ප්‍රේමද‌ාසගේ සාක් සමුළුවට කොටි එවූ බෝම්බ වෑන් රිය අල්ලපු හැටි


 

හයවැනි සාක් රාජ්‍ය නායක සමුළුව ශ්‍රීලංකාවේදි පවත්වන ලද්දේ 1991 වසරේ දෙසැම්බර් මාසයේ 21 වැනිද‌ාය.  
බිහිසුණු මහා මිනිස් සංහාරයක් කර කොළඹ එකම ලේ විලක් බවට පත්කර සාක් සමුළුව කඩාකප්පල් කර දැමීමට එල්.ටී.ටී.ඊ සංවිධානය රහසිගත සැලැස්මක් ක්‍රියාත්මක කළේය.  


සාක් රාජ්‍ය නායකයන් මෙරටට පැමිණ ලැගුම් ගන්නා කොළඹ- කොටුවේ හෝටල් ආසන්නයේදී මෙම බෝම්බ වෑන් රථය පුපුරුවා හැරීමට කොටි සැලසුම් කර තිබී ඇති බව පසුව කරන ලද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.  

 

  
මේ අනුව සාක් සමුළුවට පැමිණෙන රාජ්‍ය නායක නායිකාවන්ගේ ජීවිත හානි කිරීමටද කොටින්ගේ අරමුණ වී තිබූ බව පොලිසියට පෙනී ගොස් තිබිණි.  


මේ රහස් සාකච්ඡාව පවත්වා ඇත්​ෙත් මුලතිව් මහකැලෑවේ පිහිටා තිබූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ භූගත මාළිගාවේදීය.  
කොළඹ දී පැවැත්වෙන සාක් කලාපීය රාජ්‍ය නායක සමුළුව කඩා කප්පල් කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීමේ මේ රහසිගත සාකච්ඡාව කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් ඇතුළු ප්‍රධානපෙළේ කොටි නායකයින් කිහිප දෙනෙක්ද සහභාගි වී ඇත.  
වෑන් රථයක අධි බලැති බෝම්බයක් අටවා එය මරාගෙන මැරෙන කළු කොටි ත්‍රස්තවාදියකු විසින් පදවාගෙන ගොස් පුපුරුවා හැරීමට ප්‍රභාකරන්ගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාව අවසානයේ තීන්දු වී තිබේ.  


මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රභාකරන් පවරා අැත්තේ කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන්ටය.  
සාක් සමුළුව කඩා කප්පල් කිරීමට මහා මිනිස් ඝාතනයක් සිදුකර මුළු ලෝකයටම එල්.ටී.ටී.ඊයේ බලගතුකම පෙන්වීම මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ තවත් යටි අරමුණක්ව තිබී ඇත.  


සාක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම කඩා කප්පල් කර දමා ශ්‍රී ලංකා රජය ලෝකය ඉදිරියේ දැඩි අපහසුතාවකට හෑල්ලුවකට ලක්කිරීම මෙන්ම මහා මිනිස් සංහාරයක් සිදු කිරීමට එල්.ටී.ටී.ඊ යට යොද‌ා තිබූ සැලැස්ම අන්තිම මොහොතේ නූලෙන් වැළකී ගියේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා නිසාය.  


නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතාට දමිළ ජාතිකයකුගෙන් ලැබුණු රහසිගත ඔත්තුවක් අනුව කරන ලද අතිශය දුෂ්කර හා අවද‌ානම් මෙහෙයුමකින් පසු අල්ලාගත් කොටි ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධිබලැති බෝම්බ අටවා තිබූ වෑන් රථය සොයා ගැනීමට හැකි විය.  


ඒ නිසා සාක් රාජ්‍ය නායක සමුළුව කඩා කප්පල් කිරිම පමණක් නොව මහා මිනිස් සංහාරයක්ද වළක්වා ගැනීමට හැකිවූයේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා නිසා වන හෙයින් ඒ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ ඔහුටය.

  
දෙවනුව ඒ ගෞරවය හිමිවිය යුත්තේ කොටින්ගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ජිවිත පරදුවට තබා පරීක්ෂණ සිදු කිරීමට ද‌ායක වු පොලිස් නිලධාරින්ටය.  

 

 


කොළඹ කොටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි රථ වාහන ගාලක තිබී සොයාගත් වෑන් රථයේ ඉන්ධන ටැංකියේ සූක්‍ෂම ලෙස අටවා තිබූ අධි බලැති බෝම්බයේ බර කිලෝ 47ක් පමණ විය.  


මේ වෑන් රථ බෝම්බය පුපුරා ගියේනම් සිදුවිය හැකි විනාශයේ තරම වෑන් රථ බෝම්බයේ බරින්ම සිතා ගත හැකිය.  
බලගතු බෝම්බය එදා පුපුරා ගියේනම් මිනිස් ජීවිත සිය ගණනක් විනාශ වන අතර බෝම්බය පුපුරා ගිය ස්ථාන අවට පිහිටි ගොඩනැගිලි පවා බිමට සමතලාවනු ඇති බව බෝම්බ විශේෂඥයෝ ඒ වකවානුවේ පෙන්වා දුන්හ.  


සාක් සමුළුව පැවැත්වෙන අතරවාරයේ පුපුරුවා හැරීමට සූද‌ානම් කර තිබූ වෑන් රථයක අටවා තිබු අධි බලැති වෑන් බෝම්බය සොයා ගැනීමේ කතා පුවත මෙතැන් සිට පෙළගැස්වෙන්නේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතාගේ මතකය ඔස්සේය.  


ඒ කතාව කියවන්නට කලින් අපි නිහාල් කරුණාරත්න කියන්නේ කවුද කියා හඳුනා ගනිමු.  


නිහාල් කරුණාරත්න මහතා පොලිස් දෙපාර්තමේන්තුවට 1970 වසරේ බැදී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙනි.   
උප පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස පොලිසියට බැඳුණු කරුණාරත්න මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලබා විශ්‍රාම ගියේ 2008 වසරේදීය.   


කරුණාරත්න මහතාගේ පියා වන කේ.බී. කරුණාරත්න මහතාද පොලිස් පරීක්‍ෂකවරයෙක් ලෙස රාජකාරිය කර ඇත.  
නිහාල් කරුණාරත්න මහතාගේ සහෝදරයකු වන මාර්ටින් කරුණාරත්න මහතාද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයේ නිරතව සිට මේ වන විට විශ්‍රාම ලබා තිබේ.  


උතුරු- නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ පළාත්වල වසර 3ක පමණ කාලයක් කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කර ඇති නිහාල් කරුණාරත්න මහතා අත්දැකීම් බහුල දක්‍ෂ නිලධාරියෙකි.  
විශ්ව විද්‍යාල තුනකින් අධ්‍යාපනය හද‌ාරා ඇති ඔහු උපාධිධාරියෙක්ද වන්නේය.  


ත්‍රස්තවාදී විමර්ශන කටයුතුවලදී බොහෝ දක්‍ෂතා පෙන්වා ඇති කරුණාරත්න මහතා​ෙග් මූලිකත්වයෙන් සිදු කෙරුණු විමර්ශනවලදී මහා විනාශයන් සිදුකිරීමට පැමිණි සිටියදී පොලිසියට කොටු වී ඇති කොටි ත්‍රස්තවාදින්ගේ සංඛ්‍යාව බොහෝය.  


කොටින්ව අල්ලා ගන්නේ නිකම්ම නොව අවි ආයුධ සයනයිඩ් කරල් හා මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලද සමගය.  
හයවැනි සාක් සමුළුව කඩා කප්පල් කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊය සිදු කිරීමට සැලසුම් කර තිබූ බෝම්බ පිපිරවීම වළක්වා ගැනීමට හැකිවීමේ කතාව ගැන මතකය අවදිකරමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ කීය.  


‘‘ඒ කාලයේ මම සිටියේ පොලිස් අධිකාරි නිලයේ. මාව 1991 වසරේ මඩකළපුව කොට්ඨාසය බාරව එවකට පොලිස්පතිවරයාව සිටි අර්නස්ට් පෙරේරා මහතා විසින් පත්කරනු ලැබුවා. ඒ වකවානුවේ කොටි ක්‍රියාකාරකම් මඩකළපුව දිස්ත්‍රික්කය පුරා බහුලව සිදු වෙමින් තිබුණා. කොතන බෝම්බයක් පුපුරයිද, වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයිද කියන්න බැරි අවිනිශ්චිත තත්ත්වයක් තිබුණේ. මම මඩකළපුවේ රාජකාරී බාර අරගෙන මුලින්ම කළ රාජකාරිය වුණේ ඒ ප්‍රදේශයේ ඉන්න දමිළ ජනතාවගේ හිතදිනා ගැනීමට කටයුතු කිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මට වැඩි දවසක් යන්නට කලින් හොඳ ඔත්තුකරුවන් තුන් හතර දෙනෙක් හද‌ාගන්න අවස්ථාව ලැබුණා. මඩකළපුවේ මම රාජකාරි බාර අරගෙන වැඩි දවසක් යන්නට කළින් නුවන් වෙදසිංහ කියා තරුණ උප පොලිස් පරීක්‍ෂකවරයෙක් මඩකළපුවට ස්ථාන මාරුවීම ලබා පැමිණියාය. ඔහු දැන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් විදිහට අම්පාර කොට්ඨාසය බාරව කටයුතු කරනවා. වෙදසිංහව මම මඩකළපුව කොට්ඨාසයේ ත්‍රස්තවාදී විමර්ශන අංශයේ ඕ.අයි.සී. විදිහට පත්කළා.  

 

ප්‍රභාකරන්ගේ භූගත මාලිගාව


ඔන්න දවසක් මගේ විශ්වාසවන්තම ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබුණා. ඒ ඔත්තුව ලබාදුන් පුද්ගලයා මාත් එක්ක කියා සිටියේ ලොකු බෝම්බයක් ඇටවූ වෑන් රථයක් මඩකළපුව අරියම්පති ප්‍රදේශයේ තියෙන ගරාජයකින් කොළඹට ගෙන ගොස් තිබෙනවා කියායි. මේ ඔත්තුව ලැබුණේ රාත්‍රී කාලයකයි. මගේ යටතේ සේවය කළ සහකාර පොලිස් අධිකාරිවරුන් වූ දැන් ජ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස රාජකාරි කරන නන්දන මුණසිංහ හා ලලිත් ජයසිංහ කියන මහත්වරුන් දෙදෙනා ඒ මොහොතේම මගේ කාර්යාලයට කැ​ෙඳව්වා. මට ලැබුණු ඒ ඔත්තුව ගැන ඔවුන් දෙදෙනා සමඟ මුලින්ම සාකච්ඡා කළා.  


ඒ සාකච්ඡාවෙන් පස්සේ උප පොලිස් පරීක්‍ෂක නුවන් වෙදසිංහ මහත්තයාව කාර්යාලයට කැඳවා ඒ විස්තරේ කියා අරියම්පති ගරාජ් එකේ නම කියා ඒ ගරාජ් එකේ ඉන්න ක්‍රිෂ්ණ රාජා කියන බාස්ව අත්අඩංගුවට ගැනීමේ කාර්ය පැවරුවා ඔහු එ​් මොහොතේම තවත් පොලිස් කණ්ඩායමක් එක්ක අරියම්පති ප්‍රදේශ​යේ තියන ගරාජය සොයා ගෙන ගිහින් ක්‍රිෂ්ණ රාජාව අත්අඩංගුවට අරගෙන මාගේ ළඟට අරගෙන ආවා. ඇත්තෙන්ම ඒ මහ රෑ ගිය ගමනත් හරිම අවද‌ානම්. ක්‍රිෂ්ණ රාජාව පොලිසියට අරගෙන ආවේ ඔහු ඇද සිටි මජන් සූට් එක පිටින්මයි. ඔහු අල්ලාගෙන ඒමට හේතුව වෙදසිංහ කියා තිබුණේ නැහැ.


ගරාජ් බාස් අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙච්ච සේරම දේවල් ගැන තොරතුරු හෙළිකරමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙවැනි කතාවකි.  


‘‘ක්‍රිෂ්ණ රාජා තමුසේ මේ කළ වැඩේ මොකක්ද? අන්න තමුසේලා​ෙග් ගරාජ් එකේ බෝම්බයක් අටවා කොළඹට අරගෙන ගිය වෑන් එක පොලිසිය හොයාගෙන’’ කියා මම ඔහුගෙන් අසුවා. මගේ කතාව අසා ඔහුගේ ඇස් උඩ ගියා. හොඳටම බය වූ බවක් පෙනුණා. ඔහුට හොඳට කතා කරලා බය වෙන්න එපා කියා මුලින්ම ඔහුගේ හිතේ තිබුණ බය නැති කළා. තේ කෝප්පයක්ද බොන්න දුන්නා. පෙට්ට්‍රල් ටැංකියේ දෙපැත්තේ ටී.එන්.ටී. අසුරා සකස්කර තිබුණ බවත් එම ටැංකිය වෑන් එකට සවි කළේ තමා බවත් ඔහු පිළිගත්තා. කොටි ත්‍රස්තවාදියකු මේ ටැංකියේ බෝම්බය අටවා සවිකරන්න කියා තමාට බාර දුන් බවත් ඔහු කියා සිටියා. බෝම්බය අටවා තිබූ ටැංකියේ බර කිලෝ 40ක් පමණ වන බව ඔහු කිව්වා. වෑන් එක අරගෙන ගියේ කවුද කියා මම ඇසුවා. වෑන් එකේ ගිය සහාසිකයා ගැන ඔහු විස්තර අකුරක් නෑර හෙළි කලා.  


වෑන් රථයේ රියදුරා සමඟ ගිය ඔහුගේ සහයකයා නාවල්අඩි ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. නාමල්අඩි ප්‍රදේශය ඒ වන විට තිබුණේ කොටින්ගේ පාලනය යටතේය.   


කොටි පාලනය යටතේ පවතින බල ප්‍රදේශයකට ගොස් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රජයේ පාලන ප්‍රදේශයකට කුදලාගෙන ඒම කරන්නේ කෙසේද කියන එක කරුණාරත්න මහතා ඇතුළු උසස් ​ෙපාලිස් නිලධාරින් මුහුණ පා සිටියේ උභතෝකෝටික ප්‍රශ්නයකටය.   


ඇත්තෙන්ම කියනවා නම් ගරාජ් බාස්ට මම කිව්වේ බොරුවක්. ඒ වෙනකොටත් බෝම්බ වෑන් එක සොයා​ ගෙන තිබුණේ නැහැ. ගරාජ් බාස්ට බොරුවක් කියා නොමඟ යැව්වේ උපක්‍රමශීලිව ඔහුගෙන් බෝම්බ වෑන් එක ගැන දැනගන්න ඕන නිසයි. මම කිව්ව බොරුවට ඔහු රැවටුණා. බෝම්බ වෑන් එක කොළඹට ගෙනිච්ච බව විතරයි ගරාජ් බාස් දන්නේ. ඒක තියෙන තැනක් ඔහු දන්නේ නැහැ. බෝම්බ වෑන් එකේ රියදුරා එක්ක කොළඹ ගිය කෙනා ආපසු ආ බවත් ඔහු කිව්වා. මේ පුද්ගලයා කොටි පාලන ප්‍රදේශයක ඉන්න නිසා ඔහු අල්ලාගෙන ඒම අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒත් කොහොම හරි ඔහු අල්ලාගෙන ඇවිත් බෝම්බ වෑන් එක සොයා නොගත්තොත් ලොකු විනාශයක් සිදුවෙන බව අපිට තේරුම් ගියා යැයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.  


කොටි පාලනය යටතේ පවතින ප්‍රදේශයකට ගොස් කොටි ත්‍රස්තවාදියා කුදලාගෙන ඒමේ වගකීම ස්ව කැමැතේතෙන්ම බාරගත්තේ වෙන කවුරුවත් නොව උප පොලිස් පරීක්‍ෂක නුවන් වෙදසිංහ මහතාය.  


“සර් මම ගිහින් මිනිහාව අත්අඩංගුවට අරගෙන එන්නම්” යැයි කියා උප පොලිස් පරීක්ෂකවරයා පවසා ඇත්තේ අධිෂ්ඨානශීලිවය.  
මෙය ජිවිතය පරදුවට තබා යන අතිශය භයානක ගමනකි. බැරිවෙලාවත් කොටින්ට අසුවුවහොත් මැරුම් කන්නට වෙන්නේ දස වධ බන්ධනවලට ලක්වීමෙන් පසුවය.  


තරුණ උප පොලිස් පරීක්‍ෂකවරයා ද මේ කාරණය හොඳ හැටි දැන සිටියත් ජීවිතය පරදුවට තබා හෝ මේ ගමන යාමට තීරණය කර ඇත්තේ වෙන කිසිවක් නිසා නොව බෝම්බය අටවා තිබූ වෑන් රථය පුපුරුවා හැරියොත් එයින් අහිංසක ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වන බව ​ෙත්රුම්ගත් නිසාය.  


බෝම්බ වෑන් රථය සමඟ කොළඹ ගොස් ආපසු පැමිණ තිබූ කොටි ත්‍රස්තවාදියා අල්ලාගෙන ඒමේ රහසිගත මෙහෙයුම ගැන ​ෙතරතුරු අනාවරණය කරමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.  


“උප පොලිස් පරීක්‍ෂක නුවන් වෙදසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් පස් වැනි දින පාන්දර කල්අඩි පාලම ළඟින් අරියම්පති කොටි බල ප්‍රදේශයට හොර රහසේම ඇතුල්වුණ අතර එහිදී කොටි ප්‍රහාරයක් එල්ල වුණොත් එයට මුහුණ දීමට සූද‌ානමින් තව පොලිස් කණ්ඩායම පිටත්ව ගියා. හදිසි අවශ්‍යතාවක් පැන නැගුණොත් කොටි පාලන ප්‍රදේශයට ඇතුළුවීමේ බලාපොරොත්තුවෙන් තවත් සන්නද්ධ පොලිස් කණ්ඩායමක් කල්අඩි පාලම ළඟ සූදානම් කර තිබ්බා.   


වෙදසිංහ මහත්තයා සමඟ ගිය පොලිස් කණ්ඩායම කොටි පාලන ප්‍රදේශයට රිංගා අවශ්‍ය කොටි ත්‍රස්තවාදියා අත් අඩංගුවට ගෙන නිරුපද්‍රිතව පැමිණීමට සමත් වූහ. කොටි පාලන ප්‍රදේශයකට ඇවිත් තමාව අල්ලා ගනීවි ගියා ත්‍රස්තවාදියා හීනෙකින්වත් හිතලා නැහැ. මොහු ළඟ තිබුණ සයිනයිඩ් කරල්ද සොයාගෙන තමා වෙදසිංහ ඇතුළු පොලිස් කණ්ඩායම ආවේ.  


කොළඹ පිපිරවීමට බෝම්බ වෑන් එක මඩකළපුවේ සිට කොළඹට පදවාගෙන ගිය කොටි ත්‍රස්තවාදියා අල්ලා ගැනීමේ මෙහෙයුමට උප පොලිස් පරීක්‍ෂක නුවන් වෙදසිංහ, මහත්තායාගේ නායකත්වයෙන් 23 දෙනෙකුගෙන් යුත් පොලිස් බළ ඇණියක් සහභාගි වී තිබිණි.  


කොළඹට අධි බලැති බෝම්බ වෑන් එකක් ගෙනයාමට හවුල් වූ රිය සහායකයා අල්ලා ගත්තාට පස්සේ මොකද වුණේ? කියන ප්‍රශ්නයට පිළිතුරු දුන්නේද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයායි.  


සැකකරුගේ ප්‍රශ්න කිරීමේ අවස්ථාවට එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි පසුකාලයක පොලිස්පති තනතුර දරා විශ්‍රාම ලබා සිටින චන්ද්‍රා ප්‍රනාන්දු, එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිටි දැන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලය දරන නන්දන මුණසිංහ සහ ලලිත් ජයසිංහ යන මහත්වරුන්ද සහභාගි වී ඇත.   


අපි නාවල්අඩි ප්‍රදේශයෙන් අල්ලාගෙන ආ කොටි ත්‍රස්තවාදියාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළා. කොළඹ- කොටුව දුම්රිය ස්ථානයට නුදුරින් තියෙන වාහන පාර්ක් එකේ බෝම්බ වෑන් රථය ගාල්කර තිබෙන බව ඔහු කිව්වා. වෑන් එකේ ඉන්ධන ටැංකියේ දෙපැත්තේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය අටවා බෝම්බය සකසා තිබෙන බවත් ඔහු අපේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකළා. ඉන්ධන ටැංකියේ දෙපැත්තේ ටී.එන්.ටී. පුපුරන ද්‍රව්‍ය අටවා තිබූ නිසා වෑන් එකට ඉන්ධන ගසා ගැනීමට තිබුණේ පොඩි ඉඩක් බැවින් මඩකළපුවේ ඉදලා කොළඹට යනකම් ඉන්ධන පොළවල් 100කින් පමණ වරින්වර ඉන්ධන ලබාගැනීමට සිදුවූ බවත් සැකකරු පැවසුවා.  


කොටුව දුම්රිය ස්ථානය- ළඟ තියන වාහන පාර්ක් එකේ සතියක කාලයකට වූවත් සල්ලිගෙවා වාහන නවතා යාමට පුළුවන් නිසා මුදල් ලබාදී වාහනය එහි ගාල්කර තබා බැට්රිය බහින නිසා එය ගලවාගෙන ගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ බැට්රි චාජ් කරන තැනකට බාර දුන් බවත් ඔහු හෙළිකළා. බෝම්බය අවශ්‍ය තැනට ගෙන ගොස් පුපුරුවා හරින්න කලින් බැට්රිය චාජ් කරගෙන ඇවිත් වාහනයේ සවිකරන බවත් අප සමඟ ඔහු කියා සිටියා. සාක් රාජ්‍ය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් මෙය පුපුරුවා හැරීමට නියමිත බවත් අල්ලාගත් කොටි ත්‍රස්තවාදියා හෙළි කළා.  


සැකකරු හෙළිකළ මේ තොරතුරු සියල්ලම අපි එවකට කොළඹ දිසා භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඒ.එස්. සෙනවිරත්න මහතාට ඒ මොහොතේම දැනුම් දුන්නා. ඒ අනුව සෙනෙවිරත්න මහත්මයා පොලිස් කණ්ඩායමක් යවා වෑන් රථය පොලිසියේ බාරයට ගත්තා. ඒ පොලිස් ටීම් එක ඉන්ධන ටැංකිය පරීක්‍ෂා කර බලා එහි බෝම්බයක් අටවා නොමැති බව අපට පැවසුවා. උසස් පොලිස් නිලධාරීන්ගෙන් අපට ලොකු දෝස්මුරයක් ආවා. අපි බොරු ගොතා කියා සාක් රාජ්‍ය නායක සමුළුව කඩා කප්පල් කරන්න යනවා කියා.  


මේ නිසා අපි ලොකු අමාරුවක වැටෙන්න යන බව තේරුම් ගියා. අපි ආයෙත් ගරාජ් බාස්ගෙන් හා නාවල්අඩි ප්‍රදේශයෙන් අල්ලාගෙන ආ දෙදෙනාගෙන් උඹලා බොරු නේද කියන්නේ කියා නැවතත් ප්‍රශ්න කළා. අපි බොරු නොවේ ඇත්ත කියන්නේ තව හොඳට සෝදිසි කර බැලුවොත් බෝම්බය සොයා ගන්න පුළුවන් වේවි කියා දිව්රා කියා සිටියා. වෑන් එකේ බෝම්බයක් අටවා තිබෙන බව ස්ථිර බව අප නැවතත් තරයේම කියා සිටියා. ඊට පස්සේ යුදහමුද‌ා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් කැඳවා සෝදිසි කිරීමේදී තමා ඉන්ධන ටැංකියේ ​ෙබාහොම සූක්‍ෂම ආකාරයට සකස්කර තිබූ බෝම්බය සොයා ගත්තේ. බෝම්බය සකස් කිරීමට ටී.එන්.ටී. පුපුරන ද්‍රව්‍ය කිලෝ 47ක් පාවිච්චිකරලා තිබෙන බව කිව්ව කතාව ඇත්ත කියා තේරුම් ගත්තේ යැයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.  


මඩකළපුවේ සිට කොළඹට බෝම්බ වෑන් එක පදවාගෙන ආ රියදුරා වූයේ රඟුනාදන් නමැති කොටි ප්‍රබලයෙකි.  


ඔහු ගැන තොරතුරු අනාවරණ කෙරුණේ ද නාවල්අඩි කොටිපාලන ප්‍රදේශයේ සිටියදී අල්ලාගෙන ආ කොටි ත්‍රස්තවාදියා විසිනි.  
නාවල්අඩි ප්‍රදේශයේ අල්ලාගෙන ආ කොටි ත්‍රස්තවාදියාගෙන් ප්‍රශ්න කිරීමේදී බෝම්බවෑන් එක​ කොළඹට ගෙනා රගුනාදන් ගැන හෙළිවුණා. ඔහුව අල්ලාගෙන ඒමට මම උප පොලිස් පරීක්‍ෂක වෙදසිංහ මහත්තයා පොලිස් කණ්ඩායමක් එක්ක පිටත් කර යැව්වා. කොළඹ ලොජ් එකක සැගවී සිටියදී රගුනාදන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ඒ පොලිස් කණ්ඩායමට හැකියාව ලැබුණා. වෑන් රථයෙන් ගලවා ගෙනගොස් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තැනකට චාර්ජ් කරදීමට ගොස් තිබූ බැට්රිය ද අප සොයාගත්තා.   


අත්අඩංගුවට ගත් රගුනාදන්ගෙන් අප ප්‍රශ්න කළා. ඔහු කිව්වෙත් මෙම වෑන් බෝම්බය කොළඹදී පැවැත්වෙන සාක් රාජ්‍ය නායක සමුළුව සමයේ පුපුරුවා හරින්න ගෙනා එකක් බව කියාම තමා යැයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.  


උප පොලිස් පරීක්‍ෂක නුවන් වෙදසිංහ සිය ජීවිතය පරදුවට තබා ​පොලිස් කණ්ඩායමක් එක්ක කොටි පාලන අඩවියකට රිංගා කළ වීර ක්‍රියාව නිසා ඔහුට උසස්වීමක් ලබා දීමට මා උසස් පොලිස් නිලධාරීන් මගින් පොලිස්පතිවරයාට නිර්දේශ කළා. ඒ අනුව ඔහු පොලිස් පරීක්‍ෂක නිලයට උසස් කළා. මේ කටයුත්තට සම්බන්ධ වූ අනික් නිලධාරින්ගේ සේවය අගයා ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමුවා.  
මීට වසර 26කට පමණ පෙර කොළඹදී සිදුවීමට ගිය මහා ජීවිත විනාශයක් වළක්වා ගත්තේ පොලිස් නිලධාරීන් තුළ තිබූ දක්‍ෂතාව හා නිර්භීතකම නිසාය.  


