පිටකොටුවේ ඇවිදින සූදු පොළ


​කොළඹ “ජිමික්”   

 

 

“කොඩි ගහ යට මම උපන්නේ - නමගිය තැනකි රටේ කොළඹය කියලයි කියන්නේ - මුළු ලෝකෙම හතර වටේ”  

ජනප්‍රිය ගායක එම්. එස්. ප්‍රනාන්දු විසින් ගායනා කරන මෙම ගීතය ඇසෙනවාත් සමගම කොළඹ පිටකොටුව පිළිබඳ මතකයට නැගෙයි. කොළඹ පිටකොටුව කවදත් ජනාකීර්ණ නගරයකි. දිවා රෑ දෙ​ෙකහිම ජනතාව එදිනෙදා කටයුතු කර ගැනීමට පැමිණෙන අතර අවාසනාවකට මෙන් ඔවුන් රවට්ටන අමුතුම තාලේ පිරිසක්ද පිටකොටුව කේන්ද්‍ර කරගෙන ජීවත් වෙති.  

 

බොහෝ දෙනකු ඔවුන්ගේ ගැටවලට හසුවෙන අතර ඔවුහු ජනතාව මුළා කරමින් විවිධ දේවල්ද අලෙවි කරති. සුළු ලාභයක් නිසා විවිධ දේවල් මිලදී ගත්තද ලාභ බඩුවේ හිලක් කියන කියමනක්ද ඇති බව නොකිවමනාය.  
පිටකොටුවේ සැරිසරන අතරතුරේ මට මේ ගැන අලගිය මුලගිය තැන් දන්නා අයකු හමුවිය. අපි ඔහු ධර්මරත්න ලෙස හඳුන්වමු.   


ධර්මරත්න පිටකොටුවට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවාද?” මගේ ප්‍රශ්නය විය.  


මම දැන් පිටකොටුවට ඇවිල්ලා අවුරුදු 30ක් විතර වෙනවා. මුලින්ම මගේ ඥාතියකුගේ කඩේක සේවකයෙක් විදිහට වැඩ කරන්න ආවෙ දැන් මගේම කියලා ත්‍රිරෝද රථයක් පදවනවා.  


ඉස්සර වගේ ජනතාවක් දැන් කොළඹට එන්නේ නැහැ. මොකද දැන් හැම නගරයකම වාගේ සුපිරි වෙළෙඳසල් තිබෙනවානේ. ඉස්සර ඕනෑම බඩුවක් ලබා ගන්න පුළුවන්. පදික වේදිකාවේ රවුමක් ගියහම. ලාබෙට බඩු ගන්න පුළුවන්. ඒත් ඒ ලාභ බඩුවේ මොකක් හරි අඩුපාඩුවක් තිබෙනවා.   


අපිත් ඉස්සර පදික වේදිකාවේ තියන් මොනවා හරි විකුණලා දවසේ වියදමට කීයක් හරි සොයා ගන්නවා. ඉතින් අලුත් එක එක වැඩ තියෙනවනේ හම්බ කරන්න.   


“මොනවද ඒ එක එක වැඩ?”  


ඉස්සර තිබුණ කොළ තුනේ සූදුවක් කියලා එකක්. ඒ කියන්නේ කාඩ් බෝඩ් එකකින් එක සමාන කොළ 3ක් කපා ගන්නවා. හරියට කාඩ් කූට්ටමේ සයිස් එකට. ඒ කොළ තුනේ එකක රෑපයක් අදිනවා. අනික් කොළ දෙකේ මුකුත් නැහැ. නිකන් හිස් කොළ 2ක්. ඉතින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔට්ටුවක් අල්ලනවා. අපි කියනවා. එකට දෙකක් දෙනවා කියලා රූපය තිබෙන කොළේ පෙරළුණොත්  එකට දෙකක් කියන්නේ?  


එකට දෙකක් කියන්නේ රුපියල් 100ක් ඔට්ටු ඇල්ලුවෙත් අපි රුපියල් 200ක් දෙනවා. ඉතින් කොළ තුන පෙරළලා කළවම් කරනවා. පළමුවෙන්ම අපේ​ ගෝලයෙක් තමයි සූදුවට සම්බන්ධ කර ගන්නේ. ඉතින් රූපය තිබෙන කොළ පෙන්නලා අපි අපේ ගෝලයට සල්ලි දෙනවා. ඔය වගේ කිහිප වතාවක්ම කරනවා. ඉතින් බලන් ඉන්න අය ඊට පස්සේ එයාලටත් රූපය තියෙන කොළ පෙරළලා සල්ලි දෙනවා. සමහර අය සල්ලි දෙනවා දැක්කම අතේ තිබෙන සල්ලි ටික ඉවර වෙනකම් සූදුවට සම්බන්ධ වෙනවා.   


ඉතින් රූපය තිබෙන කොළ පෙරළලා කිහිප සැරයක්ම සල්ලි දුන්නම රුපියල් 100 තියපු කෙනා සල්ලි තණ්හාවට ගාණ වැඩි කරනවා. ඒ කියන්නේ දන්නෙම නැතිව රුපියල් 100 තියපු කෙනා දාහක් වගේ ඔට්ටු අල්ලනවා. අන්තිමේදී සල්ලි ඉවර වේගෙන එනකොට ඔන්න පොලිසියෙන් එනවා කියලා කොළ 3ත් අරන් අපි දුවනවා.  


“ඉස්සර තිබුණ නේද රිබන් එකට කටුව ගහන සෙල්ලම?” මම විමසුවෙමි.  


“ඔව් ඔව් ඒකත් අර වගේම තමයි. රිබන් එක නවන ක්‍රමයට තමයි කටුව මැදට ගහන්න ඕනෑ. ඒකත් අර වගේම සූදුවක් තමයි. රිබන් එක නවන ක්‍රමයක් තිබෙනවා. ඒක හරියට නවන්න ඉගෙන ගන්න ඕනෑ. ඒකත් අර වගේ අපේම ගෝලයකුට දෙනවා කටුව ගහන්න. ඊට පස්සේ තමයි බලන් ඉන්න අය එකතු වෙලා ඔට්ටු අල්ලන්නේ.  


ඒකටත් ගොඩක් දෙනෙක් රැවටෙනවා. සමහර අය මුළු වැටුපම ඉවර කරගෙන යන වෙලාවලුත් තිබෙනවා. ඒත් දැන් ඒ සේරම කෙරෙන්නේ නැහැ. නිතරම පොලිසිය ගැවසෙනවනේ. “ධර්මරත්න කියයි.   

 

 

 

 

 

 


සටහන:
නිශාන්ත කුමාර 
බණ්ඩාර