ප්‍රේමදාසට මොරිස් මයිනරයක්


ප්‍රේමදාස මහතා අන් අයට වඩා දුප්පත් මිනිසුන්ට ඕනෑකමින්, වෙහෙසී වැඩ කරන්නට ළැදියාවක් දැක්වීය. මෝස්තරයක් ලෙස ඇතැම් දේශපාලනඥයන් භාවිත කරන සටකපට රඟපෑමකට වඩා එය අවංක වූවක් බව ජනතාවට දැනෙන්නට විය. ඒ දැනීම නිසාම ප්‍රේමදාස මහතා දවසින් දවස මැද කොළඹ ජනතාවගේ හා පොදුවේ රට තොටේ කතා බහට ලක්වන්නට විය. ඔහුට නැහැ ‘‘බැහැ’’ කියා දෙකක් නැති බව දත් ජනතාව ඔහුට ‘‘පුළුවන්’’ යැයි සිතමින් ඔහු ළඟට විත් කිව නොහැකි වැඩ පවා පැවැසූහ.
   
අද මෙන් වාහන පර්මිට් ​හෝ අත යට ගනුදෙනුවලින් උදර පෝෂණය කරන ‘‘දේශපාලුවන්ගේ’’ කලාවක් තිබුණේ නැති එකලද මුදල් නැතිව ඇතැම් වැඩ කර ගැනීම අපහසු විය. දේශපාලනයට ධනය ඇවැසි විය. එහෙත් නාගරික මන්ත්‍රීවරයකු වුව, පවුල් පසුබිමකින් සල්ලිකාරයකු නොවූ ප්‍රේමදාස මහතා ඇතැම් දිනවල මුදල් අගහිඟකම් නිසා බොහෝ කනස්සල්ලට පත්විය. සිතින් ළතැවුණේය. මඟුලකට, අවමඟුලකට ගියද ජනතාවගේ හිත සැනසෙන ලෙස වැඩ කරන කලාවත්, එහි හෘද ස්පන්දනයත් ප්‍රායෝගිකවම දැන සිටි හේ ඒ ඒ තැන්වලදී මුදල් හදල් සොයා ගත්තේ සමීපම හිතවතුන්ගෙනි.  


ඔහු වටා සිටියේ ද ධනකුවේරයන් නොවේ. සුළු ව්‍යාපාර කරන ‘‘මුදලාලිලා’’ යැයි කීවද සුපිරි ධනපති මුදලාලිලාද නොවේ. ඔහුගේ ගජයා වූයේද තරුණ කාලයේ එකට පාපන්දු ක්‍රීඩාවේ යෙදුණු ප්‍රේමදාස මුදලාලිය. ඔහු ඒ හැටි ධනවතෙකුද නොවේ. දෙවැන්නා වූයේ මරදානේ මාර්කු මුදලාලි නමින් ප්‍රකටව සිටි වෙළෙඳ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වූ ඇල්බට් පෙරේරාය. ප්‍රේමදාස මුදලාලි පිටකොටුවේ එඩින්බරෝ එළවළු වෙළෙඳසලේ කඩ බක්කියක මුදලාලිය. ඇල්බට් පෙරේරා ජීවත්වීම සඳහා මොනවා හෝ හසු වූ දේ කරමින් කල් ගෙවූවෙකි. ඊට අමතරව ටිකක් සල්ලි බාගේ තිබුණු කෙනෙකුට සිටියේ හස්තිගිරියේ අබේරත්න මුදලාලිය. තම ලාභ ප්‍රයෝජන ගැනම නොසිතා මේ හැම දෙනාම හැකි පමණික් තම ධනය කැප කරමින් අනාගතයක් ඇති ප්‍රේමදාස මහතාව ඉදිරියට තල්ලු කරන්නට ඉමහත් කැප කිරීම් කළෝය.   


මුදල් හදල් අඟ හිඟකම් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ජීවිතයටද බොහෝ බලපෑවත් ඔහු දුක් දුක්විඳි කෙනෙකු හැටියට ඒ හැම විඳ දරා ගෙන නැගී සිටියේය.   


ප්‍රේමදාස මහතාට මුදල් නැති නිසා ඔහු සිතන වේගයට, වැඩ කරන්නට බැරි වූ අවස්ථාද තිබිණි. එහෙත් සෙස්සෝ අනිසි ආකාරයෙන් මුදල් උපයා ඒ හරහා දේශපාලනය කරද්දී ඇතැම් තැන්වලදී ප්‍රේමදාස මහතා අසරණව බලා සිටියේය. එහෙත් ඔහු වරක් තම සමීපතමයකුට කීවේ... ‘‘ඔය විදිහට ජරා සල්ලි හම්බ කරලා ඒක මහජනතාව වෙනුවෙන් වියදම් නොකර මෙහෙම වැඩ කරන එක හොඳයි අයිසෙ’’ කියාය.   


‘‘මේ මනුස්සයා රෑ දවල් නොබලා පළාතට වැඩ කරනවා. සමහරදාට සුචරිතයට ගොඩ වැදිලා බත් ටිකක් බඩට දා ගන්න වෙලාවක් නෑ. ගමන් බිමන් පුළුවන්තරම් පයින්ම තමයි. බැරිම තැන සමහර වැඩවටලට බස් එකේ යනවා. සී.ටී.බී. බස් එකේදී එයා අපට නිතර හමුවුණා. එයාට කළු කුඩයක් තිබුණා. ඒක ඉහළගෙන වත්තක් වත්තක් ගාණේ යනවා. මැද කොළඹ එයා නොගිය මුඩුක්කුවක්, වත්තක්, ගෙයක් නැතිව ඇති’’ මැද කොළඹ පැරැණ්නෙක් එසේ කීවේ තම සදාදරණීය නායකයා සිහිව නෙතඟ පිරුණු කඳුළු අතරිනි.  


‘‘අපි වාගේ මිනිස්සු අතරින් එ් වගේ කෙනෙක් ඔය උඩට ගියාමයි. ආයේ ඒ වගේ මිනිහෙක් බිහිවෙයිද කියලත් සැකයි. ඒ තරමටම කඩියා වගේ වැඩ කරපු මනුස්සයා. බල්ලෙක් වගේ තිරිසන් විදිහට මරලා දැම්මා. එදා සමහරු රතිඤ්ඤා පත්තු කරද්දී අපි හොඳටම ඇඬුවා. හරියට අපි ඔක්කොම එක රොත්තට මළා වගේ දැනුණේ. ඩයස් පෙදෙසේ පැරැන්නෙක් එසේ කීවේ මහත් හැඟුම්බරවය.   


කෙසේ වෙතත් නාගරික මන්ත්‍රී ප්‍රේමදාස මහතා ගමන් බිමන් යන්නට විඳින දස වධය දුටු පළාතේ මිනිස්සු එකා ​ෙදන්නා කතා කරන්නට පටන් ගත්තේ දුප්පත්කම මොහොතකට අමතක කරමිනි.   


‘‘අපි මේ මනුස්සයාට පොඩි කාර් එකක් අරන් දෙමු.’’ ඔවුහු කතා වූහ. එහෙත් කාර් එකක් ගන්නට විශාල මුදලක් වැය වන බව තවත් අය කියූ නිසා මේ කතාබහ ටික කලක් පැවතිණි. කෙසේ වුවත් කෘතවේදී මැද කොළඹ ජනතාව මුදල් එකතු කරන්නට පටන් ගත්තේ ප්‍රේමදාස මහතාට හොරෙනි. එහෙත් ආදරයෙනි. අවසානයේ පළාතේ දුප්පත් මිනිස්සු එකතු කළ මුදල් එක්රැස් ​ෙකාට තවත් අඩුවැඩිය හොයා ගන්නට වෙහෙසෙමින් තිබුණු දවසක මෙය ප්‍රේමදාස මහතාගේ සවන් වැකී තිබුණේය. ඔහු මුලදී ඒ හැටි කැමැති නොවූවත් පසුව ඊට කැමැති වූයේ ජනතාවගේ හදවතින් තිළිණ කරන්නක් නිසා එය තම ජීවිතයට තම වෑයමට කළ ගෞරවයක් හැටියට සලකාය. අවසානයේදී මරදාන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයකුවූ නන්දසේන කුරේ ඇතුළු කිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් මුදල් ​හොයා ගත් පසු කුඩා මොරිස් මයිනර් රථයක් මිලදී ගන්නට හැකි විය.   
එම මෝටර් රථයට අංකයක්ද ලැබිණි. එය GV - 1952 ය. මෙය රටේ ප්‍රභූවරයකු අතින් ප්‍රේමදාස මහතාට ගෞරවය පිණිස තෑගි කරන්නට මැද කොළඹ ජනතාව යුහුසුලු වූහ. මඟුලක් කන තරමට සතුටින් ඉතා චාමෙට වුවත් උත්සවයක් සංවිධානය කරන්නටද තීරණය කොට තිබිණි.   


තමන් වෙන​ුවෙන් තමන් වට කොටගත් දුප්පත් ජනතාව රුපියල දෙක එකතු කොට මහත් සතුටට පත් නායකයකුට පුදදෙන ඉහළ ගෞරවය සහිත මෙසේ කිරීම ප්‍රේමදාස මහතාගේ සිත ​බොහෝ සංවේදී බවට පත් කරවන්නට සමත්ව තිබුණේය. ඔහුට මෙය අදහා ගන්නට බැරි තරම් විය. ඔහු උත්සවය දාට පෙරදා තමන් හමුවට පැමිණ සතුටු සාමීචියේ යෙදී සිටි තම ගම්වැසියන් අතර බොහෝ නිහතමානීව රැඳෙමින් කතා බහක යෙදුණේය.  


‘‘ඔබතුමා මේක බාර ගැනීම අපට කරන ගෞරවයක්. අපි හිතන්නේ අපේ කෙනෙක් - නායකයෙක් විදිහටනේ’   


අයෙක් එසේ කියද්දී ප්‍රේමදාස මහතාගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණු බැව් මැද කොළඹ පැරැන්නෙක් කීය. ඔහු එතැනදී බොහෝ සංවේදී කතාවක්ද කියා තිබුණේය.   


‘‘එක අතකට අපගේ මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත මේ මුදලෙන් මේ වගේ තෑග්ගක් ලැබෙන්නේ මං වාසනා කරලා ඇති. මං උපන්නෙත් ඔහේලා අතර... මට දුන්නු මේ තෑග්ගත් මං පැදගෙන යන්නෙ, එන්නෙ ඔහේලා අතරින්. මං මැරෙනකම් මේ කාර් එක පරෙස්සම් කර ගන්නවා. ඒක මගේ ජීවිතේ තරම් වටින දෙයක් වේවි.’’   


ප්‍රේමදාස මහතා එසේ සංවේදී වූවා මෙන්ම ඔහු අගමැති ජනපති වූ පසුද එම මොරිස් මයිනර් රථය අද කාලයේ ඇත්තන් මෙන් කාට හෝ විකුණා දමා තම ගිණුමට මුදල් බැර නොකොට ආරක්ෂා කළේය. සුචරිතය පසෙක එය විශේෂ කුටියක, ඔහු අගමැති කාලයේදී කාටත් දැක බලා ගන්නට තැන්පත් කර තිබුණේය.   


කෙසේ හෝ එවකට දේශපාලනයයෙන් සමුගෙන පසෙකට වී සිටි ඩඩ්ලි සේනානායක මහතා කැඳවමින් මැද කොළඹ ජනතාව උත්සවාකාරයෙන් ප්‍රේමදාස මහතාට GV - 1952 දරන මොරිස් මයිනර් මෝටර් රථය පිරිනැමිණි. එදා මැද කොළඹ ජනතාවට සතුටුදායක දිනයක් විය. උත්සවයේදී ප්‍රේමදාස මහතා අපූරු කතාවක් කළේය. 

 
‘‘තෑගි නම් මොන තරම් නම් මනුෂ්‍යයන්ට ලැබෙනවාද? ඒත් මිනිස්සු අමාරුවෙන් ජීවත් වන අතරේ... ඒ මුදල්වලින් මේ වගේ දෙයක් දෙන්නේ මොන තරම් බලාපොරොත්තු තියාගෙනද? එහෙම නම් අපි ඒ බලාපො​ෙරාත්තු සිහි තබාගෙන හැම මොහො​ෙතම අපේ වගකීම සිහි දරා ගන්න ඕන. මේ කාර් එක දකින හැම මොහොතකම මම ඒ වගකීම සිහිදරා ගන්නවා. මම හැමදාමත් මැරෙන මොහොත වෙනකං මේ මැද කොළඹ ජනතාව අතරම ඉන්නවා.  


මේ කතාවට ඔහු අගමැති වූ මොහොතේ ජාතියට, ඒ සතුටුදායක පුවත දැනුම් දුන්නේ එම වගකීම සිහිගන්වමිනි.   


‘‘මම මහජනතාවගේ පයට පෑගෙන දූවිල්ලක් තරම් පුංචි මිනිහෙක්. ඒ මිනිසුන්ගේ ගුණ සුවඳ මට හොඳට පුරුදුයි. මැරෙන තුරුම එහෙමයි.’’ ඔහු එය වරින් වර කීය.   


දෛවයක මහත! ඔහු අවසන් ගමන අනපේක්ෂිත ලෙස ගියේද මැද කොළඹ ජනතාව අතර සිටියදී මය.   

 

 

 


රඛිත හේමවර්ධන