ප්‍රහාරයෙන් පසු කනත්ත නිවස කරගත් මිනිස්සු


තනි නොකර  රකිමු

 

 

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය.

ශිරාන් ඇන්ටන් මහතා මෙසේ ද පැවසීය.   


එදා උදව් කරපු මිනිසුන් හිටියා. ඒ අතර වීඩියෝ කරපු අයත් හිටියා. මට දැන් රජසැප ලැබුණේ වැඩක් නැහැ. මගේ වටිනා මැණික ගෙදර නැහැ.   


බිරිඳ අහිමි වූ ලින්ටන් රෙක්සි මහතාගේ නිවසට අප යන විට රෝහල් ගත කර සිටි දියණිය නිවසට රැගෙන විත් තිබුණි.   


ඔහු තම වේදනාව මෙසේ මුදා හැරියේය.   


මම කරන්නේ මුහුදු රස්සාව එදා පල්ලි ගියේ බිරිඳයි දුවයි විතරයි. සිද්ධිය වුණු දා ඉඳලා මම තවම රැකියාවට ගියේ නැහැ. දරුවන් දෙන්න දාලා මට රැකියාවට යන්න හිත දෙන්නේ නැහැ.   


ම​ගේ දුව ඉගෙන ගත්තේ හතරේ වසරේ.   


දෙවියන්ගේ පිහිටෙන් දියණිය සුවය ලබමින් හොඳට ඉන්නවා. දුවගේ බඩට මැහුම් 27 ක් දාලා තියෙන්නේ. මොන තරම් වේදනාවක් ද?   


ඒ වෙලාවේ මම අම්මට කතා කළා. ඒත් අම්මා කතා කළේ නැහැ. මට ඉස්කෝලේ යන්න බැහැ. නිතරම පල්ලිය ඇතුළේ දැකපු දේවල් මතක් වෙනවා. සවසට පාළුවක් දැනෙනවා. ඒ වෙලාව ආච්චිට කියලා ඔළුව අත ගා ගන්නවා.   


මවගේ සෙනෙහස අහිමි වුණු පුංචි දියණිය එසේ කියද්දි පියාගේ දෑස් වලින් කඳුළු කඩා වැටුණේ නොදැනීමය.   


මම දරුවන්ව තනි වෙන්න දෙන්නේ නැහැ  


 එහෙම වුණාම අම්මව හොයනවා. දරුවෝ දෙන්නේ එක්ක ජීවත් වෙන්න මට ගෙයක් හදා ගන්න උදව් කරනවා නම් ගොඩක් පිං. අපි දැනට ජීවත් වෙන්නේ ලෑලි ගෙදරක දරුවන්ගේ සියලු වැඩ කටයුතු පල්ලියෙන් සොයලා බලනවා පියතුමන්ලා නිතරම ගෙදරට ඇවිල්ලා. අපේ සුව දුක් විමසනවා.   


​ෙමම ප්‍රහාරයෙන් මිය ගිය එකම පවුලේ හත් දෙනාගේ නිවසට යන විට එහි එක් නිවසක දොරගුළු දමා තිබුණි. මිය ගිය දරුවන්ගේ මිත්තණිය වන තෙරේසා පීරිස් මහත්මිය හඬ අවදි කළාය.   


ඔය වහලා දාලා තියෙන ගෙදර හිටියේ ම​ගේ පුතායි දුවයි දරුවෝ දෙන්නයි පුතාත් දරුවෝ දෙන්නත් මැරුණා. ඉතුරු වුණේ ලේලි විතරයි.   
ඇය අනුෂා කුමාරිය:   


මට ගෙදර ඉන්න බැහැ කියලා එයා අඬනවා. කටු කෑලි ගිහින් ඇහැට ශල්‍යකර්මයක් කරලා තියෙන්නේ. මේ දවස් වල අක්කාගේ ගෙදර ගිහින් ඉන්නවා. මගේ ලොකු මිනිබිරි සචිනි විනෝරා විශ්වවිද්‍යාල වරම් හිමි කරගෙන හිටියේ. මගේ පුතාගේ පවුලම හරිම ආදරෙන් හටියේ. දැන් සේරම ඉවරයි. අපි සේරම ජීවත් වුණේ හරිම සත්තෝසෙන්. මේ ගම සෙබස්තියන්. උන්වහන්සේ දිපු වරමක් විදිහට අපට දැනුණේ. අන්තිමට මගේ දුවගේ පවුලයි. පුතාගේ පවුලයි එහෙම් පිටින්ම අරගෙන ගියා.   


හවස 2.00 සහ 2.30 වෙන කොට මම තාමත් පුරුද්දට දරුවෝ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකම් බලා ඉන්නවා පුතේ.   


ත්‍රස්ත ප්‍රහාරයෙන් අඳුරු සෙවණැලි මේ ගමට තවමත් වෙලා ගෙන ඇත. රාත්‍රී 7.00 කණිසම වැදුණා. අපි එම්. දොන් ඩේවිඩ් සුසාන භූමිය වෙත ළඟා වුණෙමු. ප්‍රහාරයෙන් දිවි අහිමි වූ අයගේ සිරුරු මිහිදන් වූ සුසානයේ මියගිය අය වෙනුවෙන් ආලෝක පූජාව පැවත්වෙනු දක්නට ලැබිණ.   


එක් පියෙකු මිය ගිය බිරිඳ දරු තිදෙනා වෙනුවෙන් ලියු ලිපියක් සොයා ගෙන කොත ළඟ තිබිණි. එහි මෙසේ සඳහන් විය.   


චූටි පුතේ, චූටි දුවේ, ලොකු දූ ඔයාලා තනි නෑ. ඔයාලගේ අම්මා ඔයාලා ළඟ ඉන්නවා.   


නෝනා ඔයා තනි නෑ. ඔයාගේ අයියාත් අයියාගේ ළමයි දෙන්නාත් ඔයා ළඟ ඉන්නවා. මම විතරක් අද තනි වෙලා. මැරි මැරි ජීවත් වෙනවාට වඩා මට මැරෙන් එක සැපයි. මට ඔයාලගෙන් තොර ලෝකයක් නෑ. මාවත් ඉක්මනට ඔයාලා ළඟට ගන්න. ඔයාලව බලා ගන්න.   
මෙයට ඔයාගෙම සුසන්ත පොඩි දූ, ලොකු දූ, චූටි පුතා මේ ඔයාලගෙම තාත්තා සුසන්ත.   


එදා දේව මෙහෙයට ගිය පවුලේ අයගෙන් ගෙදර එන්න ලැබුණේ මේ අහිංසක තාත්තා සුසන්තට විතරයි.   


කනත්ත දැන් මගේ ගෙදර වගේ. මගේ දරු පැටව්, බිරිඳ ඉන්න තැන තමයි මගේ මාළිගාව. මගේ හිතට සැනසීම තියෙන්නේ කනත්තට ආවම. සුසන්ත කියයි.   
හැමදාම උදේ හවස මම මෙතනට එනවා. මගේ හිතේ තියෙන දේ ලියුමක ලියලා කනත්තේ ගැහුවා. සොහොන ළඟට ගිහින් මට කතා කරනවා. මම දන්නවා. මගේ පැටවුන්ට මාව ඇහෙනවා කියලා.   

 

 


මගේ පැටව් කළුවරට බයයි. ඒ නිසා හවසට ඇවිල්ලා මම පහනක් පත්තු කරනවා. 

 
මගේ බිරිඳට එදා පණ තිබුණා. රාගමින් මගේ බිරිඳව භාර ගත්තේ නැහැ. එහෙම කළා නම් මගේ රත්තරන් බිරිඳ අද ජීවත් වෙනවා. වැලිසරත් ඉඩ නැහැ කිව්වා. වැලිසරින් කෙළින්ම ගාල්ල කරාපිටිය යැව්වා. මගේ බිරිඳ නැති වුණේ කරාපිටිය රෝහලේ දී කරාපිටිය කියන්නේ කොච්චර දුර ද? ඒ යනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. අහිංසක ජීවිත තුන්සියයකට අධික ප්‍රමාණයක් අහිමි වී හමාරය. විපතට පත් වූවන් ඊටත් වඩා අධිකය. ඔවුන් වෙනුවෙන් කරිටාස් කොළඹ සෙත් සරණ ලෙස මේ වන විට මනෝ සමාජීය හා අාධ්‍යාත්මික පෝෂණ වැඩ සටහනක් කොළඹ අගරදගුරු පදවි සමාජ සේවා ආයතනය මගින් ආරම්භ කොට ඇත. එහි තොරතුරු ගැන අපි නදීක මංචනායක පියතුමාගෙන් විමසීමක් කළෙමු.   


මේ ව්‍යසනය කටුවාපිටිය මුළු ගමටම ඉතාම තඳින් බලපෑවා.   


අපි සලකන්නේ මේ මිය ගිය අය ක්‍රිස්තුන්වහන්සේගේ විශ්වාසය අනුව ජීවිතය පූජා කරපු අය කියලා.   


ඒ නිසා ඔවුන් සාන්තුවරතාවය කරා යන පිරිසක්. ජීවිතයේ අවසානයේ උරුම වන ස්වර්ග රාජ්‍ය මේ අයට අනිවාර්​ෙ‌යන්ම උරුමවනවා කියන විශ්වාසය අප තුළ තිබෙනවා.   
අපට දැනට ලැබී තිබෙන තොරතුරු අනුව දළ වශයෙන් කටුවාපිටිය ගමේ 114 කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින්. තුවාල ලබපු අය 206 ක් දැනට වාර්තා වෙලා තිබෙනවා. මිය ගිය දරුවන් 23 ක් ගැන මීගමුව රෝහලෙන් තොරතුරු ලැබී තිබෙනවා. ඒ අතර තුවාල වුණ දරුවන් 44 ක් ඉන්නවා. ඔවුන්ගේ හෙට දවස අනාගතය වෙනුවෙන් අපි බොහෝ දේවල් සැලසුම් කරලා තිබෙනවා.   


මනෝ සමාජීය හා අාධ්‍යාත්මික පෝෂණ වැඩසටහන අප ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා කිතුනු ජනතාව වගේම අන්‍යආගමික ජනතාවගෙන් ද විශාල සහයෝගයක් ලැබෙමින් පවතිනවා.   


සැම නිවසටකම අපි පියතුමෙකු හෝ කන්‍යා සොහොයුරියකු රාජ්‍ය නිලධාරියෙකු සෙත් සරණ කරිටාස් ආයතනයේ නිලධාරියෙකු ලබා දී තිබෙනවා. මියගිය හා තුවාල වූවන්ගේ සුව ඳුක් විමසන්න. දිව්‍ය පූජාවන් පවත්වන්න පවුල්වල මව්වරුන් පියවරුන් දිරිමත් කරන්න. බිඳ වැටුණු තරුණ තරුණියන්ගේ මනස නැවත ගොඩ නංවන්න ආදී විශාල වැඩ කොටසක් කරන්න අපි කැප වෙලා ඉන්නවා.   


කතෝලිකයෙකුගේ උතුම්ම වන්දනාව වත් පිළිවෙත වන දිව්‍ය පූජාව මරණයට පත් වුණු සෑම නිවසකටකම අපට ලබා දුන්නා.   


​මේ අයගේ කෙටි කාලීන මධ්‍යකාලීන දීර්ඝ කාලීන අවශ්‍යතාවන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් තියෙනවා ද?   


ඔව්. ඒ පිළිබඳ එකිනෙකාගෙන් අප තොරතුරු ලබා ගනිමින් යනවා. මේ වෙලාවේ එයාලගේ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් ද සොයා බලනවා. ලොකු කාලයක් අවශ්‍ය වෙනවා. එයාලා හිටපු තත්ත්වයට ගන්න.   


එතෙක් අපේ රැකවරණය එයාලාට සලසනවා.   


කටුවාපිටිය ගමේ මුළු පවුලටම නැති වුණු නිවෙසුත් තියෙනවා. ඒක් පුද්ගලයෙකු පමණක් ඉතුරු වුණු පවුල් ගණනාවකුත් තියෙනවා. එලෙස මරණයට පත් වුණු අනතුරට පත් වුණු සෑම පවුලක්ම අපි පියතුමෙක්ම හෝ කන්‍යා සො​ෙහායුරියකට භාර දීලා තියෙනවා.   


ඒ අය වැඩ කරන්නේ අනතුරට පත් අයගේ පවුලේ කෙනෙක් විදියට. දිනකට එක් වරක් ඒ අය තමන්ට භාර දී තිබෙන නිවසට යනවා. මේ වැඩ පිළිවෙළක් අපි දීර්ඝ කාලීනව කරගෙන යනවා.   


කටුවාපිටිය ගමේ දරුවෝ සාමාන්‍ය විදිහට පාසල් යනව ද?   


රජයේ පාසල් ආරම්භ කරපු දවසෙම කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලයෙන් ආරම්භ කළා. ඒත් මේ දරුවන් තවම පාසල් යන්නේ නැහැ. පාසල් ගිහින් ඉගෙනගන්න තරම් මානසිකත්වයක් මේ දරුවන්ට තවම නැහැ.   


​මේ දරුවන්ගේ මානසික සුවය වෙනුවෙන් මියුසික් තෙරපි ඩ්‍රාමා තෙරපි වගේ වැඩසටහන් කරන්න අපිට අවශ්‍යයි. ඒත් ඒ වෙනුවෙන් තවම අපි ස්ථානයක් සොයනවා. කිසියම් කෙනෙකුට මේ සඳහා අපට ස්ථානයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක අපට ​ලොකු ශක්තියක්.   


12 වැනි ඉරිදා ඉඳලා ආරක්ෂක අංශවල ආරක්ෂක ඇතුළු සාමාන්‍ය විදිහට පූජාව පවත්වනවා. හානියට පත් වුණු පල්ලියේ සංවර්ධන කටයුතුත් ඉතා කාර්යක්ෂමව කරගෙන යනවා.   

 

 


විශේෂයෙන් දෙයක් කියන්න ඕන. බද්දේගම සමිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහ සඟ රුවන එක්ක වැඩ කරලා අපේ පල්ලියේ ශ්‍රමදාන කටයුතුවලට පවා සහභාගී වීම අපට ​ෙලාකු ශක්තියක් ගෙන දුන්නා. ඒ වගේම බෞද්ධ ජනතාව අපට ගොඩක් උදව් කළා. එම උදාර ක්‍රියාවන් අපි අගය කරනවා.   


මට ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි.   


එහාට මෙහාට බෝල පාස් කරන්නේ නැතුව රටේ නායකයන් මැදිහත් වෙලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. රටේ නායකයන් මීට වඩා මිනිස්සු ගැන හිතන්න ඕනෑ. අහිංසක මිනිස්සු පාලකයන්ගේ ඕනෑ එපා කම්වලට බිලි දෙන්න එපා. අපේ කාදිනල්තුමා නොසිටියා නම් මේ ව්‍යසනය මහා ලේ ගංගාවක් බවට පත් වෙන්නට ඉඩ තිබුණා. 

 

 


සටහන නදිශා අතුකෝරළ   
ඡායාරූප  චානුක කුලසේකර