකා සඳමාලි සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන යනු ලැබූ අයෙකි. දරුවාගේ මව විශාකා විසිතුන් හැවිරිදි තරුණියකි.   


 ඇය සමන් සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගැනීමට පෙර දෙමාපියන් සමග වාසය කළ කාලයේ විවාහක පුද්ගලයෙක් සමග ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇත. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහනවයකි. මේ ප්‍රේම සබඳතාව නිසා ඇයට දරුවෙක් ලැබෙන්නට සිටින බව නිවැසියන් දැනගන්නේ ඇයට දරුවා ලැබෙන්නට රෝහල් ගත වූ පසුවය. එතෙක් ඇගේ සිරුරේ වූ වෙනස්කම් ඇගේ දෙමාපියෝ දැක්කේ ඇය මහත්වීම නිසා ඇති වූ සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි. ඒ කාලයේ කුස අනවශ්‍ය ලෙස පිටතට නෙරා ඒම වළක්වා ගැනීමට ඇය නොයෙක් උපක්‍රම යෙදුවාය.   


 ඇය දරුවෙක් බිහි කරන්නට සූදනම් බව මව දැනගත්තේ විශාකා බඩේ අමාරුවක් කියා රෝහල් ගත වූ පසුවය. ඇය ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ පුද්ගලයා විවාහකයෙක් නිසා විශාකා ඔහුට විවාහකර දෙන්නවත් දෙමාපියන්ට පුලුවන්කමක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන් සමාජය හමුවේ මුහුණ දුන්නේ දැඩි අපහසුතාවකටය. රජයේ ආයතනයක විධායක ශ්‍රේණියේ වෘත්තියක නියැලුණ විශාකාගේ පියාට මේ ප්‍රශ්නය දරාගත නොහැකි විය. ඔහු විශාකාව ගෙදරින් පන්නා දැමුවේය.  
දරුවෙක් සමග මහ මගට වැටුණ විශාකාට ටික කලක් ගත වනතෙක් මිතුරියකගේ නිවසේ ජීවත් වීමට හැකි විය. එහෙත් දිගටම එසේ කළ නොහැකිය. දරුවාට මාස දෙකක් පමණ වූ පසු ඇය දරුවා මිතුරියකගේ නිවසේ නවත්වා ඇඟලුම් කම්හලක සේවයට ගියාය. ඒ ලැබෙන වැටුපෙන් ඇය බෝඩිමකට කුලිය ගෙවා දරුවා බලාගන්නා අයටත් කුලියක් ගෙව්වාය. මෙලෙස කාලයක් ඇඟලුම් කම්හලේ සේවය කරමින් සිටින විට ඇයට තවත් තරුණයෙකුගේ ඇල්ම බැල්ම වැටිණ.   


 යන එන මං නැතිව අසරණව සිටි විශාකාට ඔහුගේ ප්‍රේමය තදින් දැනෙන්නට විය. එය කෙතරම් දුරදිග ගියේද යත් එම තරුණයා විශාකාගේ බෝඩිමේ නැවතීමට පටන් ගන්නා තරමටම ඉතා කෙටි කලකින් සබඳතාවය වර්ධනය විය.   


 අවසානයේදී ඔවුහු ඇනෙක්සියක් සොයාගෙන එහි පදිංචියට ගියහ. මේ තරුණයා එනම් අප පෙර සමන් යැයි හඳුන්වා දුන් අය කිසිදු රස්සාවක් කළේ නැත. විශාකා රැකියාවට ගොස් ආපසු ගෙදරට එනතෙක් දරුවා බලාගැනීම ඔහුට පැවරී තිබූ රාජකාරිය විය. මේ වන විට දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන්නට ඇත.   
 සමන් අධික ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වී සිටියේය. විශාකා හම්බකරන මුදල් වැඩි ප්‍රමාණයක් සමන්ට කුඩුවලට වියදම් කරන්නට සිදුවිය. මේ නිසා දෙදෙනා අතර නිතරම ගැටුම් බැන අඬගසා ගැනීම් සිදුවන්නට විය. දිනක් විශාකා හා සමන් අතර බහින්බස් වීම දුරදිග ගියෙන් දෙදෙනා කතාබහ නොකර අත්හරින තැනටම පත්විය. එහෙත් විශාකා ආපසු එනතෙක් දරුවා බලාගැනීමේ රාජකාරිය සමන්ට එලෙසම පැවරිණ. විශාකා සමග ඇති වූ ගැටුමට මූලික හේතුවද මේ දරුවා බව සමන්ගේ අදහස විය.   
 මේ දරුවෙක් නිසා විශාකා සමග ජීවත්වීමට වෙලාව අඩුව ඇතැයි කල්පනා කළ සමන්ට මෙය කරදරයක් විය. විශාකා සමග ඇති වූ කේන්තිය සමන් දරුවා පිටින් යැව්වේය. දරුවා බඩගිනි වී අඬද්දී සමන් ඔහුට වේවැල් පහර හත අටක් එල්ල කළේය. පහර කාගෙන බිම වැටුණ දරුවාගේ යටි පතුල්වලට ද ඔහු වේවැල් පහර දුන්නේය. මුනින් අතට වැටී කෑ ගසන දරුවාගේ කරදරයෙන් සදහටම මිදෙන්නට සිතූ සමන් ඔහුව පෑගුවේය. සුලු වේලාවක් අමාරුවෙන් දැඟලූ දරුවා පසුව කිසිම දැඟලීමක් නැතිව නිසංසල විය.   


 කේන්තියට දරුවාට පහර දුන්නත් ඔහු මිය ගොස් ඇති බව දුටු සමන්ට දැන් ඉතිං කුමක් කරන්නේ දැයි සිතාගත නොහැකි විය. අවසානයේ ඔහු කල්පනා කළේ දරුවා වැටී සිහි නැති වූ බව පවසා රෝහල් ගත කර ඝාතනය වසන් කිරීමටය. එහෙත් අධිකරණ වෛද්‍යවරුන්ගෙන් කිසිම ඝාතකයෙකුට වසන්විය නොහැකි බව යළිත් වරක් මෙම සිදුවීමෙන් ඔප්පු කරනු ලැබුවේය.   

 


හලාවත මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලිව්වේ මුදිතා දයානන්ද