බෝම්බ අටවා තිබූ වෑන් රථය සොයා ගැනීමට ඔත්තුව දුන් පුද්ගලයා එවකට පැවති රජයේ මැදිහත්වීමෙන් යුරෝපීය රටක පදිංචියට පිටත්කර යවා ඇත්තේ ඔහුගේ බිරිඳ හා දරුවන්ද සමඟය.  


ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ ජීවිත ආරක්‍ෂාව හා ඔහු කළ මෙහෙය සඳහාය.   


මේ සිද්ධියෙන් පස්සේ මමත් එල්.ටී.ටී.ඊ ඝාතන ලැයිස්තුවට ඇතුළු වුණා. ඒ බව රාජ්‍ය බුද්ධි අංශය මගින් ලිඛිතව මට දැනුම් දුන්නා. විශේෂ හේතුවක් නිසා හැර ගමන් බිමන් යාමෙන් පුළුවන් තරම් වැළකී සිටින ලෙස මට දැනුම් දී තිබුණත් මම ඒ අනතුරු නොසලකා හැර දිගටම කොටි ත්‍රස්තවාදීන් ඇල්ලීමේ පරීක්‍ෂණ මෙහෙයවනු ලැබුවා යැයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා පැවසුවේ සිනාසෙමිනි.  


කොටි පාලන අඩවියකට රිංගා බෝම්බ වෑන් රියේ සහායක අල්ලා ගැනීමට උප පොලිස් පරීක්‍ෂක වෙදසිංහ මහතා සමග ගිය පොලිස් කණ්ඩායමට ඇතුළත්ව සිටි පොලිස් සැරයන් සුනිල් තාබෲ මහතා පසු කාලයක පොලිස් පරීක්‍ෂක නිලයට උසස්වීම් ලබා දෙහිවල පොලිස් ස්ථානයේ රාජකාරී කරමින් සිටි අතරවාරයේ කොටි පිස්තෝල කල්ලි සාමාජිකයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වී මිය ගොස් තිබුණේ පොලිස් ස්ථානය තුළදීමය.  


කොටි රිය සහායකයා අල්ලා ගැනීමට ද‌ායක වූ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල් පුස්සැල්ල (22933) මහතාද පසු කාලයක මිය ගොස් ඇත්​ෙත් රිය අනතුරකට ලක්වීම නිසාය.  


බෝම්බ වෑන් රථය 6 වැනි සාක් රාජ්‍ය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් පුපුරුවා හැරීමට ගෙනා එකක් බවට ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී එය රහසක් වශයෙන් තබා ගැනීමට එවකට සිටි රාජ්‍ය බලධාරීන් ක්‍රියාකර ඇත්​ෙත් විදේශීය රාජ්‍ය නායක නායිකාවන් බියවී සමුළුවට සහභාගිවීමෙන් වැළකී සිටිනු ඇතැයි සැක පහළ කළ නිසාය.  


සාක් රාජ්‍ය නායක සමුළුව කිසිදු කරදරයකින් හෝ බාධාවකින් තොරව සාර්ථක ලෙස නිමා කිරීමට අවසානයේ එවකට පැවති රජයට හැකියාව ලැබිණි.  


බෝම්බ වෑන් රථය සොයා ගැනීමේ පරීක්‍ෂණ කටයුතු මුල සිටම අධීක්‍ෂණය කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති මිත්‍ර ආරියසිංහ මහතා විසිනි.  


එද‌ා උපපොලිස් පරීක්‍ෂක නිලයේ සිටි නුවන් වෙදසිංහ මහතා මේ වන විට අම්පාර කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් රාජකාරී කරයි.     


සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප - මාදම්පේ එස්. හේරත්