පිහිනුම් ක්‍රීඩාවෙන් ලොව දිනූ දියකිඳුරිය ‘කැතී ලෙඩෙකි’


 

පිහිනුම් ක්‍රීඩාව ඒකල හා කණ්ඩායම් වශයෙන් ජනප්‍රිය ක්‍රීඩාවකි. ඔලිම්පික් තරගාවලියේ ද වර්ණවත් ක්‍රීඩා ඉසව්වක් වශයෙන් ප‍්‍රකට පිහිනුම් තරග සමනල ආර, පසුපස ආර, ළය ආර, නිදහස් ආර සහ මිශ‍්‍ර ආර වැනි විවිධ අංශ ඔස්සේ පැවැත්වෙන්නකි. පිහිනුම් ක්‍රීඩාවෙන් ලොව දිනූ ක්‍රීඩිකාවෝ රැසක් සිටිති. ඔවුන් අතරින් අද වනවිට ඉදිරියෙන්ම සිටින්නී ඇමෙරිකාවේ කැතී ලෙඩෙකි ය.  

 

1997 මාර්තු 17 ද‌ා මේරිලන්ඩ් හි බෙතෙස්ඩා හිදී උපත ලද කැත්ලින් ජෙනවිව් ලෙඩෙකි නොහොත් කැතී ලෙඩෙකි පිහිනුම් ක්‍රීඩාවට එක් වූයේ 6 හැවිරිදි දැරියක ලෙසිනි. නීතිඥයකු වන ඩේවිඩ් ලෙඩෙකි හා මේරි ජෙනවිව් ලෙඩෙකිගේ දෙවැනි දරුවා වූ කැතීගේ මුල්ම පුහුණුකරු වූයේ යුරි සුගියාමා ය. සාමාන්‍යයෙන් පිහිනුම් ක්‍රීඩාකයන්ට හා ක්‍රීඩිකාවන්ට ලබාදෙන පුහුණුවේ යම් වෙනස්කම් තිබේ. සුගියාමා කැතී හට ලබා දුන්නේ ක්‍රීඩකයන් සඳහා ලබාදෙන ආකාරයේ සුවිශේෂී තාක්ෂණික පුහුණුවකි.   


කැතීගේ මව ද පිහිනුම් ක්‍රීඩිකාවක වූ අතර නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලය හා ජාතික කණ්ඩායම නියෝජනය කළාය. කැතීගේ පිහිනුම් ජීවිතයට ඉතා සමීප තැනැත්තා වූයේ ඇයගේ වැඩිමහලු සොහොයුරු මයිකල් ය. කුඩා දැරියක ලෙසින් ඇය පිහිනුම් ක්‍රීඩාවේ නිරත වූයේ ඔහු සමඟිනි.   

 


වයස අවුරුදු 15දී කැතී ඇමෙරිකානු පිහිනුම් කණ්ඩායමේ සාමාජිකාවක බවට පත් වූවාය. ඇයගේ පළමු ප‍්‍රධානපෙළේ තරගාවලිය වූයේ ඇමෙරිකානු කනිෂ්ඨ පිහිනුම් තරගාවලියයි. එම තරගාවලියේදී මීටර් 400, 800 සහ 1500 නිදහස් ආර පිහිනුම් තරගවලට සහභාගී වූ ඇය එම තරග සියල්ලේම රන් පදක්කම දිනාගැනීමට සමත්වූවාය.   


2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට ඇය ඉදිරිපත් වූයේ 15 හැවිරිදි දැරියක ලෙසිනි. එම තරගාවලියේදී කාන්තා මීටර් 800 නිදහස් ආර තරගයෙන් ඇය රන් පදක්කම හිමි කර ගත්තේ එම කණ්ඩායම නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාව ලෙසිනි. ජැනට් එවන්ස් විසින් තබන ලද 23 වසරක් පැරණි ඇමෙරිකානු වාර්තාවද බිඳ දමන්නට ඇය සමත් වූවාය.   


තම නව පුහුණුකරු බ්‍රේස් ගෙමල් යටතේ පුහුණුව ලද කැතී මධ්‍යම හා දුර පන්තියේ තරගවලට සහභාගී වූවාය. 2013 එෆ්.අයි.එන්.ඒ. ලෝක ශූරතා තරගාවලියේදී මීටර් 800 සහ මීටර් 1500 තරගවලින් රන් පදක්කම් 4ක් ද 2014 පෑන් පැසිෆික් පිහිනුම් ශූරතාවලියේදී රන් පදක්කම් 4ක් ද දිනාගැනීමට ඇයට හැකි විය. 2015 එෆ්.අයි.එන්.ඒ. ලෝක ශූරතාවලියේදී මීටර් 200, මීටර් 400, මීටර් 800 සහ මිටර් 1500 නිදහස් ආර ඉසව් 4ම ජය ගනිමින් ලෝක ශූරතාවලියක එම ඉසව් 4ම ජයග‍්‍රහණය කළ ප‍්‍රථම ක්‍රීඩිකාව බවට ඇය පත් වූවාය.  
2015 වසරේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කැතී අධ්‍යාපනය ලබන අතර 2016 ඔලිම්පික් තරගාවලිය සඳහා පුහුණුවීමේ කටයුතුවල ද නිරත වූවාය. තම දක්ෂතාවල හිනිපෙත්තේ පසු වූ ඇය 2016 ජනවාරියේ පැවැති පිහිනුම් තරගාවලියකදී මීටර් 800 විනාඩි 8 තත්පර 06.68කින් අවසන් කරන ලද්දේ තම 11 වැනි ලෝක වාර්තාවට හිමිකම් කියමිනි. ඒ හැර මීටර් 400 සහ 1500 නිදහස් ආර ලෝක වාර්තාවේ හිමිකාරිය වූයේ ද ඇයයි. සහභාගී වූ සෑම ජාත්‍යන්තර තරගයකින්ම ජය ලබා සිටි කැතී 2016 ඔලිම්පික් තරගාවලියට සහභාගී වූයේ අපේක්ෂා රැසක් සමඟිනි.  

 


2016 රියෝ ඔලිම්පික් තරගාවලියේදී විචිත‍්‍රවත්ම ක්‍රීඩිකාව ලෙසින් ඇය කිරුළු පැළඳුවේ ඔලිම්පික් රන් පදක්කම් 4ක්, රිදී පදක්කමක් සහ නව ලෝක වාර්තා දෙකක් තම ගිණුමට එක් කර ගනිමිනි. ඇය සහභාගී වූ පළමු ඒකල තරගය වූයේ මීටර් 400 නිදහස් ආර තරගයයි. ඇය විසින් එම තරගය අවසන් කරනු ලැබුවේ ඇයගේම වාර්තාව තත්පර දෙකකින් ඉක්මවා යමිනි. කාන්තා මීටර 100x4 සහය පිහිනුම් තරගයෙන් තම කණ්ඩායමට රිදී පදක්කම දිනා දීමට ඇයට හැකි විය. ඉන් නොනැවතුණු ඇය මීටර් 200 නිදහස් ආර තරගයෙන්, 200x4 සහය පිහිනුම් තරගයෙන් හා මීටර් 800 තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට සමත් වූවාය. කැතී මීටර් 800 තරගය ජය ලැබුවේ නව ලෝක වාර්තාවක් ද පිහිටුවමිනි. මෙම ජයග‍්‍රහණ සමඟින් ඔලිම්පික් තරගාවලියක ඒකල තරග ඉසව් තුනකින් රන් පදක්කම් දිනූ දෙවැනි ක්‍රීඩිකාව ලෙසින් ඇය ඉතිහාසයට එක් වූවාය.  


මේ වනවිට කැතී ඔලිම්පික්, ලෝක ශූරතා සහ පෑන් පැසිෆික් තරගවලදී රන් පදක්කම් 19ක් සහ රිදී පදක්කමක් දිනා ඇති අතර ලෝක වාර්තා 13 බිඳ දමා තිබේ. පස්වරක් ඔලිම්පික් රන් පදක්කම ද නව වරක් ලෝක ශුරතාව ද දිනූ ඇමෙරිකානු පිහිනුම් ශූරිය වන කැතී මීටර් 400, 800, 1500 නිදහස් ආර ලෝක වාර්තාවේ වර්තමාන හිමිකාරිය ද වන්නීය. මීටර් 500, 1000 සහ 1650 නිදහස් ආර තරග ඉසව්වල ලොව වේගවත්ම ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.  


2013, 2014, 2015 සහ 2016 යන වසරවල හොඳම ඇමෙරිකානු පිහිනුම් ශූරිය සම්මානය ද ‘ස්විමිං වර්ල්ඩ්’ සහ ‘වසරේ ලොව හොඳම පිහිනුම් ශූරිය’ යන සම්මාන ද දිනාගැනීමට කැතී සමත් වූවාය. 2014දී ‘ල එකියුප්’ සඟරාව මගින් ‘ජාත්‍යන්තර ශූරියන්ගෙත් ශූරිය’ යන සම්මානය ද 2016දී ඇමෙරිකානු ඔලිම්පික් කමිටුව මගින් ප‍්‍රදානය කෙරෙන ‘ඔලිම්පික් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව’ යන සම්මානය ද ඇය හිමි කරගෙන තිබේ.   


2016 පැවැති ලෝක ජල ක්‍රීඩා ශූරතාවලින් හිදී කැතී විසින් දිනාගන්නා ලද රන් පදක්කම් 7 සහ ඒකාබද්ධ පදක්කම් 11 සංඛ්‍යාව කාන්තා පිහිනුම් ක්‍රීඩිකාවක විසින් දිනාගන්නා ලද වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසින් වාර්තාගතය. ටයිම් සඟරාව මගින් නම් කරන ලද ‘වසරේ පුද්ගලයන් 100 දෙනා’ අතුරින් ළාබාලතම පුද්ගලයා වන්නේ ද කැතීය. වසර 35කට පසු හොන්ඩා ශූරතාව දිනූ නවකයා වූයේ ද ඇයයි. එෆ්.අයි.එන්.ඒ. වසරේ ක්‍රීඩිකාව සම්මානය ද තුන්වරක් ‘ගෝල්ඩන් ගොගල්’ සම්මානය ද දිනාගැනීමට ඇය සමත් වූවාය.  


2016 ඔලිම්පික් තරගාවලියේදී රන් පදක්කම් හතරක් සහ රිදී පදක්කමක් දිනාගැනීම හේතුවෙන් වසරකට ඩොලර් මිලියන 5ක පමණ වෙළෙඳ ගිවිසුම්වලට එක්වීමට අවස්ථාව හිමි වුවද කැතී දිගටම තම අධ්‍යාපන කටයුතුවල නිරත වීම සඳහා ඒ සියල්ල ප‍්‍රතික්ෂේප කළාය. 2016 වසරේ අගෝස්තු වනවිට ඇය උපයා තිබූ සමස්ත වත්කම් ඩොලර් මිලියන 3කි. වෘත්තීය ක්‍රීඩිකාවක ලෙස විශාල ධනයක් ඉපැයීමට හැකියාව තිබුණ ද තම අධ්‍යාපනයට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් කැතී ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ආධුනික ක්‍රීඩිකාවක වශයෙන් තරගාවලි සඳහා එක්වන්නට තීරණය කර තිබේ. වෘත්තීය ක්‍රීඩිකාවක වශයෙක් තරගාවලි නියෝජනය කරන්නේ නම් ඇයට පහසුවෙන් ඩොලර් මිලියන 2.2ක වාර්ෂික ආදායමක් උපයා ගත හැකිවනු ඇතැයි ක්‍රීඩා විචාරකයන්ගේ මතයයි.

  
ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාල කණ්ඩායම නියෝජනය කරන හෙයින් ඇයට මාසික වැටුපක් ලැබීමට හෝ වෙළෙඳ ගිවිසුම්වලට එළඹීමට හෝ තහංචියක් පවතී. ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවක වශයෙන් ඇයට වාර්ෂිකව හිමි වන්නේ ඩොලර් 70,000කට වඩා අඩු මුදලකි. එය ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා ප‍්‍රමාණවත්ය. වෘත්තීය පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් වෙළෙඳ ගිවිසුම්වලින් පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන 10කට වැඩි මුදලක් උපයයි.  


අඩි 6ක් උසැති කිලෝ 70ක බරකින් යුතු තවමත් 20 හැවිරිදි මේ පිහිනුම් ශූරිය හුදෙකලාව සිටීමට ප්‍රිය කරන ලැජ්ජාශීලී යුවතියකි. තවමත් ඇයට පෙම්වතකු නොමැති බැව් පැවසේ. 2020 ටොකියෝ හිදී පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා කැතී සුදානම් වෙමින් සිටින්නීය. එහිදී තවත් රන් පදක්කම් කිහිපයක් දිනාගැනීම ඇයගේ එකම අරමුණය. “තරගයකදී මගේ සියලු ශක්තිය ඒ සඳහා කැප කරනවා. මා දන්නෙ නැහැ මා පළමුවෙනියා වෙනව ද දෙවැනියා වෙනව ද තුන්වැනියා වෙනව ද කියලා. මා දන්නේ බිත්තිය මත මගේ අත තැබූ පසු තරගය අවසන් වන බව පමණයි. ජයග‍්‍රහණය ලද බව දැනුනම විශාල සතුටක් දැනෙනවා.” යනුවෙන් කැතී සඳහන් කරයි.  


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා