ප්‍රකට ජීවිතවල ඇතුළ් පැත්ත


 

ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි ඇතැම් ප්‍රකට ජනප්‍රිය චරිත අපි දකිනවාට, හඳුනනවාට වඩා වෙනස් ගති සොබා ඔවුන්ගේ පසුබිමේ තිබෙන බව දන්නේ කීයෙන් කී දෙනා ද? උගත් යතිවරයෙක් ධර්මය ගැන විශාරද බවක් දක්වන අතර, “මන්ත්‍ර” වසඟ කිරීම් ප්‍රගුණ කරයි. ජීවිතයට වෙසක් කූඩුවක් නොසෑදූ ප්‍රවීණ ලේඛකයෙක් “වෙසක් කූඩුව” ගැන විශිෂ්ට කෙටිකතාවක් නිර්මාණය කරයි. දේශපාලන කරළියේ පෙරළි කළ ජනපතිවරු, අගමැතිවරු වේදිකා නාට්‍යවල රඟති. නැටුම් නටති. අකුරු හතරින් නවකතා ලියන ලේඛකයෙක් ද ක්‍රිකට් ක්‍රීඩාවට වඩා පොත් කියවීමට රුචියක් දැක්වූ පරිවර්තක ලේඛකයෙක් ද මේ අතර සිටී. ඔවුන්ගේ කතාවයි මේ. 
  
අග්ගමහා පණ්ඩිත මහාචාර්ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නා හිමියන් ගැන නෑසූ කෙනකු සොයා ගැනීම අපහසු තරම්ය. උන්වහන්සේ ධර්ම විශාරදයකු ද දක්ෂ ගුරුවරයකු ද වෙති. “බුද්ධ චරිතය” හා “බුද්ධ චරිත මහා කාව්‍යය” යන කෘති දෙක පමණක් වුවද උන්වහන්සේගේ පාණ්ඩිත්වය සනිටුහන් කරන සංකේත වැන්න.   


“මෙතෙක් ලංකාවේ” ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂයක්” කට පාඩම් කළ එකම තැනැත්තා මෛත්‍රිය නා හිමියන් බව වරක් ප්‍රවීණ ලේඛක මු. අැරුක්ගොඩ ලියා තිබුණි.   


කලක් කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරයකුව සිටි උන්වහන්සේ තමා සිංහල හා බුද්ධාගම ඉගෙන් වූ ශිෂ්‍යයන් ගැන අභිමානයෙන් කතා කළහ.   


“රොබට් ගුණවර්ධන මහත්තයා, අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා, ඇන්.ඇම්. පෙරේරා මහත්මයා මගෙන් ඉගෙන ගත් හොඳ ගෝලයෝ. ජයවීර කුරුප්පු (හිටපු සහ මුල්ම සංස්කෘතික කටයුතු භාර ඇමැති) වගේම ඩී.ඊ. හෙට්ටිආරච්චි ඒ කාලයේ දක්ෂයි. උන්වහන්සේ වරක් අපට පැවසූහ.   


විවිධ භාෂා රැසක් දන්නා, දර්ශනය ගැන පෘථූල දැනුමක් ඇති උන්වහන්සේ “මන්ත්‍ර” හා හිස්නොටිසම් වැනි වසඟ ක්‍රම බොහෝ දුරට ප්‍රගුණ කොට තිබුණි. ආනන්දයේ නේවාසිකාගාරයේ සිටි සුව කළ නොහැකි හිසරදයකින් පෙළුන ශිෂ්‍යයකු උන්වහන්සේගේ මන්ත්‍රයකින් සුව කළ බව පැරණි ගුරුවරයකු වූ කේ.ඩී. ද ලැනරෝල් මහතාට ද මතක බව පැවසේ.   


බලන්ගොඩ මෛත්‍රිය නාහිමියන්, මු. අරුක්ගොඩට පවසා ඇති අපූරු සිද්ධියක් මෙසේය.   


“ඒ කාලයේ දවසක් ඇර දවසක් මොරටුවේ තාපසාරාමයට ගොස් බණ කියන්නට ආනන්ද මෛත්‍රිය හිමියන් පුරුදුව සිටියා. මෙය නොරිස්සූ අන්‍යාගමික තරුණයන් කිහිප දෙනෙක් දුම්රියේදී දිනක් උන්වහන්සේට විහිළු තහළු කරන්නත් පය දික් කරන්නත් වුණා. බැරිම තැන උන්වහන්සේ වසඟ ක්‍රමයේ ප්‍රයෝජනය ලැබූහ. උන්වහන්සේ එක තරුණයකු දෙස බලාගෙන ක්‍රමය ක්‍රියාවේ යෙදුවා. ඔහුට නින්ද ගියා. අනෙක් අය දෙසට හැරෙන විට ඔවුන් පැන දීවා. මේ නින්ද ගිය තැනැත්තා බම්බලපිටියෙන් බැස කන්තෝරුවක රස්සාවකට යන්නෙකු බව දන්නා මෛත්‍රිය හිමියෝ, වසඟ ක්‍රමය ඉවත් කොට ඔහු අවදි කරවූහ. ඔහු බම්බලපිටියෙන් බැස ගියේය. ඉන්පසු ඒ අය නොවෙයි නිකමටවත් උන්වහන්සේ දිහාවත් බැලුවේ.   


ඉන්පසු උන්වහන්සේ එම ක්‍රමය අත්හද‌ා බැලීම නතර කොට යෝග භාවනාව පුරුදු කර ඇත. ඒ උන්වහන්සේගේ චරිතයේ නොපෙනෙන පැත්තකි. උන්වහන්සේගේ අන්තිම කාලයේ එක් දිනක දයාවංශ ජයකොඩි පොත්හලට පැමිණ එඩ්ගා රයිස් බරෝස්ගේ “ටාසන්” කතා මාලාවේ සිංහල අනුවාද වූ “ටාසන් ආපසු එයි”, “වානරයින්ගේ ටාසන්” ග්‍රන්ථ ලබා ගත්තේ ටාසන් කතාවලට තිබූ ආසාව නිසාය.   


ඇතැම් කෘතහස්ත දේශපාලනඥයන් තුළ ද මතුපිටින් නොපෙනෙන කලා කෞශල්‍යය සැඟව තිබුණ බවට සාක්ෂි තිබේ. ඇතමෙක් වේදිනාට්‍යවල රඟපෑහ. ඇතැමෙක් රහස් පරීක්ෂක කතා ලියුවේය. ඇතැමෙක් චිත්‍රපට නළුවකු විය. මේ අතර ජනාධිපතිවරු, අගමැතිවරු හා මැති-ඇමතිවරු වූහ.   


අගමැති ඩී.එස්. සේනානායක මහතා ගුස්ති ඇල්ලීමට, ක්‍රීඩාවට මෙන්ම කලාවට ඇලුම් කළ දේශපාලනඥයෙකි. එතුමා තරුණ කාලයේ වේදිකා නාට්‍යයක රාජසිංහ රජුගේ චරිතය රඟපා ඇත. 1923 වසරේ ගම්පහ පැවැති සැණකෙළියක පැවති වේදිකා නාට්‍යයක තරුණ ඩී.ඇස්. පළමුවැනි රාජසිංහ නර වීරයා ලෙස එඩිතර, තේජසින් යුතුව රඟපා ඇත. “අගමැති ඩී.ඇස්. සේනානායක රාජසිංහ රජුගේ චරිතය රඟ පෑ හැටි” නමින් ලිපියක් 1949 ඔක්තෝබර් 23 වැනිද‌ා “සිළුමිණ” පුවත්පතේ පළ වූ ලිපියක පළ වී තිබුණි. සුප්‍රකට නළුවකු වූ සීබට් ඩයස් (චිත්‍රසේනයන්ගේ පියා) ලියූ ලිපියක එය මෙසේ විස්තර වෙයි.   


“ගම්පහ සංදර්ශනයේ රාජසිංහ රජු මෙන් පෙනී සිටි අවස්ථාවේ සේනානායක මහතාගේ දර්ශනය කොතරම් උපශාන්ත, වරෙක තේජස්වී පළ කළා ද කිවහොත් එතුමා ඉහත ඒ නර වීරයාගේ අවතාරය යැයි යන හැඟීමක් කෙනකු තුළ ලෙහෙසියෙන්ම පහළ විය හැකි තරම් වී යයි.”   


මේ නාට්‍යයේ සොරුන්ගේ නායකයා ලෙස චිත්තම්පලම් මහතා රඟපා ඇත. පසුව ඔහු සෙනෙට් මන්ත්‍රීවරයකු වූ අතර, සිලෝන් තියටර්ස් සමාගමේ අධිපතිවරයා ද විය. රාජසිංහ වෙසින් සිටි සේනානායක මහතා හතළිහකින් යුත් ආරක්ෂක භට පිරිවරා අශ්වාරූඪව එළිමහන් පිටියට තේජාන්විත ලෙස අවතීර්ණය වී ඇත. මේ නාට්‍යයේ වික්‍රමරත්න සෙනෙවිගේ චරිතය වෝල්ටර් සමරසිංහ ද රඟ පා ඇති අතර, සීබට් ඩයස් මේ නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වී ඇත.   


1937 වසරේ ඔක්තෝබර් මාසයේ කොළඹ රීගල් නෘත්‍ය ශාලාවේ රංග ගත වූ හෙරිටේජ් ඔෆ් ලංකා (ලංකා උරුමය) නම් මුද්‍රා නාට්‍යයේ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් වන ඩඩ්ලි සේනානායක හා ඊ.ඒ. නුගවෙල මහතුන් දෙදෙනාම රඟ පෑ බව මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද “ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය 1908-1978” නම් කෘතියේ සඳහන් කර ඇත. පී. දොළපිහිල්ල ලියූ “රයිස් ඔෆ් බුඩිසම්” නම් බැලේ නාට්‍යක ද මේ තරුණ රාජ්‍ය මන්ත්‍රීවරු රඟපා ඇත. මේ දෙදෙනා ඉදිරිපත් කර ඇත්තේ දේශීය නැටුම් ද? බටහිර නැටුම් දැයි අවිනිශ්චිත බව මහාචාර්ය කාරියවසම් පවසා ඇත. දැදිගම රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයා වූ ඩඩ්ලි සේනානායක මහතා පසුව කෘෂිකාර්මාන්ත ඇමැති හා අග්‍රාමාත්‍යවරයා වූ අතර කඩුගන්නාව රාජ්‍ය සභා මන්ත්‍රී ඊ.ඒ. නුගවෙල මහතා පසුව අධ්‍යාපන ඇමැතිවරයා විය.   


හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1929 ජූලි මස තම හිතවතුන් සමග එක් වී “සම්මානීය පුෂ්කැනන්වරුන්ගේ සංගමය” නමින් සමාජයක් පිහිටුවා එම සංගමයෙන් “ඉබාගාතේ ගිය යුදෙව්වා” නමින් නාට්‍යයක් වේදිකා ගත කොට එහි රඟපා ඇති බව පී.එම්. සේනාරත්න ලියූ “ජේ.ආර්. සහ යූ.එන්.පීය” කෘතියේ සඳහන් කර ඇත. ජයවර්ධන මහතාත් එලිනා ජයවර්ධන මහත්මියත් රඟ පෑ නාට්‍යයක් “සමාජ සේවකයා” නමින් 1938 මාර්තු 29 ප්‍රචාරය වී ඇත. මේ නාට්‍ය නිෂ්පාදනය කළේ මුදලිඳු ඊ.ඒ. අබේස්කර හා ගුවන් විදුලියේ අධිකාරී ෂර්ලි ඩා ද සිල්වාය. මෙහි ප්‍රධාන චරිත දෙක රඟපෑවේ ජයවර්ධන මහතා හා එලිනා ජයවර්ධන මහත්මියයි. ආචාර්ය ගුණපාල මලලසේකර මෙහි හාමුදුරු කෙනකු ලෙසත්, යූ.ජී.පී. ද සිල්වා මහතා හිඟන්නකු ලෙසත් රඟපා ඇත. යූ.ජී.පී. ද සිල්වා මහතා (“නිල් අහස් තලේ අගෙයි, මේ ගසේ බොහෝ” ගීත ගැයූ ගායකයා) මේ තොරතුරු අපට කීවේ 1980 පමණ ඔහුගේ ගෝලයකු වූ ඒ.එච්. පියසේන මහතා (අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටිගේ පියා) මා ගිය පුවත්පත් ලිපියක සාකච්ඡාවක දීය.   


ජී.බී. සේනානායක මහතා කෙටිකතා නිර්මාණයේ විශිෂ්ටයකු ලෙස සැලකේ. ඔහු ලියූ නිධානය, හෘදය වස්තුව, වෙසක් පහන කෙටිකතා ඔහුගේ ශ්‍රේෂ්ඨ කෙටිකතා යැයි විචාරකයෝ අගය කරති. මේ අතරින් වෙසක් පහන කුඩා ළමයින් ගැන ලියූ සුප්‍රකට කතාවකි. මේ කෙටි කතාව ඔහු ලියා ඇත්තේ දිනමිණ වෙසක් කලාපයට කෙටි කතාව ඕනෑ යයි කරන ලද ආරාධනාවක් නිසාය.   


“වෙසක් කලාපයකට සුදුසු කතාවක් ගැන මම දින ගණනාවක් කල්පනා කළා. පසුව මම තීරණය කළා ළමයින් වෙසක් පහනක් සාදන හැටි කෙටිකතාවකට වස්තු කර ගැනීමට. මම කුඩා කාලයේ කිසි දිනක වෙසක් කූඩුවක් හදනවා තබා ඒ සඳහා උත්සාහයක්වත් දරා නැහැ. ඒ නිසා මේ කතාවේ එන්නේ මගේ පුද්ගලික අත්දැකීමක් නොවේ. මේ කතාව ලියන්නට පෙර වෙසක් පහන් සෑදීම ගැන කතා පුවත්පත්වල පළ වී තිබුණා. මා දන්නා හැටියට මේ කිසිදු කතාවකින් ළමුන්ගේ මානසික තත්ත්වය හෙළි වුණේ නැහැ. මට වුවමනා කළා වෙසක් කූඩුවක් හදන සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකගේ චිත්ත තත්ත්වය කියාපෑමට. මම මුලදී කිව්වා මා කිසි දිනක වෙසක් කූඩුවක් හැදීමට තැත් නොකළ බව. ඒ නිසා මේ කතාවේ ගැබ් වන්නේ ළමුන් කූඩු සාදන හැටි බලා සිටීමෙන් මා ලත් අවබෝධයයි. මේ අවබෝධය පමණක් නොවෙයි, ළමයින්ගේ මනස ක්‍රියා කරන අන්දම මා එදිනෙද‌ා ජීවිතයේ ලත් අවබෝධයත් මේ කතාවේ ගැබ් වෙනවා.” ජී.බී. සේනානායක අපට කීවේ 1976 වසරේ පුවත්පත් සංවාදයකදීය. 

 
නොසෑදූ වෙසක් කූඩුවකින් ජී.බී.ගේ “වෙසක් පහන” බිහිවූයේ එසේය.   


මාතර ජස්ටින් විජයවර්ධන මහතා දක්ෂ පරිවර්තකයෙකි. ඔහු පරිවර්තනය කළ “නාස්තිකාර පුත්‍රයා” කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි විය. ඔහු කීර්තිමත් ගුරුවරයකු ලෙස මාතර රාහුල විද්‍යාලයේ කැපී පෙනුණි.   
ඔහු පොත්පත් ලියා ඇත්තේ දම් පැහැති “ස්වොන්” වර්ගයේ පෑනකිනි. දම් පැහැති පෑනෙන් ලියූ පොත් අතර සිසිලියාගේ ලෝකය, චණ්ඩාලිකා වැනි නවකතා මෙන්ම ටොම් මාමාගේ කුටිය, පුනර්ජීවනය, මිනිස් අඟහරු යුද්ධය ආදී පරිවර්තන කෘති ද වෙයි.   


තමා ලියු ගුවන් විදුලි නාට්‍ය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙන විට එය නෑසූ නාට්‍ය රචකයකු ඔබ අසා තිබේ ද? ඔහු ඒ.පී. ගුණරත්න මහතාය. බද්දේගම, මැකීගිය දඩමං, වන සරණ, වානරයා ඇතුළු විශිෂ්ට පරිවර්තන කෘති බිහි කළ ගුණරත්න මහතා ගුවන් විදුලි නාට්‍ය රැසක් රචනා කළේය. ඒ අතර කොටස් වශයෙන් ප්‍රචාරය වූ වානරයා, වන සරණ අසන්නන් අතර එද‌ා ප්‍රකට වී ඇත. ගුණරත්න මහතා චිත්‍රපට හා වේදිකා නාට්‍යවල ද ගුවන් විදුලි නාට්‍යවල ද රඟපෑවේය. තමා ලියූ ගුවන් විදුලි නාට්‍යය ගෙදර දී නො ඇසූ බව ඔහුගේ පුත් ඉන්දුමාලින් ගුණරත්න අප සමග කීය. තමාත්, නංගීත් මේ නාට්‍යය ඇසීමට සැරසෙනවිට පියා ඔවුනට මෙසේ කියා සිටියාලු.   
“මේ ළමයින්ට ඕවා අහනවට වඩා පාඩම් පොතක් කියවා ගත්තොත් හොඳ නැද්ද?”   


දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දේශපාලනයට වඩා සාහිත්‍ය කලාවට ද ආදරයක් කළ රසවතෙකි. එසේම එතුමා කෙටි කතා රචනයට දක්ෂය. මේ සාහිත්‍ය නිර්මාණ එතුමා ලිව්වේ ඉංග්‍රීසි භාෂාවෙනි. මේ කෙටිකතා අතර රහස් පරීක්ෂක කතා රැසකි. “මහහේනේ ඊරියකා”, “මුදලි වලව්වක අවුල” කතා ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්ෂිකයේ පළ වී ඇති අතර, ඒවා ඇසුරින් සුසිල් ප්‍රේමරත්න විසින් අඳින ලද චිත්‍රකතා “ඉරිද‌ා ලංකාදීප” පත්‍රයේ පළ වී ඇත. පසු කලෙක “මහහේනේ ඊරියකා” වේදිකා නාට්‍යයකට ද චිත්‍රපටයකට ද නැගුණේය.   


හොරගොල්ල වලව්වේ අමුත්තන්ගෙන් හිස් වූ සැඳෑ එළිය පැතිර යන විට ආලින්දයේ හෝ ඇතැම් විට රුක් සෙවනක හෝ බණ්ඩාරනායක මහතා ඉංග්‍රීසි රහස් පරීක්ෂක නවකතාවක් කියවමින් සිටිනු උඳුගොඩ නවරත්න කවියා දැක ඇති බව සඳහන් කර තිබේ. එතුමාගේ සාහිත්‍යයට ඇති ඇල්ම 1957 මැයි මස මියගිය මහා නවකතා කතුවර ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ අවමඟුලේ දී කළ කතාවේ මේ කොටසින් මොනවට පැහැදිලි වේ.   
“ඩබ්ලිව්.ඒ. සිල්වා මහත්තයා වගේ මටත් නවකතාකරුවකු වීමට හැකි නම් අගමැතිකම ඒ වෙනුවෙන් මම පුදකරනවා. මට ඉඩ ලැබෙන විදිහට සිල්වා මහතාගේ නවකතා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න වෑයම් කරනවා.”   
අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමද‌ාස මහතා දේශපාලනයට මෙන්ම සඟරා සංස්කරණයට, පොත පත ලිවීමට මෙන්ම වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑ රසවතෙකි. “ස්වදේශය” සඟරාව සංස්කරණය කළ එතුමා ගොළු මුහුද, ජීවන කඳුළු, හිතවතිය, රන්මිණි මුතු නවකතා රචනය කළ අතර, 1940 දී පමණ ඒ.ඩී.ජේ. මාතුපාල රචනා කළ “කානිවල්” වේදිකා නාට්‍යයේ ෂන්මුගම් නම් දමිළ ජාතිකයා ලෙස ද රඟපා ඇත. ඊට අමතරව මාතුපාලගේ “ගමේ වෙද‌ා” නාට්‍යයේ ද එතුමා රඟපා ඇත.   


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසෙන්නේ තුරුණු වියේ සිටය. රංගනයට එතුමා කැමැත්ත දක්වන්නේ කොළඹ නාලන්ද හා තර්ස්ටන් විද්‍යාලවල ඉගෙනුම ලබන සමයේය. එහෙත් ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු ලෙස එතුමා කැපී පෙනෙන්නේ “නොමියන මිනිස්සු” චිත්‍රපටයේ යුද හමුද‌ා බ්‍රිගේඩියර්වරයකු ලෙස කළ රංගනයයි. මීට අමතරව ඔහු “බැද්දේ සෙනෙහස”, “උද‌ාගිර” ටෙලිනාට්‍යවල ද රඟපා තිබේ. නොමියන මිනිසුන් චිත්‍රපට රඟපෑම ගැන අධ්‍යක්‍ෂ ගාමිණී ෆොන්සේකා අප සමග පැවසුවේය. ඒ 1991 වසරේ සරසවිය පුවත්පතටය. “මහින්ද රාජපක්ෂ මහතා මම බ්‍රිගේඩියර් කෙනකු ලෙස තෝරා ගත්තේ එතුමාගේ පෙනුම හමුද‌ා ප්‍රධානියකුට ගැලපෙන නිසා. මම රඟපෑ කර්නල් ජයසුන්දර ලෙස ඔහු යටතේ සිටින නිලධාරියකු ලෙසයි.”   


සම්මානනීය ග්‍රන්ථ පරිවර්තකයකු වූ කළුබෝවිල සිරිල් සී. පෙරේරා මහතාගේ විනෝද‌ාංශය චිත්‍ර ඇඳීම හා පොත් කියවීමය. ඔහුගේ කෘති රැසක පොත් කවර නිර්මාණය කළේ තමා විසින්මය. ගෙදර පුස්තකාලයේ කාමරයේ සිවිලිමේ ඔහු සිතුවම් රටා ඇඳ ඇත. මළ මිනිස්සු, එමා බෝවාරි, මහල්ලා සහ මුහුද, ෂේන්, කරමසෝ සහෝදරයෝ, යුද්ධය හා සාමය, මෝබි ඩික් වැනි කෘති පරිවර්තනය කළ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය නොකළේය. ක්‍රිකට් ක්‍රීඩාව බලා සිටීමෙන් අපරාදේ කාලය කා දැමීමක් ලෙසයි ඔහු සැලකුවේ.   


ක්‍රිකට් බලන්න පැය කිහිපයක් ගතකරනවාට වඩා ඒ කාලේ මම පොතක් කියවීමෙන් වින්දනයක් ලබනවා. අපේ වගේ රටකට ගැලපෙන්නේ ෆුට්බෝල්. පාපන්දු ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. හැම තත්ත්පරයකම “ඩ්‍රාමා” තියෙනවා. විනාඩි 90 තරගය නිම වෙනවා. ලෝකයේ දියුණු රටවල අද ජනප්‍රිය පාපන්දු. මගේ ගෙදර වත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් තිබුණත් මම කරන්නේ පොතක් කියවන එක” සිරිල් සී. පෙරේරා මහතා මා සමග කළ පුවත්පත් සංවාදයකදී කීවේය.   


කරුණාසේන ජයලත් සම්මානනීය නවකතාකරුවෙකි. ඔහු ලියූ “ගොළු හදවත” නවකතාව 1962 වසරේ අතිශයින්ම ජනප්‍රිය වූ අතර, එම වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ගොළු හදවත සිනමාවට ද ටෙලිනාට්‍යයට ද නැගිණ. ජයලත් මියයන විට නවකතා 14ක් රචනා කර තිබුණි. විශේෂය නම් ඔහු හැම නවකතාවක්ම රචනා කළේ අකුරු 6කිනි. “අකුරු හයේ” නවකතා ලියූ මේ ලේඛකයාගේ නිර්මාණ මෙසේය. ගොළු හදවත, බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, යහළු යෙහෙළි, ගැහැනු ළමයි, පිරිණු හදක්, හතුරු සිතක්. මව සහ දුව, මානවිකාවක්, සතීගේ කතාව, ඇවැස්ස නෑයෝ, කුලකුමරිය, රිදී නිම්නය, මේ නවකතාය. ජයලත් මුලින්ම කෙටිකතාවක් ලියා ඇත්තේ ලාල් ප්‍රේමනාත් ද මැල් සංස්කරණය කළ “මේ මිනිස්සු” කෙටි කතා සංග්‍රහයටය. එහි නම “මාව හොයන්න” ය. එය ද අකුරු හයේ නිර්මාණයකි. ඔහු ලියූ මුල්ම චිත්‍රපටය “දරු සෙනෙහස”ය. එයට ද අකුර 6ක් තිබේ. මේ නම දිග වැඩි යයි සිතූ අධ්‍යක්‍ෂ හර්බට් එම්. සෙනෙවිරත්න එය කෙටි කොට “සෙනෙහස” නමින් රිදී තිරයට නැගීය.   

 

 

 


ඒ.ඩී. රංජිත් කුමාර