පිදෙල් කැස්ත්‍රෝගේ රහස් එළිවෙයි


බටහිර මාධ්‍ය කියන මේ කතා ඇත්තද?

 

  • පෙම්වතියන් දුසිම් ගණනක්  
  • පුතා පරමාණුක ශක්ති අධිකාරියේ ලොක්කා වුණත් පිදෙල් ඔහු 
  • තනතුරෙන් ඉවත් කළා.  
  • එක් ස්ත්‍රියක් සමග ජීවත්වුණේ එක රැයයි  
  • දුව-පුතා පිදෙල්ට දොස් කීවත් රටවැසියන් පිදෙල්ව අදහනවා  
  • ළමයින්ට - බිරියන්ට දුන්නේ රට වැසියන්ට දෙන පහසුකම් පමණයි.  

 

පිදෙල් කස්ත්‍රෝ කී සැණින් මතකයට නැගෙන්නේ කියුබාවයි. කියුබාව යනු පිදෙල් කස්ත්‍රෝගේ රාජ්‍යයයි. කියුබාවේ විප්ලවයෙන් පසු එහි බලයට පත්වූ කස්ත්‍රෝ ඇමෙරිකාවේ අංක එකේ සතුරකු වුවද ඔහු කැමැත්තෙන්ම තනතුරෙන් ඉවත්වනතුරු විරාජමානව සිටියේ ඇමෙරිකාවේ අභියෝග හමුවේ නොසැලෙමිනි.  


කස්ත්‍රෝගේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ගැන ඇති තොරතුරු ඉතා විරලය. කියුබාවේ රාජ්‍ය මාධ්‍ය මේ තොරතුරු හෙළි කිරීම තහනම් කර තිබීම ඊට හේතු වී තිබේ.  


කස්ත්‍රෝගේ චරිත කතාව ලියූ රොබට් ඊ. ක්වාර්ක් පවසන්නේ කස්ත්‍රෝ සිය ජීවිත කාලය පුරාවටම කිසිදු කාන්තාවක් සමග දීර්ඝ සම්බන්ධතා පවත්වා නැති බවයි. ඔහුගේ පළමු බිරිඳ වූ මිර්ටා ඩයස් බාලාරට් හා විවාහ වූයේ 1948 ඔක්තෝබර් මස 11 දිනදීය. මේ විවාහයෙන් ඔහුගේ වැඩිමලු පුතු ෆිඩෙලිටෝ කැස්ට්රෝ ඩයස් බලාර්ට් උපත ලැබුවේ 1949 සැප්තැම්බර් 01 දිනදීය.  


ඉන් වසර හයකට පසු මේ යුවල දික්කසාදවූහ. කස්ත්‍රෝගේ පුත්‍රයා පසු කලෙක කියුබාවේ පරමාණුක ශක්ති කොමිසමේ නායකත්වයට පත්වූවද පියා විසින්ම ඔහු එම තනතුරෙන් ඉවත්කර තිබේ.  


කස්ත්‍රෝගේ දෙවැනි විවාහය සිදුවන්නේ ඩාලියා සෝටෝ ඩෙල් වැලී සමගිනි. මේ විවාහයෙන් ඇන්ටෝනියෝ, ඇලිජන්ඩ්‍රෝ, ඇලෙක්සිස්, ඇලෙක්සැන්ඩර් සහ ඒන්ජල් යනුවෙන් පුතුන් පස් දෙනෙකි.  

 

චේ සමග පිදෙල්


මේ අතර කස්ත්‍රෝ, නටාලියා රෙවුල්ට්‍රා ක්ලිවුස් නමැති යුවතියක් සමග සමීප සබඳතාවක් පැවැත්වීය. ඇයට කස්ත්‍රෝට දාව අලීනා ෆර්ඩිනැන්ඩස් නම් දියණියක් සිටියාය. මේ දියණිය 1993 දී ස්පාඤ්ඤ සංචාරකයෙකු ලෙස වෙස්වළාගෙන ඇමෙරිකා එක්සත් ජනපදයට පැනගොස් දේශපාලන රැකවරණ ඉල්ලා ඇත. ඇය පවසන්නේ සිය පියාගේ දේශපාලන න්‍යායන් තමන් ප්‍රතික්ෂේප කරන බවයි.  


කියුබාවේ ඇතැම් වාර්තා අනුව නිර්නාමික ගැහැනියකගෙන් ඔහුට තවත් පුතෙක් සිටියි. ඔහු ජෝර්ජ් ඇන්ජල් කැස්ත්‍රෝය. එක් රාත්‍රියකදී හදිසියේම කස්ත්‍රෝට ඇසුරු කරන්නට ලැබුණු ගැහැනියකගේ කුසින් ඔහුට දාව තවත් දියණියක් මෙලොවට බිහි වී සිටින්නීය. ඒ 1953 දී උපත ලද ෆ්‍රැන්සිස්කෝ පුපෝ නම් දියණියයි. පුපෝ දැන් විවාහ වී සිය සැමියා සමග මියාමි හි වාසය කරයි.  


කස්ත්‍රෝගේ විශේෂත්වය වන්නේ ඔහු එක් ස්ත්‍රියක් සමග එක් රාත්‍රියක් පමණක් ගත කිරීමයි. කස්ත්‍රෝගේ ස​හෝදරිය වන ජනිටා කස්ත්‍රෝ 1960 මුල් කාලයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන්නියකි. ඇය පවසන්නේ කියුබාවෙන් පිටුවහල් කිරීමෙන් පසු දිගින් දිගටම පවසන්නේ තම රටේ කුමක් සිදුවන්නේ ද යන්න සොයා බැලිය යුතු බවයි.  
ඇය මෙසේ පවසයි.  


මගේ ස​හෝදරයන් වන පිදෙල් හා රයුල් අති විශාල බන්ධනාගාරයක් ජලයෙන් වටකර ගොඩනංවා තිබෙනවා. එහි ජනතාව ජාත්‍යන්තර කොමියුනිස්ට් වාදයේ වද බන්ධනවලින් පීඩා විඳිනවා.  


කියුබාවේ එකම වීදියක් හෝ ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ නමින් නම්කර නැත. ඔහුගේ පිළිරුවක් හෝ ප්‍රතිමාවක් සාදා නැත. නිල මාධ්‍ය මගින් කිසි දිනක ඔහුගේ බිරිඳ හෝ පුතුන් ගැන සඳහන් කර නැත. ලොව අතිශය රහස්‍ය පාලකයා ලෙස හැඳින්විය හැකි පිදෙල් කස්ත්‍රෝ ගැන කියුබාවේ වැසියෝ පවා නොදනිති. බිරිඳ හා පුතුන්ගේ නම් පවා නොදනිති. අවම වශයෙන් ඔහුගේ හවානා හි පිහිටි නිවසේ ලිපිනය හෝ දන්නේ නැත.  


කස්ත්‍රෝගේ පුතුන් දෙදෙනකු, ලේළියක් සහ බෑනණුවන් ගේ ඡායාරූප පසුගියදා මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කැර තිබිණි. කස්ත්‍රෝගේ බිරිය ඩාලියා සෝටෝ ඩෙල් වැලි සහ පුතුන් වන එන්ජල්, ඇන්ටෝනියෝ, ඇලිජැන්ඩ්‍රෝ, ඇලෙක්සිස් සහ ඇලෙක්ස් ගේ රූප මාධ්‍ය මගින් කිසිදා එළිදක්වා නැත.  


මෙම නායකයාගේ පවුලේ අය අනෙක් අයට වඩා හොඳට ඇඳීම පැලඳීම පවා නොකරන බව කස්ත්‍රෝගේ දියණිය අැලීලා ෆර්ඩිනැන්ඩස් පවසයි. මේ පවුලටම ඇත්තේ එක් කාරයක් පමණි. එයද වායු සමන පහසුකම් නොමැති සාමාන්‍ය රථයකි. කස්ත්‍රෝ සිය පුද්ගලික වින්දනය සඳහා අනුබල දී නැත. පුරා වසර 41 ක් බලයේ රැඳී සිටින මේ විප්ලවවාදියාගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගෙන ඇත්තේ පුදුම සහගත අයුරිනි.  

 

 


කස්ත්‍රෝ පවසන්නේ තම පුද්ගලිකත්වය වසන් කරන්නේ ආරක්ෂාව සඳහා බවයි. කියුබාවෙන් නෙරපූ පුද්ගලයන් විසින් 1959 වර්ෂයේ සිට 600 වාරයකට වැඩි ප්‍රමාණයක් තමන් ඝාතනය කිරීමට උත්සාහ දැරූ බව පිදෙල් පවසයි. කෙසේ වෙතත් ඔහුගේ මතය වන්නේ ජාතික තලයේ නායකයන් තමන්ගේ පුද්ගලික ජීවිතය හා රාජකාරී ජීවිතය එකිනෙක මිශ්‍ර කර නොගත යුතු බවයි.  


කස්ත්‍රෝගේ පුතුන් වන එන්ජල් වෛද්‍ය විද්‍යාව හදාරන්නෙකි. ඇලෙක්ස් පරිගණක ක්‍රියා පිළිබඳ කළමනාකරුවෙකු ලෙස සේවය කරයි. ඇන්ටෝනියෝ විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතර ඇලෙජන්ඩ්‍රෝ සහ ඇලෙක්ස් පරිගණක වැඩසටහන් කරුවෝය. මේ දරුවෝ තම වාසගම ලෙස කැස්ත්‍රෝ සෝටෝ ඩෙල් වැලි යන්න භාවිත කරති. කස්ත්‍රෝ යන්න පිදෙල් විසින් විප්ලව කාලයේදී ලබාගත් නමක් බැවින් ඉන් පෙර ඔහුගේ වාසගම වූ නොන්ද ගරි යන්න මේ දරුවන් විසින් භාවිතයට ගෙන ඇත.  
කස්ත්‍රෝගේ හය වැනි පුත්‍රයා ගැන තොරතුරු හෙළිවී නැත. ඔහු ජෝර්ජ් ඒන්ජල් කස්ත්‍රෝ ලෙස හඳුන්වන අතර වයස අවුරුදු 51 ක් බවත් තුන් නිවුන් දරුවන් සමග දරුවන් හතර දෙනකුගේ පියෙකු බවත් දැනගන්නට ඇත.  


ඇලීනා ෆර්නැන්ඩස් පවසන්නේ තම සහෝදරයන් පස්දෙනාම ප්‍රඥාගෝචර සහ බුද්ධිමත් දරුවන් බවයි. ඔවුන් ගැන සියුම් කනගාටුවක් ඇතැයි ද ඇය පවසන්නීය. අනෙක් කියුබානුවන් තම සොහොයුරන් සම්බන්ධයෙන් විශාල කුතුහලයකින් සිටීමත් ආරක්ෂකයන් විසින් දැඩි ආරක්ෂාවක් ලබාදීමත් මේ කනගාටුවට හේතුවක් යැයි ඇය කියයි.  
කස්ත්‍රෝගේ පුත්‍රයන් භවානා හි ලෙනින් උසස් විද්‍යාලයෙන් සිය උපාධිය ලබාගෙන තිබේ. මේ විද්‍යාලය කියුබානු රජයේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන් සහ විශේෂ ආරක්ෂාවක් යටතේ සිටින දරුවන් මෙන්ම ඉහළම දක්ෂතා දක්වන දීප්තිමත් සිසුන් ඉගෙන ගන්නා පාසලකි.  


පිදෙල් කස්ත්‍රෝ සහ යුද හමුදා අණදෙන්නා වූ රාහුල් කස්ත්‍රෝ වෙනුවෙන් විශේෂ ආරක්ෂක විධිවිධාන පවතී. කිසිවෙකුට ඔවුන්ගේ ඡායාරූප ලබාගැනීම තහනම්ය. නොදන්නා කිසිවෙකුට ඔවුන් අසලට සමීප වීමට හැකියාවක් නැත.  


කෙසේ වෙතත් මියාමි හෙරල්ඩ් විසින් රචිත ග්‍රන්ථයේ පිදෙල් කස්ත්‍රෝගේ සහ රාහුල් කස්ත්‍රෝගේ ඡායාරූප ප්‍රකාශයට පත්කැර ඇත. මේ ඡායාරූප ගත් කියුබානු සමීපතමයා පවසන්නේ කස්ත්‍රෝගේ ආරක්ෂකයන් ඔහු වටා නොමැති විටෙක මේ ඡායාරූප ගත් බවයි. තමන් කියුබාවෙන් පිටව විදේශ රටක චාරිකාවක යෙදී සිටියදී මේ ඡායාරූප ගත හැකි වූ බව පවසයි.  

 

 


පිදෙල් කස්ත්‍රෝ සහ ඔහුගේ බිරිඳ ඩාලියා ​ජීවත්වූයේ බටහිර හවානා හි නිවාස සංකීර්ණ දෙකකය. මේ නිවසේ අමුත්තන්ට සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස දැකිය හැක්කේ කස්ත්‍රෝ විදෙස් පුවත් නැරඹීමට භාවිත කරන පුළුල් තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රයක් පමණි.  


ඔහු සෝටෝ ඩෙල් වැලි සමග අධික ප්‍රේමයෙන් බැඳී සිටිය ද ඇය හා විවාහ වූයේ 1980 දීය. පිදෙල් කස්ත්‍රෝගේ අඹුව යැයි හඳුන්වන්නේ ඇයයි. කෙසේ වෙතත් කියුබාවේ සංස්කෘතියට අනුව අඹුව යනුවෙන් හඳුන්වන්නේ ප්‍රථම භාර්යාවයි. දෙවැනියා හෝ තෙවැනියා හෝ නොවේ.  


කස්ත්‍රෝ තම දේශයේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හෝටල් ආදිය ගොඩනැගුව ද කියුබානුවන්ට එහි යාමට ඉඩ දුන්නේ නැත. තම පුතු ඇල්ජැන්ඩ්රෝ තමන්ගේ යුරෝපීය මිතුරන්ගෙන් ලත් ආරාධනාවකට අනුව වරදේරෝහි හෝටලයක නවාතැන් ගත් බව දැනගත් කස්ත්‍රෝ එහි හෝටල් කළමනාකරු සේවයෙන් ඉවත් කළේය. ඇලෙන්ඩ්රෝගේ කලින් භාර්යාවට අනුව ඔහු පසුව ස්පාඤ්ඤයට ගොස් ඇත. මේ සිද්ධියෙන් කලකිරුණු කස්ත්‍රෝගේ පුත්‍රයා පවුලෙන් වෙන්වූයේය.  


1955 දී බන්ධනාගාරයෙන් නිදහස ලබාගත් කාලයේ හමුවූ මාරියා ලැබොඩේ සමග පැවති සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පිදෙල් කස්ත්‍රෝ තවත් පුතකුට පීතෘත්වය ලබාදී ඇත. ඒ 1956 උපන් ජෝර්ජ් ඒන්ජල් කස්ත්‍රෝ ලැබොඩේය. මේ අනුව ඔහුට දාව තවත් දරුවන් සිටිතැයි කීවද ඔහු හෝ කියුබානු රජය ඒ ගැන ස්ථිරව කිසිවක් කියන්නේ නැත.  
සිලියා සැන්කීස් නම් කාන්තාවට කස්ත්‍රෝගෙන් දරුවකු උපන් බවද එම දරුවා ඇලිජැන්ඩිරෝ ලෙස නම්කැර ඇති බවද පැවසේ. ඔහු සංචාරක ක්ෂේත්‍රයේ සුළු සේවිකාවක හා විවාහ වී මිරාමර්වලට බටහිරින් පිහිටි ප්‍රදේශයක සැප පහසු දෙමහල් නිවසක වාසය කළ බවද කියයි.  


කියුබාවේ බුද්ධි අංශයේ සේවයෙන් ඉවත්කළ බුද්ධි නිලධාරියකු වරක් මියාමි රූපවාහිනියේ කියා සිටියේ රජයේ වැදගත් නිලධාරියකුගේ බිරියකට ද කස්ත්‍රෝට දාව දරුවකු සිටින බවයි. මේ බුද්ධි නිලධාරියා පවසන්නේ ඒබ්‍රහම් මොසිකියුගේ බිරිඳ වූ රොක්ෂනා රොඩ්රියක්යුස්ට 1970 දී ලැබුණු ෆි​ටෝ නම් දරුවා කස්ත්‍රෝගේ බවයි.  


කස්ත්‍රෝගේ සමීපතමයකු පවසන්නේ ශාන්ත ක්ලෝරාහි පදිංචි ගැහැනියකට 1950 අවසන් භාගයේදී කස්ත්‍රෝට දාව ෆ්‍රැන්සිස්කා පුපෝ නම් දියණියක සිටින බවයි. ඇය දැන් රාවුල් සහ පිදෙල් ගේ සහෝදරියකගේ රැකවරණය යටතේ ජීවත්වන බවද ඔහු සඳහන් කරයි. 1998 දී මියාමිවලට යාමට අවසර ලැබූ පුපෝ දැන් ගුරුවරියකි. ඇය ජුනිටා සමග මිත්‍රව සිටින්නීය. ජුනිටා පවසන්නේ පුපෝ පිදෙල්ට එරෙහිව කිසිවක් නොකියන බවයි.  

 

 

වෙනිසියුලා ජාතික මාධ්‍යවේදිනියක වූ ඉසා ඩොබ්ලස් සමග සබඳතාවක් පැවැත්වූ බව පැවසේ. කස්ත්‍රෝගේ ආරක්ෂකයන් විසින් ඇය 1992 දී බලෙන් මෙන් ගුවන් තොටුපොළට ඇරලවා රටින් පිටකැර ඇත. ඔලිවර් ස්ටෝන් චිත්‍රපටයේ උපදේශිකාවකු වූ මාරියා ලොරෙන්ස් කැස්ත්‍රෝ සමීපව ඇසුරු කළ හිතවතියකි.  


දේශපාලන විචාරකයන් පවසන්නේ කස්ත්‍රෝගේ පළමු බිරිය වූ මිත්රා ඩයස් බාලර්ට් හෙවත් පළමු දරුවා වූ ෆිඩෙලිටෝ ගේ මවගේ සම්බන්ධය කස්ත්‍රෝගේ දේශපාලන ජීවිතයට හා පුද්ගලික ජීවිතයට තීරණාත්මක සන්ධිස්ථානයක් වූ බවයි. ඔවුන් දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ 1946 හවානා විශ්වවිද්‍යාලයේදීය. එතැන් සිට රාගයෙන් හා දේශපාලන අර්බුදයෙන් පිරුණු මේ සම්බන්ධය 1955 දී විරසක වීමකින් අවසන් වෙද්දී කියුබාව හා ඇමෙරිකා එක්සත් ජනපදය අතර අර්බුද ඇතිවෙමින් තිබිණි.  


රූමත් දර්ශනවාදී ශිෂ්‍යාවක වූ ඇය දේශපාලනික වශයෙන් බලවත් වූ යුනයිටඩ් පලතුරු සමාගමේ නියෝජිතයකු වූ රෆෙයිල් ගේ දියණියයි. 1952 දී කුමන්ත්‍රණයක් මගින් තම අසල්වැසි මිතුරු යුද හමුදා කර්නල් ෆුල්ජෙන්සියෝ බැටිස්ටා රටේ බලය ගනිද්දී ඇගේ පියාට සහ සොහොයුරාට ද බලවත් ඇමැතිකම් දෙකක් දී තිබිණි. බැටිස්ටාගේ කුමන්ත්‍රණය තෙක් තරුණ රැෆෙයිල් කස්ත්‍රෝගේ භකිත්මත් මිතුරෙකි. ඒ නිසා ඔහුගේ සහෝදරියට කස්ත්‍රෝව හඳුන්වාදුන්නේ ඔවුන්ගේ මධු සමයට පවා අවශ්‍ය කළමනා සකසමිනි.  
කස්ත්‍රෝ බැටිස්ටා රජයට ප්‍රහාර එල්ලකරද්දී මිත්රා සිය පවුලෙන් වෙන්ව සැමියාට සහය දැක්වූවාය. ඇයට ඇගේ සොහොයුරාගේ මාර්ගයෙන් රජයෙන් අල්ප වැටුපක් ලැබෙන බව කස්ත්‍රෝ දැනගත් මොහොතේ පටන් ඔහු අැයට විරුද්ධ වූවේය. 1954 දී බන්ධනාගාරයේ සිට කස්ත්‍රෝ ලියා ඇත්තේ මාගේ භාර්යාවගේ කීර්තිනාමය සහ විප්ලවවාදියකු වූ මාගේ ගෞරවය ඔට්ටු තබනවා යනුවෙනි.  


බැටිස්ටා බලය පිරිහී 1959 දී බලයෙන් පහවිය. මිත්රා සිය නව පවුල සමග මඩ්රිඩ්වලට පලා ගියාය. ඇගේ ළමා කාලයේ සිට මිතුරියක වූ බාර්බරා වොල්කර් ගෝර්ඩන් පවසන්නේ කස්ත්‍රෝගේ පුත් ෆිඩෙලිටෝ කියුබාවෙන් පිටත සිටිය ද සිය පියාට දැඩි සේ ආදරය කළ බවයි.  


පසුව ෆිඩෙලිටෝ සෝවියට් සමූහාණ්ඩුවේ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ලබාගත්තේය. එවිට ඔහු රජයේ විද්‍යාඥ​ෙයකු ලෙස කටයුතු කළේය. මිත්රා ඇගේ යුරෝපා සංචාර අතරතුර සිය පුතු බැහැදකින්නට ගියාය. 1990 මුල් කාලයේදී කස්ත්‍රෝ සහ පුත්‍රයා අතර ඇතිවූ කියුබාවේ න්‍යෂ්ටික බල වැඩසටහන පිළිබඳ අර්බුදයේ දී ඇය සිය පුතා බැහැදැකීම අතහැර දැමුවාය. අනතුරුව 1999 දක්වා අවුරුදු අටක් පමණ තම දරුවා හමු නොවූවත් දුරකථනයෙන් හා විද්‍යුත් තැපැල් මගින් ඇය තම පුතාගේ තොරතුරු විමසා දැනගත්තාය.  


පිදෙල් කස්ත්‍රෝ හා ඔහුගේ පුතා අතර වූ අසමගිය දුරු කිරීමට රවුල් කස්ත්‍රෝ 2000 වර්ෂයේදී කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ෆිඩෙල්ටෝට තවත් උසස් පදවියක් පිරිනැමිණි. ඔහුට කියුබානු විද්‍යා ඇකඩමියේ මහාචාර්ය තනතුරක් සහ ජ්‍යෙෂ්ඨ පර්​ෙ‌ය්ෂක තනතුරක් ලැබිණි.   

 


සටහන සජීව විජේවීර