පාසල් සිසුවියන්ගේ ඇඟ අතපත ගෑ දොස්තර මහත්තයා


උහන ප්‍රදේශයේ පිහිටි පාසලක වාර්ෂික නිවාසාන්තර තරගාවලියේ මැරතන් ධාවන තරග ඉසව්වට සහභාගි වන සිසු සිසුවියන් සියලු දෙනා එම තරග ඉසව්වට සහභාගි කිරීමට පෙර ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව පරීක්ෂා කර බැලීමට වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය තීරණයක් ගෙන තිබිණි. 


පසුගිය කාලයේ සමහර පාසල්වල ධාවන තරග ඉසව්වලට සහභාගි වී සිටි සිසු සිසුවියන් කිහිප දෙනෙකුම හදිසියේ රෝගාතුර වී ප්‍රදේශ කිහිපයකදී මිය යාමේ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් ගෙන ඇත. 


උහන ප්‍රදේශයේ පිහිටි පාසලේ සිසුවියන් 30 දෙනෙකු අම්පාර ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහල වෙත ඉකුත් 06 වැනිද‌ා සවස යොමුකෙරුණේ ඒ තීරණයට අනුවය. 
මැරතන් ධාවන තරග ඉසව්ව පැවැත්වීමට නියමිතව තිබුණේ ඊට පසු දිනයේය. 
සිසුවියන් රෝහලට කැඳවාගෙන ගියේ විදුහලේ ආචාර්යවරියකගේ රැකවරණය යටතේය. 
 ඊසීජී පරීක්ෂණයට සියලු සිසුවියන් ලක් කිරීමෙන් පසු එම වාර්තා සහිතව ඊළඟට වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර ඇත. 
රෝහලේ බාහිර රෝගී අංශයේ කාමර දෙකක සේවයේ නිරතව සිටි වෛද්‍යවරියක හා වෛද්‍යවරයකු විසින් සිසුවියන් වෙන වෙනම කාමරයට කැඳවා අද‌ාළ පරීක්ෂණ සිදුකරන ලදී. 


 ඊ.සී.ජී. පරීක්ෂණ වාර්තාව ද රැගෙන වෛද්‍යවරයා සිටි කාමරයට ගිය සිසුවියක් සුළු මොහොතකින් පිටතට පැමිණ ඇත්තේ හඬාගෙනය. 
‘දුවේ ඔයා මොකද අඬන්නේ? ඔයාට මොකද වුණේ? 
ආචාර්යවරිය සිසුවියගෙන් ඇසුවාය. 
‘අනේ ටීචර් දොස්තර මහත්තයා මම කාමරට ඇතුළට ගියාට පස්සේ....’ යැයි ගොත ගසමින් වෙච්ච දේ සිසුවිය පැවසුවාය. 
‘අක්කේ අපිටත් ඔය ටිකම තමා වුණේ...’ තවත් සිසුවියන් තුන් දෙනෙක් එවිට පැවසූහ. 


සිසුවියන් බාරව පැමිණි ආචාර්යවරිය සිසුවියන් සිවු දෙනෙකුට වූ ලිංගික හිංසනයන් ගැන ඒ මොහොතේම දුරකතනයෙන් කතාකර විදුහල්පතිවරයා දැනුම්වත් කළාය. 
විදුහල්පතිවරයා වහාම මේ ගැන දමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාට පැමිණිලි කර තිබේ. 
පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා මුලින්ම කළේ ලිංගික අපහරණයකට ලක් වූ බව කියන සිසුවියන් හතර දෙනා පොලිස් ස්ථානයට කැඳවීමය. 
ඊළඟට කර ඇත්තේ කාන්තා පොලිස් නිලධාරිනියන්ට කියා මේ සිසුවියන් හතර දෙනාගේ ප්‍රකාශ ලියා ගැනීමය. 


‘ඊ.සී.ජී. වාර්තා අරගෙන මං දොස්තර මහත්තයා ළඟට ගියා. දොස්තර මහත්තයාගේ කාමරයේ නර්ස් නෝනා කෙනෙක් හිටියේ නැහැ. මට පුටුවක වාඩි වෙන්න කිව්වා. මීට පෙර මැරතන් තරගවලට සහභාගි වෙලා තියෙනව ද කියා ඇසුවා. හොඳට වතුර බොන්න කිව්වා. විස්තර අහන අතරවාරයේ... යැයි එක් සිසුවියක් ඇයට වෛද්‍යවරයාගෙන් සිදු වූ ලිංගික හිංසනයන් ගැන දීර්ඝ විස්තරයක් පොලිසියට විස්තර කර තිබේ. 
අනෙක් සිසුවියන් තිදෙනා ද පොලිසියට කියා ඇත්තේ ද පළමු සිසුවිය කළ විස්තරයට සමාන විස්තරයක් බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. 
වෛද්‍යවරයා සිසුවියන්ට කළ බව කියන දේවල් ගැන එතැනින් එහාට යමක් ලියන්න යන්නේ නැත. 
සිසුවියන්ගේ ප්‍රකාශ ලබාගත් පසුව හෙළිවූ තොරතුරු මත පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සෙනරත්පුර ප්‍රාදේශීය රෝහල වෙත ගියේ ඔහුව නීතියේ රැහැනට කොටුකර ගැනීමටය. 


