පාථිවියෙන් සමුගනිමු


ඉසාක් (අයිසැක්) අසිමොව්ගේ   විද්‍යා ප්‍රබන්ධයක්  

 

මා මේ පණිවුඩය පෘථිවිය වෙත යවන්නේ සිදුවිය හැකි බවට මා සහතිකවම විශ්වාස කරන දේ සහ සිදුවිය යුතු දේ පිළිබඳව මට ඇති හැඟීම් ගැන පෘථිවිවාසීන්ට අවවාද කිරීමට දරන උත්සාහයක් වශයෙනි. ඉදිරියට සිදුවිය හැකි දේ පිළිබඳව ඇතිවන්නේ කනගාටුවකි. එහෙත් කිසිවෙක් ඒ ගැන කතා නොකරති. එහෙත් කවරෙකු හෝ ඒ ගැන කතා කර පෘථිවිවාසීන්ට සූද‌ානමින් සිටින ලෙස අවවාද කළ යුතුය.  


විසිඑක් වැනි සියවසේ දෙවන භාගයේ පෘථිවි කක්ෂයේ ජනපද දුසිමක් පමණ විය. ඒ සෑම එකක්ම නිදහස් කුඩා ලෝකයක් විය. මෙම ජනපදවල ලක්ෂයක් පමණ වාසය කළහ. එයින් විශාලම ජනපදයේ විසිපන්දහසක් පමණ සිටියහ. පෘථිවිවාසීන් මේ බව දැන සිටි බව මට සහතිකව කිව හැකිය. එහෙත් ඔවුන් තමන්ගේ විශාල ලෝකයේ කටයුතුවල කොතරම් ඇලී ගැලී සිටියේ ද යත් කුඩා නොවැදගත් වස්තුන් වූ අප ගැන සිතුවේ කලාතුරකිනි. හොඳයි කරුණාකර අප ගැනත් සිතන්න.  


සෑම ජනපදයක්ම පෘථිවියේ පරිසරයේම අනුකරණයක් වූ අතර පෘථිවියේ මෙන් ආකර්ශන ශක්තිය පැවැති අතර කක්ෂය වටා ගමන් කරමින් සාමාන්‍ය පරිදි දිවා සහ රාත්‍රී කාල ඇති කළේය. හැම එකකම ගොවිපළ සහ කම්හල් ඇති කිරීමටත් වලාකුළුවලට ගමන් කිරීමටත් අවශ්‍ය තරම් අවකාශ තිබිණ. නගර, පාසල් සහ ක්‍රීඩාංගණ ආදී පහසුකම් ද විය.  
 පෘථිවියට නොතිබූ දේවල් ද අප සතු විය. එක් එක් ජනපදයට අනුව ආකර්ෂණ ශක්තිය වෙනස් විය. ආකර්ෂණ ශක්තිය අඩු සහ කොහෙත්ම නැති ස්ථාන ද වූ අතර එවැනි ස්ථානවල අපට අත්තටු සවිකරගෙන පියාසර කිරීමට ද හැකි විය. අපට අතිවිශාල ටෙනිස් බෝලවලින් ක්‍රීඩා කළ හැකි වූ අතර අමුතුම තාලේ ශාරීරිකාභ්‍යාස අත්දැකීම් ලබාගත හැකි ස්ථාන ද විය.  


 අප අභ්‍යාවකාශයට හුරුවූ පිරිසක් වූ බැවින් අපටම ආවේනික වූ අභ්‍යාවකාශ සංස්කෘතියක් ද විය. අපේ ප්‍රධාන කාර්යය වූයේ ජනපද කාර්යක්ෂම ලෙස පවත්වා ගෙන යාමයි. ඊට අමතරව අප සඳහාම වූ ඉදිකිරීම් සහ පෘථිවියට අවශ්‍ය ඉදිකිරීම් ද අපේ කාර්යයන්ට අයත් විය. අභ්‍යවකාශයේ වැඩ කළ බැවින් අභ්‍යවකාශ යානාවල සිට අභ්‍යාවකාශ ඇඳුමින් සැරසී වැඩ සිටීමට අපට සිදුවිය. ආකර්ෂණ ශක්තිය බිංදුවටම වැටී ඇති තැන්වල සිට වැඩ කිරීමට අපි ළමා කාලයේ සිටි පුරුදු වීමු.  
පෘථිවියට ඇති අපට නොමැති දේවල් ද විය. පෘථිවියට මෙන් අයහපත් කාලගුණ තත්ත්වයන් අපට නැත. අපේ ජනපදවල කාලගුණය මනාව කළමනාකරණය කර තිබූ අතර දැඩි උණුසුම් හෝ දැඩි ශීතල අපට බල නොපෑවේය. චණ්ඩ කුණාටු මෙන්ම හිමපතනය ද අපට බල නොපෑවේය.  


 පෘථිවියේ මෙන් භයානක භූමි ප්‍රදේශ නොවීය. කඳු, බෑවුම්, වගුරු බිම්, කාන්තාර මෙන්ම චණ්ඩ මුහුදු මෙහි නොවීය. විනාශකාරී පැළෑටි, භයානක සතුන්, පරපුටුවන් සහ පිළිල අපේ ජනපදවල දක්නට නොලැබිණ. අපේ ජනපද ඕනෑවටත් වඩා සුරක්ෂිත බවටත් කිසිදු අනතුරක් නැති බවටත් සමහරෙක් පැමිණිලි කළහ. අපේ මිනිසුන්ට ඕනෑම අවස්ථාවක අභ්‍යවකාශයේ සැරිසැරීමට හැකි අතර අඟහරු ලෝකය සහ වෙනත් ග්‍රහ ලෝකවලට දීර්ඝ චාරිකාවල යෙදීමටත් හැකිය. එවැනි චාරිකා පෘථිවි වාසීන්ගේ මානසික තත්ත්වයට සුදුසු නොවේ. ඇත්තම කිවහොත් අඟහරු ලෝකයේ සහ අනෙක් ග්‍රහලෝකවල ජනපද පිහිටුවීමට ද අපේ ජනපදවල සිටි අය සැලසුම් කළහ. එහෙත් ඒවා කිසිදිනක සාර්ථක නොවීය. එයට හේතු මම පැහැදිලි කරමි.  


 මනුෂ්‍ය වර්ගයා නොදන්නා වසන්තයක් ජනපදවල දක්නට නැත. මින් ශතවර්ෂයකට පෙර ප්‍රනිස්සෙටන්හි ජෙරල්ඩ් ඕ නෙයිල් සහ ඔහුගේ සිසුහු මනුෂ්‍ය වර්ගයාට සුදුසු නිවාස ඉදිකිරීම සඳහා මූලික සැලසුම් සකස් කළහ. ඊට පෙර සිට විද්‍යා ප්‍රබන්ධ රචකයෝ ද මේ සඳහා බලාපොරොත්තු පළ කළහ. බොහෝ දෙනෙකු කලින් සිතා සිටියත් ජනපද ඉදිකළ පිරිසට එය බලවත් හිරිහැරයක් නොවීය. ඉදිකිරීම් සඳහා දැරීමට සිදුවන වියදම පෘථිවියට සමාන පරිසරයක් නිර්මාණය කිරීමේ දී ඇතිවන ගැටලු, බලශක්තිය රැස්කිරීම, විකීරණවලින් ආරක්ෂා වීම ආදී ගැටලු විසඳ‌ාගත හැකි විය. එය පහසුවෙන් කළ හැකි නොවුවත් ඉටුකරගත හැකි විය.  
 සූර්යයාගෙන් අපගේ අවශ්‍යතාවට සරිලන පරිදි බලශක්තිය ලැබුණු අතර අපට ඉන්​ කොටසක් පෘථිවියට අපනයනය කිරීමට ද හැකි විය. අපට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර වගා කළ හැකි වූ අතර එබැවින් ඇත්තටම පෘථිවියට අපනයනය කිරීමටත් හැකි විය. අපට හාවුන් කුකුළන් වැනි කුඩා සතුන්ගෙන් අපගේ මස් අවශ්‍යතා පිරිමසා ගත හැකි විය. අපට අවශ්‍ය ද්‍රව්‍ය චන්ද්‍රයාගෙන් පමණක් නොව අනෙකුත් ග්‍රහ ලෝකවලින් සහ ධූම කේතුවලින් ලබාගත හැකි විය. අප වෙනත් ග්‍රහලෝකයකට ළඟා වූ විට අපට අවශ්‍ය ද්‍රව්‍ය අසීමිතව ලබාගත හැකිය.  


අපට කරදරයක් වූයේ අපට මැඩපැවැත්විය නොහැකි නිෂ්පාදනයකි. ඒ බව මිනිසුන් ටික දෙනෙක් කලින්ම දැන සිටියහ. එනම් පරිසරය නොවෙනස්ව පවත්වා ගෙන යාමයි. සෑම ජනපදයක්ම එම ජනපදයේම ආධාරයෙන් පැවැතිණ. එයට මිනිසුන්, ගස් සහ සතුන් ඇතුළත් විය. වාතය, ජලය සහ පස ද ඊට අඩංගු විය. ජීවමාන දේවල් දෙගුණ තෙගුණ වූ අතර ඔවුහු එම සංඛ්‍යාව නඩත්තු කළහ. එහෙත් වැඩිවන පිරිසට උපකාර කිරීමට ජනපදවලට නොහැකි විය.  


ගස් වැල් සහ සත්තු? හොඳයි අපි ඔවුන් පාලනය කළෙමු. ඔවුනගේ වර්ධනය අධීක්ෂණය කොට එහි අතිරික්තය අපි පරිභෝජනයට ගත්තෙමු. ජනගහන වර්ධනය සතුටුද‌ායක ආකාරයෙන් නඩත්තු කරගෙන යාම වඩා දුෂ්කර කාර්යයක් විය. උපත් සංඛ්‍යාව, මිනිස් මරණ සංඛ්‍යාව ඉක්මවා යාමට ඉඩ දීමට අපට නොහැකිය. අපි මරණ හැකිතාක් අඩු කිරීමට කටයුතු කළෙමු. ඇත්තෙන්ම මේ නිසා පොළවේ තත්ත්වය සමග සසඳන විට අපේ වැඩිහිටි පරපුර වැඩිවිය. තරුණ පරපුර අඩුවූ අතර වැඩිහිටි සහ වයෝවෘද්ධ ප්‍රජාව ප්‍රතිශතයක් වශයෙන් ගත් කල ඉහළ අගයක් ගත්තේය. මේ නිසා මානසික පීඩාව වැඩිවිය. එහෙත් ජනපදවාසීන්ගේ පොදු අදහස වූයේ එය සාමාන්‍ය දෙයක් බවයි. ජනගහනය මනාව පාලනය කර ඇති බැවින් දුප්පතුන්, නිවාස නොමැති අය හෝ අසරණුන් නොවීය.  


ජලය, වාතය සහ ආහාර ප්‍රවේශමෙන් ප්‍රතිචක්‍රීයකරණ කළ යුතු විය. පාවිච්චි කළ ජලය පවිත්‍ර කිරීම සඳහා අපගේ තාක්ෂණය වැඩි වශයෙන් යෙදවුන අතර ශරීරවලින් බැහැර කරන ඝන අපද්‍රව්‍ය සහ ජලය පිරිසුදු පොහොර නිෂ්පාදනය සඳහා යොද‌ාගනු ලැබීය. ප්‍රතිචක්‍රීයකරණ තාක්ෂණයේ කිසිදු වරදක් සිදුවීමට ඉඩ තැබීමට අපට නොහැකිය. ඒ නිසා කිසිදු වරදක් හෝ අතපසුවීමක් සිදුකිරීමට ඉඩක් නොවීය. එහෙත් ඇත්තටම සියල්ල හොඳින් සිදුවුවත් ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ද්‍රව්‍ය ආහාරයට සහ පානයට ගැනීම ප්‍රියජනක නොවීය. පෘථිවියේ දී සියල්ල ප්‍රතිචක්‍රීයකරණය වන නමුදු විශාලත්වය සහ ස්වභාවික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් ද සිදුවන බැවින් පෘථිවිවාසීහු ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකරති.  


තරමක විශාල උල්කාපතයක් ජනපදවල පිටත පෘෂ්ඨයේ ඝට්ටනවේය යන බිය හැමවිටම පැවතිණ. ගල් කැටයක තරම් කුඩා වස්තුවක් හානිකර විය හැකි අතර අඩියක් තරම් විශාල කොටසක් සමග ගැටුනොත් ජනපදයක් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. වාසනාවකට මෙන් එවැනි අවස්ථාවකට ඉඩක් නැති අතර එවැනි අවස්ථාවක් දැනගත් විගසම එය අපෙන් ඈත්කොට වෙනත් අතකට හරවා යැවීමට හැකියාව තිබේ. එවැනි අනතුරක් පිළිබඳව බියක් තබා නොගත යුත්තේ අප තුළ අපගේ සුරක්ෂිතතාව පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති හෙයිනි.  


කෙසේ වෙතත් අපේ පරිසරය ආරක්ෂා කිරීම සහ නඩත්තු කරගෙන යාම පිළිබඳව අපි දැඩි අවධානයෙන් කටයුතු කළෙමු.  
සෑම ජනපදයක්ම තමන්ට පමණක් නොව අනෙක් ජනපදයන්ට අවශ්‍ය වන දේ නිෂ්පාදනය කරති. විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් අපි විශේෂ නිෂ්පාදනයන් කරමු. ඒ සමගම අපි පෘථිවිය සමග ද වාණිජ කටයුතුවල නිරතවෙමු. ජනපදවල නොමැති දේවල් ලබා ගැනීමට අපේ වැසියෝ නිතරම පෘථිවිය වෙත යති. නිල් පැහැති විශාල අහස, මුහුදු සහ හිමවලින් වැසුන කඳු දැකීම අපට කෙතරම් සතුට ගෙන දෙන්නේ ද යන්න පෘථිවිවාසීන්ට අවබෝධ කරගත නොහැකිය.  


 එබැවින් අපේ ජනපදවාසීහු නිරතුරුවම පෘථිවියට සංචාරයේ යෙදෙති. අපේ ජනපදවල ඒවාටම ආවේනික පරිසර සමබරතාවක් පැවැති අතර එවකට පෘථිවියේ පැවැති සමබරතාව සමග සසඳන විට පෘථිවියේ සමබරතාව ඉතා උසස් තත්ත්වයක පැවතිණ.  


 අපේ කෘමි සතුන් පරිසරයට හුරුව සිටි අතර මැනවින් පාලනය කෙරිණ. එහෙත් අමුතු කෘමි සතුන් අහම්බෙන් හෝ නොදැනුවත්කම නිසා හෝ අපේම වෙනත් ජනපදවලින් හෝ පෘථිවියෙන් අපේ පරිසරයට එක්ව තිබේ නම්?  


අමුතු කෘමීන්, අමුතු පණුවන් සහ මූෂික වර්ගයේ අමුතු සත්තු අපේ පරිසර සමබරතාව මුළුමනින්ම විනාශ කරමින් ඊට ඇතුළුව අපේ ගස්වැල් සහ සතුන්ට හානි පමුණුවති. අවස්ථා ගණනාවකදීම මෙම අනවශ්‍ය ජීවීන් විනාශ කර දැමීමට අතිවිශේෂ පියවර ගැනීමට ජනපදවලට සිදුවිය. මේ සඳහා මාස ගණනක් තිස්සේ ක්‍රියාකොට කෘමි සතුන් හඳුනාගෙන විනාශ කළ යුතු විය. වඩාත් නරක් වූයේ රෝග කාරක පිළිල, බැක්ටීරියා වයිරස් සහ ඒකශෛලික ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමයි? ඒවා අනෙක් ජනපදවලට සහ පෘථිවියට පැතිර ගොස් රෝග පැතිරවුවහොත්? පෘථිවිය විවිධ ප්‍රතිශක්ති ක්‍රම සොයාගෙන ඇතත් ජනපදවලට එවැනි ක්‍රම නැති බැවින් ඒවා අසරණ වේ. දැනට ජනපදවල සම්පූර්ණ උත්සාහය වී ඇත්තේ ප්‍රතිශක්තිකරණය සඳහා බහුවිධ ක්‍රම සෙවීමත් යම් ලෙසකින් රෝග වැළඳුනහොත් ඒවාට එරෙහිව සටන් කිරීමට ක්‍රම සෙවීමත්ය. එහෙත් ඇත්තටම මරණය වැළැක්විය හැකි නොවේ.  


කෙසේ වෙතත් රෝග කාරක විෂබීජ පාලනය කළ යුතු බව කියමින් උද්ඝෝෂණ පැවැත්විණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එක් ජනපදයක සිට වෙනත් ජනපදයකට ගොස් පැමිණෙන සංචාරකයන්ගේ ගමන් මලු පූර්ණ පරික්ෂණයකට ලක්කෙරුන අතර එම සංචාරකයන්ගේ ශරීර ද පරික්ෂා කෙරිණ. නොහඳුනන රෝග කාරකයක් සංචාරකයන්ගේ ශරීර තුළ තිබිය හැකි බැවින් ඔවුනට නිරෝධායන කාලයකට යටත්ව සිටීමට ද සිදුවිය.  


 තවදුරටත් කිව යුත්තේ හරි හෝ වැරදි වේවා ජනපදවල වාසය කරන අය පෘථිවිවාසීන්ව හමුවීම භයානක බවට තදින්ම අවවාද කෙරිණ. නුසුදුසු ජීවීන් රෝග කාරක විෂබීජ හටගන්නේ පෘථිවියේයි. ඒවාට පෘථිවිවාසීහු ගොදුරු වෙති. එබැවින් පෘථිවිවාසීන් සහ ජනපදවාසීන් අතර සම්බන්ධයක් පවත්වාගෙන යා යුතු නොවන බවට සමහර පාර්ශ්ව කියා සිටියහ.  


මට අවශ්‍ය වූයේ මෙහි ඇති භයානක බව පිළිබඳව පෘථිවිවාසීන්ට අනතුරු හැඟවීමටයි. පෘථිවිවාසීන් පිළිබඳ අවිශ්වාසය පමණක් නොව ඔවුන්ට එරෙහි ද්වේශය සහ කෝපය ද ජනපදවාසීන් අතර ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි.  


 පෘථිවිය සැතපුම් දසදහස් ගණනක් ඈතින් පිහිටියත් පෘථිවිය සමග පවත්වන සම්බන්ධතා බිඳ දැමීම ගැන කතා කිරීමේ ඵලක් නැත. එබැවින් දැන් එය කෙඳිරිල්ලක් බවට පත්ව තිබේ. එහෙත් එය ක්‍රමයෙන් වර්ධනය විය හැකිය මා කල්පනා කරන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලයෙන්ම ඉවත්ව යා හැකි තත්ත්වයක් උද‌ාවිය හැකි බවයි.  


 සෑම ජනපදවාසියෙක්ම ඉවත්ව යාමට සූද‌ානමින් සිටී, අප ග්‍රහලෝක අතර සිටිය දී නම් සූර්ය බලශක්තිය ප්‍රමාණවත් වේ. අපි කුඩා ධූම කේතු අල්ලාගන අපට අවශ්‍ය හයිඩ්‍රජන් ලබා ගතිමු. සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈත්වෙමින් යද්දී සූර්යයාගෙන් ශක්තිය ලබා ගැනීම අපහසුය.  


සෑම ජනපදවාසියෙක්ම පෘථිවියෙන් සමුගනිමින් තරු අතර නිදහස් ලෝක බලා ගමන් කරන්නට විය. වසර දශලක්ෂ ගණනකට පසු පෘථිවිය සමාන හිස් ලෝකයක් ඇතිවී එය ජනපද බවට පත්වේද යන්න කවුරු දනී ද?  


පෘථිවිවාසීන්ට අවවාද කරන්නට මට සිතුණේ ඒ නිසයි. කවද‌ා හෝ ජනපද අතහැර යාමට සිදුවේවි. අලුතෙන් ඇති කරන ජනපදත් කවද‌ා හෝ අතහැර දමන්නට සිදුවේවි. එවිට පෘථිවියට තනිවම සිටින්නට සිදුවේවි. එහෙත් කවද‌ා හෝ ඔබගේ අනාගත පරම්පරාව මුළු විශ්වයම මිනිසුන්ගෙන් පුරවනු ඇත. සියල්ල හැර යන පසුබිමක ඔබට සැනසීමට ඇත්තේ එම සිතිවිල්ලයි.  
[email protected]   

 

 

ඉසාක් අසිමොව් විසිනි  
සිංහල අනුවාදය බොබී ජී. බොතේජු විසිනි