පිරිත් හඬට-බෙර හඬට බෙරිහන් දෙන ‘මලයක්ෂණී’


 

බැද්ද පුරා මහා ඝණ අඳුර මේ මහ රෑ යාමේ හොල්මන් කරන්නට විය. අහස කළුවරවී යක්ෂ යක්ෂණියෝ ගොදුරු සොයන්නට දෑස් දල්වාගෙන අහසේ ද පොළවේ ද ගස් මත ද නැගී විපරම් කරන්නට වූහ. මේ මහා කළුවරේ ඈත ගමක ඈතම නිවසක කළුවර කෑළි කපන්නට තරම් වූ නිසසල පරිසරයක පහනක් දැල්වේ.
  
යක්ෂ යක්ෂණියෝ අහසින්, පොළවෙන්, සුළඟ දිගේ වහ වහාම ආලෝකය සොයා ආහ. නිවස ඉදිරිපිට පහන් පැලේ දැල්වෙන පහන සුන්දරය. මල් පහන් සුවඳ දුමින් ගැවසී ගත් ඒ නිවස පරිසරය, නිවස ඉදිරිපිට පහන් පැල අසළ මහ කළුවරේ ඈත සිටි යක්ෂ යක්ෂණියෝ සමගින් පරිවාර ප්‍රේත, කුම්භාණ්ඩ, පිසාචක බළකාය අඳුරේ සිට පහන් පැලට නෙත් යොමුකර සිටියෝය. දිනපතා සෑම දිනකම, සුපුරුදු පරිදි මහ රෑ මේ ආකාරයට මේ යක්ෂ යක්ෂණියෝ දෑස් දල්වාගෙන පහන් පැල අසල සිටියෝය.   


එහෙත් සිදුවූයේ කුමක්ද? එක් රැයක සුපුරුදු පරිදි ගමගෙදර ගමේ පහන් පැල සොයා යක්ෂයෝ පැමිණියහ. පහන් ආලෝකය එදින නැත. යක්ෂයෝ කලබල වූහ. ඔවුන් අවි අමෝරාගෙන ආලෝකය, පහන, පහන් පැල අසලට පැන වැරදිකරුවන් සොයා ඉගිල්ලෙන්ට වූහ. සිදු​ෙවන්නේ කුමක්දැයි කිසිවෙකු දැන සිටියේ නැත. යක්ෂ යක්ෂණියෝ භූත ප්‍රේත කුම්භාණ්ඩයෝ දත් විලිස්සාගෙන ගොදුර සොයා ගමන් ගත්හ. මේ නර බිල්ලට හිමිකම් දැක්වූයේ ඒ නිවසේ විසූ මැණිකේය. මැණිකේ බිල්ලට ගන්නට යක්ෂ යක්ෂණියෝ ළං වූහ.  


මේ ලෝකයේ සෑම රටකම වාගේ එම සංස්කෘතීන්ට අනුකූල වූ අමනුස්සයින්, යක්ෂයින් සිටින බවට නොයෙක් මතිමතාන්තර පවතී. නොයෙක් ආගම්වල ඉගැන්වෙන ක්‍රම අනුව ඔවුනොවුන් ඒවායින් සහනය උදා කර ගනී. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ ද විවිධ යක්ෂයින්, යක්ෂණියන් ගැන බොහෝ විශ්වාස පවතී. මහසෝන් යකා, රීරි යකා, කළුකුමාර යකා, මෝහිනී යක්ෂණිය, කාලි යක්ෂණිය ආදීන් ගැන ප්‍රධාන ලෙස කියැවෙන අතර, ආදිවාසීන් අතරේ ද නෑ යකුන් (තම වර්ගයා මියයෑමෙන් පසු ඒ තත්ත්වයට පත්වේ) සිටී. ඇතැම් ජනයා මෙම යක්ෂයින් සහ යක්ෂණියන් මිනිසුන් විසින් මවාගත් දෙයක් යනුවෙන් ද ඇතැම් ජනයා මෙවැනි යක්ෂයින් සත්‍ය වශයෙන්ම සිටිනවා යනුවෙන් ද විවිධ මතිමතාන්තරවල එල්බ සිටී.   


මැණිකේගේ වයස අවුරුදු හතළිස් දෙකකි. ඇය මේ වනවිට තිදරු මවකි. ඇගේ සැමියා මිල මුදල් ඉපයීමට හෝ දියුණු වීමට වෙහෙස නොවන කම්මැලි චරිතයකි. නමුත් මැණිකේ සෑමවිටම පවුලේ ආර්ථිකය ගොඩනගන්නටත් ශක්තිමත් කරන්නටත් නොකළ දෙයක් නොමැති තරම්ය. හිමිදිරි උදෑසන අවදි ​ෙවන ඇය ආප්ප, ඉඳිආප්ප වැනි දේ සාදා අසල තිබෙන කඩයට ගොස් ඒවා විකුණා එයින් යම් මුදලක් උපයා ගනී. නිවස අසල බෝඩිමේ නවාතැන් ගෙන සිටින නවාතැන්කරුවන්ට සවස් වනවිට කෑම පාර්සල් අටක් දහයක් පමණ විකුණා එයින් ද යම් මුදලක් උපයා ගනී. මැණිකේගේ සැමියා හරිහැටි රක්‍ෂාවක් නොකළ අතර, ඉඳහිට දවසක් දෙකක් කුමක් හෝ කර ගෙනෙන මුදලින් ගෙදර වියදමට දෙන්නේ ද තමාගේ වියදමට තබාගෙන ඉතිරි සුළු සොච්චමක් පමණි. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඒවයේ වියහියදම් පිළිබඳව ඔහුට ගානක්වත් නැත. ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසාත් බොහෝ ප්‍රශ්නවලින් මිරිකී සිටි මැණිකේ මහත් මානසික පීඩාවකට ලක්ව සිටියාය. ඇයගේ සිතට කිසිදු සතුටක් නැත. සෑම වේලාවකම ඇය සිටියේ දුකෙන් හා කලකිරීමෙන්ය.   
සියලු දුක් කරදරවලින් මිදීම සඳහා එයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේදී නිවසේ මිදුලේ පහනක් පත්තු කර තමනට පැවති දෝෂ නිමා කරගත හැකි බවට අසල්වාසියෙකුගෙන් උපදෙස් ලැබිණි. එලෙස හෝ සහනයක් ලැබෙනු ඇතැයි සිතා මිදුලේ කොනක පහන් පැලක් සාදා පහනක් පත්තු කිරීමට මැණිකේ පුරුදු විය. ඇය මෙලෙස සති කිහිපයක් කරගෙන ගියාය. ඒ අතර එක් දිනෙක අසල්වැසි නිවසක පිරිත් පිංකමක් සිදුකෙරිණි. දරුවන් සමඟ ඇය ද එම නිවස වෙත යෑමේ බලාපොරොත්තුවෙන් පසුවූවාය. මොවුන් ඒ සඳහා සූදානම් වෙන අතරතුර අසල්වැසි නිවසේ පිරිත් ආරම්භ වුණි.   


මොවුනට ද එම පිරිත් හොඳින් ඇසේ. “අන්න පිරිත් පටන් අරගෙන” කියමින් දරුවන් තිදෙනා ද ලහි ලහියේ ලෑස්ති විය. ඒ සමඟම මැණිකේ දෑතින්ම හිස බදාගෙන මහා හයියෙන් විලාප දෙන්නට වූවාය. ඇයගේ සැමියාත් දරුවනුත් ඇය වෙත දිව ආවෝය. කෑ ගසන මැණිකේව අල්ලා ගත් සැමියා ඇයව ආසන්නයේ තිබූ ඇඳෙන් වාඩි කරවීය. ඇය ඇඳේ ඒ මේ අත පෙරළෙමින් හූ තියන්නට වූවාය. එය ඇසුණු පිරිත් ගෙදර ආසන්නයේ සිටි කිහිපදෙනෙකු මොවුන්ගේ නිවස දෙසට දිව ආවෝය. මැණිකේ කන් දෙක වසාගෙන “මට ඉන්න බෑ. මොකක්ද වෙනවා. මට යන්න දීපියව්” කියමින් කෑ මොර දෙමින් ඒ මේ අත දඟලයි. එහි පැමිණ සිටි අයත් මැණිකේගේ දරුවනුත් සැමියාත් එක්වී ඇයගේ මෙම ක්‍රියාකලාපය නතර කරන්නට වෙර දැරුව ද එය සාර්ථක නොවුණි.   


“මැණිකේගේ ශරීරයේ අමනුස්සයෙක් ඉන්නවා. පිරිතට ඇවිස්සුණේ ඒකයි.” එය එහි සිටි එක්තරා කාන්තාවකගේ මතය විය. මැණිකේව ටිකක් ඈත ගෙදරකට ගෙන යන්නට යෝජනා කර ඔවුන් ඇයව පිරිත් නෑසෙන මානයේ වූ නිවසක් වෙත ගෙන ගියෝය. එම නිවස මැණිකේගේ සැමියාගේ සහෝදරයෙකුගේ නිවසකි. පිරිත් නොඇසෙන මානයට යාමත් සමඟම මැණිකේගේ එම ක්‍රියාකලාපය නතර විය. “මට මොකක්ද වුණේ. මං කොහොමද මෙහෙට ආවේ” යනුවෙන් අන්දමන්ද වී වටපිට බලන්නට වූ මැණිකේ ඇසුවාය. “ඇයි මාව මෙහාට ගෙනාවේ. අපි පිරිත් ගෙදර යන්නැද්ද. කොහොමද මං මෙහාට ආවේ” යනුවෙන් මැණිකේ සැමියාගෙන් විමසන්නට වූවාය. “නෑ නෑ ඔහේ පොඩ්ඩක් ඔහොම ඉන්නකො. පිරිත් ගෙදර යන්න ඕනෑ නෑ” යැයි සැමියා පවසමින් වටපිටාවේ රැස්වූවන් සමඟ ද සිදු වූ සිදුවීම විස්තර කරන්නට විය.   


මැණිකේගේ මෙම තත්ත්වය නිසාම සැමියා ද දරුවන් ද පිරිත් ගෙදර නොගොස් ඇය සමඟම සහෝදරයාගේ නිවසේ එදින රාත්‍රිය ගත කළහ. පසුදා පිරිත් නිම වූ පසුව ඔවුන් තමන්ගේ නිවස බලා පැමිණියෝය. නමුත් පෙරදින රාත්‍රියේ ඇතිවූ මැණිකේගේ තත්ත්වය යළිත් ඇතිවේදෝයි යන බියෙන් සැමියා තුළත් ඥාතීන් තුළත් සැක ඉස්මතු වන්නට විය. සියල්ලෝම “බලමුකෝ ආයිත් හැදුනොත් කුමක් හෝ කරමු” යන අදහසින් පසුවූහ. නමුත් ගැටලුවක් ඇති නොවීය. දින කිහිපයක් යනවිට ඇය සාමාන්‍ය ජීවිතයට යළිත් හුරුවූවාය. නමුත් ප්‍රශ්නවලින් නම් ඇයට අඩුවක් නැති වූ තරම්ය.  


මැණිකේගේ පොඩි දුව “අම්මේ, එදා අම්මට මොකක්ද වුණේ අම්මේ” යනුවෙන් සිදුවීම පිළිබඳව වරින් වර විමසන්නට වූවාය. නමුත් එම වේලාවට කුමක් හෝ දෙයක් පවසා මැණිකේ දියණියගේ සිත පැහැදුවාය.   
එදින පොහෝ දිනයකි. කිහිප දිනකින් පන්සලට යාමටවත් නොහැකි වූ නිසා එදින පන්සලට යාමට ඔවුහු සූදානම් වූහ. මොවුන්ගේ නිවසේ සිට පන්සලට තිබුණේ කිලෝමීටර එකහමාරක දෙකක පමණ දුරකි. දරුවන් තිදෙනා ද සමඟ ඇය පන්සලට පැමිණියාය. ඇයගේ සැමියා පන්සල් යාමටවත් එතරම් උනන්දුවක් නොදක්වන අයෙකි. මොවුන් මල් පහන් පූජා කර බුදුන් වැඳ ඉන්පසු ගියේ පන්සලේ තිබුණු දේවාලය වෙතය. දේවාලය වෙත ගොස් මල් පහන් පූජා කර දෙවියන්ට පිං දෙන්නට විය. ඒ සමඟම පෙරදින සිදුවූ අසනීපය මෙන් මැණිකේ මෙදින ද බිම පෙරළී කෑ ගසන්නට වූවාය. ඇයගේ දරුවන් ද කලබල වී කෑ ගැසූහ. එදින පොහෝ දිනයක් බැවින් පන්සලේ විශාල පිරිසක් රැස්වී සිටි අතර, ඔවුන් පැමිණ ඇය ඔසවා පසෙකින් වාඩි කරවීය. මුහුණට වතුර ඉස මුහුණට තට්ටු කිරීමත් සමඟ ඇයගේ එම තත්ත්වය ඉවත් විය. පැමිණ සිටි පිරිස පන්සලේ හාමුදුරුවන් ද සමඟ එක්වී තවත් කාන්තාවක් ද සමඟ වාහනයක් ගෙන්වා ඇයත් දරුවනුත් නිවස කරා පිටත් කර යැවීය. එදින ද එම තත්ත්වය පහව ගියේය.   


නමුත් ගතවූයේ දින කිහිපයකි. තත්ත්වය එන්න එන්නම වැඩිවන්නට වූවේය. ආසන්න නිවසක දානයක් තිබූ අතර, හාමුදුරුවන් වැඩම වීම සඳහා හේවිසි වාදනය කළේය. මෙය ඇසීමත් සමඟ මැණිකේ යක්ෂාවේශයෙන් ඉහත අවස්ථාවලදී මෙන් කෑ ගසන්නට වූවාය. සැමියාත් ඥාතීනුත් එක්වී ඇයව එය නෑසෙන මානයකට ගෙන ගිය විට ඇය යථා තත්ත්වයට පත්වුණි. “දැන්නම් ඉතින් බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි ඇදුරකු ගෙන්වමු” යැයි කී මැණිකේගේ ඥාතීන් හා අසල්වැසියන් දේවාලයක් කරගෙන යන මෑණි කෙනෙකු ගෙනවිත් මැණිකේගේ තත්ත්වය සුව කර දෙන මෙන් ඉල්ලා සිටියහ. එම මෑණියෝ දේව වරමින් සාස්තර කියනු ලබන අයෙකි. ඇය ආරූඪය ලබාගෙන මැණිකේගේ භූතදෝෂය විස්තර කරන්නට වුණි.   


“මේ තැනැත්තියට යක්ෂණියකගේ බලපෑමක් තියෙනවා. ඇඟේ ඉන්න යක්ෂණිය පිරිත්වලට බයයි. බෙර ශබ්දවලට බයයි. ඒක නිසා තමයි පිරිත් ඇහෙනකොට, බෙර ශබ්ද ඇහෙනකොට ඇයට ඉන්න බැරි. මේ සඳහා යාගයක් කළ යුතුයි” යැයි පවසා ඒ සඳහා දින තීරණය කරගැනුණි.   


යාගයේ දිනය උදාවිය. යාගය බැලීමට පැමිණි පිරිස ඉදිරියේ ආරූඪයෙන්ම යාගය සිදුකෙරිණි. ඒ අතර, මධ්‍යම රාත්‍රියේ මැණිකේගේ ඇඟේ සිටින යක්ෂණිය ආවේශ කෙරිණි. යක්ෂණිය ගෙන්වා මැණිකේගේ ශරීරය හරහාම කථා කරවන්නට විය. ඔළුව කරකවමින්, ඇස් දෙක ලොකු කරගෙන, දිව ඇදගෙන, රෞද්‍ර ලෙසින් මැණිකේ වටපිට බැලීය. වරෙක හූ තබයි. වරෙක අමාරුවෙන් මෙන් මොනවා හෝ කියවයි. මෙලෙස යක්ෂණිය සමඟ යම් යම් දේ කථා කරමින් “ඔබ දැන් යා යුතුයි” යැයි පවසා මෑණියන් විසින් කහ දියර ඉස යක්ෂණියට මැණිකේගේ ශරීරයෙන් ඉවත්ව යාමට අණ කෙරිණි. කහ දියර ඉසීමත් සමඟ මහා හයියෙන් බෙරිහන් දෙමින් හූ තුනක් කියමින් මැණිකේ බිම ඇද වැටුණි. එළිවෙනතුරු යාගය කර මෑණියන් සමඟ පිරිස පොරොන්දු වූ මුදල් ද රැගෙන ඉවත්ව ගියෝය. යක්ෂණිය ඉවත්වී මොවුනට නිරෝගී කලක් උදාවිය.   


මෙලෙස ද ගතවූයේ සති කිහිපයකි. ගුවන් විදුලියේ වැඩසටහනක් අසා සිටි මැණිකේගේ පුතාට ගුවන් විදුලිය ක්‍රියාවිරහිත කිරීමට මත්තෙන් නින්ද ගියේය. වැඩසටහන් නිමා වී එම ගුවන්විදුලි නාලිකාවේ පිරිත් සජ්ඣායනාව ආරම්භ විය. වේලාව රාත්‍රී දහයහමාරට එකොළහට පමණ ඇත. මහා හයියෙන් යටි ගිරියෙන් කෑ ගසන හඬක් ඇසුණේ නිදා සිටි සියලු දෙනාම බයෙන් ගැස්සෙමින්ය. මැණිකේ ගුවන් විදුලියේ පිරිත් ඇසී පෙර පරිදි දඟලයි. ඇයගේ පුතා වහාම ගොස් ගුවන් විදුලිය ක්‍රියාවිරහිත කළේය. ඉන් ටික වේලාවකට පසු මැණිකේගේ දැඟලීම අඩුවී යථා තත්ත්වයට පත්විය. මෙලෙස කිහිප වරක්ම පිරිත් ඇසෙන විට, බෙර ශබ්ද ඇසෙන විට, ඝණ්ඨාර ශබ්ද ඇසෙන විට, ආගමික සිද්ධස්ථානවලට යනවිට, ශාන්තිකර්ම තිබෙන විට, හාමුදුරුවන් දකින විට ආදී බොහෝ තැන්වලදී මැණිකේට එම රෝගී තත්ත්වය ඇති විය. වරින්වර නොයෙකුත් ඇදුරන් හා කපුවන් ගෙන්වා නොයෙකුත් ප්‍රතිකර්ම සිදුකළ ද ඒවා පවතින්නේ සති කිහිපයක් පමණි. මෙම තත්ත්වය නිසා ගේ දොර විකුණන තරම් ඔවුන් අන්ත අසරණ තත්ත්වයකට පත්විය.   


මේ අතර, ගමේ එක්තරා පුද්ගලයෙකු මාර්ගයෙන් මැණිකේව මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. නමුත් ඔවුන් ඒ පිළිබඳව එතරම් විශ්වාසයක් නොවීය. “මනෝ වෛද්‍යවරුන්ට පුළුවන් ද යක්කු යවන්න” යැයි ඇතැමුන් අවඥාවෙන්ම ප්‍රශ්න කෙරුණි. නමුත් වෙන කරන්නට දෙයක් නොමැති නිසාවෙන්ම “ඒකත් කර බලමු” යැයි සිතූ මොවුන් මැණිකේව විදුල අධි මනෝවිද්‍යා සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කරවීය.   


මැණිකේගේ තත්ත්වය හා ගැටලුව පිළිබඳව විමසා බැලූ විද්‍යාකුලපති මහතා ඇයගේ සිරුරේ සිටින යක්ෂණිය ඉවත් කිරීමේ වගකීම භාරගැණිනි. විද්‍යාකුලපති මහතා විසින් අන් අය ඉදිරියේම මැණිකේගේ ශරීරයට එම යක්ෂණියට පැමිණෙන ලෙස අණ කෙරිණි. එම විධානයත් සමඟ පෙර පරිදිම ඇය යක්ෂාවේශයෙන් හැසිරෙන්නට වූවාය.   


“කවුද තමන්. ඇයි මේ ශරීරයට ආවේ” යනුවෙන් විද්‍යාකුලපති මහතා කිහිපවරක්ම ඇසුවේය. ඉන්පසු අපහසුවෙන් මෙන් රෞද්‍ර ලෙසින් “මම යක්ෂණියක්. මම ආවෙ මේකි ගෙනියන්න” කියමින් හූ තබා සිනාසෙන්නට වූවාය.   


“උඹට පුළුවන් දෙයක් කරපන්. උඹට බෑ මාව යවන්න” යනුවෙන් නැවතත් හූ තබා සිනාසෙන්නට වූවාය. 

 
“නෑ මට පුළුවන් ඔබව යවන්න. ඊට කලින් කියන්න ඇයි තමන් මේ ශරීරයට ආවේ” විද්‍යාකුලපති මහතා ඇසීය.   


“මේකි මට දවස් ගානක් රෑට පහනක් තිබ්බා. මේකි එක දවසක් ඒක අමතක කළා. එවෙලේ තමයි මම හිතාගත්තේ ඕකිට පාඩමක් උගන්වන්න ඕනෑ කියලා” මැණිකේගේ පිළිතුර විය.   


“ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබට ඇති බලයක් නෑ. මැණිකේගේ හිත විසින්ම මවා පෙන්වීමක් විතරයි යක්ෂණියකගේ වේශය. පුළුවන් නම් ඔබගේ බලය පාවිච්චි කරලා මට දෙයක් කරලා පෙන්නන්න. නැත්තම් එච්චර ලොකු දේවල් වැඩක් නැහැ. ඔබ ඉස්සරහා තිබෙන මේ පොතේ පිටු අත නොතියා යක්ෂණියගේ බලෙන් පෙරළා පෙන්නන්න” විද්‍යාකුලපති මහතා අභියෝග කළේය. නමුත් ඇයට කිසිවක් කරගැනීමට නොහැකි විය.   
“ඕක තමයි මම කිව්වේ ඔබට ඇති බලයක් නැහැ කියලා. ඔබ යක්ෂණියක් නෙමෙයි. ඔබේ යටි හිතේ ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඔබ යක්ෂණියක් ලෙස හැසිරෙනවා. දැන් ඔබගේ එම තත්ත්වය මා ඉවත් කරනවා” යැයි පවසමින් මෝහන නිද්‍රාවේදීම එම තත්ත්වය පහදා දී එම මානසික තත්ත්වය විද්‍යාකුලපති මහතා විසින් ඉවත් කළේය. සිදුවීම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පැහැදිලි කර දුනි.   


“මැයගේ තත්ත්වය දෙස බලන විට ඇය පුදුමාකාර ලෙස මානසික පීඩාවකට ලක්වූ අයෙක්. එම මානසික පීඩාවට කාලයක් තිස්සේ ලක්වීමෙන් ඇය Stress Disorders (ක්ලමථ අක්‍රමිකතා) යනුවෙන් හඳුන්වන මානසික තත්ත්වයට පත්වී තිබුණා. එහි ලක්‍ෂණ තමයි දුක, කලකිරීම, එපාවීම, තරහා යාම, අමතක වීම, සිතට සතුට නොදැනීම, අහේතුක බය, නින්දේ අක්‍රමිකතා, ආහාර ජීර්ණ පද්ධතිය මුල් කරගත් රෝග, නිතර නිතර කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළීම, ජීවිතය විඳවනවා ලෙස දැනීම ආදී ලක්‍ෂණයි. මෙම රෝගයෙන් පීඩා විඳි ඇය එයට පැහැදිලි ප්‍රතිකාර ගැනීම වෙනුවට ඇය සිදුකළේ නොපෙනෙන බලවේගයකට පහන් තබා සහනයක් බලාපොරොත්තු වීමයි. නමුත් මෙලෙස කරගෙන යාමේදී එක් දිනක් ඇයට එය කිරීමට අමතක වූවා. එය මතක් වුණේ පසු දිනයකයි. මෙම අමතක වීම මැයගේ හිතේ වද දුන්නා. ඒ අතර තමයි අසල්වාසී නිවසේ පිරිතක් පැවැතුණේ.   


ඇතැමුන්ගේ හිතේ විශ්වාසයක් තිබෙනවා පිරිත් කියන විට යක්ෂයින්ට ඉන්න බෑ කියලා. ඇයගේ යටි හිතේත් මෙම තත්ත්වය තැන්පත් වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පිරිත් ඇසෙනවාත් සමඟම ඇය අවිඥානිකව මෙවැනි හැසිරීමකට ලක්වුණා. මෙය අපි මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ Dissociative Disorders Hysteria (මායා රෝගය) යනුවෙනි. මෙම තත්ත්වයේදී අපගේ සංස්කෘතික විශ්වාස මත හා ප්‍රදේශයේ විශ්වාස මත බෙර ශබ්ද ඇසෙන විට, පිරිත් ඇසෙන විට, ගාථා කියන විට, දේවාලවලට යන විට, ඝණ්ඨාර ශබ්ද ඇසෙන විට, සුවඳ දුම් අල්ලන විට ආදී අවස්ථාවලදී ශරීරයේ වෙව්ලීම, ඔළුව කරකැවීම, ශරීරය සැහැල්ලු වීම, පණ නැති වීම නැත්නම් දැඩි වීම, අමනුස්සයෙකු ශරීරයේ ඉන්නවා සේ හැසිරීම ආදී දේ සිදුවෙනවා. මෙය සත්‍ය වශයෙන්ම සුළු මානසික රෝගී තත්ත්වයක්.”
මෙලෙස පැවසූ විද්‍යාකුලපති මහතා විසින් මැණිකේට මාස දෙක තුනක කාලයක් ප්‍රතිකාර කර ඇයගේ ගැටලුවලට ද මනෝ උපදේශනය තුළින් විසඳුම් ලබාදුනි. ඇය සුව වී අද ​ෙවනවිට වසර අටකි. නමුත් කිසිම දිනෙක ඇයගේ සිරුරට නැවත යක්ෂණිය පැමිණියේ නැත.   


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්‍ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්‍ෂණ සංගමය සතුව ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   

 


සටහන
හබරාදුව නිමල් අල්ගෙවත්ත