ප්‍රකට පුද්ගලයන්ගේ ආන්දෝලන පුනර්භව


පෙර භවයේ  ප්‍රබල සාක්කි

 

 

 

පෙරභවය හෙළි කළ දරුවන් අතරින් ප්‍රකට පුද්ගල ජීවිත තොරතුරු හෙළි වූ අවස්ථා රැසක් තිබේ. එම පුනර්භවවලට අදාළ පුද්ගලයින් අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටීම නිසා පර්යේෂණ මෙහෙයවීමද අවුල් සහගත තත්ත්වයක් බවට ද පත්විය. ප්‍රකට පුද්ගල ජීවිතවලට සම්බන්ධ පෙරභවය හෙළි කළ සිදුවීම් කීපයක් ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන්ද අනාවරණය විය.   


ඉන්දියාවෙන් හෙළි වූ පුනර්භව සම්බන්ධ ප්‍රකට පුද්ගල සිදුවීම් දෙකක් වූයේ මහත්මා ගාන්ධි සහ සංජේ ගාන්ධි පිළිබඳවය. මෙම සිදුවීම් දෙකම ඉන්දියාවේ මහත් ආන්දෝලන සිදුවීම් බවට පත්විය. ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වීම පර්යේෂකයන්ට බලවත් දුෂ්කර කාර්යයක් වීය. අනතුරුව එම පුනර්භව සත්‍යයෙන් තොර FRAUD CASES යනුවෙන් හඳුන්වනු ලැබීය. තමා මහත්මා ගාන්ධි යයි පිරිමි දරුවෙකු ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු රෝහල් ගතව සිටියදීය. ඒ පිළිබඳව සිදුකළ පර්යේෂණයේදී අනාවරණය වූයේ මහත්මා ගාන්ධි පිළිබඳව ඔහු විසින් කියවනු ලැබූ පොතකින් එම තොරතුරු දැනගෙන ඒවා ප්‍රකාශයට පත් කළ බවකි. එදා පාසල් ශිෂ්‍යයෙකුව සිටි එම දරුවා තමා මනසින් දකින තොරතුරු ලෙස මහත්මා ගාන්ධිගේ ජීවිතය පිළිබඳව ඉන්දීය අගමැතිවරයෙකු වූ ජවහර්ලාල් නේරු වෙත ද ලියා යවා තිබිණි.   


ඉන්දියාවෙන් හෙළි වූ තවත් එවැනිම සිදුවීමක් වූයේ සංජේ ගාන්ධි පිළිබඳවය. දිල්ලියේ නාගාර් නම් ප්‍රදේශයේ උපත ලද දරුවෙක් තමා සංජේ ගාන්ධි යයි පවසන බැව් එම දරුවාගේ මව ප්‍රකාශ කළාය. ඔහු උපත ලබා තිබුණේ සංජේ ගාන්ධි මියගිය දිනයේම වීමද විශේෂත්වයක් විය මම සංජේ ගාන්ධි යයි පැවසූ එම දරුවා සංජේ ගාන්ධි සිටි නිවසට ඔහු රැගෙන යන ලෙස ඉල්ලා සිටි බැව් මව පවසන්නට වූවාය. දරුවා පිළිබඳව පුවත්පත් වාර්තාකරුවන් විසින් විමර්ශනයක් කිරීමට ඉදිරිපත් වූහ. එහෙත් ඔවුන් සමග එම දරුවා කිසිදු ප්‍රකාශයක් නොකිරීම නිසා පර්යේෂණයක් පැවැත්වීමට නොහැකි වූ බැව් හින්දුස්තාන් ටයිම්ස් (Hindustan Times) පුවත්පත වාර්තා කළේය. ඒ අනුව එම පුනර්භව පර්යේෂණයද විමර්ශනයකින් තොරව අවසන් වීය. එහෙත් එම සිදුවීම් ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ සිදුවීමක් බවට පත්විය.   

 

 


ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගල පුනර්භව සාධක අතර හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාද ඇතුළත් වීය. ඒ සමගම ප්‍රකට සිනමා නිළියක් වන රුක්මනී දේවි සහ සිනමා නළු විජය කුමාරතුංගත් ත්‍රස්තවාදී සමයේ මියගිය ප්‍රේමවතී මනම්පේරිත් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාවේ ප්‍රකට සිනමා නිළි පුද්ගල පුනර්භව සිදුවීම ලෙස අනාවරණය වූයේ රුක්මණී දේවි පිළිබඳවය. 1982 වසරේදී හෙළි වූ එම පුනර්භව කතා පුවතට සම්බන්ධ දැරිය උපත ලබා තිබුණේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේදීය.   


චිත්‍රපට නිළි රුක්මණී දේවිගේ ජීවිත තොරතුරු එම දැරිය විසින් හෙළි කරනු ලබන බැව් ඇගේ මව ප්‍රකාශ කළාය. රුල්මණී දේවි රඟ පෑ චිත්‍රපටයක් රූපවාහිනී තිරය මගින් දුටු එම දැරිය එහි රඟපානු ලබන්නේ තමා යයි පැවසූ බැව් මව ප්‍රකාශ කළාය. අනතුරුව රුක්මණීදේවි ගායනා කළ ගීත ශ්‍රවණ වූ විට ඒ ගීත ගයන්නේ තමා යයිද ඇය ප්‍රකාශ කර තිබිණි.   
බෞද්ධ පවුලක උපත ලබා සිටි නමුත් ඇය කතෝලික ආගමට නැඹුරුවක් දැක්වූ බවද එදා අනාවරණය වීය. මෙම දැරිය පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට එදා අවස්ථාව ලැබිණි.   
එම දැරියගෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. දැරියගේ මව සමග කළ බැව් ප්‍රකාශ වූ කරුණු මත පමණක් විමර්ශනය කිරීමට අපට සිදුවිය.   
එම දැරිය කොළඹට ගෙන්වා මීගමුවේ රුක්මණී දේවියගේ ඥාතීන් කීප දෙනෙකු හමුවට ඇය ඉදිරිපත් කළ නමුත් ඔවුන් කිසිවෙකු හඳුනාගැනීමක් හෝ සිදු නොවිණි. එඩී ජයමාන්න මහතාගේ ඡායාරූපයක් හෝ හඳුනා ගැනීමක් සිදු නොවූ නමුත් රුක්මණී දේවිය ගායනා කළ ගීතයක් ඇය හඳුනාගනු ලැබුවාය.   


පෙරභවයේ නිවස කළු පැහැයෙන් තිබූ බවක් දැරිය ප්‍රකාශ කළ බැව් මව විසින් හෙළි කළාය. රුක්මණී දේවිය පදිංචිව සිටි නිවස ඉදිරිපස කළු පැහැයෙන් දිස්වූ බැව් එහිදී දක්නට ලැබිණි. එහෙත් මෙම පර්යේෂණයේදී රුක්මණී දේවියගේ ජීවිත තොරතුරු ප්‍රකට වී තිබීම නිසා එම තොරතුරු විමර්ශනයේදී ගැටළු සහගත විය.

   
ප්‍රකට පුද්ගල පුනර්භවයක් සඳහා දෙවන වරට අනාවරණය වූයේ චිත්‍රපට නළු විජය කුමාරණතුංගයන් පිළිබඳවය. 1989 වසරේදී කළුතර ප්‍රදේශයේදී උපත ලද දරුවෙකු ඔහු විජය කුමාරතුංග ලෙස ප්‍රකාශ කරන බැව් මව හෙළි කළාය. එම දරුවාද පෙරභවය හෙළි කිරීම ආරම්භ කරනු ලැබුවේ රූපවාහිනියෙන් විජය කුමාරතුංග රඟපෑ චිත්‍රපටයක් විකාශනය වීමේදී බැව් මව ප්‍රකාශ කළාය. අනතුරුව වෙඩි තැබීම ගැනත් මව ගැනත් හෙළි කළ බැව් අනාවරණය වීය.   


විජය කුමාරතුංග රඟපෑ චිත්‍රපට කීපයක නම් දරුවා විසින් ප්‍රකාශ කළ බැව්ද හෙළිවිය. මෙම දරුවා පිළිබඳව සිදුකළ පර්යේෂණයේදී ද ඔහු තොරතුරු ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. පෙරභව මතක සටහන් ඔහු මගින් හෙළිවන අන්දම නිරීක්‍ෂණය කිරීමට පර්යේෂණයන් උත්සාහ ගත් නමුත් එම දරුවා මගින් තොරතුරු ප්‍රකාශ නොවීම නිසා තවදුරටත් කරුණු නිරීක්‍ෂණ කිරීම අපහසු විය. කෙසේ වෙතත් පුවත්පත් රැසක් මගින් මෙම දරුවාගේ පුනර්භව කතා පුවතට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය.   


ශ්‍රී ලංකාවේ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ තෙවන පුනර්භව කතා පුවත වූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සම්බන්ධවය. හඟුරන්කෙත ප්‍රදේශයේ දරුවෙකු තමා ජනාධිපති ප්‍රේමදාස මහතා බැව් ප්‍රකාශ කරන බව දෙමාපියන්ගෙන් අනාවරණය වීය. එම දරුවා උපත ලැබුවේ 1997 වසරේදීය. එම දරුවා හිමිදිරි පාන්දර අවදිවන සිරිතක් ඇති බවත් දෙමාපියෝ පැවසූහ. අනතුරුව ප්‍රේමදාස මහතාගේ ජීවිතයට සම්බන්ධ පුද්ගල නම් කීපයක් හෙළි කරන බවක් ද ප්‍රකාශ කැරිණි.   


මෙම දරුවා පෙරභවය පැවසීම ආරම්භ වීමේ සිදුවීමද විශේෂ සිදුවීමක් ලෙස හෙළිවිය. දිනක් පියා සමග සිටි දරුවා පියාගේ කමිස සාක්කුවේ තිබූ කාසියක් ලබාගෙන එය තමා යයි ප්‍රකාශ කළ බැව් පියා හෙළි කළේය. එම කාසිය ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ රුව ඇතුළත් රුපියලේ කාසිය බව දක්නට ලැබී ඇත. අනතුරුව පෙරභවය හෙළි කළ බැව් දෙමාපියෝ අනාවරණය කළහ. දරුවා හෙළි කළ බැව් දෙමාපියන් පැවසූ සියලු තොරතුරු දැඩි ප්‍රසිද්ධියට පත්ව තිබූ කරුණු විය.   


 පෞද්ගලික තොරතුරු ලෙස ප්‍රබල සාක්කි වශයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම පුනර්භව සාධකයේදී අවස්ථාවක් නොලැබිණි. එහෙත් ප්‍රබල ලෙස මෙම කතා පුවත මහත් ආන්දෝලනයකට ලක්විය. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ රුවට සමාන ලෙස එම දරුවාගේ මුහුණේ ඡායාරූපයක්ද මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබිණි.   
ශ්‍රී ලංකාවේ ප්‍රකට පුද්ගල සිව්වන පුනර්භව සිදුවීමක් ලෙස අනාවරණය වූයේ 1971 කැරලි සමයේදී ඝාතනයට ලක්වූ ප්‍රේමවතී මනම්පේරි පිළිබඳවය. වෙඩි පහරකට ලක්ව මරණයට පත්වූ ප්‍රේමවතී මනම්පේරි තමා යයි රත්නපුර ප්‍රදේශයේදී උපත ලද දැරියක් ප්‍රකාශ කළාය. ඒ වන විට මියගිය ප්‍රේමවතී මනම්පේරි තරුණිය පිළිබඳව සහ ඇගේ මරණය පිළිබඳව සියලු තොරතුරු මහත් ප්‍රසිද්ධියට පත්වී තිබිණි. මෙම දැරිය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ප්‍රබල සාක්කිවලට එමගින් බාධා සිදුවිය.   


පුනර්භව පර්යේෂණවලදී දරුවන් හෙළි කරන තොරතුරු සැකයකින් තොරව විමර්ශනය කිරීමට පර්යේෂකයෝ උත්සාහ ගනිති. ප්‍රකට පුද්ගලයින්ගේ ජීවිත තොරතුරු දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබීම එවැනි පුනර්භව පර්යේෂණවලට බලවත් බාධාවක් බවට පත්වේ.   

 

 


තිස්ස ජයවර්ධන