ප්‍රේම කුරුල්ලන්ට අත්තටු දෙන “රෝද තුනේ” අයියලා


 

ප්‍රේමය නම් ජීවිත දෙකක බැඳීමකි. විවාහය නම් සංකල්පය තුළ සැරිසැරීමට ප්‍රේමය අඩිතාලම වන්නේ ආකර්ශනය හා ගැළපීම තුළින් හමුවන දෙහදක් මගිනි. එලෙසම ශ්‍රී ලංකාව තුළ පවුලේ වාහනය ලෙස හඳුන්වන ත්‍රීරෝද රිය යනු එදිනෙදා පුංචි පුංචි හදිසි අවශ්‍යතා සඳහා ප්‍රවාහන පහසුකම සපයන වැදගත් වාහනයකි. රෝද තුනක් උඩ දිවයන ඒ රියදුරු වෘත්තිය සමහරුන්ට ගෞරවනීය වෘත්තියකි. නමුත් සමහරුන්ට තම ප්‍රදේශයේ වැඩකාරයෙකු සේ පෙනී සිටීමට, ශබ්ද දූෂණය මගින් වටපිටාවට හානි කරන විනෝදාංශයකි. යොවුන් ප්‍රේමය හා ත්‍රීරෝද රථය යනු එකිනෙකාට උදක්ම අවශ්‍ය යුගලයකි. අසම්මත ප්‍රේමයට, සම්මත ප්‍රේමයේ අසම්මත ප්‍රේම ජවනිකා සඳහා ආරක්‍ෂාකාරී ප්‍රවාහන පහසුකම් ලබාදෙන තුන්රෝද රිය හා සබැඳි යටිකූට්ටු ජාවාරම් කිහිපයක් වේ. එවැනි සංසිද්ධීන් සොයා ගිය ගවේෂණ චාරිකාවක තතු මෙලෙස දිග හරින්නෙමු. 


ලැගුම්හල් මුවාවෙන් ලෝකයේ පැරණිම රැකියාව කරගෙන යන බවත්, විටෙක ලැගුම්හල් මුවාවෙන් බාල වයස් ප්‍රේමයට ඉඩහසර ලබාදෙන බවත් ඔබ මාධ්‍යයෙන් දැන ඇතැයි සිතමු. යොවුන් වියේ ප්‍රේමය වර්තමානය වන විට කාමයට පමණක් සීමාවී ඇත. ඉස්සර පෙම්වතුන් පන්සල් පල්ලි ගොස් විශ්වාසනීය බැඳීමක් ගොඩනගා ගත්තද අද පෙම්වතුන් චැට් මාර්ගයෙන් කරන ආදරයේ ප්‍රායෝගිකත්වය සොයා අහුමුළු ගානේ බඩගාමින්ද ගෙස්ට් හවුස් කාමර සොයමින්ද ගමේ නගරයේ සැරිසරති. එවැනි ප්‍රේම කුරුල්ලන්ට තටු ලබා දෙන්නේ නැතහොත් එම අසම්මතයට උඩගෙඩි දෙන්නේ තුන්රෝද රියදුරන් බව සමහරු දනිති. 


ගමේ නගරයේ පාළු අහුමුලු වල තිබෙන ලැගුම්හල්ද ලියාපදිංචි නොකර කාමර පහසුකම් ලබාදෙන ස්ථානද හොඳින් දන්නේ එම රියදුරන්ය. මන්ද ජෝඩුවක් එහි ගෙනැවිත් දමා රුපියල් තුන්හාරසියක කොමිස් එකක් සමග තරමක වැඩි හයර් මුදලක්ද ලබාගත හැකි පහත් ගණයේ හොඳම ක්‍රියාව එය වන බැවිනි. වයස 18 ඉක්ම නොවුවත් එම ජෝඩු ඊට සරිලන කාමර වලට සපයා ඔවුන්ට අත්තටු ලබා දෙන්නේ මොවුන්ය. එවැනි කූට ජාවාරම් නීතියේ රැහැනට කොටු වෙන්නේ නැත. මන්ද එහිදී පාරිභෝගිකයා, වෙළෙන්දා හා අතරමැදියා යන පාර්ශ්ව තුනම මෙම හොර ක්‍රියාවට සම්බන්ධ වෙන හෙයිනි. 


සමාජයේ එවැනි අඳුරු පැතිකඩයන් සොයා අප කොළඹ ආශ්‍රිතවත්, කුරුණෑගල, දඹුල්ල හා රත්නපුර ආශ්‍රිතවත් සිදුකළ ගවේෂණ අප සොයා ගත්තේ ඒ ඇමට අපටම බඳුන් කරවා ගනිමිනි. 


කුරුණෑගල යනු වයඹ පළාතේ පිහිටි ප්‍රධානතම අමතර පන්ති අඩවියකි. කුරුණෑගල අවට නගර ගම් සියල්ලේම ළමෝ එහි පැමිණෙන අතර බොහෝ විට ඔවුන් ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ බසයයි. පාසල් යන එම යෞවනය අත දුරකථනය සුලබ උපකරණයක් වී ඇත. ඇතුගල් කන්ද නැග කැලෑවේ ගහකොළ ගණනය කිරීමට යාමට කට්ටි පනින පිරිසත් ඒ අතර වේ. 
සාමාන්‍යයෙන් සවස තුන සිට හය දක්වා කාලය තුළ වෙළෙඳුන්ට හා අනෙකුත් සේවා සපයන ව්‍යාපාරිකයන්ට වැදගත් කාලයකි. ඇතුගල පාමුල ළඟින් අපිද තුන්රෝද රියක් නවතා ඊට ගොඩවීමු. තරුණ වයසේ පසුවූ ඔහු ‘කොහෙද යන්නේ’ කියා අපෙන් විමසූ විට අප ‘නුවර පාරට දාලා, යමුකො’ කියා පිළිතුරු දුනිමු. එවිට ඔහු නිහඬව ඉදිරියටම ගමන් කළ නමුත් ඒ අතරම ‘මල්ලි මං දන්න සුපිරි පොට් එකක් තියෙනවා. ෆුල් සේෆ්ටි, කිසිම විදියකට පොලිසියෙන් පනින්නෙ නැහැ, මොකෝ කියන්නේ?’ කියා අපෙන් ඇසීය. ඒ බස් අසා අප එකවරම අන්දුන් කුන්දුන් වූ අතර ඔහු එන පොට දැනගත් බැවින් තව තවත් විස්තර අපි හාරා අවුස්සා දැනගත්තෙමු. 


“මෙහෙමනෙ මල්ලි, 18 නැත්නම් කිසිම තැනකට යන්නත් බෑනේ. ඒත් මෙතන එහෙම අවුලක් නෑ. මොකද මේ තැන ගැන දන්නේ අපි කිහිපදෙනෙක් විතරයි. මේක නිකං ගෙයක් වගේ පේන්නේ. ඒ හින්දා කාටවත් බය වෙන්න දෙයක් නෑ. ගාන පොඞ්ඩක් වැඩියි. හැබැයි ආයෙ නිකං ආතල් එකේ ඉන්න පුළුවන් තැනක්” කියා ඔහු හොඳ පැහැදිලි කිරීමක් අපට ලබා දුනි. අප ඊට එකඟතාව පළ කළ අතර එහිදී ඔහු මාර්ගයෙන් වම් පසට හරවා පටු මාවතක් දිගේ ගොස් නැවතත් හන්දි කිහිපයකින් ඒ මේ අත හරවමින් අපට මාර්ග සිතියම සිතාගත නොහැකි වංකගිරියක් ලෙස රැගෙන යමින් අදාළ ස්ථානය කරා ළඟා වූහ. සැබවින්ම මෙය බැලු බැල්මට විශාල නිවසකි. ගේට්ටු දමා වසා තිබෙන අතර මුරකරු සමග රෝද තුනේ රියදුරු කතිකා කොටගත් පසු අපට ගේට්ටුව විවෘත වුණි. පසුව අප ඒ තුළට ගිය අතර මෙම ස්ථානයට කාමර පහසුකම් අවශ්‍ය පිරිස පැමිණෙන්නේ ත්‍රීරෝද රිය වල සබඳකම් මැද පමණක් බව එහිදී අපට වැටහුණි. 


මෙම සුවිසල් නිවසේ හිමිකරු නැතහොත් මෙම ස්ථානය පවත්වාගෙන යන්නේ මැදි විය ඉක්මවූ පුද්ගලයෙකි. අසම්මත පෙම් ජවනිකා වලට ඉඩහසර ලබාදී නොදැනුවත්වම ප්‍රේමය යැයි කියා ජීවිතය නාස්ති කරගන්නා තරුණියන්ගේ පිරිසිදුකම් බොහොමයක් මෙවැනි ඉසව් තුළ නැතිවී තිබේ. අපගේ තුන්රෝද රියේ රියදුරු අසලකට ගොස් අප ගැන කතිකා කරගත්තද අපි කුමක් හෝ මුසාවක් ගොතා ඉන් ගැළවී යාමට කල්පනා කළෙමු. පසුව පසුම්බිය නැතිවූ බව අඟවමින් ඉන් නික්මුණු අපට රියදුරුගේ දෙස් දොවොල්ද අසන්නට විය. 


විශේෂයෙන්ම රාත්‍රී කාලයේ කොල්ලුපිටිය, බම්බලපිටිය, කොම්පඤ්ඤවීදිය හා හැව්ලොක් ටවුන් ආශ්‍රිතව සැරිසරන සමහර ත්‍රීරෝද රථ ගණිකාවන්ගේ සම්බන්ධකම්වල පැටලුණු අය වෙති. රාත්‍රියට නිකරුණේ සැරිසරන තරුණයන් හට රාගයේ රසවත් බව කියාදෙමින් ඔවුන්වද සමාජ රෝග වළපල්ලට යොමුකරන්නේ මුදල් මතම වහල් වුණු තුන්රෝද රියදුරන් විසිනි. 


බම්බලපිටියෙන් අප තුන්රෝද රියකට ගොඩවූයේ යම් ස්ථානයකට යාමටය. නමුත් එම රියදුරු අපට කියාසිටියේ ඊටත් වඩා හොඳ තැනක් වැල්ලවත්තේ ඇති බවත් ඊට පොලිසියෙන්වත් පැනීමට තැන දන්නෙ නැති බවත්ය. නමුත් අප එහි යාමට වඩා යම් මුදලක් ලබාදී ඔහුගෙන් හොඳ හොඳ දෑ අසා ගැනීමට අපි තීරණය කළෙමු. තරුණ වියේ පසුවූ ඔහු කියන අන්දමට ඔහු සතුව වීදි ගණිකාවන් හා තරමක් සුපිරි ගණයේ වැටෙන ගණිකාවන් පිරිසකගේ දුරකථන අංක පවතියි. රාත්‍රියට හෝ ඕනෑම වෙලාවක එවැනි රස සොයා පැමිණෙන පාරිභෝගිකයන්ව අදාළ තරුණියන් හට මුණ ගැසෙන්නේ මොහුය. මොහු සෘජුවම ඊට සම්බන්ධ නොවුවත් පසුව බැලූ කල තැරැව්කරුවෙකි. 


පෙට්‍රල් ගසා රථය දුවවනවාට වඩා මෙවැනි දේවල් වලින් වැඩි මුදලක් මහන්සි නොවීම සොයාගත හැකි බවත් සමහර දිනවල සවස් යාමයේම දවසේ හයර් දිවීම අවසන් කොට නිවසට යන බවත් ඔහු පැවසීය. මොහු පැවසූ අන්දමට බම්බලපිටිය දුම්රිපොළ අවට කැරකෙන අමතර පන්ති යන ජෝඩු රහසිගත ස්ථානවලට ගෙනයෑම මොහුගේ කාර්යයයි. සමහරු තරුණයන් ඉල්ලන්නෙම පාළු හුදෙකලා ප්‍රදේශයක කාමරයකට ගෙන යන ලෙසට බව මොහු පැවසීය. දිනක් මොහු එසේ ගෙන යන ලද ජෝඩුවක් පාසල් යන වයසේ පසුවන බව දැකගන්තේ ඔවුන්ගේ නිල ඇඳුම් බෑග් තුළට දමා ගනිද්දි පැති කණ්නාඩියෙන් දකිද්දී බවය. කාවවත් මරා හෝ අනුන්ගේ දෙයක් කොල්ලකාගෙන හෝ ජීවත් වෙන්නේ නැතැයි පවසන ඔහු මෙවැනි ක්‍රියාවකට අනුබල දීම පිළිබඳ වගකීම ඇත්තේ එම ජෝඩු වලට බවත් පැවසීය. නමුත් වැරදි කිරීමට වඩා වැරදි කිරීමට අනුබල දීම බලවත් වැරැද්දක් බව ඔහුට වැටහෙන්නේ නැත. 
නුගේගොඩ හා කොහුවල අවට තුන්රෝද රියේ රස්සාව කරන පිරිසට නම් හයර් වලින් අඩුවක් නොමැත. අමතර පන්ති දැවැන්ත ලෙස රජ කරන එම ප්‍රදේශ වල පිහිටා ඇත්තේ සුපිරි පැලැන්තියේ නිවාස වේ. එම නිවාස පිහිටි කුඩා මංමාවත් තුළ සැඟවී තිබෙන කාමර පහසුකම් ගැන හොඳින් දන්නේ තුන්සකරියේ රියදුරන්ය. මග තොටදී අනන්තවත් ජෝඩු දකින මොවුන් එයින් ලද විශේෂීකරණය මත ජෝඩුවක් පනින්න යන්නේ මොන වැටෙන්දැයි හඳුනා ගත හැකිය. එම නිසා තම රථයට ගොඩවෙන ජෝඩු වල ස්වභාවය හොඳින් හඳුනාගෙන ඊට අදාළ ලෙස කතිකාවත් පටන් ගෙන තම මඩිය තරකරගැනීමට කටයුතු කිරීමට මොවුහු හොඳින් දනිති. 


දෙහිවල - වැල්ලවත්ත වෙරළ සීමාවට බොහෝ මැදි වියේ ජෝඩු එන අතර ඉන් බහුතරයක් නියම පෙම්සුව විඳින්නෝ නොවෙති. ගාලු පාරෙන් බස් රථයෙන් බසිනා ඔවුන් තුන්රෝදේ නැග පියඹන්නේ හිමි නැති රති සුවය පිණිසය. ඒ පිළිබඳ අප සමග කියා සිටියේ දැනට වයස 58ක් වන තුන්රෝද රියදුරෙකි. 


සිගරට් හා ගංජා පානයට තදින්ම ඇබ්බැහි වූ මොහු නිවසට හොරා මුදල් එකතු කරගන්නේ මෙවැනි යොවුන් පෙම්කුරුල්ලන්ට අත්තටු ලබා දීමෙනි. අපවද මොහු රැගෙන ගියේ වෙරළ පාරේ සිට තවත් අතුරු මාර්ග කිහිපයක වංගු ගනිමින් බාහිරින් පෙනෙන පැරණි නිවසකටය. කිසිදු නාම පුවරුවක් නොමැති එම නිවස කාමර පහසුකම් දෙන තිප්පොළක් බඳුය. අප යන විටත් ඉතාමත් තරුණ යුවළක් ඉන් නික්ම ගියේ අප ආ රථයෙන්ම ආපසු යනු අදිටනිනි. අපව දුටු කල එම තරුණිය වහා බිම බලාගත් අතර කඩිමුඩියේ ගොස් රථයට ගොඩවුණි. පිළිගැනීමේ ස්ථානයක් නොතිබුණ, සාලයට ගොඩ වූ විට තරුණයෙකු පැමිණ විස්තර පවසන ලදි. 


සිගරට් හා කාලෙ අරක්කු බෝතල්ද වෙළඳපොළ මිලට වඩා වැඩියෙන් ඔවුන් රහසිගතව විකුණනු ලබයි. කාමරයක මිල රු. 1500ක් වන අතර එහි අභ්‍යන්තර දර්ශනද අපට බැලීමට අවශ්‍ය බව කීවත් ඔහු අපට පෙන්වීමට අදිමදි කළේය. පසුව අප ඉන් පිටත් වුනෙමු. 
රත්නපුරය අමතර පන්ති සඳහා ප්‍රමුඛ නගරයකි. රත්නපුර නගර සීමාව තුළ එතරම් දුර්ජන කටයුතු නොවුනත් ඊට අල්ලපු ප්‍රදේශ වල එම කටයුතු ඉතා රහසිගතව සිදු කරගෙන යති. අපගේ චාරිකාවේදී එවන් ප්‍රදේශයක පිහිටි ලැගුම් පාලක ඉපැරණි රැකියාව අලෙවි කරන ස්ථානයක් බවට විස්තර ලැබුණි. ඒ දේවල් බහුතරයක්ම සන්නිවේදනය වෙන්නේ තුන්රෝද රියදුරන් මගිනි. 


නමුත් යොවුන් ප්‍රේමයේ අසම්මත හැසිරීම් වලට ඒවායේ ඉඩහසර ලබාදිය යුතු වන්නේ නැත. මන්ද ප්‍රේමයට අත්තටු ලැබෙන කාලයක් ඇත. ඒ කාලය නිසි සිරිතට විරිතට අනුව දෙමාපිය ආශිර්වාදය මැද සිදු විය යුත්තක් විනා හොරෙන් ගන්නා අත්තටු සලමින් නොවේ. ජීවිතයේ වැඩි දුරක් එමගින් පියඹාගෙන යා නොහැක. එවන් බොළඳ කාමුකත්වයේ අවසානය බොහෝ විට මිනීමැරුමක් හෝ සියදිවි නසාගැනීමකි. නැතහොත් අන්තර්ජාලය හරහා හුවමාරු වෙන අසභ්‍යත්වය පමණි. 


තුන්රෝද රියදුරන් සමාජයේ හොඳට නරකට උදව් කළ අවස්ථා බොහෝය. හොරුන් අල්ලා ගැනීමටත් ඒවාට උදව් කිරීමටත් ඔවුන්ට පුළුවන. නමුත් හැම මාර්ගයකම අස්සක් මුල්ලක් නෑර රිය පදවන ඔබලා මීට වඩා අවට ගැන විමසිල්ලෙන් සිටිය යුතු නොවේද? යොවුන් ප්‍රේමයේ රාගය සොයා යනවුන්ට අවවාද ලබාදී හරි මගට ගත යුතු නොවේද? ඒ මන්දයත් මතු දිනක ඒ ඔබේ දරුවා වුවහොත් ඔබ අද ලබාගන්නා ඒ මුදලේ ඇති වටිනාකම කුමක්ද? බොහෝ රියදුරන් ජන දුක හඳුනන්නවුන් වේ. මුදල පමණක් සලකන්නේ නැතුව මනුස්සකම් මත කටයුතු කරන ආචාර්ශීලී රියදුරන් රට තොට සිටින බව අපි දනිමු. 


මත්ද්‍රව්‍ය  ප්‍රවාහනය, වෛශ්‍ය වෘත්තියට අනුබල දීම, අපචාර වලට හවුල් වීම, වැරදි කරන්නවුනට උදව් දීම, පමණට වඩා මුදල් අයකිරීම, ඝෝෂාකාරී සංගීතය මගින් ශබ්ද දූෂණය කිරීම වැනි ජාවාරම් වලට රෝද තුනේ වාහනය බොහෝ විට හවුල් වේ. මගී ප්‍රවාහනය මත සාධාරණව මුදල් ඉපයීම විනා මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීමේ තේරුම ඔබ අප දැනගත යුතුය. එසේනම් ප්‍රේමය යැයි සිතා කාමුකත්වය සොයා අත්තටු සොයන ප්‍රේම කථා වලට තවත් අනුබල දිය යුතුද? නැද්ද? (සමීක්‍ෂණයක් ඇසුරිනි)

සටහන 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු