පිරමීඩ අතීත විදුලි බලාගාරයක්?


විස්මිත විශ්වය

 

විද්‍යාවේ දියුණුවත් සමඟ ඉපැරණි අනීත ශිෂ්ටාචාරයන් නැවත අවදි වන ලකුණු පෙනේ. ඊට හේතුව තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා පුරාවිද්‍යාවට එහා ගිය යමක් ගවේෂණය කිරීමට විද්‍යාව තුළින් පෙලඹී ඇති හෙයිනි. අතීත දැවැන්ත නිර්මාණයන් පිළිබඳව සිහි කළ වහාම ඕනෑම අයෙකුගේ මතකයට නැගෙන්නේ ඉපැරණි පිරමීඩයන්ය. දැනට සොයාගෙන ඇති විශාලතම පිරමීඩය වන ‘ගිසා’හි (Giza) මහා පීරමිඩය පිළිබඳව වෙනස්ම ආකාරයේ ගවේෂණයක ප්‍රතිඵල මේ වනවිට ලොව පුරා කතා බහට ලක්ව තිබේ. ඒ මහා පිරමීඩය නිර්මාණය කර ඇත්තේ ඉපැරණි ඊජිප්තුවට බලශක්තිය ලබාදීම සඳහා විදුලි බලාගාරයක් ලෙසද යන්නයි. මේ ලිපිය දිග හැරෙන්නේ එහි වූ සත්‍ය අසත්‍ය සොයා බැලීමටයි. 


1872 වසරේදී පුරාවිද්‍යාඥයෝ මහා පිරමීඩයේ ඇති පටු උමං මාර්ගයන් සොයා ගත්හ. පිරමීඩය තුළට වාතාශ්‍රය ලබාගැනීමට මෙම උමං මාර්ග භාවිත වන්නට ඇති බවට ඔවුන් මුලදී උපකල්පනය කර ඇත. එහෙත් පසුව කරන ලද තවත් ගවේෂණවලදී මෙම සිදුරු හා අහසේ තාරකාවන් ඒක රේඛීය වීමක් පිළිබඳව තවත් මතයක් ඉදිරිපත් විණි. මෙම කුඩා උමං මාර්ග පිළිබඳව ඇති නවතම මතය වන්නේ මෙම උමං මාර්ග බලශක්ති උත්පාදනයේ වායු ප්‍රවාහකයක් ලෙස භාවිතා වන්නට ඇත යන්නයි. 


මෙම මතය තහවුරු කරගැනීමට විද්‍යාඥයින් හා පර්යේෂකයන් පිරිසක් එක්ව ක්ෂුද්‍ර කැමරාවක් සහිත ඉතා කුඩා දුරස්ථ පාලක රොබෝ යානයක් මෙම උමං මාර්ගය තුළින් යවා ඇත. එහිදී එම උමං මාර්ගය එක් කෙළවරක් මිලින වී විපරිත වූ තඹ දොරටුවකින් මෙහි එක් කෙළවරක් අවසන් වන බව ඔවුහු තහවුරු කර ගත්හ. වාතාශ්‍රය ලැබීමට නිර්මාණය කළ උමං මාර්ගයක් නම් එලෙස හදිසියේ අවසන් වන්නේ ඇයිද යන්න ඔවුන්ගේ පැනය විය. 


අවුරුදු දහස් ගණනකට පෙර ඉපැරණි මිනිස් වර්ගයා සතුව විදුලි බලය නිපදවීමට තාක්ෂණයක් තිබිණිද? මේ පිළිබඳ අදහස් මුලින්ම මතු වූයේ පිරමීඩ තුළ ඇති විවිධ කැටයම් චිත්‍රවල නිරූපණය වන අසාමන්‍ය උපකරණයක් නිසාය. මෙහි වූ එක් සිතුවමක විශාල බල්බයක් වැනි යමක් අත දරාගත් පුද්ගලයකු වේ. 


එය බැලූ බැල්මට විශාල කැතෝඩ කිරණ නළයක් හෝ වෙන යම් ආලෝකය නිපදවෙන වස්තුවක් බව ගම්‍ය වන්නේ මධ්‍යයේ දක්නට ලැබෙන ප්‍රතික්‍රියාකාරී කොටස නිසාය. මීට අමතරව රැහැන් රහිත විද්‍යුත් ප්‍රචාරණ මාධ්‍යයක් හෝ විද්‍යුත් චුම්බකත්වයක් වැනි යමක් භාවිත කරන්නට ඇති බව හඟවන රූපසටහන්ද මහා පිරමීඩ තුළ ඇති සිතුවම් අතර වෙයි. 


පුරාතනයන් විදුලිය පිළිබඳව දැන සිටි බව ඉස්මතු වන තවත් නිදසුනක් වන්නේ මෙම පිරමීඩය සතු අතිශය තියුණු කැපුම් දාර සහිත ගල් කුට්ටිය. මේවා වර්තමානයේ භාවිතා වන ලේසර් කිරණ තාක්‍ෂණයෙන් කැබුවත් මෙන් ඉතා සුමට මතුපිටක් සහිත වෙයි. එසේම මෙම ගල් කුට්ටි ඉහළට ප්‍රවාහනයද එලෙසමය. 


මේවා අඩි සිය ගණනක් ඉහළට එසවීම ලෙහෙසි කටයුත්තක් නොවේ. මීට ඇතැම් විට දොඹකර වැනි යන්ත්‍ර සූත්‍ර භාවිත වූවාද යන්න පර් යේෂකයන් සමහරෙකුගේ මතයයි. පුරාතන ඉරාන වැසියන් බැටරි තාක්ෂණය පිළිබඳව දැනගෙන සිට ඇති බවට සාධකයන් 1938දී සොයාගෙන ඇත. වසර 2000කට වඩා පැරණි කුඩා සිලින්ඩරාකාර ව්‍යුහ වන මේවා ප්‍රාථමික කෝෂ ලෙස මැටි බඳුන්වල බහා භාවිතයට ගන්නට ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ මතය විය. මේවා බැග්ඩෑඩ් බැටරි (Bagdad Batteries) ලෙස හඳුන්වා දී ඇත. 
නැවත පිරමීඩ දෙසට යොමු වන විට මෙම පිරමීඩවල බාහිර ආවරණය පරිවාරකයක් ලෙස හුණුගල්වලින් හා ඊට ඉහළින් අති බදාම තට්ටුවකින් නිර්මාණය වී තිබේ. මෙම බාහිර ආවරණයේ මැග්නීසියම් මූලද්‍රව්‍ය අඩංගු නොවන බව පර් යේෂණවලින් අනාවරණය කරගෙන තිබේ. පිරමීඩය තුළ ඇති කළුගල් (Granite) තුළින් විද්‍යුතය සන්නයනය වන බව පර් යේෂණවලින් අනාවරණය කරගෙන ඇත. තවද පොළොව යට ඇති ජල මාර්ග පද්ධතියක් මගින් ආරෝපිත විදුලි ධාරාවන් උත්පාදනය කර ඇති බව තවදුරටත් පර් යේෂකයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් අති විශාල බැටරියකට සමාන ආකෘතියක් ලෙස මෙම මහා පිරමීඩය හඳුන්වා දෙන මෙම පර් යේෂකයෝ ඒ පිළිබඳව දීර්ඝ ලෙස අදටද පර් යේෂණ කටයුතු කරමින් සිටිති.

 

 


සටහන හෂාන් තිලකරත්න