ප්‍රභාකරන්ගෙන් පසු හින්දු ජනයාට යළි පැවරුණු වට්ටප්පලෙයි කෝවිල


ජන ජීවිතය

 

උතුරු පළාතේ පිහිටි මුලතිව් දිස්ත්‍රික්කයේ නම මීට වසර කීපයකට පෙර ඇසූ සැණින් ඔබට සිහියට නැගෙනුයේ කොටි ත්‍රස්තවාදී ග්‍රහණයට නතුවූ මරණයේ නගරයක් ලෙසයි. යුද්ධයේ අවසන් සටන් පැවති උතුරු ප්‍රදේශයේ අවසන් ත්‍රස්තවාදීයා මියයන තුරුම සටන් සිදුවූ දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයයි. 

 
නමුත් එකී කරුණු පමණක් නොව උතුරු පළාතේ ප්‍රධානතම හින්දු කෝවිලක් වශයෙන් සැලකෙන වට්ටප්පලෙයි කන්නකි අම්මාන් කෝවිල නිසාවෙන් දෙස් විදෙස් හින්දු භක්තිකයින් අතර මෙම ප්‍රදේශය ප්‍රචලිතය. එක්වරම මෙය ඔබට අදහාගත නොහැකි වනු නොඅනුමානය මෙම කෝවිලට පැමිණෙන හින්දු භක්තිකයින් පවසන අන්දමට මෙම කෝවිලේ වාර්ෂික පූජාවට පහන් දල්වනු ලබන්නේ මුහුදු ජලයෙනි.   


මෙය බොහෝ දෙනකුට අදහාගත නොහැක්කකි කෙසේ වෙතත් දේව හාස්කමකින් හෝ විද්‍යාත්මක හේතුවක් නිසාවෙන් සිදුවන්නේ මුහුදු ජලයෙන් පහන් දැල්වීමයි. කෝවිලේ මෙසේ පහන් දල්වනු ලබන්නේ මුහුදේ කිමිදී ලබාගන්නා ජලයෙනි. එම ජලය ලබා ගන්නා උත්සවය හින්දු බැතිමතුන් විසින් හඳුන්වනු ලබන්නේ තීර්තම් පූජාව ලෙසයි. එසේම එම ජලය ලබා ගනු ලබන්නේ මුල්ලියාවේලි මුහුදු ප්‍රදේශයේ එක් නිශ්චිත ස්ථානයකින් වීමද විශේෂත්වයකි   


මෙම ප්‍රදේශවල යුධ සමයේ ජීවත් වූ ජනතාව පවසන අන්දමට මෙරට යුධ ගැටුම් පැවති සමයේ මෙම කෝවිල ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ප්‍රභාකරන්ගේ කෝවිල යනුවෙන් බව එම ප්‍රදේශයේ ජනතාව අදට ද පවසති.   

 

 


මෙම කෝවිලේ එවකට පහන් දැල්වීම සඳහා ත්‍රස්තවාදී නායකයකු වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් සෑම වසරකම පූජාව පැවැත්වෙන දිනයන්හිදී පැමිණ තිබේ. එමෙන්ම මෙම කෝවිලේ පූජාවක් සඳහා කොටි ත්‍රස්තවාදීන් විසින් රැගෙන විත් තිබූ ගුවන් යානයකින් මුලින්ම මල් දැමූ බවද එවකට කෝවිලේ වාර්ෂික පූජාවට පැමිණි පිරිස් පවසයි. කෙසේ වෙතත් එවකට මෙම ප්‍රදේශවල ප්‍රකාශ වූ බව කියන කොටි පුවත්පත්වල පවා කොටි ගුවන් යානාවලින් මල් වට්ටප්පලෙයි කෝවිලට දැමූ බවට වූ පුවත් සේම ඡායාරූපද පළව තිබූ බව ඔවුහු පවසති.   


එසේ කොටි සංවිධානය විසින් ගුවන් යානයක් ආධාරයෙන් කෝවිලට මල් ඉසිනු ලැබු බව පැවසුවද බොහෝ පිරිස් එවකට එය පිළිගැනීමට අකමැති වූහ. නමුත් අවසන කොටින් සතුවූ ගුවන් යානා යොදාගෙන මෙරට ස්ථාන කීපයකටම ඔවුන් ප්‍රහාර එල්ල කරන ලදි. කෙසේ වෙතත් අනාදිමත් කාලයක සිට හින්දු භක්තිකයින් විශාල වශයෙන් මෙම කෝවිලට පැමිණ සිය ආගමික වතාවත්වල නිරත වුවත් ඇති වූ යුධ ගැටුම් හේතුවෙන් එම ජනතාව 1980 ගණන්වල සිට මෙම කෝවිලට පැමිණියේ නැත. ඒ කොටි ත්‍රස්තවාදීන්ගේ විවිධ තාඩනපීඩන හා ඔවුන්ගේ නීති රීති හමුවේ එම ජනතාවට ඇතිවූ අනාරක්ෂිතභාවය නිසාවෙන් බවයි ඔවුන් පවසන්නේ. විශේෂයෙන්ම තරුණ දරුවන් රැගෙන මෙම ප්‍රදේශවලට පැමිණීම යනු එම දරුවන් බිල්ලට දීමක් බඳු වූ බව නම ප්‍රකාශ කිරීමට අකමැති වූ එක්තරා මවක් පැවසුවාය.   


ඇය පැවසුවේ එසේ පැමිණියහොත් කැමැත්තෙන් වුවද අකමැත්තෙන් වුවද එම දරුවන්ට කොටි සංවිධානයට එකතුවීමට සිදුවන බවයි. ඒ නිසා දු දරුවන්ගේ ආරක්ෂාව තකා යුධ සමයේ නොපැමිණි බවත් තවද ගැටුම් කුමන අවස්ථාවක හෝ සිදු විය හැකි බැවින් ආරක්ෂාව උදෙසා නොපැමිණි බවත් ඇය කීවාය. එමෙන්ම යුද්ධයෙන් පසු නිවී සැනසිල්ලෙන් සිය ආගමික කටයුතු සිදු කරනු ලබන බවද එම මව පවසන ලදී.   

 

 


මෙම පූජාව සඳහා විදේශගතව සිටින හින්දු භක්තිකයින් පවා පැමිණෙන අතර ඔවුන්ද යුද්ධය හමාර වීමෙන් අනතුරුව මෙසේ මෙම කෝවිලේ නිදහසේ වන්දනාමාන කරමින් සිය ආගමික වතාවත් යුද්ධය හමාරවීමෙන් පසු සිදුකිරීම විශේෂත්වයකි. යුධ හමුදාව මගින්ද කෝවිලේ කටයුතු සඳහා ලබා දෙන දායකත්වය පිළිබඳව කෝවිලේ පූජකයින් ප්‍රසංසාත්මකව කතා කිරීමද මෙහිදී වැදගත් වේ   


ඔවුන් පවසන අන්දමට යුද්ධය අවසන් වීමෙන් අනතුරුව යුධ හමුදාව විසින් කෝවිලේ කටයුතු සඳහා හින්දු පූජකවරුන්ගේ ඉල්ලීම මත අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙන බව එම පූජකවරු පවසති. මෙවර පූජාව පැවැත්වීමේදී ආරක්ෂාවට මුල් තැන දී කටයුතු කරනු ලබන බවත් ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ නොමද සහයක් ලබා දෙන බවත් කෝවිලේ පූජකවරු පවසති. කෝවිලේ කටයුතු භාරකාර මණ්ඩලයක් හරහා සිදු වන අතර නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙන කෝවිලේ මේ වසරේදී ජනතාව අඩු විය හැකි බවට පූජකවරු පෙන්වා දෙති.   


කෙසේ වෙතත් යුද්ධය පැවති සමයේ ප්‍රභාකරන්ට නතුව තිබූ කෝවිල අද වන විට හින්දු බැතිමතුන්ගේ කෝවිලක් බවට පත්ව ජනතාව නිදහසේ වැඳුම් පිදුම් කරනු ලබන කෝවිලක් බවට පත්ව ඇත්තේ ආරක්ෂක අංශ විසින් සිය ආත්ම විමුක්තිය කැප කරමින් මෙරට සියලු ජන කොටස් වෙනුවෙන් සිදු කළ උදාර මෙහෙවරේ ප්‍රතිඵලයක් හේතුවෙන් බව මෙම ප්‍රදේශ අතීතය හා වර්තමාන දකින සියලු දෙනාට පසක් වන කරුණකි.   

 


සටහන ඡායාරූප
යාපනය ප්‍රදීප් කුමාර