පිලිපීනයේ ගුහාවක අවුරුදු හැටදාහක් පැරණි මිනිහෙක්


විද්‍යා ගවේෂණ

 

 

වරින් වර සිදුකෙරෙන පුරාවිද්‍යාත්මක සොයාගැනීම් විටෙක අප පුදුමයට පත්කරන්නේ නොදන්නා ඉතිහාසයක් හැටි හැටියේ අනාවරණය කරමිනි. පසුගිය අප්‍රේල් 10 වැනිදා එවැනි තවත් සිදුවීමක් සමස්ත ලෝකයේ ම අවධානයට ලක් විය.   


ඒ වර්තමාන මිනිසා වූ නූතන මානවයා මෙන්ම වූ තවත් මිනිස් වර්ගයක් මේ ලෝකයේ වාසය කර ඇති බවට පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සාධක ඇතිව තහවුරු කිරීමයි. පිලිපීනයේ ල්‍යුසෝන් දූපතේ ගුහාවකින් 2007 වර්ෂයේ හමුවූ කුඩා අස්ථි කැබලි කිහිපයක් ඔස්සේ පර්යේෂණ කළ පුරාවිද්‍යාඥයෝ මේ අපූර්ව හෙළිදරව් කිරීම කර තිබිණි. 
මේ අනුව මානව පවුලේ ඉතිහාසය අලුතින් ලිවීමට සිදුවෙයි. පුරාවිද්‍යාඥයන්ට අනුව අලුතෙන් සොයාගත් මානවයා නූතන මානවයන්ගේ සහ ආදි මානවයන්ගේ ලක්ෂණවල සංකලනයකි. 


පුරාවිද්‍යාඥ ආමන්ඩ් සැල්වදෝර් මිජාරස් විසින් 2007 වර්ෂයේ දී පිලිපීනයේ ල්‍යුසෝන් දූපතේ කල්ලාඕ ගුහාවෙන් මානව අස්ථි කොටස් කිහිපයක් සොයාගන්නා ලදී. පර්යේෂණ මගින් තහවුරු වූයේ එම අස්ථි අදින් වසර 67,000කට පමණ පෙර ජීවත් වූ මානවයකුගේ බවයි. මේ මානවයා නොගැඹුරු මුහුද ඔස්සේ මේ දිවයිනට පැමිණ ජීවත්වන්නට ඇතැයි ද අනුමාන කර ඒවා කෞතුකාගාරයක තැන්පත් කර තබන ලදී. 


නමුත් මේ අස්ථි කිහිපය සියුම්ව පරීක්ෂා කළ විට ඒ මානවයා හෝමෝ සේපියන්ස් හෙවත් නූතන මානවයකු නොවිය හැකි යැයි යන්න පිළිබඳ සැකයක් ද හටගෙන තිබිණි. පිලිපීන විශ්වවිද්‍යාලයේ ආචාර්ය මිජාරස් සහ ඔහුගේ කණ්ඩායම මේ ගුහාවේ තවදුරටත් කරන ලද කැණීමකින් මානව දත් සහ තවත් අස්ථි කොටස් රැසක් සොයා ගැනීමට සමත් විය. 
මේ ගැන අධ්‍යයනය කළ පර්යේෂකයන්ට පෙනී ගියේ එම අස්ථි කොටස් සහ ආමන්ඩ් විසින් මුලින් සොයාගත් අස්ථි කොටස් එකම මානව විශේෂයක කිහිප දෙනකුට අයිති බවයි. අතක ඇඟිලි පුරුක් අස්ථියක්, පාද අස්ථි මෙන්ම කලවා අස්ථියක් සහ දත් ඇතුළු අස්ථි කොටස් 13ක් දැන් හමුවී තිබේ. මේවා වැඩිහිටි මානවයන් තිදෙනකු සහ කුඩා දරුවකුට අයිති බව තහවුරු කර ගැණිනි. 


ඒ මානවයන් හෝමෝ සේපියන්ස් හෝ මෙතෙක් සොයාගත් මානවයකු නොවිය හැකි බව අධ්‍යයනය කළ විද්‍යාඥයෝ කියති. නමුත් අස්ථි කොටස් හෝමෝ සේපියන්ස්ගේ ලක්ෂණවලට බොහෝ සෙයින් සමානතා පෙන්වීම ද විශේෂ කරුණකි. ඇතැම් ලක්ෂණ ඕස්ට්‍රලෝපිතකස්ට සමානය. ඒ අනුව මේ හමුවී ඇත්තේ හොමෝ පරපුරේ මෙතෙක් සොයා නොගත් නව විශේෂයක් විය හැකි බව ද ඔවුන්ගේ අදහස වී තිබිණි. 


ඔවුන්ගේ ඇඟිලි සහ පාද අස්ථි යම් පමණකින් වක්‍ර ස්වභාවයකින් යුක්ත බැවින් ඔවුන්ගේ ඇවිදීම අදින් වසර මිලියන හතරකට පමණ පෙර අප්‍රිකාවේ වාසය කළ මුල් කාලීන මානව විශේෂවලට හෝ වානර ලක්ෂණවලට සමාන විය යුතුය. මේ වක්‍රතාව ගස් හා කඳු නැගීමට වැදගත් වන බව ද මානව විද්‍යාඥයෝ කියති. එබැවින් වැඩි කාලයක් ඔවුන් තුරු මත ගත කරන්නට ඇතැයි ද විශ්වාසයක් පවතී. 


මේ සියලු කාරණා සැලකිල්ලට ගත් අධ්‍යයන කණ්ඩායම අස්ථි කොටස්වල හිමිකරුවන් හෝමෝ ල්‍යුසොනෙන්සිස් Homo luzonensis නමින් නව මානව විශේෂයක් ලෙස නම් කර ඇත. මේ නවතම සොයා ගැනීම පර්යේෂකයෝ අප්‍රේල් 10 වැනි දා ලෝකයට ප්‍රසිද්ධ කළෝය. ඒ සමග ලෝක මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් පෙරැළිණි. 


“එය පුදුම සහගත ප්‍රවෘත්තියක්. මේ මිනිසාගේ පරිණාමීය ගසට හැමදාමත් නව මානව විශේෂ සොයාගන්න හෝ නම් කරන්න ලැබෙන්නේ නැහැ.”යනුවෙන් මේ ගැන පර්යේෂණ කළ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ මැක්ස් ප්ලාන්ක් අධ්‍යයන ආයතනයේ ප්‍රාග් ඓතිහාසික මානව පරිනාමය පිළිබඳ මහාචාර්ය මයිකල් පෙට්‍රග්ලියා පැවසීය. 


“මේ වැඩේ ඉතාමත් අසීරු, ඉතා ශක්තිසම්පන්න දෙයක්. අපේ ජාන තුළට නව විශේෂයක් ඇතුළු වෙනවා කියන්නේ පුදුම සහගත දෙයක්” යැයි ද ඔහු පවසයි. 
මෙම පර්යේෂණය සිදුකරන ලද්දේ ඕස්ට්‍රේලියානු සහ ප්‍රංශ කණ්ඩායමක් විසිනි. වසර 50,000කට වඩා පැරණි මේ අස්ථිවලින් ඩීඑන්ඒ ලබා ගැනීමට නොහැකි වූ බැවින් සීටී ස්කෑන්, ක්ෂුද්‍ර මිනුම්ගත කිරීම් සහ ත්‍රිමාණ ස්වරූප පරීක්ෂා කිරීම් ඇතුළු සියුම් පර්යේෂණවලට ඒවා භාජනය කර ඇත. 


ඒවා සියුම්ව පරීක්ෂා කර අදින් වසර මිලියන 1.5 ක් හෙවත් වසර ලක්ෂ 15කට පෙර කාලය දක්වා මිහිතලය මත විසුවේ යැයි සැලකෙන මානව පූර්වජයන්ගේ සියලු කොටස් සමග සංසන්දනය කරන ලදී. නමුත් වසර 50,000කට පමණ පෙර පිලිපීනයේ විසූ මේ මානව විශේෂය මිනිසාගේ අතීත පූර්වජයන් කිසිවෙකුට සමාන වූයේ නැත. මේ මානවයා ඔවුන්ගෙන් වෙන් වූ වෙනස්ම මානව විශේෂයක් බව තවදුරටත් තහවුරු වන්නට විය. 


පර්යේෂණ කණ්ඩායම පවසන්නේ අප්‍රිකාවෙන් බිහිවී ලෝකය පුරා ව්‍යාප්ත වූ බව සැලකෙන මානවයන් අතරින් පිලිපීන දූපත්වලට මුහුද ඔස්සේ සංක්‍රමණය වූ මානව විශේෂයක් එහි තමන්ට ආවේණික ලක්ෂණ දරමින් වසර දහස් ගණනක් පරිණාමය වී එම ප්‍රදේශයට පමණක් ආවේණික විශේෂයක් ලෙස ජීවත්වන්නට ඇති බවයි. නමුත් ඔවුන් මුහුද තරණය කළේ කෙසේ ද යන්න ගැටලුවකි. පසුව ඔවුන් වඳවී යන්නට ඇති බවත් මේ හමුවී තිබෙන්නේ ඔවුන්ගේ කොටස් බවත් විද්‍යාඥයෝ කියති. 


හෝමෝ ල්‍යුසොනෙන්සිස් විශේෂයට අමතරව ඩෙනිසෝවන් නමැති මානව විශේෂයක්ද අග්නිදිග ආසියාවේ සිටි බවට සාධක හමුවී ඇත. ඔවුන් පසුකාලීනව හෝමෝ සේපියන්ස් සමග මිශ්‍ර වූ බව විද්‍යාඥයන් විශ්වාස කරයි. එය ඩීඑන්ඒ පරීක්ෂා කිරීමෙන් ලැබුණු සාක්ෂිවලින් තහවුරු වී ඇත. ඉන්දුනීසියාවට අයත් ෆ්ලොරෙස් දූපතෙන් හෝමෝ ෆ්ලොරෙසියන්සිස් නමැති මානව විශේෂයක කොටස් හමුවී ඇති අතර ඔවුන් ප්‍රමාණයෙන් කුඩා විශේෂයක් බැවින් හොබිට් ලෙසද නම් කර තිබේ. අදින් වසර 50,000ත් 100,000ත් අතර කාලයේ ජීවත් වී ඇති බවට විශ්වාස කරන හොබිට් නූතන මානවයා විසින් විනාශ කර දමන්නට ඇතැයි මතයක් පවතී. 


ල්‍යුසෝන් දූපතේ කල්ලාඕ ගුහාවෙන් කාලයක සිට ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ හමුවෙමින් තිබුණේ වසර ගණනාවක සිටය. 2018 දී කළ පර්යේෂණයකින් මෙම ගුහාවේ සිට කිලෝමීටර 20ක් පමණ දුරැති ස්ථානයකින් ද ගල් ආයුධ සහ රයිනෝ අස්ථිවලින් සාදන ලද ආයුධ හමුවී තිබිණි. අවම වශයෙන් මේ ගුහාවේ ඇති සාධක වසර 709,000ක් පමණ පැරණි යැයි තක්සේරු කර ඇත. 

 

 


කෙසේ වෙතත් අලුතෙන්ම සොයාගත් හෝමෝ ල්‍යුසොනෙන්සිස් මානවයා පැරණිම මානයාගෙන් පැවත එන්නෙක් ද නැතිනම් වෙනත් ආකාරයකින් පරිණාමය වූ මානව විශේෂයක් ද යන්න තවමත් තහවුරු කරගෙන නැත. මේ මානවයා ගැන නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමටනම් එම විශේෂයේ අද්විතීය ගති ලක්ෂණ ගැන තවදුරටත් සියුම් ලෙස අධ්‍යයනය කළ යුතුව තිබේ. 


කෙසේ වෙතත් මෙය පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ විස්මිත සොයාගැනීමකි. පිලිපීනයෙන් හමුවූ මෙම මානවයා නව විශේෂයක් ලෙස නම් කිරීමට දැනට ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරන පිරිසක් ද සිටිති. 


මෙම පරීක්ෂණයට සහභාගී නොවූ ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ මානව සම්භවය පිළිබඳ මහාචාර්ය බර්නාඩ් වුඩ් පවසන්නේ “මෙය ඉතා සිත්ගන්නාසුළු දෙයක්. සත්‍යවශයෙන්ම මේ නව විශේෂයක් පිළිබඳ තිබෙන අවසාන සාක්ෂිය විය හැකියි” යනුවෙනි. 


ඔහු පවසන්නේ දත්වල සුවිශේෂී ලක්ෂණ පිළිබඳ ඇතැම්විට වෙනත් පැහැදිලි කිරීමක් තිබිය හැකි බවයි. එමෙන්ම මහාචාර්ය වුඩ් පවසන්නේ මේ සොයාගත්තේ හුදකලා මානවයෙක් නොව පිලිපීන් දූපත්වල ජීවත් වූ කිහිප දෙනකු වුවත් ඔවුන් සමග තවත් ජනගහනයක් සිටින්නට ඇති බැවින් ඒ අයගේ ඉතිරි කොටස්ද සොයා ගැනීමට උනන්දු විය යුතු බවයි. 


මින් පෙර මානව පරිණාමය පිළිබඳ තිබුණේ ඉතා සරල පැහැදිලි කිරීමකි. අතීතයේ අප්‍රිකාවේ සිට සංක්‍රමණය වූ හොමෝ ඉරක්ටස් හෝමෝ සේපියන්ස් දක්වා පරිණාමය වී නූතන මානවයා බිහි වී සිටියි. නමුත් මේ සොයා ගැනීමෙන් ඒ මතය තවදුරටත් අභියෝගයට ලක් වේ. 


අප්‍රිකාවෙන් මානවයන් අග්නිදිග ආසියානු කලාපයට සංක්‍රමණය වන විට එම කලාපයේ වෙනස් වූ මානව විශේෂ තුනක් හෝ ඊට වැඩි ගණනක් වාසය කරන්නට ඇතැයි දැන් තහවුරු වෙමින් තිබේ.

 
දූපත් සහිත මෙවැනි ස්ථානයක වෙනස්ම වූ මානවයකු ඇතිවූයේ කෙසේ ද? ඔවුන් ගොඩබිම් අතර මුහුද තරණය කරමින් යාත්‍රා කළේ කෙසේද? නැතිනම් සුනාමි වැනි අවස්ථාවක දී මුහුදු ආසන්නයේ සිට දූපත්වලට ගසාගෙන විත් දිවි ගලවාගෙන එහි වසර දහස් ගණනක් සිය වර්ගයා බෝ කරමින් වෙනස්ම ආකාරයෙන් පරිනාමය වූවාද? මේ සියලු ගැටලු විසඳීමට නම් තවදුරටත් පරීක්ෂණ රැසක් කිරීමට සිදුවනු ඇත. 


සිදුව ඇත්තේ අප්‍රිකාවේ සිදුවූවා යැයි කියන මානව උත්පත්තියට දැන් ආසියාවෙන් එයටම ආවේණික වූ පැරණි මානවයන් විසින් අභියෝග කිරීමයි. ඒ අභියෝගය භාර ගෙන විසඳීමට සිදුව ඇත්තේ නූතන මානවයා වූ හෝමෝ සේපියන්ස්  නම් අපටය.

 


සජීව විජේවීර