පාසල් සිසුවියගේ සෙබළ පෙම්වතා


​මේ ඔෙබි නැගනියයි  

ඇය 18 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියකි.   


ඉගෙනීමට ද ඇය උපන් හපන්කම් දැක්වූවාය.   


ඇයට බාල සොහොයුරෙකු ද සිටින අතර මව්පියන් ඔවුන් ජීවත් කරන්නේ බොහොම දුක් මහන්සිවී ගොවිතැන් කිරීමෙන් උපයා ගන්නා මුදලිනි.   


ඒත් දරු දෙදෙනාට කිසිම අඩු පාඩුවක් නොවන්නට ඔවුහු සෑම විටම වගබලා ගත්හ.   
ඇයගේ ඥාති සහෝදරයෙක් සේවය කරන්නේ යුද හමුදාවේය.   
යුද හමුදාවේ සේවය කරන ඥාති සහෝදරයා සමග දවසක් ඔහුගේ මිතුරෙක් ද නිවසට ආවේය.   
ඔහු ද හමුදා සෙබළෙකි.   


ඒ මීට මාස තුනකට පමණ ඉහත දීය.   


ගෙදරට ආ පළමු දවසේම ඥාති සහෝදරයාගේ මිතුරු හමුදා සෙබළා සමග ඇය ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගත්තාය.   


ඥාති සහෝදරයාගේ මිතුරු සෙබළා ඇයට කෙළින්ම ආදරය ප්‍රකාශ කළ අතර ඇය ද ඊට කැමැත්ත ලබාදුන්නේ වැඩිදුර නොසිතාය.   


‘මම මීට කලින් කිසිම කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධකම් පවත්වලා නැහැ. මේ ඇත්තමයි කිව්වේ ඔයා මාව කවදාවත් අතහරින්න එපා’ යැයි ඇය පැවැසුවාය.   


‘මමත් එහෙම තමා ඔයාව දැක්ක ගමන් මට හිත ගියා. ඒ ගැන බය වෙන්න එපා. ඔයා හොඳට ඉගෙන ගන්න ඊට පස්සේ අපි දෙන්නා බඳිමු’   
හමුදා සෙබළ පෙම්වතා පවසා ඇත.   


ඇය ද සෙබළ පෙම්වතා කියන දේ විශ්වාස කළාය.   
ටික දවසක් යද්දි සිසුවියගේ ගෙදර අය ද දියණියගේ මේ සම්බන්ධතාවය දැනගෙන ඇත.   
ඇයගේ මව්පියන් ද මෙයට විරුද්ධ වී නැත්තේ බෑණා වීමට යන්නේ හමුදාවේ සේවය කරන කෙනෙක් නිසාය.   
සුපුරුදු පරිදි හමුදා පෙම්වතා ඇය සොයා නිවසට ආවේය.   
එදා ඇයගේ අම්මා හා තාත්තා කුඹුරට ගොස් සිටි අතර මල්ලි පන්ති ගොස් සිටි නිසා ගෙදර සිටියේ ඇය විතරය.   


කිසිවකු නොසිටි නිසා පෙම්වතුන් යුවළ රිසිසේ හැසිරුණේ ඔවුන්ටම වෙන්වූ ලොවකය.   
එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඇයගේ පිවිතුරුකම නැතිවී යාමය.   
ඇය ඉකි ගසා හැඬුවේ ඒ නිසාය.   


‘ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මම ඔයාව බඳිනවා’ යැයි කියමින් සෙබළ පෙම්වතා හිස සිඹ දෙවුරෙන් ඔසවා යහන්ගතව සිටි ඇයව නැගිටවා ගත්තේ ඇය සනසාලමින්ය.   
මේ වගක් ඇය කිසිවකුට කියා නැත.   
කිසිවක් නොවූ ලෙස ඇය සුපුරුදු පරිදි සිය වැඩ කටයුතු කරගෙන ගියාය.   
‘අම්මේ මම මල්ලියාව පන්ති ගිහින් ඇරලවන්න යනවා’ යැයි කියා ඇය සිය සොහොයුරා කැටුව නිවසින් එළියට බැස්සාය.   


කලින් කතා කරගත් පරිදි සෙබළ පෙම්වතා ඇය හමුවීමට පැමිණ තිබූ අතර මල්ලිව පන්තියට ඇරලවා ඔහුත් සමග විවාහ දිවියට එළඹුණේ විවාහ රෙජිස්ටාර්වරයකු ඉදිරියේ දීය.   
විවාහයේ සාක්කිකරුවන් වූයේ සෙබළ පෙම්වතාගේ හිතවතුන් දෙදෙනෙකි.   
තමා සෙබළ පෙම්වතා සමඟ විවාහ වූ බව ඇය මව්පියන් සමඟ කියා ඇත.   
මව්පියන් සෙබළ පෙම්වතාගේ වග තුග සොයා බලන විට ප්‍රමාද වැඩිය. 

 
මව්පියන්ගේ හිස ගිනි ගත්තේ දියණිය විවාහවී ඇත්තේ මීට පෙර විවාහකයකු සමඟ බව දැනගත් පසුවය.   
ඒ විවාහයෙන් ඔහුට අවුරුදු 3ක දරුවෙක් ද සිටින බව දැනගත් මව්පියන් ඒ බව සිය දියණියට දැනුම් දී ඇත.   
ඇය විවාහ වී ඒ වෙනකොට ගතව තිබුණේ දවස් තුනක පමණ කාලයකි.   
මේ කතාව අසා ඇය වේදනාව දරාගත නොහැකිව හඬා වැළපුනාය.   
මේ බව දැනගත් ඇය සෙබළ සැමියාට දුරකථනයෙන් කතා කර පවසා ඇත්තේ මේ පැත්ත පළාතක නොඑන ලෙසය.   


හමුදා සෙබළා ඔහුගේ සෙබළ මස්සිනා ද කැටිව අම්පාර උහන ප්‍රදේශයට පැමිණියේ හොඳින් හෝ නරකින් ඇය රැගෙන යාමටය.   
ඇය ඔවුන්ගෙන් මිදී නිවසින් පලාගොස් සැඟව සිට පසුව මව්පියන් ද කැටුව ගියේ මේ ගැන උහන පොලිසියට පැමිණිලි කිරීමටය.   


මව්පියන් සිය දියණියට වූ කරදරය ගැන උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා හමුවේ කියා ඇත්තේ හඬමිනි.   
තවමත් ඉගෙන ගන්නා දියණිය මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටීමට මව්පියන් ද වගකිව යුතු බව මෙහිදී පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා කියා සිටියේය.   
ගැහැණු දරුවන් සිටින කොයි මව්පියන්ටත් මේ කතාව හොඳ ආදර්ශයක් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසුවේය.   


පාසල් සිසුවිය රවටා විහාහ කරගත් සෙබළා ද ඇය පැහැරගෙන යාමට ආ සෙබළා ද අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්වූහ.   


සිසුවිය විවාහ කරගත් සෙබළා පළමු විවාහක බිරිඳට හා දරුවාට මාසයකට රුපියල් 7,000ක පමණ මුදලක් අධිකරණ නියමයකින් නඩත්තු වශයෙන් ගෙවන බව පොලිසියේ දී අනාවරණය විය.   
බහු විවාහයක් කර ගැනීම සම්බන්ධයෙන් සෙබළාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවැරීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.   


උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් සැරයන් ෂර්මිලා ඉරේෂානි ගාල්ලගේ (5694) මහත්මිය මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වා ඇත. 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය