පාතාල අපරාධකාරයකුගේ වධකාගාරය


දඩබ්ම

වධකාගාරයේදී වද දෙන අයුරු (ජංගම දුරකථනයේ තිබූ ඡායාරූප)

 

  • විරුද්ධවාදීන්ට එරෙහිව වද දිදී නඩු අහලා   
  • වැටලීමකට ගිය පොලිසියටත් පහරදීලා

 

‘ඕලු මරා’ ජීවත් වෙන්නේ දකුණු ආසියාවේ ලොකුම ජනපදය ලෙස සැලකෙන සිරිගම්පල ජනපදයේය.                                           
ඇතැම්හු මෙයට බට්ටා කොලනිය යනුවෙන් ද ව්‍යවහාර කරති. 


මේ ජනපදය අයිතිවන්නේ වෙන්නප්පුව පොලිස් වැයික්කියටය. 


‘ඕලු මරා’ කියන්නේ ඒ ජනපදයේ ඝන කැලෑවේ වෙසෙන අතිශය දුර්ලභ සත්වයකු බවට ඔබ සිතනවා විය හැකිය. 
එහෙත් එම සිතිවිල්ල වැරදිය. 


‘ඕලු මරා’ කියන්නේ පාතාල නායකයෙකි. ඔහුගේ පිටේ ඕලු මලක් පච්ච කොටා ඇත. එබැවින් සිරිගම්පල ජනපදවාසීන් ඔහු හඳුන්වා ඇත්තේ ඕලු මලා යන නමින්ය. ඕලු මලා වූ ශානුක නමැත්තා පසුකාලයක ඕලු මරා කියන නමින් හඳුන්වන්නට පටන්ගෙන ඇත. 


පවුල් 3000කට වැඩි පිරිසක් සිරිගම්පල ජනපදයේ ජීවත්වන අතර බහුතරයක් සාමකාමී දිවි පෙවෙතක් ගතකරන අහිංසකයෝ වෙති. 
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ගංජා, කසිප්පු ජාවාරම්කාරයන් මෙන්ම පික්පොකට් කරුවෝ සහ සොරුන්ගෙන් ද මෙම ජනපදයේ අඩුවක් නම් නොමැත. 
සාමකාමී දිවිපෙවෙතක් ගතකරන ජනතාවට මේ ජාවාරම්කරුවන් සහ සොරුන් හරිම හිසරදයක්ව පැවතිණ. 
ඕලු මරා නමැත්තා ද පාතාල ලෝකයට ඇද වැටෙන්නේ මෙවැනි සමාජ වටපිටාවක් තුළය. 


මොහුගේ පියා ද කොල්ලකෑම්වලට පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයේ සිට ඇති අයෙකි. 
පාසල් අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගත් ශානුක හෙවත් ‘ඕලු මරා’ පුංචි පුංචි හොරකම් කර පොලිසියට කොටුවී ඇත්තේ බාල වයසේදීය. අවසානයේ නවතින්නේ තමාගේම කියා පාතාල කල්ලියක් බිහිකරගෙන එයට නායකත්වය ලබාදෙමිනි. 
සිරිගම්පල ජනපදයේ පමණක් නොව ලුණුවිල හා කිරිමැටියාන ඇතුළු ප්‍රදේශ කිහිපයකම සිය බල අාධිපත්‍යය පතුරවමින් භීෂණය පතුරවමින් ඇරඹූ කප්පම් කල්ලිය පුද්ගලයන් පැහැරගෙන විත් ගස් බැඳ පහරදීම්, මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, කපාකොටා තුවාල සිදුකිරීම් වැනි අපරාධ ක්‍රියා  ද මත්ද්‍රව්‍ය ජාවාරම් ද ඕලු මරා ඇතුළු පාතාල කල්ලිය කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව කියති. 


වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස එරික් පෙරේරා මහතා වැඩ බාරගත්තේ මෑතකදීය. 
පොලිස් විශේෂ කාර්ය බළකායේ වසර 12ක පමණ කාලයක් රාජකාරි කර ඇති එරික් පෙරේරා මහතා ඒ වකවානුවේ නැගෙනහිර කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීමට ද කොළඹ පාතාලය මර්දනය කිරීමට ද ලොකු මෙහෙයක් කළ අත්දැකීම් බහුල දක්ෂ නිලධාරියෙකි. 


වෙන්නප්පුව ප්‍රදේශයට අලුතින් පත්ව ආ නිසා සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා සිය බලප්‍රදේශයේ තත්ත්වය ගැන මුලින්ම සොයා බැලීමක් කළේය. 
සිරිගම්පල ජනපදයේ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා කසිප්පු ජාවාරම් ගැන සහකාර පොලිස් අධිකාරීවරයාට දැනගැනීමට ලැබී ඇත්තේ එලෙසිනි. 
සිරිගම්පල ප්‍රදේශය පාලනය කරන්නේ පොලිසිය ​ෙනාව ඕලු මරාගේ ගෝලබාලයන් බවත් මේ පාතාල කල්ලියේ අපරාධ ක්‍රියා ගැන සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම්වත් විය. 
මුලින්ම මේ පාතාල කල්ලියේ තොරතුරු අනාවරණය කිරීමට ප්‍රදේශවාසීන් බියවූ අතර සහකාර පොලිස් අධිකාරීවරයා එම තොරතුරු අනාවරණය කරගත්තේ ප්‍රදේශයේ ජනතාවට ක්‍රමයෙන් සමීප වෙමිනි. 


ඕලු මරාගේ පාතාල කල්ලිය ගැන මෙන්ම පොලිසිය සහ රාජ්‍ය නිලධාරීන් ඔහුත් සමග පවතින සම්බන්ධකම් ගැන ද තොරතුරු රැසක් සහකාර පොලිස් අධිකාරීවරයා හෙළිකරගත්තේය. 
ඕලු මරාගේ පාතාල කල්ලිය 15 දෙනකුගෙන් සමන්විත බවත් ඔවුන් යතුරුපැදි, ත්‍රිරෝද රථ හා විවිධ වාහනවලින් සැරිසරමින් මාර්ග බාධක දමා පුද්ගලයෝ පරීක්ෂා කිරීම හා පිටස්තරින් පැමිණෙන පුද්ගලයන්ට පහරදීම්, කප්පම් ගැනීම් සිදුකරගෙන යන බවත් හෙළිවූ අතර මේ අපරාධ කල්ලියේ ප්‍රධානතම ආදායම් මාර්ගය මත්කුඩු ජාවාරම බවත් අනාවරණය කරගත්තේය. 


ඔහුට ලැබී තිබෙන තවත් තොරතුරක් වූයේ මේ පාතාල කල්ලියට බිය නිසා ඔවුන්ගේ හිංසනයට ලක්වූවන් කොතරම් සිටියත් ඒ කිසිම කෙනෙක් පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවය. ඒ මරණ බය නිසාය. 
වයඹ සහ උතුරුමැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් සහ හලාවත කොට්ඨාසය බාර පොලිස් අධිකාරී සුරම්ජිත් කුමාරපේලි යන මහත්වරුන්ට, හෙළිකරගත් මේ සියලු තොරතුරු දැනුම්දී ඔවුන්ගේ උපදෙස් මත ඊළඟ පියවර ගනු ලැබිණ. 
ඕලු මරා ඇතුළු පාතාලයන් අල්ලා නිදහසේ කරදරයක් නැතිව ජීවත්වෙන්න ඉඩකඩ සලසාදෙන ලෙස ජනතාව කළ බලවත් ඉල්ලීම සහකාර පොලිස් අධිකාරීවරයාට ලැබී තිබිණි. 
මොවුන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කරන අයට හෝ ඔවුන්ට එරෙහිව කතා කරන අය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන හිංසා පීඩා කිරීමට වධකාගාරයක් ද පවත්වාගෙන යන බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ ද සහකාර පොලිස් අධිකාරීවරයා විසිනි. 


ඇතැම් පුද්ගලයන් සැකකාර ඕලු මරාගේ වධකාගාරයේ රඳවා තබාගෙන ඔවුන්ගේ කකුල්වලට ඇණ ගැසූ අවස්ථා ද තිබෙන බවට තොරතුරු අනාවරණය විය. 
සහකාර පොලිස් අධිකාරිවරයා මුලින්ම කළේ ඕලු මරා ඇතුළු පාතාල කල්ලිය ගැන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමය. 
පොලිසියේ ඇතමුන් පවා මේ පාතාල කල්ලියට බියවූ අතර සිරිගම්පල ජනපදයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට ඕලු මරා ඇතුළු පාතාල කල්ලිය පහරදීමක් පවා සිදුකර ඇත. එතැනින් එහාට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද කරුණු හෙළිවිය. 
සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඕලු මරාගේ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට හා නීතියේ රැහැනට කොටුකර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කරගත්තේ දෙවැනි පියවර වශයෙනි. 


වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යසන්ත විජේසේකර, උපපොලිස් පරීක්ෂක ගිහාන් හසිත, කපිල මංචනායක සහ පොලිස් කොස්තාපල් කුමාර (90449) යන නිලධාරීහු මෙම විශේෂ පොලිස් කණ්ඩායමට ඇතුළත් වූහ. 
හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 06ක් ද සමග ඕලු මරා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම විශේෂ පොලිස් කණ්ඩායම විසිනි. 
අනතුරු ඔහු රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගත් පොලිසිය ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹීය. 
ඕලු මරා සතු වූ නවීන පන්නයේ ජංගම දුරකතනය ද පොලිස් බාරයට ගෙන එය ද පොලිසියේ පරීක්ෂාවට ලක්විය. 
තරුණයන් පැහැරගෙන ඇවිත් වධකාගාරයේ රඳවා තබාගෙන වධහිංසාවලට ලක්කරන ආකාරයේ වීඩියෝ රූප රාමු රැසක්ම ජංගම දුරකථනයේ දක්නට ලැබිණ. 
යට ඇඳුම පිටින් පමණක් තරුණයකු දණ ගස්සවා අත් දෙක ඔසවාගෙන සිටින ලෙස අණකර මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඕලු මරා ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ ඔහුගේ පාතාල සහචරයන් සමග මධුවිත තොලගාන අතරේය. 


“මම 120,000ක මුදලක් චමින්ද අයියාගෙන් වංචා කළ බව ඇත්ත. මම ආයේ ඒ වැඩ කරන්නේ නැහැ. කොහොම හරි ටික ටික ඒ සල්ලි ගෙවනවා.” යැයි යට ඇඳුම පිටින් බිම දණ ගසාගෙන අත් දෙක ඔසවාගෙන සිටින ඒ තරුණයා එක දිගටම කියවාගෙන යන්නේ ඕලු මරා දුන් නියෝගයක් අනුවය. 
අසභ්‍ය වචනයෙන් බැනවදිමින් ඕලු මරා එම තරුණයාට මරණ තර්ජනය කරන අයුරු ද බිම දණගසාගෙන සිටින තරුණයා පාතාලයන් ඉදිරියේ භය බිරාන්ත වී සිටින අයුරු ද ඒ රූප රාමු පෙළේ මනාව දැක්විණ. 
ඇතැම් පාතාල සගයන් අත යකඩ පොලු හා යකඩ මිටි ද තිබෙන අයුරු දක්නා ලදී. 
තවත් තරුණයකුව පාතාලයන් අමානුෂික වධ බන්ධනවලට ලක්කරමින් පහරදීම නිසා සිහිසුන්ව වධකාගාරයේ ඇදවැටී සිටින ඡායාරූපයක් ද දැකගැනීමට හැකි විය. 
වධකාගාරයේ එල්ලා පහරදෙන පුද්ගලයන්ගේ ඡායාරූප ද ජංගම දුරකතනයේ තිබියදී පොලිසියට හමුවී ඇත. 
තවත් තරුණයකුට පහරදෙන්නේ ආයෙත් කිසිම දවසක පොලිසි නොයන බවට ප්‍රතිඥාවක් ද ඕලු මරා ඇතුළු කල්ලිය ගනිමිනි. 
සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රදේශයේ දින ගණනාවක් සැරිසරමින් සොයාගත් කරුණු සීයට සියයක්ම ඕලු මරාගේ ජංගම දුරකතනයේ තිබූ වීඩියෝ ඡායාරූපවලින් සනාථ විය. 
ඕලු මරා රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින වකවානුවක ඔහුත් සමග රඳවා සිටි පාතාල සැකකරුවන් කිහිපදෙනෙක් සමග ලබාගත් සෙල්ෆි ඡායාරූප ද ඔහු​ගේ ජංගම දුරකතනයේ තිබී පොලිසිය සොයාගනු ලැබීය. 


මුලින් කී පරිදි ඕලු මරාගේ පියා දැනටත් සිටින්නේ රිමාන්ඩ් බාරයේය. ඒ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී මාරවිල පොලිසියට කොටුවීමෙනි. 
තවත් කණ්ඩායමක් සමග එක්වී කොල්ලකෑම් 10ක් පමණ සිදුකිරීම සම්බන්ධයෙන් ද ඕලු මරාගේ පියා 1994 වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණේ කොස්වත්ත පොලිසියේ එවකට රාජකාරි කළ පොලිස් සැරයන් ග්‍රේටන් (31799) මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි. 
පුද්ගලයකුට බෝම්බ ගැසීමක් සම්බන්ධයෙන් ද ඕලු මරාගේ පියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ වෙන්නප්පුව පොලිසිය මගිනි. 
එදා වෙන්නප්පුව පොලිස් මූලස්ථානාධිපති ලෙස​ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර හා අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්ෂක සමන් දිසානායක ප්‍රධාන කණ්ඩායම ඕලු මරාගේ අපරාධ ගැන සොයා බැලූහ. වසන්ත කුමාර මහතා අද වනවිට සහකාර පොලිස් අධිකාරීවරයෙකි. සමන් මහතා මැදගම පොලිස් ස්ථානාධිපතිය. 
හලාවත කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති තනතුර දැරූ ගාමිණී බස්නායක මහතා, ඕලු මරා කිහිපවතාවක්ම පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා ඇත. 


අද වනවිට විශ්‍රාම ලබා සිටින උපපොලිස් පරීක්ෂක බස්නායක මහතා ඕලු මරා පිළිබඳ මතකය මෙසේ අවදිකරයි. 
“ශානුක මධුෂාන් හෙවත් ඕලු මරා අපි අත්අඩංගුවට ගත්තේ අවුරුදු 14 දීයි. ඩිලිවරි වෑන්වලින් වටිනා බඩු බාහිරාදිය සොරකම් කරගෙන යාම සම්බන්ධයෙන් තමා මුලින්ම ඇල්ලුවේ. ධාවනය වන ඩිලිවරි වෑන් රථ පසුපස ගොස් ඒවායේ ගෙනියන බඩු ඉස්සීමට පොඩි කාලයේ ඉඳලා ඕලු මරා හරිම දස්සයි. මෙහෙම ගියොත් ඕලු මරා දරුණු අපරාධකාරයෙක් වෙයි කියා එදා අපිට හිතුණා. ඒ වගේම පසුකාලයක මොහු දරුණු අපරාධකාරයෙකු බවට පත්වුණා. රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න කාලයේ දරුණු අපරාධකාරයින්ගේ ආශ්‍රයට වැටුණු මේ කොල්ලා නතරවුණේ දරුණු අපරාධකාරයකු බවට පත්වෙලා. 

 


ඕලු මරාගේ පියා දරුණු කොල්ලකරුවෙක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. මෙවැනි පවුල් පරිසරයක් නිසා කොල්ලා අපරාධකාරයෙක් බවට පත්වෙන්න ඇති. එක අතකින් යතුරුපැදි පදවාගෙන යන්නේ අනිත් අතින් කඩු හෝ බයිසිකල් චේන් අල්ලාගෙන බිම දිගේ ඇදගෙන යමින්. එහෙම කළේ ප්‍රදේශයේ ජනතාව බිය කරන්න.”
හලාවත කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ එවකට රාජකාරි කළ පොලිස් සැරයන් සුජීව (15343) සහ පොලිස් සැරයන් සරත්චන්ද්‍ර (138) යන මහත්වරුන් ද මුල් වකවානුවේ ඕලු මරා ගැන පරීක්ෂණ සිදුකළ නිලධාරීන් කණ්ඩායමට ඇතුළත් වෙති. 
ඕලු මරා සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් සම්බන්ධව කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. 


ඕලු මරා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රදේශය හොල්ලාගෙන සිටි ඔහුගේ ගෝල බාලයින් කණ්ඩායම ප්‍රදේශය අතහැර පලා ගොස් ඇත. 
ප්‍රදේශය අතහැර පලාගොස් සිටින ඒ පාතාලයන් අල්ලා ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණ යටතේ මේ සම්බන්ධව ඉදිරි පරීක්ෂණ පැවැත්වේ. 
ඕලු මරා ඇතුළු පාතාලයන්ගෙන් හිංසා පීඩා හිරිහැර වධ බන්ධනවලට ලක්වූ සැලකිය යුතු පිරිසක් ඔවුන්ට ඇති බිය නිසා මෙතෙක් ඒ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ඉදිරිපත්වී නැත. 


පාතාල කල්ලියේ වධහිංසාවලට ලක්වූ අයට බිය නොවී ඒ ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් වන ලෙස පොලිසිය විශේෂ ඉල්ලීමක් කරයි. 
“එදා තිබුණේ රෑ වෙද්දි ගැහැනු ළමයකුට එළියට බහින්න පුළුවන් තත්ත්වයක් නෙමේ. දැන් අපි බයක් සැකයක් නැතිව නිදහසේ ඉන්නවා. රෑට බයක් නැතිව නිදාගන්න පුළුවනි. මේ පාතාල කල්ලිය මර්දනය කරන්න පොලිසිය කටයුතු කිරීම ගැන අපේ ප්‍රණාමය ඒ නිලධාරීන්ට පළ කරනවා.” බොහෝදෙනෙක් පැවසූහ. 
මේ අපරාධ කල්ලියට යළි හිස ඔසවන්න ඉඩ නොතබන බව පොලිසිය අවධාරණය කරයි. ඕලු මරා ඇතුළු පාතාල කල්ලියට එරෙහිව ලැබී ඇති පැමිණිලිවලට වඩා නොලැබුණු පැමිණිලි සංඛ්‍යාව ඉහළය. 


කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පමණක් මේ කල්ලියේ නීතිවිරෝධී වැඩ ගැන ලැබී ඇති ​තොරතුරු සංඛ්‍යාව 60කට වැඩි බව පැවසේ. 
සංවිධානාත්මක අපරාධ නිවාරණ විමර්ශන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් පිට එම කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ද මේ සම්බන්ධව වෙනම පරීක්ෂණ පවත්වාගෙන යයි. 

 

 

සටහන 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය