ප්‍රේත ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ ජීවීන්


සියලු උත්පත්තිය හේතු සහගතය. අහේතුකව හටගැනීමක් හෝ අහේතුකව පහළ වීමක් නැත. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කොට ඇත්තේ මේ හේතු ප්‍රත්‍ය ධර්මතාවයි. ජීවී වේවා, අජීවී වේවා සියලු දේ හේතු - ප්‍රත්‍ය නියාමයට යටත් වේ. ඇසට පෙනෙන වේවා, ඇසට නොපෙනෙන වේවා, කනට ඇසෙන වේවා, කනට නොඇසෙන වේවා, නාසයට දැනෙන වේවා, නාසයට නොදැනෙන වේවා, පංච උපාධනස්කන්ධයට අසුවන හසුනොවන සියල්ල ​ෙහ්තු ප්‍රත්‍ය ධර්මතාව මත රැඳී පවතී. 
 


“හේතුං පටිච්ච සම්භූතා  
හේතු භංගා නිරුක්ජඣති”  


යමක් හේතුවක් නිසා හටගත්තේ ද ඒවා හේතු නැසීමෙන් නැතිවී (නිරුද්ධ වී) යයි.  


මේ හේතු ප්‍රත්‍ය ධර්මයට යටත් ලෝකයේ ජීවී තලය පරක් තෙරක් නැති තරම්ය. එයින් මනුෂ්‍ය පංච ඉන්ද්‍රියට හසුවන තලය ද ඉතා ස්වල්පයෙකි.  


පසුගිය ලිපි කියැවූ ඔබට මේ ගැන යම් වැටහීමක් ඇති. බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ මහා වේදැල්හ සූත්‍රයේදී කාම, රූප, අරූප වශයෙන් භව තුනක් පැහැදිලි කරති. කාම භවය කොටස් තුනකි. එයින් මනුෂ්‍ය ලෝකය එක කොටසකි. සතර අපාය දෙවැනි කොටසකි. මේ ගැන අපි සාකච්ඡා කළෙමු. කාම භවයට අයත් තුන්වැනි කොටස දිව්‍ය ලෝකයයි. එය අනුකොටස් වශයෙන් හයකි. එනම් චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මික, වසවත්ති යනුවෙනි.  

 

 

අප එතැනින් එහාට සාකච්ඡා කළේම නැත. ඉහත කාම භවයේ පෘථග්ජන මනුෂ්‍ය ඇසට හසුවන තල දෙක මනුෂ්‍ය ලෝකය හා තිරිසන් අපාය පමණි. ඉතිරිවා දකින්නට මනස ඉහළ තලයන් දක්වා අභිඥ්ඤා, ධ්‍යාන හා මාර්ග ඵල වශයෙන් දියුණු කළ යුතුය. මනුෂ්‍ය ඇසට ග්‍රහනය නොවන තවත් ජීවී තල ප්‍රධාන කොටස් දෙකකි. එකක් රූප භවයි. රූප භවය ප්‍රථම, ද්විතීය, තෘතීය හා චතුර්ථ වශයෙන් ධ්‍යාන තල හතරකට බෙදී යයි. මෙහි ප්‍රථම ධ්‍යාන තලය කොටස් තුනකි. ඒ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය හා මහා බ්‍රහ්ම වශයෙනි. 

 
දෙවන ධ්‍යාන තලය පරිත්තාභ, අප්පමාණභ, ආභස්සර වශයෙන් කොටස් තුනකි.  


තෘතීය ධ්‍යාන තලය පරිත්ත සුබ, අප්පමාණ සුබ, සුභකිණ්හ වශයෙන් තුනකි.  


චතුර්ථ ධ්‍යාන තලය වේහපල්ල, අසඤ්ඤසත්ත, පඤ්ච සුද්ධාවාස වශයෙන් තුනකි. මෙහි පංච සුද්ධාවාසය වනාහි අව්හ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨක වශයෙන් පහකි. මේ කිසිම ජීවී තලයක වෙසෙන ජීවියෙක් කවරාකාරයදැයි මිනිසුන් දැක නැත. බ්‍රහ්ම ලෝකයේ උපදින්නට ධර්මානුකූල වශයෙන් ඉහළ තලයක පිහිටිය යුතුය. ඒ අයට මනුෂ්‍යයන්ට නොහැකි ඇතැම් දේ අතීන්ද්‍රිය ඥ‌ානය මූලික කරගෙන කළ හැකිය. ඒ අය මනුෂ්‍යයන්ට දර්ශනය නොවෙතමැයි කීම ද උගහටය. කෙසේ වෙතත් එකී ජීවී තල ද මනුෂ්‍ය ලෝකය මෙන් පිරී පවතින බව දත යුතුය.  


මහාවේදල්හ සූත්‍රයට අනුව අරූප භවය තවත් කොටස් හතරකි. එනම් ආකාසනඤ්චායතනය, විඤ්ඤාණාඤ්චායතනය,

ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය වශයෙනි. එහි ස්වරූප විස්තර කිරීම දීර්ඝ සාකච්ඡාවකි. 

 
අපි පිටසක්වළ ජීවීන් වශයෙන් අනුමානයට බඳුන් කරන සත්වයෝ බුද්ධ දේශනාවට අනුව කාම, රූප, අරූප භව තුනෙන් එකකට අයත් වෙති.  


ඒ ඒ අයට ලැබී ඇති රූපය ද ආයුෂය ද තම තමන්  කරගත්   කර්ම  පථයට අනුව වෙනස් වී ඇත.  


අත් පා ඇඹරී වකුටුව, ඇස් භයංකාරව, හිස භයංකාරව, මුහුණු විරූපව උපදින මනුෂ්‍යයන් ඔබ දැක ඇත. ඒ අය මනුෂ්‍ය ලෝකයේ ඉපදීම ඇතැම් විට කර්ම පථය අනුව තීරණය වූ පරිදිය. ප්‍රේත ලෝකවල උපදීමට යන අය අවසාන චුති චිත්තය වෙනස් වීමෙන් මනුෂ්‍ය භවයට පත් වීමේදී මෙවැනි විරූප ස්වභාවය පෙන්නුම් කළ හැකිය. එය එසේම යැයි කිව නොහැක්කේ ඊට විද්‍යාත්මක කාරණා ද යම් යම් ආකාරයට බලපාන හෙයිනි.  


ප්‍රේත ලෝකයේ ජීව ලක්ෂණ මනුෂ්‍ය ඇසට හසුවූ අවස්ථා තිබේ. ඒ බොහෝ දුරට මහරහතන් වහන්සේලාටය. ප්‍රේතයන්ගේ ලක්ෂණ හා ප්‍රේත ලොව උපදීමට මූලික වූ කාරණා පදනම් කරගෙන පහත කතා කීපය මතු කරමි.  


වරක් රහතන් වහන්සේ නමකට මුහුණ පුරා පණුවන් ගැසූ, මුළු මුහුණම පණුවන් කන, දුඟද හමන, විරූපී ප්‍රේතියක් දක්නට ලැබුණහ. මේ භයංකාර ප්‍රේතිය දුටු රහත් නම, ඇය අමතා,  


‘ඔබගේ මුහුණම පණුවන් වෙළාගෙන ඇත. ඔබ ඔබගේ මුහුණට නිතරම හානි කරගන්නේය. මෙසේ වීමට ඔබ පූර්වයෙහි කරගත් පාපකර්මය කිමෙක් දැයි’ විචාලහ.  


‘ස්වාමීනි, මා පෙර මිනිස් ජාතියකදී ගිරිවජු නම් නුවර බොහෝ ධන ධාන්‍යයෙන් ආඪ්‍යව විසීමි. එකල මාගේ දියණියෝ ද යෙහෙළියෝ ද මල්, සුවඳ විලවුන් සහිතව මහ සෑ වන්දනාවට යන්නෝය. ඒ හැම විටම මාගේ බලය යොදවා ඔවුන්ගේ ගමන වැළැක්වීමි. මහ සෑ වන්දනාවේ නුගුණ කීමි. ඒ අකුසල කර්මයේ විපාකය මෙයයි’ ප්‍රේතිය කියා සිටියාය.


දවසක් ගිජ්ජකූට පර්වතයෙන් පහළට වැඩම කරන ලක්ඛණ තෙරණුවන්ට ශරීරයේ සමක් නැති ප්‍රේතයකු දකින්නට ලැබිණි. මේ ප්‍රේතයාගේ ශරීරයම නිලමැස්සන් වසාගෙන ඇත. මේ ප්‍රේතයා පිළිබඳව ලක්ඛණ තෙරණුවෝ දම් සභා මණ්ඩපයේදී ප්‍රකාශ කළහ. එවෙලේ,   


‘මේ ප්‍රේතයා පෙර රජගහ නුවර විසු බැටළු වෙළෙන්දාය. බැටළුවන් මරා මස් කළ පාපයට අවුරුදු ලක්ෂ ගාණක් නිරයේ පැසී විත් ඉතිරි පාපය ප්‍රේතයකුව ඉපිද ගෙවා දමන්නේ’ යැයි ව‌ද‌ාරමින් බුදුරජාණන් වහන්සේ පාපයෙහි බලවත්කම පිළිබඳ භික්ෂූන්ට දේශනා කළහ.  


ඊළඟට මනුෂ්‍ය ඇසට නොපෙනෙන යක්ෂයන් හා යක්ෂණියන් පිළිබඳ ඇතැම් දේශනා ධර්මයේ සඳහන් වෙයි. ඒ වගේම මාර දිව්‍ය පුත්‍රයා ගැන කියැවෙයි. මොවුහු කවරහු ද?  


වරක් සච්චක නමින් ප්‍රසිද්ධව සිටි පඬිවරයෙක් බුදුරජාණන් වහන්සේ සමඟ වාදයෙහි පැටලෙන්නට ආයේය. සච්චකගේ වාදය වූයේ රූපය මගේ ආත්මය බවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ ‘රූපං භික්ඛවේ අනිච්චං’ යනුවෙනි.  


සච්චක වාදයෙන් පැරදුණත් නොයෙක් වහසි බස් කියන්නට විය. 

 
මේ වේලාවේ සච්චකට පුදුම දර්ශනයක් පෙනුණු බව කියැවේ. එනම් මහා වජ්‍රායුධයක් අතින් ගත් දරුණු යක්ෂයෙක් ඔහුගේ හිසට ගසා හිස පොඩි කරන්නට සූද‌ානම් වන දර්ශනයයි.  


සච්චක මෙවැනි බිහිසුණු අත්දැකීමක් මීට පෙර අත්දැක තිබුණේ හෝ දැක තිබුණේ නැත. ඔහුට හීන් දහදිය ගලන්නට විය.  


සච්චකට එද‌ා යක්ෂ රූපය පෙනුනේ සක්‍ර දෙවියන්ගේ බලපෑමක් නිසා බව කියැවේ.

  
ලෝකයේ සිව් මහා දිශාව පාලනය කරන දෙවිවරුන් හතර දෙනෙක් පිළිබඳ කියැවෙයි. ඒ අයගෙන් උතුරු දිශාව පාලනය කරන්නේ වෛශ්‍රවණ හෙවත් වෙසමුණි දෙවියන්ය. බටහිර දිශාව විරූපක්ඛ දෙවියෝ ද දකුණු දිශාව විරූල්හ දෙවියෝ ද නැගෙනහිර දිශාව ධෘතරාෂ්ට්‍ර දෙවියෝ ද පාලනය කරති.  


ඒ සතරවරම් දෙවියන් විසින් තමන්ගේ දිශාවල සිටින යක්ෂයෝ, නාගයෝ කුම්භාණ්ඩයෝ, ගාන්ධර්​ෙ‌යා් යටත් කොට පාලනය කරනු ලබති. මෙයින් මහා බලසම්පන්න යක්ෂයන් ද සාමාන්‍ය බලැති යක්ෂයන් ද අඩු බලැති යක්ෂයන් ද යන සියලු යක්ෂයන් වෙසමුණි දෙවියන්ගේ බලයට යටත් වී සිටින බව කියැවේ.  


නාග නැමැති අමනුෂ්‍ය කොට්ඨාසය විරූපක්ඛ දෙවියන්ගේ බලපරාක්‍රමයට යටත්ය.  


කුම්භාණ්ඩයෝ විරූල්හ දෙවියන්ගේ අණසකට නතුය. ගාන්ධර්ව නැමැති අමනුෂ්‍යයෝ ධෘතරාෂ්ට්‍ර දෙවියන්ගේ බලයට යටත්ව ඇත.  
ධර්මයට අනුව මේ ජීවී කොට්ඨාස ක්‍රම ක්‍රමයෙන් පුළුල් පරාසයන් කරා ඇදී යන්නකි. මේ සියල්ල අපගේ දර්ශන පථයට දුරය. එබැවින් බුද්ධ දේශනය තුළින්ම ඒ ජීවී තලය විනිවිද යා යුතුව ඇත.  

 

 

 

 

 

 

 


සටහන - අසංක ආටිගල