පොලිස් කණ්ඩායම රෝහලට යන අවස්ථාවේ වෛද්‍යවරයා නිල නිවෙසේ රැඳී සිටින බව දැන ගැනීමට ලැබිණ. එහි ගොස් පොලිසිය විසින් ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 
සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය රෝහලට ගිය අවස්ථාවේ එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිරෝෂන් ලියනගේ මහතාගෙන් පොලිසියට ලොකු සහයෝගයක් ලැබී තිබේ. 


 අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා පරිහරණය කරන නවීන පන්නයේ ජංගම දුරකථනය ද පොලිස් බාරයට ගෙන ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. 
ඒ ජංගම දුරකතනය පරීක්ෂා කර බැලූ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ ඇස් උඩ ගියේ එහි ඇතුළත්ව තිබූ ඇසැබි දසුන් දැකීමෙනි. 


අසැබි දසුන් සහිත රූප රාමු හා අඩ නිරුවත් කාන්තාවන්ගේ ඡායාරූප රැසක් ජංගම දුරකතනයේ ඇතුළත්ව තිබුණ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. 
 පොලිසියට පෙනී ගොස් ඇති ආකාරයට එම ජංගම දුරකතනයේ ඇතුළත්ව ඇති සමහර කාන්තාවන්ගේ ඡායාරූප රැගෙන ඇත්තේ සාප්පුවලට ගොස් සිටි අවස්ථාවලදීය. 
 කාන්තාවන් විවිධ ඉරියව් වලින් ඉන්න ඡායාරූප ගණනාවක් ද සැකකාර වෛද්‍යවරයාගේ ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූප අතර තිබී ඇත. 
 තවත් වෛද්‍යවරුන් අතළොස්සක් මෙවැනි අපචාර ක්‍රියා සිදුකර පොලිසියට කොටු වී ඇතත් බහුතරයක් වෛද්‍යවරුන් දිවා රෑ නොබලා රෝගීන් වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන බව අප කිසිසේත් අමතක කළ යුතු නොවේ. එවැනි උතුම් වෛද්‍යවරුන්ට ජාතියේ උපහාරය නිතැතින්ම හිමිවනවා නොඅනුමානය. 


පාසල් සිසුවියන් හතර දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් උසස් අධ්‍යාපනය ලබා වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ පිහිටි වෛද්‍ය පීඨයකිනි. 


වෛද්‍ය උපාධිය හැදෑරීමට ලක්ෂ 80 ක පමණ මුදලක් වැය වූ බව වෛද්‍යවරයා පොලිසියට පවසා ඇති බව කියති. 
 ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබා පැමිණි සැකකාර වෛද්‍යවරයා මෙරට දී ද වැඩිදුර වෛද්‍ය විද්‍යාව හද‌ාරා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත. 
මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවේ මිලාන් ලලන්තක ප්‍රනාන්දු නමැති වෛද්‍යවරයෙකි. ඔහු 46 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. 


සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු මේ මස 21 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට අම්පාර මහේස්ත්‍රාත් අසිංශා හෙට්ටියාවත්ත මෙනවිය නියෝග කළාය. 
 මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද ආරම්භ කර තිබෙන බව අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රසිංග සේරසිංහ මහතා පවසයි. 


ගොනාගොල්ල සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිරෝෂණ ලියනගේ මහතා මේ සම්බන්ධයෙන් ඉරිද‌ා ලංකාදීපයට අදහස් දක්වමින් කිව්වේ මෙවැනි කතාවකි. 


මේ සිද්ධියෙන් පසු සමහර දමිළ සමාජ ජලා මාධ්‍ය වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර හරිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පවා කිසිම පදනමක් නොමැතිව මේ සිද්ධිය මුලකර ගෙන මඩ ප්‍රචාර ගෙනියනවා. දෙමළ ඩයස් පෝරාව තමා මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කරන්නේ. 


මේ මඩ ප්‍රචාර ගැන විදුලි සංදේශ නියාමන කොමිසමට මම පැමිණිලි කළා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැගෙනහිර පළාත් ඒකකය විසින් මේ ගැන නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට ද පැමිණිල්ලක් කළා. 


 පොලිසිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී ප්‍රශංසනීය මෙහෙවරක් කළ බව වෛද්‍ය ලියනගේ මහතා කීය. 


නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අම්පාර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න යන මහත්වරුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ අම්පාර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ජයන්ත රත්නායක සහ අම්පාර පොලිස් අධිකාරි (01) ප්‍රියදර්ශන හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත උහන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එච්.එල්. සමරවීර, කාන්තා පොලිස් කොස්තාපල්වරියක වන ෂර්මිලා (5694), නිරෝෂා (1984) සහ ධම්මිකා (7838) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති. 

 


සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය