පාතාලේ ඌරුජුවාගේ ගෝලයෝ 8ක් අල්ලති


අවිගත් දඩබ්ම

 

සමයංගෙන් හිස් වූ තැන ගන්න ඌරුජුවා දැඩි වෑයමක


හංවැල්ල, අැඹුල්ගම, ජල්තර යන ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බියගන්වා ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් කප්පම් ලබාගැනීමේ නිරත පාතාල සාමාජිකයකු වන ඌරුජුවාගේ ගෝලයන් 8 දෙනෙක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් පසුගිය 26 වැනි ද‌ා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.   

මොවුන්ට රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදලක් ලබානොදීම ගැන උරණ වී වැලි ව්‍යාපාරිකයකුගේ නිවසට හා වැලිතොටුපොළේ මුරකරුගේ නිවසට ද වැලිතොටුපොළට පහර දී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.   


මෙම සැකකරුවන්ට නායකත්වය දුන් බව කියන ඌරුජුවා නමැත්තා පාතාල නායකයකුව සිටි සමයංගේ කීකරු ගෝලයකුව සිටියේය. ඔහු සමඟ එක්ව කප්පම් ගැනීම්, ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරත වූ ඌරුජුවා සමයං කළුතර එතනමඩලදී අංගොඩ ලොක්කා හා මාතර මධුෂ්ගේ කල්ලි විසින් වෙඩි තබා ඝාතන කිරීමෙන් පසු සමයංගේ රාජධානියේ කිරුළ ඌරුජුවා හිමිකර ගැනීමට දිවා රාත්‍රියේ උත්සාහ ගත්තේය.   
ඒ හේතුවෙන් සමයං විසින් සිදුකරගෙන ගිය සියලු අපරාධ මොහු සිය ගෝලයින් ලවා සිදුකරගෙන ගියේය.   


 ඉකුත් අප්‍රේල් මස දිනක ඔරුවල ගල්වරුසාව පාරේදී වැලි ව්‍යාපාරිකයකු මෙන්ම පාතාල සාමාජිකයකු වූ පොඩි සුදුවා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මීට පෙර ඌරුජුවා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් තවමත් රිමාන්ඩ් භාරයේ පසු වේ.   


ඔහු රිමාන්ඩ් භාරයේ සිටියදී ද ඔහු විසින් සිදුකරන කප්පම් ගැනීම් සහ අපරාධවල අඩුවක් නොවූ අතර බන්ධනාගාරයේ සිට දුරකතනය ඔස්සේ ගෝලයන් ලවා ඒ සියලු අපරාධ සිදුකරගෙන ගියේය.   


සමංගේ ඝාතනයෙන් පසු හංවැල්ල, ඇඹුල්දෙණිය, ජල්තර කඩුවෙල යන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව සැනසුම් සුසුම් හෙළුවද සමයංගේ අඩිපාරේ යමින් සිටි ඌරුජුවා එම සියලු ක්‍රියාකාරකම් ඒ අයුරින්ම සිදුකරගෙන ගියේය.   
ඌරුජුවාට ගෝලයින් රැසකි. අත්අඩංගුවේ පසුවන්නේ ඉන් 8 දෙනෙක් පමණි.   


ඌරුජුවා රුපියල් ලක්ෂ 50ක කප්පම් ඉල්ලා ඇඹුල්ගම ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයකුට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලබාදුන්නේය.   


අපි එම ව්‍යාපාරිකයා සුනිල් යැයි අන්වර්ථ නමින් හඳුන්වමු.   


ඌරුජුවා සුනිල් මුදලාලිට කප්පම් මුදල ඉල්ලා ඇමතුම් කිහිපයක්ම ලබා ගත්ත ද සුනිල් මුදලාලි ඌරුජුවාට කප්පම් ලබාදීම ප්‍රතික්ෂේක කළේය. ඌරුජුවාගෙන් බේරීම සඳහා ඔහුගේ දුරකතනය පවා ක්‍රියාවිරහිත කළේය.   
සිද්ධියෙන් උරණ වූ ඌරුජුවා ඔහුගේ ගෝලයින් ලවා සුනිල්ට බලපෑම් කිරීමට පටන් ගත්තේය. උරුජුවාගේ කීමට ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් යතුරුපැදියෙන් ව්‍යාපාරිකයාගේ නිවසට පිටත් කළේය. “මට කොහොම හරි මුදලාලි ෆෝන් එකට අරගෙන දීපන්.” ඔහු ගොලයන්ට දැනුම් දුන්නේය.   


ඒ අනුව ගෝලයන් දෙදෙනෙක් මුදලාලිගේ වෙළෙඳසලට ගියේය. “මෙන්න කෝල් එකක්” යැයි කියා ව්‍යාපාරිකයාට සැකකරුවන් ඌරුජුවා රැඳී සිටින දුරකතන ලබා දුන්නේය.   


එවිට ව්‍යාපාරිකයා කළමනාකරු වෙසින් සිටි සුනිල් “අද මුදලාලි කඩේට ආවේ නැහැ. මළගෙයක ගිහින් මොනවද වෙන්න ඕනැ” යැයි විමසා ඇත. එවිට කප්පම්කරුවන් “එහෙමද උඹෙන් වැඩක් නැහැ මුදලාලි ඉන්න වෙලාවක එන්නම්” කියා වෙළෙඳසලෙන් පිටව ගොස් තිබුණේය.   

 

සැකකරුවන් ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුලු වී නිවසට පහර දෙන අයුරු

 

පසුව එම පිරිස යළි ව්‍යාපාරිකයාගේ නිවසට ගියද ව්‍යාපාරිකයා නිවසේ සිට නොමැත. ඉන් උරණ වූ ඔවුන් සුනිල් මුදලාලිගේ නිවසේ තිබූ සී.සී.ටී.වී. කැමරා සියල්ල කඩා දමා ගියේය.   


කිහිප අවස්ථාවකදී සුනිල් මුදලාලි හමුවීමට ඌරුජුවාගේ ගෝලයින් ගියද ඔහු හමුවීමට නොහැකි විය. ඌරුජුවා සිද්ධියෙන් හොඳටම උරණ වී “ගෙදර යන්න එපා, පස් හෝදන තොටුපොළට පලයල්ලා” නැවත උපදෙස් දුන්නේය.   


එම උපදෙස් අනුව තුන් වෙනි දින ඔවුන් සුනිල් මුදලාලිගේ ඇඹුල්ගම සමගි මාවතේ ඇති වැලිතොටුපොළට යන්නේ එහිදී ඔහු හමුවී කප්පම් මුදල් ලබාගැනීමටයි.   


ඌරුජුවාගේ ගෝලයන් කොයි මොහොතක හෝ කප්පම් ඉල්ලා වැලිතොටුපොළට පැමිණෙන බවට සුනිල් මුදලාලි දැන සිටියේය. වැලි තොටුපොළේ පිරිස කප්පම්කරුවන්ට පහර දී පන්නා දැමීමට සුදානමින් සිටියහ.   
එදින සුනිල් මුදලාලි සොයාගෙන වැලිතොටුපොළට පැමිණි කප්පම්කරුවන් දෙදෙනා ඌරුජුවාගේ ගෝලයින් දෙදෙනෙකු බවට වැලිතොටුපොළේ සිටි පිරිස හඳුනාගන්නා අතර පසුව ඔවුන් සියලු දෙනා එක්ව මෙම සැකකරුවන්ට පහර දී තිබුණි.   


ප්‍රහාර හමුවේ එක් සැකකරුවෙක් පැනගොස් තිබූ අතර සෙසු පිරිස ඉතිරි වූ කප්පම්කරුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පසුව පොලිසියට බාර දී ඇත.   


මෙම සැකකරුවන් කප්පම් ගැනීම සඳහා පැමිණ තිබූ යතුරුපැදිය ඌරුජුවාගේ ගෝලයකුගේ වන කඩුවෙල වෙළේහංදියේ පදිංචි අයකුගේ සොහොයුරියගේ නමින් මිලදී ගෙන තිබූ යතුරුපැදියකි. 

 
එම කාන්තාවට ඌරුජුවා බන්ධනාගාරයේ සිට “අක්කේ මම යාළුවෙක් එවනවා. බයිසිකලේ දෙන්න” කියා ඇමතුමක් ලබා දී තිබූ අතර ඒ අනුව එම කාන්තාව සැකකරුවන්ට යතුරුපැදිය ලබා දී තිබුණි. එම කාන්තාව දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.   


මෙම සිද්ධියෙන් පසු සුනිල් ව්‍යාපාරිකයා බිය වූ අතර ගෝලයින්ට පහර දී පොලිසියට භාරදීම සම්බන්ධයෙන් උරණ වී සිටින ඌරුජුවා තමන්ගෙන් කොයි මොහොතේ හෝ පලිගනු ඇති බවට සැකකර ඔහු දරුවන් සමඟ නිවසින් ගොස් වෙනත් ස්ථානයක සැඟවීමට තීරණය කළේය.   


සුනිල් ව්‍යාපාරිකයා සිතූ ලෙසින්ම ඌරුජුවාගේ ගෝලයින් 8 දෙනෙක් පමණ එදින රාත්‍රියේ යතුරුපැදි 4කින් ව්‍යාපාරිකයාගේ හේන්පිට පාරේ පිහිටි සුවිසල් නිවසට පැමිණියහ. ඒ වනවිටත් ව්‍යාපාරිකයා දරුවන්ද සමඟ නිවස අතහැර පැනගොස් තිබුණි.   

 

ඌරුජුවාගේ ගෝලයන් කොයි මොහොතක හෝ කප්පම් ඉල්ලා වැලිතොටුපොළට පැමිණෙන බවට සුනිල් මුදලාලි දැන සිටියේය. වැලි තොටුපොළේ පිරිස කප්පම්කරුවන්ට පහර දී පන්නා දැමීමට සුදානමින් සිටියහ.  එදින සුනිල් මුදලාලි සොයාගෙන වැලිතොටුපොළට පැමිණි කප්පම්කරුවන් දෙදෙනා ඌරුජුවාගේ ගෝලයින් දෙදෙනෙකු බවට වැලිතොටුපොළේ සිටි පිරිස හඳුනාගන්නා අතර පසුව ඔවුන් සියලු දෙනා එක්ව මෙම සැකකරුවන්ට පහර දී තිබුණි.  


යතුරුපැදිවලින් පැමිණි පිරිස නිවසේ ගේට්ටු කඩා නිවසට ඇතුළු වී එහි පුටු, නවීන විදුලි උපකරණ, මාළු ටැංකි ඇතුළු නිවසේ සියලු භාණ්ඩ කඩා බිඳ දමා මුළු නිවසටම අලාභහානි කර පසුව පෙට්ට්‍රල් දමා මුළු නිවසටම ගිනි තබා පසුව ඔවුන් පැමිණි යතුරුපැදිවලින් පලායන්නේය.   


එම අවස්ථාවේ අවට සිටි පිරිස නිවසේ ගින්න නිවා දැමීමට කටයුතු කළහ.   


ව්‍යාපාරිකයාගේ නිවසට ගිනි තබා විනාශ කළ පසු එදින එම කල්ලියම රාත්‍රියේ වැලිතොටුපොළට පැමිණ එහි තිබූ භාණ්ඩවලට පහර දී විනාශ කළ අතර එම වැලිතොටුපොළේ මුරකරුගේ නිවසටද පහර දී දැඩි ලෙස අලාභහානි සිදුකර පලාගියහ.   


මෙම ක්‍රියාවලින් නොනැවතුණු ඌරුජුවා සුනිල් මුදලාලිගේ දුරකතන අංක සොයාගෙන ඇමතුම් ලබාදෙමින් “මගේ කොල්ලන්ට පිට උං දම්මාලා ගැහැව්වා, මම යහතින් ඉන්න දෙන්නේ නැහැ ලක්ෂ 50 ලෑස්ති කරගනින්. පොලිසියට කිව්වාට මම බයවෙන්නේ නැහැ. මගේ සල්ලි ලෑස්ති කරගනින් නැතිනම් පවුලම මරනවා” යැයි නොයෙක් ආකාරයෙන් නිතර නිතර තර්ජන කළේය.   

 

සැකකරුවන් වැලිතොටුපළේ බැකෝ යන්ත්‍රයකට පහර දී අලාභ හානි සිදුකර ඇති අයුරු

 

මීට දින කිහිපයකට ඉහතදී යළිත් තර්ජන කර ඇති ඌරුජුවා “සල්ලි ලෑස්ති ද” යනුවෙන් විමසා ඇත. පසුව ව්‍යාපාරිකයා “අනේ මම ළඟ කොහින් ද ඒ තරම් සල්ලියක්. මට සල්ලි දෙන්න විදිහක් නැහැ” යැයි පවසා ඇත.   
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, ගෙට ගිනි තැබීම, කැමරා කැඩීම, වැලිතොටුපොළට පහර දී අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3ක් හංවැල්ල පොලිසියට දමා තිබුණි.   


බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් එක් පැමිණිල්ලක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වෙත යොමු කළේය.   


මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර මැල්සිරිපුර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කල්ලියේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්හ.   


ඌරුජුවාගේ ගෝලයකු මැල්සිරිපුර නිවසක් කුලියට ගෙන නැවතී සිටි අතර ඌරුජුවාගේ උපදෙස් මත මෙම පිරිස එම නිවසට ගොස් සැඟව සිටියහ.   


ඔවුන්ගේ තොරතුරු අනුව අතුරුගිරිය, පාදුක්ක, හොරණ යන ප්‍රදේශවලදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.   


ප්‍රහාරයට පැමිණි යතුරුපැදි 4ද , කඩු, කිසිනි ඇතුළු ආයුධ තොගයක් ද පොලිසිය සොයාගත්හ.   


ඉකුත් දිනක පාතාල නායක ලඩියාගේ ගෝලයින් පිරිසක් තලංගම ප්‍රදේශයේ නිවසකට කඩා වැදී වෙඩි තබා නිවෙසේ නිදා සිටි ගෙහිමියා ඝාතනය කර තිබූ අතර එදින වෙඩික්කරුවන්ගේ ඉල්ලකය වූයේ ඌරුජුවාගේ ගෝලයකු වන ඉහත පාදුක්කේ පදිංචි පුද්ගලයා බවයි. වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී එදින ගෙහිමියා ගොදුර බවට පත්විය.   


එම පාදුක්කේ පුද්ගලයා සුනිල් ව්‍යාපාරිකයාගේ නිවසට පහර දීමට පැමිණ සිටි පිරිස අතර සිටි එක් සැකකරුවෙකි.   


පොලිසිය සිදුකරන පරීක්ෂණවලට අනුව ඌරුජුවාට ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම ආධාර අනුබල ලබාදී ඇත්තේ ඇඹුල්ගම පදිංචි වෙනත් ව්‍යාපාරිකයකු බවයි.   


ඔහු ව්‍යාපාරිකයන්ගේ වත්කම් සහ ඔවුන්ගේ අාදායම් සම්බන්ධයෙන් සියලු තොරතුරු ඌරුජුවා වෙත ලබාදෙන බව පොලිසිය කියයි.   


සැකකාර එම ව්‍යාපාරිකයා එහි වෙසෙන ව්‍යපාරිකයන් සමඟ හිතවත් වී ඔවුන්ගේ ආදායම්, වත්කම් පිළිබද තොරතුරු ලබාගන්නා බවත් කිසියම් ව්‍යාපාරිකයකු අලුතින් වාහනයක් මිලදී ගන්නේ නම් එහි වටිනාකම ඇතුලු සියල්ල ඉහත සැකකාර ව්‍යාපාරිකයා ඌරුජුවාට දැනුම් දෙන අතර පසුව ඌරුජුවා එම ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා සිටියි.   


කප්පම් ලබාදීමට අදිමදි කළහොත් “ඇයි ඊයේ පෙරේදා අලුතින් වාහනයක් ගත්තා නේද? අපිට තමා දෙන්න බැරි. කොහොම හරි සල්ලි ඕනෑ නැතිනම් බලගනින්” යනුවෙන් තර්ජනය කරයි.   


ඌරුජුවා ලබාගන්නා කප්පම් මුදල්වලින් කොටසක් මෙම සැකකාර ව්‍යාපාරිකයාටද ලැබෙන බවද පොලිසිය කියයි.   

 

පරීක්ෂණ මෙහෙයවන පොලිස්  නිලධාරීන් 

 

 

මෙම සැකකාර ව්‍යාපාරිකයාගේ දුරකතන ඇමැතුම් පරික්ෂා කිරීමේදී වැඩිම ඇමැතුම් ලබාගෙන ඇත්තේ ඌරුජුවාට බව පොලිසිය කියයි.   


සුනිල් ව්‍යාපාරිකයාගේ නිවසට පහර දුන් දිනයේ රාත්‍රියේ මොහු ඌරුජුවා සමඟ ඇමතුම් 20ක් පමණ ලබාගන තිබූ බවද පොලිසිය කියයි.   


මෙම සැකකාර ව්‍යාපාරිකයාගේ තොරතුරු මත ඌරුජුවා ව්‍යාපාරිකයන් බියකර රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති නමුත් ඌරුජුවාට ඇති බිය නිසා කිසිවෙක් පොලිසියට පැමිණිලි කර නොමැත.   
මොහුගේ කප්පම්වලින් බේරීමට සහ කප්පම් ලබාදීමට නොහැකිව ව්‍යාපාරිකයන් 7 දෙනෙක් ප්‍රදේශය අතහැර ගොස් ඇති බවද පොලිසිය පවසයි.   


සුනිල් ව්‍යාපාරිකයා කර තිබූ පැමිණිල්ලක් අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වා මෙම කප්පම්කරුවන් කොටුකර නොගත්තේනම් මෙම කප්පම්කරුවන් තවමත් රිසි සේ කප්පම් සෙල්ලමේ නිරත ​වෙනු නොවනුමානයි.   


බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් මෙන්ඩිස් (20553), (56958) ප්‍රසන්න, (16053) අතුල, සුනිල් (56951), කරුණාතිස්ස (51885), කොස්තාපල්වරුන් වන ප්‍රසන්න (40248), ලලන්ත (72338), ගිහාන් (72989), අමිල (77687), සමීර (81600), ප්‍රදීප් (84426), නුවන් (13177), කුමාර (84762) යන මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීහු පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.   

 

 

 

 


සටහන ඉන්දිකා රාමනායක