පිටසක්වළ ජීවීන් කෙරෙහි මානව වර්ගයාගේ ප්‍රතිචාරය කුමක් වේද?


තරු පිරි අහස

 

තාක්ෂණයේ දියුණුවත් සමග පෙර කිසිදා නොවූ විරූ තරම් වේගයකින් තාරකා විද්‍යාත්මක සොයාගැනීම් කඩිනමින් සිදුවෙමින් පවතී. අද මේ මොහොත වන විටත් මිනිසා විසින් නිර්මාණය කරන ලද රේඩියෝ දුරේක්ෂ, චන්ද්‍රිකා හා අභ්‍යාවකාශ ගවේෂණ යානා විශාල ප්‍රමාණයක් විශ්වයට යොමු කරමින් වෙනත් ලොවක ජීවය සොයා ගැනීමේ පරික්ෂණවල විද්‍යාඥයෝ විශාල පිරිසක් යොමුවී සිටිති. පෘථිවි ජීවීන් මේ විශ්වයේ හුදකලා වී ඇතිද යන්න මිනිසාගේ අවධානය බොහෝ සෙයින් ලබාගැනීමට සමත් වූ ගැටලුවකි.  
යම් දිනක මිනිසාගේ පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදෙමින් පිටසක්වළ ජීවයක් හමු වුවහොත් ඒ කෙරෙහි මානව වර්ගයාගේ ප්‍රතිචාර කෙබඳු වේද? මෙම ප්‍රතිචාරය බොහෝ විට සුබවාදී එකක් වනු ඇති බව මෑත කාලයේ සිදුකළ පරික්ෂණයකින් අනාවරණය වී ඇත.  


වෙනත් ලොවක ජීවීන් සොයා ගැනීම මානව වර්ගයාගේ අවධානය දැඩි ලෙස ග්‍රහණය කරගැනීමට සමත් වනු ඇති බව මනෝ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය (ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ) මිචෙල් වැනම් නම් විද්‍යාඥයා ප්‍රකාශ කර ඇත. මේ වනතුරු පිටසක්වළ ජීවය සොයාගැනීමේ පුවත කෙරෙහි මානව වර්ගයාගේ ප්‍රතිචාරය කෙබඳු වේද යන්න පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදුකර නොමැති බැවින් මෙම පරික්ෂණය සිදුකර ඇත. විද්‍යාවේ නව ප්‍රවණතා පිළිබඳ ඇමරිකානු සංගමයේ වාර්ෂික රැස්වීමේදී මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරිපත් කර ඇත.  


පළමු අධ්‍යයනය සිදුකර ඇත්තේ විවිධ පුවත්පත්වල පිටසක්වළ ජීවය පිළිබඳව පළකර ඇති ලිපිවල භාෂාව හැසිරවීම, පාඨකයා තුළ හැඟීම් පිළිබඳවය. මෙහිදී පරිගණක මෘදුකාංගයක් හරහා එම ලිපි වලින් පාඨකයාට ලබාදෙන අදහස හා හැඟීම විශ්ලේෂණය කර ඇත.  


මෙහිදී පොසිලකරණයට ලක්ව ඇති ක්ෂුද්‍රජීවීන් පිටත ග්‍රහලෝකවලින් හමුවීමේ ප්‍රවණතාව (1996), කෘත්‍රිම වස්තුවක් මගින් ඇති කරන බවට සැලකෙන ටැබි (Tabby) තරුවේ ආලෝකය විටින් විට අඩුවීම (2017) සහ වෙනත් තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන ග්‍රහලොවක් සොයාගැනීම යන කරුණු පිළිබඳව පළවූ ලිපි සැලකිල්ලට ගෙන ඇත.  
දෙවන අධ්‍යයනයේදී පුද්ගලයන් 500 ක් යොදාගෙන ඇති අතර පිටසක්වළ ජීවීන් හමුවීම සම්බන්ධ පුවතකට ඔවුන්ගේ ප්‍රතිචාරය කෙබඳුද යන්නත්, ඔවුන් සිතන ආකාරයට මෙවැනි පුවතකදී අනෙකුත් පෘථිවි වාසීන්ගේ ප්‍රතිචාරය කෙබඳු වේද යන්නත් ලියා දක්වන මෙන් උපදෙස් ලබාදී ඇත.  


තුන්වන සමීක්ෂණය සිදුකර ඇත්තේ 500ක පිරිසක් තෝරාගෙනය. ඔවුන් කණ්ඩායම් දෙකකට වෙන්කර ඇති අතර මේ එක් එක් කණ්ඩායමට පිටසක්වළ ජීවීන් සොයාගැනීම සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ විද්‍යාත්මක පරික්ෂණ දෙකක් සම්බන්ධව New York Times පුවත්පතේ පළවූ ලිපි දෙකක් ලබාදී ඇත. මින් එකක් විද්‍යාගාරයක් තුළ කෘත්‍රිමව මිනිස් ජීවය ඇති කිරීම සම්බන්ධ ලිපියක් වූ අතර අනෙක අඟහරුගේ උල්කාෂ්මවල ක්ෂුද්‍ර ජීවී ආකර පැවතීමේ සම්භාවිතාව පිළිබඳ ලිපියකි. මෙහිදී එක් එක් පුද්ගලයා මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාර විශ්ලේෂණය කළ පසු ඉන් බහුතරයක් පිටසක්වළ ජීවීන් හමුවීම කෙරේ ධනවාදී ආකල්ප දරන බව දක්නට ලැබේ.  


මේ වනතුරු පිටසක්වළ ජීවයක් හමුවී නැත. ඇතැම් විට කිසිදාක හමු නොවීමටද ඉඩ ඇත. ඒ කෙසේ වුවත් යම් හෙයකින් වෙනත් ලොවක බුද්ධිමත් ජීවයක් මුණ ගැසුණොත් මානව වර්ගයා එම ජීවින් පිළිබඳව අහිතවත් බවක් පෙන්වීමට වඩා කුතුහලය මුසු මිත්‍රශීලී බවකින් ප්‍රතිචාර දක්වනු ඇති බව මෙම සමීක්ෂණයේ ප්‍රතිඵලය මගින් පෙන්වා දී ඇත.  

 

 


සටහන - ලසදනී විජේසිංහ  
තරුලොව මාසික සඟරාවෙනි