පින් සිදුවන්නේ - අනේ බාල ළමුන්නේ ගීය ලීවේ එදා නුගේගොඩ තිබූ කුරුලු කූජනය අසා


‘පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ   
මගේ කුඩා නිවස කඩා බිම නොදමන්නේ’’   

වනේ පුරා සොයා ගොසින් ​කෝටු කඩලා   
කුඩා කුඩා කැබලි තුඩින් මෙහි ගෙනැවිල්ලා   
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තබලා   
උදේ පටන් දවස පුරා කූඩු තනාලා   

කොළේ කොළේ දමා කුඩා නිවස වසන්නේ   
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ   
රැලේ රැලේ පුළුන් දමා යහන සදන්නේ   
අගේ මටයි ළදරුවනේ, එය නොකඩන්නේ   

මෙදා මගේ නිවෙස ඇතා සතුට වඩාලා   
උදාර වූ කිරිල්ලගේ දරුවො පිරිලා   
එදා අනේ අපට ගලෙන් ගැයුව සියල්ලා   
වැඳා කියමි මගේ පුතුන් හෙම නොමරල්ලා   

දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා   
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා   
සමාවෙලා මේ අප වෙතේ දිවි රැක ගන්ටා   
නමා යදිමි දෙන්න පුතේ වෙතෙන රඳන්ටා   

 

හරියටම මීට වසර 65 කට ඉහත ගීතය සී.ටී. ප්‍රනාන්දු විසින් ගයා එච්.එම්.වී. (ඩබ්ලිව්.එන් 70) ලෙස තැටියට නැංවී ඇත. මේ ගීතයෙන් කියවුණේ අහිංසක නිදහස් ජීවිතය ගැනය. ගීතයේ රචකයා වූයේ ආර්.එන්.එච්. පෙරේරාය.   


මේ ගීතයේ උපත ගැන අපට තොරතුරු කීවේ ආර්.එන්.එච්. පෙරේරා ගේය පද රචකයාගේ දියණිය වන මීගමුවේ ඒ.කේ.බී.පී. ප්‍රනාන්දු මාවතේ පදිංචි රංජනී පෙරේරා කරුණාසේනය.
   
පෙරේරා මහතා ගීත රචනයට පිවිස ඇත්තේ 1943 වසරේය. තමා ලියූ ප්‍රථම ගීතය වූ ‘‘ආලෝකේ කියා ලෝ කියන්නා’’ ගීතය පවසා ඇති ඒ මහතා, එකල හැම ගීත රචකයාටම බෝවී තිබූ රෝගයක් ගැන ද 1955 වසරේ සිළුමිණ පුවත්පතට අදහස් දක්වා තිබුණි.   


හැම ගීත නිබන්ධකයකුම තමන්ගේ ගීත වස්තු කොට ගෙන තිබුණේ ආලය සම්බන්ධ මාතෘකා. මා සිතුවා ආලය නැතිව අහිංසක කුරුල්ලන්ගේ නිදහස් දිවි පෙවත ගැන ගීතයක් ප්‍රබන්ධ කිරීමට. 1943 වසරේ මේ ගීතය ලිව්වේ ‘කුරුලු විලාපය’ නමින්.   


ආර්.එන්.එච්. පෙරේරා හතළිහ දශකයේ පදිංචිව සිටියේ නුගේගොඩ පැලවත්තේ නිසංසල නිවසකය. නිවස පිහිටා තිබුණේ පුංචි වත්තකය. හැම තැනම ගහකොළය. හරියට පුංචි කැලෑවක් සහිත මේ පරිසරයේ කුරුලු හඬ දසතින් ඇසී ඇත. මේ පරිසරයේ නිවසේ කාමරයක හරිකේන් ලාම්පුවක එළියෙන් ඔහු ළමා පොත් සහ ගීත ලියා ඇත.   


හුඟාක් ලියා ඇත්තේ ළමුන්ට හරියන කුමාර කතාය. ඒ පොත් පෙළට පියාසර කළ ඇතා කුඩා වීරයා, හරිම පාඩම, පුදුම කිරුළ වගේ පොත් ඇතුළත් වී ඇත.   


ගායකයකු ලෙස කළ එළි බසින සී.ටී. ප්‍රනාන්දු ආර්.එන්.එච් ගේ ඥාතියෙකි.   


සී.ටී. අන්කල් අපේ ඥාතියෙක්, වගේම පවුලේ මිත්‍රයෙක්. මගේ අම්මගෙ අයියගෙ පුතා සී.ටී. බෝඩින් වෙලා හිටියෙත් අපේ නුගේගොඩ පැලවත්තේ ගේ ගාවමයි. සී.ටී. අන්කල් අම්මා මිය ගියාට පස්සේ එයාව හැදුවේ අපේ අම්මා. තාත්තා සී.ටී. අන්කල්ට කතා කළේ සිරිල් කියලා. එයාගේ සම්පූර්ණ නම සිරිල් ටීඩී ප්‍රනාන්දු. සී.ටී. තාත්තට කතා කළේ රිචඩ් කියලා. මගේ තාත්තා ස්වභාවධර්මයට ආසයි. තාත්තා වැඩ ඉවර වෙලා ඇවිත් රෑ කෑම කාලා කළු සුරුට්ටුවක් බිබී කල්පනා කර කර ඉන්න කොට ඔන්න සී.ටි. අන්කල් ගිටාරයකුත් අරගෙන අපේ ගෙදර එනවා. සී.ටී. අන්කල් ගීතයක තාලයක් ගිටාරය වයමින් මුමුණනවා. තාත්තා ඒකට උචිත වචන යොදනවා. බර බාගේ බර බාගේ, සුවඳ රෝස මල් නෙළා, අම්බිලි මාමේ ඔබ මොකද කරන්නෙ වගේ ගීත තාත්තා අතින් ලියැවෙන්නේ ඔය විදිහට.   


අපිට තිබුණේ පුංචි වත්තක්. නුගේගොඩ ඉතා නොදියුණු ගමක් වගේ ඒ කාලේ (1943) තිබුණේ. මම පවුලේ වැඩිමලා. පුංචි මාව අතින් අල්ලාගෙන තාත්තා වත්ත පහළට එක්ක යනවා. අපි ගහ කොළ එක්ක කතා කරනවා. දවසක් අපිට කුරුල්ලෙකුගෙ විලාපයක් ඇහුණා. එයාගේ කුරුළු කූඩුව කවුදෝ කඩලා දාලා. පැටව් කොහේ ගියාද කියලා දන්නේ නෑ. එයා විලාප දිදී පැටව් හොයනවා. අනුමානයක් නෑ අවට ඉන්න දඩබ්බර ළමයි කූඩුව කඩල ඇති. තාත්තා සංවේගයෙන් යුතුව කුරුල්ලන්ගෙන් මෙහෙම ඇහැව්වා.   


අැයි උඹ අඬන්නේ, පැටව් නැත් ද? කූඩුව කැඩුවා ද? ඔය විදිහට.   


තාත්තා මාත් එක්ක ගෙට ගොඩ වුණේ සංවේදී හැඟීම් ඇතිව. එදා රෑ තාත්තා හරිකේන්තියෙන් ලාම්පුවේ එළියෙන් මේසයේ ඉඳගෙන මොනවද ලිව්වා. ඒ කාලේ අපිට ලයිට් නැහැ. ඔන්න රෑ සී.ටී. අන්කලුත් ගෙදර ආවා.   
සිරිල් මම හොඳ ගීතයක් ලිව්වා. තාත්තා ලියපු කඩදාසියක් සී.ටී. අන්කල්ට දුන්නා.   


සී.ටී. අන්කල්ගේ මුහුණ එළියවෙලා. හඳ එළියෙන් ඒ හිනා මල් ඉතිරිලා. කඩදාසිය බලාගෙන ඔහු ගිටාරය තාලයකට වයනවා. ඒක හෙමින් ගලා යන රිද්මයක්.   


රිචඩ් මේකෙන් අපූරු ගීතයක් හදන්න පුළුවන්.   


පින් සිදුවෙන්නේ   
අනේ බාල ළමුන්නේ   
මගේ කුඩා නිවස කඩා   
බිම නොදමන්නේ   


සී.ටී. අන්කල් ගයනවා. ඒක අහල තාත්තාගේ මුහුණ එළියවෙලා. ඔහොමයි ඔය ගීතය උපන්නේ. කුඩා රංජනී මතකය අවදි කරමින් කීවාය.   


ගීත රචක ලියනගේ රිචඩ් නාසියස් පෙරේරා නොහොත් ආර්.එන්.එච්. පෙරේරා 1914 සැප්තැම්බර් 10 වෙනිදා ජාඇල දෙහියගාතේ උපත ලබා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනීම ලබා ඇත. ඔහු කුඩා කල සිටම විශ්ව සාහිත්‍ය ඇසුර කොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු චාලට් බොන්ටේගේ ජේන් අයර් හා සර් ආතර් කොනන් ඩොයිල්ගේ බැස්කර්විල් හි ‘රුදුරු බලුව’ කෘති ද සිංහලයට පරිවර්තනය කළේය. ඒ අතර කුමාර කතා පොත් පෙළ ද ග්‍රීක ජනකතා, ලූවී පාස්චර්, ශ්‍රේෂ්ඨ බටහිර කෙටි කතා පොත් ද විය. 1955 වසරේ සිළුමිණ පත්‍රය සංවිධානය කළ වසරේ හොඳම පරිවර්තනය සඳහා පිරිනැමුණු ත්‍යාගය හිමිවූයේ ඔහුගේ රුදුරු බලුව පොතටය.   


පුහුණු ගුරුවරයකු වූ හෙතෙම සාන්ත ජෝසප්, නාලන්දා විද්‍යාලවල ගුරුවරයකු ලෙස ද ඇම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රචාරක නිලධාරියා වශයෙන්ද ලංකා ගුවන් විදුලි සේවයේ විධායක නිලධාරියකු මෙන් ද ලුනුවිල පොල් පර් යේෂණායතනයේ පර් යේෂණ නිලධාරියකු හැටියට ද කටයුතු කොට ඇත. ඔහුට හා බිරිඳ මර්ලින්ට රංජනී, කුසුම් කාන්ති, දේවප්‍රිය, (මියගිය) ඇන්ටන් මෛත්‍රී, රෝහාන් නිර්මලි නමින් දරුවන් හත් දෙනෙක් සිටියහ.   
1958 දෙසැම්බර් 03 වැනිදා ආර්.එන්.එච්. මිය යන විට ඔහු වයස අවුරුදු 44 කි.   


පින්සිදු වන්නේ ගීතය ගැයූ සී.ටී. දක්ෂ ගායකයකු, තනු නිර්මාණ ශිල්පියකු හා චිත්‍රපට නළුවකු ලෙස ද ප්‍රකටය. බටහිර ආර ගීතයට මුසු කර ගැයූ ගීත විනෝද ගීත ලෙසද හැඳින්විය හැකිය. ඒ ඕනෑම සාදයක දී මේ ගී ගැයීමට හැකි බැවිනි. අමතක නොවන ගීත රැසක් රසිකයන්ට දායාදය කළ සී.ටී. ජීවිතයෙන් සමුගෙනය.  

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර