ප්‍රාණ ඇපකරුවන්ට මරණය ගෙන ආ ඊජිප්තු යානය මුදා ගැනීම


නිල් අහසේ  දඩයක්කාරයෝ   

 

පැහැරගත් ගුවන් යානය 

 

 

ඊජිප්ට් එයාර් 648 ගුවන් යානා මංකොල්ලය, ලෝකයේ සිදුවී ඇති ගුවන්යානා පැහැර ගැනීම් අතර වැඩිම මරණ ප‍්‍රමාණයක් වාර්තා වූ දරුණුම ගණයේ පැහැර ගැනීමක් ලෙස සඳහන් වේ. 


1985 නොවැම්බර් 23 වැනි දා ග‍්‍රීසියේ ඇතැන්ස්හි සිට ඊජිප්තුවේ කයිරෝ බලා යාමට සූදානම් වූ ඇමරිකානු ජාතික ජැකී නින්ක් ඊජිප්ට් එයාර් 648 ගුවන් යානයට ගොඩ වුණේ ඇගේ ප‍්‍රියතම ගීතයකට සවන් දෙමිනි.
 
හොඳින් ඇඳ පැලඳ සිටි මහත්වරු දෙදෙනෙක් ඉතා කලබලකාරීව හැසිරෙන බව ඇය දුටුවාය. ඔවුන් දිස් වූයේ ජීවිතයේ පළමු වතාවට ගුවනින් යන දෙදෙනෙකු පරිද්දෙනි. ගුවන් යානයේ බිම තිබුණු බ්‍රීෆ් කේසයක් දුටු ගුවන් සේවිකාවක ඒ ගැන අසා සිටියේ මේ අතරවාරයේදීය. 


ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනා ඉතා කලබල වූ අතර එහි අයිතිය උදෙසා ඉදිරිපත් වූහ. 


‘‘.....මහත්මයා දන්නවනේ එය ඔබට අයත් නම් ඔබේ අසුන ඉදිරියෙන් තියා ගන්න ඕනැ......’’ 


මේ අතර ගුවන් යානය ගමන් ආරම්භ කරමින් අඩි 35,000 උස්ව පියාසර කරන්නට පටන් ගති. රාත‍්‍රී 9.15ට පමණ අසුනෙන් නැගී සිටි කලබල මහත්වරු දෙදෙනා යානයේ සියල්ලන් තැති ගන්වමින් අවි අමෝරාගෙන කෑ ගසන්නට වූහ. 


එකෙක්වත් හෙළවෙන්න එපා....ඊජිප්තු විප්ලවය කියන්නේ අපිටයි. දැන් මේ යානයේ පාලනය අපි අතේ.... 


මගීන් 92නෙක් හා කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් යානය ලිබියාවට පියාසර කරවන්නට ඔවුනට වුවමනා වූ අතර ඊජිප්තු අත්අඩංගුවේ සිටින අබු නිඩාල් නම් පලස්තීන ත‍්‍රස්ත සංවිධානයේ පිරිස ප‍්‍රාණ ඇපකරුවන් වෙනුවට නිදහස් කරන ලෙස දන්වා සිටියහ. 


යානයේ කොල්ලකරුවන් තිදෙනෙක් වූහ. ප‍්‍රධානියා යානයේ ඉදිරිපසත්, අනෙක් දෙදෙනා නියමු කුටියේ හා යානයේ පසුපසටද වී සිටියහ. 


ඔවුන් පළමුව සිදුකළේ යානයේ සිටි සියලු දෙනාගේ පාස්පෝට් එකතු කිරීමයි. එහි අරමුණ වූයේ ජාතිකත්වය අනුව ගුවන් මගීන් වර්ග කිරීමයි. 

 

ගුවන් යානය ඇතුළත බෝම්බ පුපුරා යාමෙන් පසු 

 


ගුවන් යානය සිදුරු කළ වෙඩිල්ල 


ගුවන් යානයේ ඊජිප්තු එයාර් මාෂල්වරු තිදෙනෙකු සිටි බව කොල්ලකරුවෝ නොදැන සිටියහ. මෙයින් එක් අයෙක් කොල්ලකාරී නායකයා වෙත තිබුණු ගුවන් ගමන් බලපත‍්‍රය දෙන බවක් අඟවා ඔහුට වෙඩි තැබීය. ඒ හඬ ඇසී පැමිණි අනෙක් ත‍්‍රස්තයෝ දෙදෙනා එයාර් මාෂල්වරයාට වෙඩි තැබූහ. තත්ත්වය අනතුරුදායක බව දුටු අනෙක් මාෂල්වරු දෙදෙනා නිහඬව පසුවූහ. 


අඩි 35,000ක් ඉහළ අහසේදී සිදුවූ වෙඩි තැබීම නිසා ගුවන් යානයේ බඳ සිදුරු වී ගියෙන් යානය තුළ වායු පීඩනය වෙනස් වී, විදුලිය ඇණ සිටි අතර ඔක්සිජන් මුහුණු ආවරණද පහළට වැටිණි. මගීන්ට හුස්ම ගැනීමේ දැඩි අපහසුතා ඇතිවූ අතර ගුවන් නියමු හනි ගලාල් තත්පර 90ක් තුළ යානය අඩි 30,000ක් පහළට ගෙන ගියේය. එයින් යානයේ පියාසැරිය හසුරුවා ගන්නට හැකි වූ නමුත් යානයේ ඉන්ධන ඉතා වේගයෙන් දහනය වෙන්නට හේතු විය. 


ඉන් මද වේලාවකට පසු ගුවන් නියමු හනි ගලාල් කියා සිටියේ යානයේ ඉන්ධන අවසන් වෙමින් පවතින නිසා හදිසි ගොඩබෑමක් කළ යුතු බවය. නියමුවාගේ තේරීම වූයේ ඈතින් පෙනෙමින් තිබූ මෝල්ටාවයි. එහෙත් කොල්ලකරුවන්ට අවශ්‍ය වූයේ ලිබියාවට පියාසර කිරීමයි. ඒ සඳහා ඉන්ධන ප‍්‍රමාණවත් නොවන බවත්, එසේ යන්නේ නම් යානය මුහුදට කඩා වැටීම බලාපොරොත්තු විය යුතු බවත් මේ මොහොතේ සහයක ගුවන් නියමු ඉමාඩ් මොහිබ් අවධාරණය කළ බැවින් ඔවුහු අකමැත්තෙන් වුවත් ගොඩබෑම අනුමත කළහ. 


අනවසර ගොඩබෑමක් 


ඔවුන් යානය ගොඩබෑමට සූදානම් වූයේ මෝල්ටාවේ ලූකා අන්තර්ජාතික ගුවන් තොටුපළටයි. එහෙත් මෝල්ටා පාලන තන්ත‍්‍රය එයට අවසරය නොදුන් අතර එම ගොඩබෑම වළක්වාගන්නට කොතෙක් උත්සාහ කළාද කිවහොත් ගුවන් පථය පවා අඳුරේ ගිල්වා දැමූහ. එනමුදු ගුවන් නියමුවන්ගේ දක්ෂතාව නිසා ආරක්ෂාකාරීව ගොඩබාන්නට හැකි වූ අතර යළිත් යානය ගුවන් ගත කරන්නට වේ යැයි බියෙන් හිතාමතාම යානයේ ටයර් පුපුරන ලෙස ගොඩබෑම සිදුකළහ. 


ඔවුන් ලූකා ගුවන් තොට වෙත ළඟා වෙන්නටත් පෙර මෝල්ටා අගමැති කාර්මෙලෝ මිෆ්සුඩ් බොන්නිසි ඇතුළු කැබිනට් අමාත්‍යවරු පිරිසක් ගුවන් තොටුපළට ළඟා වී සිටියහ. ගුවන් යානය ගොඩබෑමත් සමග කොල්ල කල්ලිය විසින් ඉන්ධන, වෛද්‍යවරයකු හා ගිලන් රථයක් අවශ්‍ය බව දැන්වූහ. ඒ සියල්ල ලබාදීමට හැකි බවත්, නමුත් ඒ කිසිවක් ලබා දෙන්නට පෙර ප‍්‍රාණ ඇපයට ගෙන සිටින අසරණ මගීන් නිදහස් කරන ලෙසත් මෝල්ටා අගමැති ඇතුළු අනෙකුත් පිරිස කීහ. 


එයට එකඟ වෙමින් ඔවුන් ගුවන් සේවිකාවන් දෙදෙනෙක් හා තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මෙන්ම ජාතිකත්වය අනුව ගැහැණු අය පළමුවෙන්ම නිදහස් කරන්නට එකඟ වූහ. ඊජිප්තු කාන්තාවන් තිදෙනකු හා පිලිපීන ජාතික කාන්තාවන් අට දෙනෙකු ඇතුළු සම්පූර්ණ 11 දෙනකු මධ්‍යම රාත‍්‍රියට ආසන්න වන විට මෙසේ නිදහස් කරන ලදී. 


ප‍්‍රාණ ඇපකරුවන් අනතුරේ 


ඒ සිද්ධිය පිළිබඳ සිහිපත් කරමින් ටෝනි ලියොන්ස් නමැති ඕස්​ට්‍රේලියානු ජාතික ගුවන් මගියා මෙසේ සිහිපත් කරන්නීය. 


‘‘....සියළුම ඊජිප්තු හා පිලිපීන ගැහැනු අයට පිටව යාමට හැකියි. එහෙත් ඊශ‍්‍රායල් හා ග‍්‍රීක ගැහැණු...’’ යැයි කියා ඔහු කියමින් සිටි දෙය අතරමග නතර කළා.........’’ ත‍්‍රස්තයින් ටමාර් ආර්ට්ස් යනුවෙන් නිවේදනය කළ පසු එක් ඊශ‍්‍රායල් ජාතික කෙල්ලක් නැගිට ගොස් පඩිපෙළෙන් බැසීමට සූදානම් වුණා. පළමු පඩිය තබද්දී ඇයට වෙඩි තැබුවා...... 


මෙසේ වෙඩි තබන ලද්දේ 23 හැවිරිදි ඊශ‍්‍රායල් ජාතික තරුණියකටයි. ගුවන් යානයේ සිටි මගීන් අතරින් පළමුව වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ ඇයයි. ඇය පළමු පඩිය බසින විට ඇගේ හිසට වෙඩි තැබූ අතර දෙවැනි වෙඩි පහරත් ඇගේ උකුළට එල්ල කරන ලදී. දෙවැනි වෙඩි පහර වැදීමෙන් පසුවත් ඇය සිහි කල්පනාවෙන් සිටි අතර තවත් වරක් වෙඩි තබනු ඇතැයි බියෙන් ගුවන් යානයේ පඩිපෙළ යටට පෙරළී නිශ්චලව සිටියාය. 
ඉන්ධන ඉල්ලා සිටිමින් කොල්ලකරුවෝ නැවතත් තර්ජනය කරන්නට වූයේ මේ අතරය. ඉන්ධන ලබා නොදුනහොත් තවත් විනාඩි 10කින් තවත් මගියකු හා සෑම විනාඩි 10කටම වරක් එක් මගියකු මරා දමන බවට ඔවුහු තර්ජනය කළහ. 


ඒ මොහොත වන විටත් ජාතිකත්වය අනුව ඔවුන්ගේ ප‍්‍රාණ ඇපකරුවන් පිරිස ගුවන් යානයේ අසුන් ගන්වා තිබිණි. ත‍්‍රස්තයින්ගේ පළමු තේරීම වූයේ ඊශ‍්‍රායල ජාතිකයන්ය. දෙවැනියට ඇ​ෙමරිකානුවන්, තෙවැනියට අනෙකුත් බටහිර ජාතිකයන්ද, සිවු වැනිව පිලිපීන ජාතිකයන්ද වූහ. අරාබි ජාතිකයන් අසුන් ගන්වා තිබුණේ අන්තිමට, යානයේ පසුපසම කෙළවරේයි. 


ඉන්ධන නොලැබීමේ පමාව නිසා ත‍්‍රස්තයෝ ඔවුන්ගේ දෙවැනි බිල්ලද ගත්හ. එවර වෙඩි ප‍්‍රහාරයට ලක්වූයේ තවත් ඊශ‍්‍රායල් කාන්තාවකි. ෆිට්සාන් මෙන්ඩෙල්සන් නමැති ඇය වෙඩි තැබූ පළමු ඊශ‍්‍රායල් ජාතික කාන්තාව සමඟ සිටි තැනැත්තියයි. පැට්‍රික් ස්කොට් බේකර් නමැති ඇමරිකානු ජාතික පිරිමියා අවාසනාවන්ත තෙවැනි බිල්ල බවට පත්විය. 


‘‘.......තවත් විනාඩි 10ක් 15ක් ගත වුණා. මෙවර ඔවුන් තෝරාගත්තේ එක් පිරිමියකු හා ගැහැණු දෙදෙනෙකු බැගින් ඇ​ෙමරිකානු ජාතිකයන් තිදෙනෙකුයි. ත‍්‍රස්තයන් බලෙන්ම මෙන් උදවුවට පත් කරගෙන සිටි ගුවන් මගියෙකු පැමිණ ටයි පටියකින් මගේ දෑත් බැඳ දැමුවා....ඉන්පසු ගැහැණු ළමුන් දෙදෙනාගේත් දෑත් බැඳ දැමුවා. ත‍්‍රස්තයන් අපව වාඩි කෙරෙව්වේ ගුවන් යානයේ නියමු කුටියට යන පිවිසුම දෙපස අසුන්වලයි. එක් ත‍්‍රස්තවාදියෙක් මට වෙඩි තැබුවා. මම වේදනාව දරා ගනිමින් මිය ගියා වගේ මද වේලාවක් සිටියා. නැවත වෙඩි තියාවි යැයි බියෙනුයි මම එසේ කළේ. ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වෙන තුරු සිට මම හීන් සීරුවේ ගුවන් යානයේ යටට පැන ගත්තා.....’’ තවත් මගියෙක් සිය කතාව කියන්නේ එසේය. 


ත‍්‍රස්ත කල්ලියේ නායකයා හඳුන්වනු ලැබුවේ නබිල් යනුවෙනි. ගුවන් නියමු ගලාල් ප‍්‍රකාශ කරන අන්දමට හැම වෙඩි තැබීමකටම පසුව ඔහු ගී ගයමින්, නටමින් හා විහිළු තහළු කරමින් සිටියේ මිනීමැරුම් ගැන ඔහුට වගක්වත් නොමැති විලසිනි. 


එම මරණීය ලොතරැයිය ඇදුණු සිවුවැනි අවාසනාවන්තයා මෙන්ම ගුවන් කොල්ලයේදී මියගිය එකම ඇ​ෙමරිකානු පුරවැසියා වූයේ ස්කාලට් මේරි රොගෙන්කැම්ප්ය. ඇය ගුවන් හමුදාවේ සේවය කළ සිවිල් සේවිකාවක වූවාය. 


ඊජිප්තු කොමාන්ඩෝ සෙබළු ගුවන් යානයට කඩා වැදීමට ප‍්‍රථම ත‍්‍රස්තයන් අවසාන වෙඩිල්ල තැබුවේ ජැකී නින්ක් නමැති කාන්තාවටය. එම වෙඩිල්ල ඇගේ හිස් කබල පසාරු කළ නමුත් ඇගේ දිවි තොර කරන්නට තරම් සමත් නොවීය. 


පැය ගණනක් තිස්සේ කේවල් කරමින් සිටියද විසඳුමකට නොපැමිණීමත්, කාල වේලාව ගත වෙන විට ගුවන් යානය තුළ සිදුවෙන මරණ ප‍්‍රමාණය වැඩි වීමත් නිසා ත‍්‍රස්තයින් සමඟ කතා බස් කරමින් සිටීම නිෂ්ඵල ක‍්‍රියාවක් බව අනෙකුත් පාර්ශ්ව විසින් වටහා ගන්නා ලදී. ගුවන් යානයට කඩා වැදීමේ මෙහෙයුම ඇරඹුණේ එපරිද්දෙනි. 

 


ගලවා ගැනීමේ මෙහෙයුම 


ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම ඉතා තීරණාත්මක කටයුත්තක් වූයේ ප‍්‍රාණ ඇපකරුවන් විශාල ප‍්‍රමාණයක් ගුවන් යානයේ සිටීමත්, ත‍්‍රස්තයින් ඉවක් බවක් නොමැතිව ඔවුන්ට වෙඩි තැබීමත් නිසාවෙනි. ගලවා ගැනීමේ මෙහෙයුම සිදුකරන ලද්දේ මේජර් ජෙනරල් මොහම්මඩ් කමල් ඩින් යටතේ ඊජිප්තු කොමාන්ඩෝ කණ්ඩායමක් විසිනි. 


එදින රාත‍්‍රී 8 පමණ වන විට කොමාන්ඩෝ කණ්ඩයට ගුවන් යානයට ඇතුළුවීමට මෝල්ටා අගමැතිගේ අනුමැතිය ලැබුණු අතර යානයේ පිටුපස බඩු ගබඩාවෙන් ඇතුළු වීමට තරම් ප‍්‍රමාණවත් සිදුරක් ඇති වෙන සේ පුපුරවා හරිමින් හා හදිසි පිටවීමේ දොරටු කඩා දමමින් කොමාන්ඩෝ භටයින් 25 දෙනෙක් පමණ යානය තුළට කඩා වැදුණහ. 


හදිසි පිටවීම් දොරටුව අසළ අසුන් ගන්වා සිටි ඊජිප්තු ජාතිකයකු වූ මොහොම්මඩ් වකීල් කොමාන්ඩෝ භටයින් යානයේ තටු දිගේ බඩගාගෙන එන අයුරු දුටුවේය. 


ඔවුන් දොරටුව කඩා ගෙන ඇතුළට පනින විට ත‍්‍රස්තයන් ග්‍රෙණේඩයක් පුපුරවා හැරියා. ඉන්පසු එක් ඊජිප්තු භටයෙක් ගෑස් බෝම්බයක් දැමුවා...... ’’


ගුවන් යානය තුළ සිදුවන මහා යුද්ධයෙන් ගැලවීම පිණිස ඔහු ගුවන් යානයෙන් පිටතට පිනූ අතර කොමාන්ඩෝ භටයන් නිසා ඔහුගේ අතක් හා පාදයක් තුවාල විය. 


‘‘.....වෙඩි තියන්න එපා...වෙඩි තියන්න එපා. මම ගුවන් මගියෙක්. .... මම ඊජිප්තු බසින් ඔවුනට කෑගසා කිවුවා. .....’’


ගුවන් යානය කයිරෝවෙන් පිටත් වෙන විට ත‍්‍රස්තවාදීන් හා කාර්ය මණ්ඩලයද ඇතුළුව යානයේ සිටි 98 දෙනාගෙන් 57ක්ම මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් වී තිබිණ. 14 දෙනෙක් මුදා හැරුණු අතර සිවු දෙනෙක් ගුවන් යානයෙන් පිටතට තල්ලු කෙරිණි. තවත් එක් පිලිපීන ජාතිකයකු කිසිදු හේතුවක් නොමැතිව මරා දමා තිබිණි. කොමාන්ඩෝ මෙහෙයුමෙන් 20 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකි විය. ජීවතුන් අතර සිටියේ එක් ත‍්‍රස්තයෙක් පමණි. ඉන්ධන ඉල්ලමින් පස් දෙනෙකුට වෙඩි තැබූ වරදට ඔහුට වසර 25ක දඬුවමක් ලැබුණද දින හතකට පසුව ඔහු නිදහස් කෙරිණි. නැවත නයිජීරියාවේදී එෆ්.බී.අයි අත්අඩංගුවට පත්වුණු මොහු සිරගත කරන ලදී. ගුවන් මගීන් විශාල ප‍්‍රමාණයක් මිය යෑම සම්බන්ධයෙන් ගලවා ගැනීම් මෙහෙයුමට චෝදනා එල්ල විය. 


වරද කාගේද? 


මෝල්ටා රජය විසින් ගුවන් යානය තුළ සිදුවූ මරණවලට හේතු වූයේ කුමන කාරණාද යන්න පිළිබඳ අනාවරණ කරමින් පරීක්ෂණයක් කළ අතර එයින් හෙළිවූයේ දුම් ආඝ‍්‍රාණය වීම නිසා වැඩි මරණ ප‍්‍රමාණයක් සිදුවූ බවය. මළ සිරුරු කිහිපයක වෙඩි උණ්ඩ නිසා සිදුවූ තුවාලද විය. 


මෙම හෙළිදරව්ව ප‍්‍රතික්ෂේප කරමින් හා සිය මතයේ දැඩිව එල්බ ගනිමින් ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් කියා සිටියේ ඔවුන්ගේ භට කණ්ඩායම නිකුත් කර තිබෙන්නේ උණ්ඩ සතක් පමණක් බවත්, ත‍්‍රස්තයන් පිපිරවූ අත් බෝම්බය නිසා අනෙක් මරණ සිදුවූ බවත්ය. මේ පිළිබඳව අදහස් දක්වන තවත් පිරිසක් කියා සිටියේ කොමාන්ඩෝ භටයින් ගුවන් යානයට ඇතුළු වන විට පිපිර වූ බෝම්බය නිසා හෝ ත‍්‍රස්තයන්ට කුමක් සිදුවන්නේ දැයි පැහැදිලිව පෙනීම වැළැක්වීමට භාවිත කළ දුම් බෝම්බය නිසා මරණ සිදුවන්නට ඇති බවයි. 


වොෂිංටනයේ පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලයේ මාධ්‍ය උපදේශක වශයෙන් සේවය කළ අබ්දුල්ලා හාෆෙස් ඊජිප්තු මෙහෙයුම විවේචනය කරන්නන් තදබල ලෙස හෙළා දකිමින් කතා කළේය. 


‘‘එතැන වැඩි වශයෙන් සිටියේ ඊජිප්තු වැසියන්. අපේ පිරිස ගියේ ඔවුන් බේරා ගන්නයි. මේ සියල්ලටම හේතුව ත‍්‍රස්තවාදීන් බව කවුරුත් සිහියේ තබා ගත යුතුයි......’’

 
ගුවන් යානයේ සිටි මගීන් රටවල් හා ජාතීන් කිහිපයකට අයත් නිසාත්, ගුවන් යානයේ ගමනාන්ත ද්විත්වය ග‍්‍රීසියේ ඇතැන්ස් නගරය හා ඊජිප්තුවේ කයිරෝ නුවර වීම නිසා මෝල්ටා රජය හා ඊජිප්තු රජය මෙහෙයුමට ප‍්‍රමුඛව කටයුතු කළ අතර ඇ​ෙමරිකා පුරවැසියන් ඉලක්ක කරගැනීම නිසා ඇ​ෙමරිකා රජයද මෙයට මැදිහත් විය. ඇ​ෙමරිකා රජය මෙහෙයුම සඳහා තාක්ෂණික සහය ලබා දුන් බව කියැවේ. 


නමුත් නිල වශයෙන් මේ පිළිබඳව දැනුම් නොදුන්නේ යැයි කියමින් ග‍්‍රීක රජය අනෙක් පාර්ශ්ව වෙත චෝදනා කරන්නට විය. එක් එක් පාර්ශ්වයන් තම තමන්ගේ නිවැරදි බව ඔප්පු කිරීමට වෙර දරමින් ක‍්‍රියා කළ අතර නිකරුණේ මිනිස් ජීවිත විනාශ කළ මෙම ගුවන් මංකොල්ලය පලස්තීන ඊශ‍්‍රායල් අර්බුදයට සම්බන්ධ බව එක් පිරිසකුත්, මෙය ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ වැඩක් බව තවත් පිරිසකුත් මත දක්වන ලදී. 

 

 


අන්තර්ජාලය ඇසුරිනි.

 


නිසංසලා දිසානායක