ප්‍රේමයෙන් අන්ධ වී මිනීමැරූ දේවගැතිට මරණ දඬුවම


එදා රට හෙල්ලූ මැතිව් පිරිස් 
දේවගැතිවරයාගේ කතාව-4

මැතිව් පීරිස්

 

 

ඉයුනිස් පීරිස් මහත්මියගේ සහ රසල්ගේ අකල් මරණ පිළිබඳව වෛද්‍යවරුන්ට ඇති වූ සැක සංකා අවසන් වූයේ පොලිසියට මේ බව දැනුම් දීමෙනි. ඊට හේතු වූයේ දෙදෙනාගේම රුධිරයේ සීනි අවසාන්ද්‍රණය වී පසුව නිව්මෝනියාව වැලදී මිය යාමය.   


මේ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ විය.   


සාමාන්‍යයෙන් මිනීමැරුම් හා අපරාධ පිළිබඳ විමර්ශන සිදු කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එහෙත් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම භාරවූයේ පොලිසිය යටතේ ඇති අපරාධ විමර්ශන අංශයටය. 

 
පොලිස් අධිකාරී ටිරල් ගුණතිලක මහතා යටතේ සියලු පරීක්ෂණ කටයුතු මෙහෙයවුණු අතර ඒ සඳහා පොලිස් අධිකාරි හේමා වීරසිංහ, පොලිස් පරීක්ෂක කෲස් ආදි පිරිස වහා ක්‍රියාකාරී වූහ.   


මෙම පොලිස් නිලධාරීහු ප්‍රථමයෙන් වෛද්‍යවරුන් හෙදියන් සහ බාහිර පුද්ගලයන්ගෙන් කටඋත්තර ලබාගත් අතර පසුව පූජක නිල නිවස පරීක්ෂාවට ලක් කළෝය.   


එහිදී රුධිරයේ සීනි පාලනය සඳහා ලබාදෙන බෙහෙත් පෙති විශාල ප්‍රමාණයක් සහ රුධිරගත සීනි පාලනය සම්බන්ධව ලියැවුණු පොතක් ඔවුනට සොයාගත හැකි විය. 

 
පසුව රසල් ඉන්ග්‍රම්ගේ මිනිය ගොඩ ගැනීම සඳහා පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළේය. එය අනුමත වූ අතර දේහය ගොඩගැනුණි. දේහයේ අභ්‍යන්තර කොටස් පරීක්ෂාවට ලක් කෙරුණ ද ඉන් වැදගත් තොරතුරු අනාවරණය කරගත නොහැකි විය. හේතුව ඔහුගේ සිරුර එම්බාම් කිරීමේ දී සිරුරේ අභ්‍යන්තර කොටස් සියල්ල ඉවත්කර තිබීමය.   


යළිත් පොලිසිය දේවගැතිවරයාගේ නිල නිවස සෝදිසි කළ අතර එහිදී ලැබුණු අලුත් සාක්ෂි පොලිස් භාරයට ගැනිණ. මැතිව් දේවගැතිවරයා සහ ඩැල්රින්ගේ හමුවීම් පිළිබඳවත් අවධානයෙන් ඔවුහු කටයුතු කළහ. ඒ අනුව ඔවුන් හමුවූ ස්ථානවලට සිවිල් ඇඳුමින් ගිය පොලිස් නිලධාරීහු ඉන්ද තොරතුරු රාශියක් අනාවරණය කර ගත්හ.   


මෙම තොරතුරු වාර්තාවක් ලෙස සැකසූ පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක එය පොලිස්පති ආනා සෙනවිරත්නට යොමු කළේය.   


ඒ අනුව පොලිස් කොමසාරිස් වාමදේවන් වාර්තාවේ තිබු සාක්ෂි දේව ගැතිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් බව දැනුම් දුන්නේය. ඒ අනුව මැයි 25 වැනි සිකුරාදා පොලිස් කණ්ඩායම දේවගැති නිවසට ගියේය. ඔහු සතු වූ පොතපත පොලිස් භාරයට ගත් අතර දේවගැතිවරයා කොළඹ අපරාධ මූලස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණ.   
එද‌ා පුවත්පත් මේ පිළිබඳව වාර්තා කළේ මෙලෙසය.   


1979 මැයි 26 සෙනසුරාදා දිනමිණ පුවත්පතට නෝමන් පළිහවඩන මහතා වාර්තා කළ පුවත මෙසේය.   


‘මැතිව් පීරිස් දේවගැති අත්අඩංගුවට ගනී’’   


ලොයිස් පීරිස් මහත්මියගේ සහ රසල් ඉන්ග්‍රම් මහතාගේ මරණ සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පිරිසක් විසින් සති කීපයක් තිස්සේ කරගෙන ගිය පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මියගිය ලොයිස් පීරිස් මහත්මියගේ සැමියා වන බොරැල්ලේ ශාන්ත පාවුළු දෙව්මැදුරේ පාලකව සිටි මැතිව් පීරිස් දේවගැතිවරයා පොලිස් කොමසාරිස් ඇස්.වාමදේවන් මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදි.   


වැඩිදුරටත් එම ලිපියේ මෙසේ දක්වා තිබිණි.   


කොළඹ අපරාධ විමර්ශන අංශයේ සහ නාගරික මිනීමැරුම් විමර්ශන අංශයේ නිලධාරීන් මාස දෙකක පමණ කාලයක් තොරතුරු සෙවීම සඳහා කැපවී කටයුතු කළ බවත් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ සාක්ෂි සටහන් කරගත් බවත් සඳහන් විය.   


විශේෂයෙන්ම ලොයිඩ් පීරිස් මහත්මියගේ මරණය පිළිබඳව මාර්තු 24 වැනි දින කොළඹ මහ රෝහලේ පැවති මරණ පරීක්ෂණයේ දී ඇගේ දියණියක වන මිහිරි වික්‍රමසිංහ සාක්ෂි දී තිබිණ.   


එම සාක්ෂියෙහි ‘තම මව මියගොස් තිබුණේ ඇය ජීවත්ව සිටි දේවගැති නිවසේ කොටසක විසූ රසල් ඉන්ග්‍රම් මියගිය ආකාරයටම බවත් රසල් ඉන්ග්‍රම් දින ගණනාවක් සිහි නැතිව සිටියා සේ සිය මවත් දින ගණනාවක් සිහි නැතිව සිටි බවත් එසේ සිහි නොලබාම කොළඹ මහ රෝහලේදී මියගිය බවත් මේ හේතුන් නිසා මරණ පිළිබඳව ඇයට සැක සිතුණ බවත් එම වාර්තාවේ සඳහන් විය.   


මෙම සාක්ෂි මත ලොයිස් පීරිස් මහත්මියගේ මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස නාගරික හදිසි මරණ පරීක්ෂක වෝල්ටර් ඩී.පෙරේරා මහතා පොලිසියට දැනුම්දුන් අතර මරණය පිළිබඳව විවෘත තීන්දුවක් දී තිබිණි.   


කොළඹ සහකාර පොලිස් අධිකරණ වෛද්‍ය නිලධාරි ගාමිණී වීරසිංහ, නාගරික මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපති ලැම්බට් පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායමක් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වද්දී රසල්ගේ මළසිරුර ගොඩ ගැනීම සිදු වූ අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබේ. එහි පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයාටත් ලබාදුන් බව එද‌ා දිනමිණ වාර්තා කළාය.   


1979 මැයි 25 වන සඳුද‌ා දිනමිණ මාධ්‍යවේදී නෝමන් පළිහවඩන විසින් වාර්තා කළේ ‘මැතිව් පීරිස් පුවත දියණියන්ට දන්වති’’ යන ශිර්ෂයෙනි.   


එහිදී මරණ දෙකකට සැකපිට රිමාන්ඩ් භාරයට ගත් දේවගැතිවරයා පිළිබඳ පුවත එසේ සිය දියනියන්ට දැන්වීමත් ඊට මූලිකම හේතුව ඉයුනිස් මහත්මියගේ දියණියක වූ මිහිරි වික්‍රමසිංහ විසින් මවගේ මරණය සැකසහිත බවට කළ පැමිණිල්ල බවත් ලිපියේ සඳහන් විය.   


එසේම 26 වන සෙනසුරාද‌ා අලුයම 5.30 ට පමණ සැකකාර දේවගැතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස්ලි අබේසේකර මහතාට ඉදිරිපත් කළ බවත් එහිදී ඔහු සිනාමුසුව හා සුහදශිලීව කටයුතු කළ බවත් පුවත්පත් ඡායාරූප ශිල්පීන්ට ද සුහද සිනාවකින් සංග්‍රහකර ඡායාරූප ගැනීමට ඉඩ දුන් බවත් පොලිසිය සඳහන් කර තිබුණි.   


පසුව පොලිසිය විසින් දේවගැතිවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ජුනි 9 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලැබිණ. අනතුරුව බන්ධනාගාර බස් රියට නැගුණු දේවගැතිවරයා අවට සිටි ජනතාවට සුහදශීලී සිනාවක් පා අත වනමින් ගමන්ගෙන ඇත. 

 
පොලිස් පරීක්ෂණවලින් පසු දේවගැතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අතර මීළඟට පොලිසියේ අවධානය යොමු වූයේ ඩැල්රින් ඉන්ග්‍රම් දෙසටය.   


1979 මැයි 29 අඟහරුවාද‌ා දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ නෝමන් පළිහවඩනගේ වාර්තාවේ මෙසේ දැක්විණ.   


‘‘ඩැල්රින් ඉන්ග්‍රම්ගෙන් පැය 8 1/2 ක් ප්‍රශ්න කරති’’   


ලොයිස් පීරිස් මහත්මියගේ සහ රසල් ඉන්ග්‍රම් මහතාගේ මරණ පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිසිය ඊයේ ඩැල්රින් ඉන්ග්‍රම් මහත්මියගෙන් පැය අටහමාරක් පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න කළේය.   


ඊයේ උදේ පොලිස් නිලධාරීහු පිරිසක් ඉන්ග්‍රම් මහත්මිය රැකියාව කරන පෞද්ගලික ආයතනයට ගොස් ඇය කොළඹ අපරාධ විමර්ශන මූලස්ථානයට කැඳවාගෙන පැමිණ උදේ 10.30 සිට රාත්‍රි 7.00 දක්වා ඇයගෙන් ප්‍රශ්න කළහ.   


ඇගේ සාක්ෂි සටහන් කරන ලද්දේ කොළඹ සහකාර පොලිස් අධිකාරි හේමා වීරසිංහ මහතා විසිනි.   


මැතිව් පීරිස් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී ඩැලරින්ගෙන් ප්‍රශ්න කිරීම සිදු වූ අතර 1979 ජුනි 13 බද‌ාදා දිනමිණට වාර්තා කර තිබුණේ මෙසේය.   


‘මැතිව් පිරිස්ගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසියට අවසර’’   


දැනට රිමාන්ඩ් භාරයේ සිටින මැතිව් පීරිස් දේවගැති තුමාගෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට ඉඩදෙන ලෙසට මරදාන පොලිසිය මගින් කරන ලද ඉල්ලීමකට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ජෝර්ජ් පෙරේරා මහතා ඊයේ අවසර දුන්නේය.   


ඊට හේතුව මියගිය රසල් ඉන්ග්‍රම්ගේ සොහොයුරෙකු වූ ස්ටුවඩ් ද සිල්වා 1978 අගෝස්තු 10 වැනි දින මැතිව් පීරිස් දේවගැතිවරයාට තර්ජනය කළ බව පවසමින් මරදාන පොලිසියට කළ පැමිණිල්ලය. එය විභාග කිරීම සඳහා මැතිව්ගේ ප්‍රකාශයක් පොලිසියට අවශ්‍ය වී තිබිණි.   


එම පැමිණිල්ල සම්බන්ධ වූ කතාව මෙසේය. ස්ටුවඩ් ද සිල්වා රසල්ගේ මළගමට පැමිණියේ අවසන් ගෞරව දැක්වීමටය. එහිදි ඔහු දේවගැතිවරයාගෙන් රසල්ගේ සිරුර අතුරුගිරියට රැගෙන ගොස් අවසන් කටයුතු කිරීමට ඉල්ලීමක් කළේය. ඊට දේවගැතිවරයා අකමැත්ත පළ කළේය.   


ස්ටුවඩ් නැවත නැවතත් එම ඉල්ලීම කළේය. ඔහු එම ඉල්ලීම කරන ලද්දේ තරුණ පුතු අකලට මියයාම නිසා කම්පාවෙන් පසු වූ රසල්ගේ මව්පියන්ට ඔවුන් සිතැඟි සේ රසල්ගේ අවසන් කටයුතු කිරීමට අවස්ථාව දීම උදෙසාය. එවිට දේවගැතිවරයා ප්‍රකෝපකාර වූවේය. ස්ටුවඩ්ට අකාරුණික ලෙස දොස් නගන්නට විය. රසල්ගේ බිරිය වූ ඩැල්රින් හා දේවගැතිවරයා අතර අයථා සම්බන්ධයක් පැවති බවට තිබුණ කටකතාද එහෙන් මෙහෙන් මතුව ආ අතර ස්ටුවඩ් ද දේවගැතිවරයාගේ හැසිරීම විවේචනය කළේය.  
දරු දුකෙන් මුසපත්ව සිටි රසල්ගේ මව්පියෝද ‘මගේ පුතා මරාගත්තා’ යනුවෙන් විලාප තබන්නට වූහ. පැමිණ සිටින ඥාතීහු ද උණුසුම් වූහ. දේවස්ථානය තුළ යම්කිසි ප්‍රශ්නයක් ඇතිවෙතැයි සිතු දේවගැතිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක විය.  


ඒ අනුව මරදාන පොලිසියට දුරකථනයෙන් ආමන්ත්‍රණය කළ ඔහු පොලිසිය ගෙන්වා ගත්තේය. ස්ටුවඩ් එම ස්ථානයේ ප්‍රකෝපකාරි ලෙස හැසිරි කලබල කරන බවට චෝදනා කළේය. ඩැල්රින් ද පවසා සිටියේ ස්ටුවඩ් දේවගැතිවරයාට තර්ජනය කරමින් අයහපත් ලෙස හැසිරුණු බවය. පොලිසිය පැමිණිල්ල සටහන් කර ගත්තේය. ඉන් නොනැවතුණු දේවගැතිවරයා ඔහුගේ බලය පාවිච්චි කර ස්ටුවඩ්ට විරුද්ධව නෛතිකමය කටයුතුවලට ද මුල පිරුවේය.  


දේවගැතිවරයා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය දී කටඋත්තරයක් ගැනීම සඳහා පොලිසිය පැමිණියේ ඉහත කී කාරණාව උදෙසාය.  


දිනමිණ වාර්තාවට අනුව රසල් ඉන්ග්‍රම්ගේ බිරිඳ වූ ඩැල්රින් ඉන්ග්‍රම් පැමිණිල්ලේ සාක්ෂිකාරියක ලෙස උසාවියේ පෙනී සිටියාය. එහිදි මහේස්ත්‍රාත්වරයා විසින් නඩු විභාගය අගෝස්තු 31 ට කල් දමා ඇත.   


1979 ජුනි 23 සෙනසුරාදා දිනමිණ පුවත්පතේ වාර්තා කර තිබුණේත් ‘මැතිව් පීරිස් දේවගැති වරයා තවදුරටත් රිමාන්ඩ්’ යනුවෙනි.  


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස්ලි අබේසේකර මහතා ජුලි මස 03 දක්වා දේවගැතිවරයා රිමාන්ඩ් කිරීමට නියෝග දී තිබුණේ මරණ පිළිබද පරීක්ෂණ අවසන් කර නොමැති බව මිනීමැරුම් විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපති කළ දැනුම් දීම හේතුවෙනි.  


1979 ජුලි 04 වැනි දින දිනමිණ වාර්තා කරන ලද්දේ ‘දේවගැතිවරයා දිගටම රිමාන්ඩ්’’ යනුවෙනි.  


ඒ අනුව රසල් ඉන්ග්‍රම්ගේ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින මැතිව් පීරිස් දේවගැතිවරයා යළිත් වරක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස්ලි අබේසේකර මහතාට ඉදිරිපත් කෙරිණි. මහෙස්ත්‍රාත්වරයා විසින් එසේ තීන්දුව දීමට හේතු වී ඇත්තේ නඩු විභාගය අවසන් වනතුරු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට, නඩුව මෙහෙය වීමට රජයේ නීතිපතිවරයා විසින් විශේෂයෙන් පත්කර ඇති රජයේ නීතිඥ ඇම්.ඇම්. සුහයිර් මහතා කළ ඉල්ලීමට අනුවය.   


දිනමිණ වාර්තාකර තිබුණේ අලුතින් ක්‍රියාත්මක වන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන යටතේ මෙම නඩු විභාගය අවසන් වනතුරු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයේ තබන ලෙස හා දෙසතියකට වරක් උසාවියට ඔහු ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවට නීතිඥවරයා කළ ඉල්ලීමය.  


මේ ආකාරයට උසාවි කටයුතු සිදුවෙද්දී 1979 ජුලි 20 සිකුරාදා දිනමිණ තවත් අලුත් පුවතක් වාර්තා කළේය. එනම් ඒ ඩැල්රින් ඉන්ග්‍රම් මහත්මිය ද අත්අඩංගුවට ගත් බවය.  
දෙමටගොඩ පදිංචි ඩැල්රින්ගෙ ඥාතියෙකුගේ නිවසේ සිටිය දී ඇයට අත්අඩංගුවට ගෙන ඇති අතර මසකම අධික කාලයක් අබිරහස් මරණය පිළිබඳ ප්‍රශ්න කරමින් අපරාධ විමර්ශන ඒකකයේ විශේෂ පොලිස් කණ්ඩායම ඇගෙන් කට උත්තර සඳහන් කරගෙන ඇත.  


මෙම නඩුව අවසන් වනතුරු ඩැල්රින් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.බී. ඇල්ලේපොළ මහතා නියෝග කළේය.   


1980 මාර්තු 19 වැනි දින නීතිපතිවරයා විසින් නඩු ගොනු කරනු ලැබීය. දණ්ඩනීති සංග්‍රහයේ අංක 102 සහ 296 වගන්තිවලට අනුව මරණයක් සිදු කිරීමට සැලසුම් කිරීම, මරණය සිදු කිරීම සහ ඊට අනුබලදීම යන චෝදනා යටතේ ඔවුන්ට නඩුව පැවරිණ. මින් පොලිස් විමර්ශන අවසන් විය.  


කොළඹ අපරාධ විමර්ශන අංශයේ පොලිස් අධිකාරි ටිරල් ගුණතිලක, සහකාර​ පොලිස් අධිකාරිවරුන් වූ හේමා වීරසිංහ, ගාමිණී වීරසිංහ, පොලිස් පරීක්ෂකවරුන් වන මැල්කම් කෲෂ්, ටෙරන්ස් පෙරේරා, සී.සී. සෙල්වරත්නම්, ලැම්බට් පෙරේරා, හිලර් ඕර්ලොෆ්, උප පොලිස් පරීක්ෂකවරුන් වන ඇන්ටන් ප්‍රනාන්දු, ජේ.එස්. ජයතිලක යන පොලිස් කණ්ඩායම මැතිව් පීරිස් දේවගැතිතුමා සහ ඩැල්රින් ඉන්ග්‍රම් නීතියට හසුකරගන්නා තෙක්ම අපමණ වෙහෙසක් දරා පොලිස් පරීක්ෂණ හා විමර්ශන කටයුතු සිදු කළහ.  
මෙම අභිරහස් මරණ පිළිබඳ නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් ලෙස පවත්වාගෙන ගිය අතර එය ඉදිරිපිට පවත්වාගෙන යාම සඳහා ට්‍රයල් ඇට්බාර් අධිකරණයට භාර කෙරිණ.   


නඩුව විභාග කෙරුණේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් යටතේය. එහි මහාධිකරණ විනිසුරු තිස්ස බණ්ඩාරනායක විය. අන් සාමාජිකයන් වූයේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු රාමනාදන් මහතා සහ ගම්පහ මහාධිකරණයේ විනිසුරු වික්‍රමසේකර මහතාය.  


1983 වසරේ මාර්තු මස ආරම්භ වූ නඩු විභාගය 1983 දෙසැම්බර් දක්වා පැවතියේය.  


එය අවසාන වූයේ මරණ දෙකක් සිදුකරණ පුද්ගලයන්ට හිමිවන මරණීය දණ්ඩනය චූදිතයන්ට දීමට තීරණය කිරීමෙනි.   


එහෙත් එවකට සිටි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ බලතල අනුව එම දඬුවම ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පරිවර්තනය කෙරිණ.  


මේ අතර වාරයේ නඩු තීන්දුව වෙනස්කර ගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කෙරිණ. එහිදී අභියාචනාධිකරණය විසින් මහාධිකරණය මැතිව් පීරිස් සඳහා දුන් නඩු තීන්දුව වෙනස් නොකළ අතර ඩැල්රින් ඉන්ග්‍රම් පමණක් මරණ දණ්ඩනයෙන් නිදහස් කළේය.  


මෙම නඩු තීන්දුව වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව ලබාදුන් නඩු තීන්දුවක් විය. 

 

 

 
සටහන - කුමාරි හේරත්